අස්වැසුමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

135

ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය

දිළිඳු සහ අවදානමට ලක්වූවන්ට ඉලක්කගත ආදායම් සහායක් සහ ජීවනෝපාය අවස්ථා ලබා දෙමින් අස්වැසුම සමාජ ආරක්‍ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව වෙතින් අරමුදල් සපයා ගැනීම පිණිස ගිවිසුම්ගත වීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉකුත් මැයි මස අටවැනිදා පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව කෙරුණු සාකච්ඡාවන්හිදී අස්වැසුම සමාජ ආරක්‍ෂණ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 185 ක්ද තෝරාගත් ප්‍රතිලාභීන් ආර්ථීක වශයෙන් සවිමත් කිරීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඩොලර් මිලියන 07 ක් සහ සමස්ත ව්‍යාපෘතිය කළමනාකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 08 ක්ද ලෙසින් ඩොලර් මිලියන දෙසීයක මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබිණි.

අදියර තුනක් යටතේ ලෝක බැංකුව මගින් එම අරමුදල් සැපයීමට නියමිත අතර එම මුදල් ලබා ගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ ගිවිසුම්ගත වීමට මෙසේ කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

සමන් ගමගේ, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment