ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමත් ආසියානු ක්‍රීඩා උළෙලට

122

කොඩිය ප්‍රශ්නයක් කර ගන්න එපා – ඔලිම්පික් ලේකම් මැක්ස්වල් කියයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ජාත්‍යන්තර වශයෙන් තහනමකට ලක්ව තිබුණද ලබන මස චීනයේදී ආරම්භවන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සත් සාමාජික රග්බි කණ්ඩායමක් (පිරිමි) යෙදවීමට කටයුතු කරන බව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ඊයේ (28 වැනිදා) ප්‍රකාශ කළේය.

එම කණ්ඩායම සිංහ ධජය යටතේ තරගාවලියට එක් වන බවත් එසේ බැරි නම් වෙන කොඩියක් යටතේ හෝ තරගාවලියට එක් වන බව ද කොඩිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා යැයි ද මැක්ස්වල් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ජාත්‍යන්තරය හමුවී තහනමකට ලක්ව ඇති නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ඔලිම්පික් ධජය යටතේ තරගාවලියට එක් වීමට සිදු වන බව ද මීට පෙර ප්‍රකාශ වී තිබුණි.

“ශ්‍රී ලංකා කොඩියෙන් බැරිනම් වෙන කොඩියකින් හරි ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම සහභාගි වෙනවා. ඒ පිළිබඳව ගැටලුවක් පැන නැගී නැහැ” යැයි කොළඹ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මැක්ස්වල් ද සිල්වා මහතා කීය.

ජාතික ඔලිම්පික් නිවහනේදී ඊයේ පැවැති එම මාධ්‍ය හමුව සඳහා මෙවර තරගාවලියේ කණ්ඩායම් භාර ප්‍රධානියා ලෙස කටයුතු කරන නිශාන්ත පියසේන මහතා සහ තරගාවලියේ නිල ඇඳුම් සම්පාදකයා ලෙස කටයුතු කරන ඩී. එස්. අයි. ආයතනයේ නියෝජිතයෝ ද සහභාගි වී සිටියහ.

චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 97 දෙනකු සහභාගි වීමට නියමිත අතර ඔවුන් ක්‍රීඩා ඉසව් 21 කට සහභාගි වීමට නියමිත බව කණ්ඩායම් ප්‍රධානී නිශාන්ත මහතා කීය.

තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ද මෙවර තරගාවලියට එක් වේ.

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩක යුපුන් අබේකෝන්, ගයන්තිකා අබේරත්න, නදීෂා රාමනායක, තරූෂි කරුණාරත්න ආදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරොත්තු අතර සිටිති.

ලබන මස 23 වැනිදා සිට ඔක්තෝම්බර් මස 8 වැනිදා දක්වා මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිත අතර මෙවර පැවැත්වෙන්නේ 19 වන ආසියානු ක්‍රීඩා උළෙලයි.

රන් පදක්කම් 481 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12500 ක් එහිදී තරග වැදීමට අපේක්ෂාවෙන් සිටිති.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment