රට ගොඩනැගීම අනිවාර්යයෙන්ම සිදුකරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

76

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානූෂීය ධනවාදය තුළින්
ආර්ථික ඝාතකයා රටට එන විට පාවාඩ දාලා පිළිගන්නවා – ශානක්‍යන් රාසමානික්කම් (දෙජාස)
ප්‍රායෝගික නොවන, බරපතළ නොමග යැවීම් රාශියක් තිබෙනවා – ඩලස් අලහප්පෙරුම (ශ්‍රීලපොපෙ)
රාජ්‍ය ආයතන විකුණන්නේ නෑ කියපු අය අද කෝ – අශෝක් අබේසිංහ (සජබ)
පක්‍ෂයට පෙර රට පිළිබඳව හැඟීමෙන් කටයුතු කළ යුතුයි – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

තම රජයක් යටතේ රාමුවෙන් පිට ගොස් සාධාරණ සමාජ වෙළෙඳ පොලක්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් සහ මානූෂීය ධනවාදයක් ක්‍රියාත්මක කොට රට ගොඩනැගීම අනිවාර්යයෙන්ම සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමේන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් ලිපි ලේඛන, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2023) සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදයේ හය වැනි දින විවාදය ආරම්භ විය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා (ශ්‍රී.ල.පො.පෙ)

ඉතාම බැරෑරුම් තත්ත්වයකදීයි මේ අයවැය ඉදිරිපත් කෙරෙන්නේ. මේ වගේ තත්ත්වයකදී අයවැය ලේඛනයක් සකස් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ වගේම ඉදිරි වසර කිහිපය තුළදී මේ රටේ මහජනතාවට සංවර්ධනයක් ගෙන ඒමටත් මෙම අයවැය තුළින් බලාපොරොත්තු වෙනවා. එය විශාල අභියෝගයක්. පාර්ලිමේන්තුවේ සිටින අපේ වගකීම වන්නේ පක්ෂ පාට බේදවලින් තොරව මේ රටේ ජනතාව ගැන හිතලා කටයුතු කරන්න. අද අපේ රට තුළ ආර්ථිකය යම් තරමකට ස්ථායි කරලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට එන්න පුළුවන් වෙලා තිබෙනවා. ජනවරමකින් තමයි අපි මෙතැනට පැමිණ තිබෙන්නේ අපි එය රැකගෙන ඉදිරියට කටයුතු කළ යුතුයි. අද මතයක් යනවා. මහජන නියෝජිතයන්ගෙන් වැඩක් නෑ කියලා. අඩු පාඩු වෙන්න ඇති නමුත් මේ පාර්ලිමේන්තුව තුළ ගත්තු පියවර නිසා යම් ඉදිරි ගමනක් ගිහින් තිබෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ ගනු ලබන හැම තීරණයක්ම ජනතාව වෙනුවෙන් ගත්තේ. වර්තමානයේ අපි අපිම එකිනෙකා විවේචනය කර ගනිමින් අපේ ගෞරවය කෙලෙසන්න කටයුතු කරලා තිබෙනවා කවදාවත් නැති විදිහට.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අද අපි දැවැන්ත බංකොලොත්භාවයකට, ආර්ථික ව්‍යසනයකට මුහුණ දෙනවා. ඇමරිකාවේ රූසවෙල් ජනාධිපතිටත් ජාතික වගේම ජාත්‍යන්තර ආර්ථික අවපාතයකට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් අද ජාත්‍යන්තර ආර්ථීකයේ ලොකු අවපාතයක් දකින්න නෑ. නමුත් අපේ රට බංකොලොත් වෙලා තිබෙනවා. ඒ තුළ අපේ රටේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න හදන සමාජ සංයුතිය මොකක්ද කියලා බලන්න ඕනා. අපිට පෙනෙන්නේ සමාජ සම්මුතියක් නෑ. ජනතා සම්මුතියකුත් නෑ. සම්මුතිය තිබෙන්නේ රට බංකොලොත් කරපු කණ්ඩායමේ 134ක් අතර තිබෙන සම්මුතියයි. අපේ රටේ දැන් යන්නේ දූෂණය,

ගජමිතුරුවාදය, විපත සහ විනාශයයි. බදු ගෙවන්නන්ගේ සල්ලි යට කරලා අපි දින ගණනනාවක් මේ අයවැය විවාදය කරනවා. අපි මේ කරන්නේ තොරතුරු නොදැන අඳුරේ අතපත ගෑමක් කියලා කතානායකතුමාට හිතෙන්නේ නැද්ද? මේ රජය තවමත් අපොහොසත් වෙලා තිබෙනවා අයිඑම්එෆ් ගිවිසුමේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් එක ඉදිරිපත් කරන්න තවමත්. මේ පාර්ලිමේන්තුව නමට විතරයි උත්තරීතර. නමට විතරයි මුදල් අනුමත කරන සභාව වෙලා තිබෙන්නේ. පාර්ලිමේන්තුවෙන්, ජනතාවගෙන් තොරතුරු වසන් කරලා දැන් ක්‍රියාත්මක වෙන්නේ දූෂිත පොලිටිකල් ඩීල් එකක්. මහා විනාශයකට පත් කරන ඩීල් එකක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ අයවැය කතාව මගින් ගම්‍ය වූ තොරතුරු ගැන අපි බැලිය යුතුයි. මේ වර්තමාන රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය දෙස බැලුවහම අපට පෙනෙන්නේ පරස්පරයන් රැසක් තිබෙන බවයි. අයවැය මගින් හොඳ ආර්ථික යෝජනා කරලා තිබෙනවා. අපනයන දියුණු කරනවාලු. හැබැයි එහෙම කියලා අපනයනවලට බදු පිට බදු ගහනවා. අපනයන හකුළනවා. පරිසර හිතකාමී ආර්ථිකයක් හදනවාලු. නමුත් කොහොමද එහෙම කරන්නේ කියලා පැහැදිලි කරලා නෑ. ඩිජිටල් ආර්ථිකයක් ගැන කියනවා ඒකත් එහෙයි. කිසිම සඳහනක් නෑ. මේ අයවැය කතාව පරස්පරවලින් සපිරි එකක්. අය කලින් ඉදිරිපත් කරපු වැය රටට කිසිම පළදායීතාවයකින් තොරව ඉදිරපත් කරපු අයවැයක්. මේ අයවැයෙන් අසාධාරණ බදු ක්‍රමයක් තමයි කරලා තිබෙන්නේ. පොඩි මිනිහාට තමයි බදු ගහලා තිබෙන්නේ. මේ බදු ක්‍රමය සාධාරණීකරණය කරන්න තිබුණා. නමුත් එහෙම කරලා නෑ. අඩු ආදායම්ලාභීන්ට, මධ්‍යම පන්තියේ අයට තමයි බදු ගහලා තිබෙන්නේ ඒක හරිම අසාධාරණයි. බලන්න අර සීනි බද්ද ශත 25 දක්වා අඩු කළ නිසා රටට කොතරම් පාඩුවක් සිද්ධ වුණාද කියලා. සීනි බදු සහනය තුළින් රජයට බිලියන 48ක් අහිමි වෙලා තිබෙනවා. අපේ රජයක් තුළ මේ බදු ටික අය කර ගන්නවා කියලා කියන්න ඕනා. ඒ වගේම සිගරට් බද්ද වැඩි වෙන්න ඕනා. නමුත් මේ දුම්කොළ බද්ද ගහන්න නිලධාරීන් භයයි. ඒ අය දුම්කොළ සමාගම්වල සාක්කුවේ ඉන්නේ. ඒ සමාගමෙන් රජයට ලැබෙන බද්ද අඩු වෙලා. ඒ වෙනුවට දුම්කොළ සමාගමේ ආදායම වැඩි වෙලා තිබෙනවා. ආහාරවල මිල වැඩිවීම සීග්‍රයෙන් ඉහළ යනවා. නමුත් සිගරට් මිල ඉහළ යන්නේ නෑ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති ලෙස දුම්කොළ බද්ද අඩු කළා. අපේ රජයක් තුළ මේ වංචාව නවත්වා ඒ ආදායම රාජ්‍ය ආදායමට ලබා

ගන්නවා. ඒ වගේම ඊටීඑෆ් වංචාව. වැඩ කරන ජනතාවගේ සල්ලි දැන් උදුරා ගන්න හදනවා ඉන්ෂුවරන්ස් එකකට. අපේ රජයක් තුළ එය නවත්වනවා කියා කියන්න ඕනා. අපේ ජනතාව වෙනුවෙන් වෙන් කරලා තිබෙන සහනාධාර මුදලින් සියයට 20ක් යනවාලු පරිපාලන කටයුතුවලට. එය වෙනස් කළ යුතුයි. මේ රටේ දුප්පතුන්ට සහන ලබා දීමට නම් ඒ දුප්පත්කම තෝරා ගැනීමට සුදුසු වැඩ පිළිවෙළ තමයි විදුලි පාරිබෝජන ඒකක ප්‍රමාණය අනුව එය කළ හැකියි කියා මහාචාර්යවරියක් ප්‍රකාශ කර තිබෙනවා. එය බොහොම හොඳ ක්‍රමවේදයක්. මේ අයවැය විවාදයට පෙර මම මුදල් උපදේශක කාරක සභාවටත් සහභාගි වුණා. මේ රටේ දුප්පත්කම පිළිබඳ සමීක්ෂණයක් මේ රජය සිදු කර නෑ. කොරෝනා ව්‍යවසනයෙන් පසුව එය කළ යුතුව තිබුණා. එහෙම කළා නම් මේ රටේ දුප්පත්කමේ තරම හොයා ගන්න පිළුවන්.

රංජිත් සියඹලාපිටිය මහතා

දුප්පත්කම පිළිබඳ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් විද්‍යාත්මක ක්‍රමයකට සිදු වෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා

මේ ගැන මම මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ඇහැව්වහම ඒ අය තක්බීර් වෙලා හිටියා. මෙතුමා මෙහෙම කියනවා. එතුමාට එහෙම කියන්න වෙනවානේ. රටක වගකීම තමයි නැහැ බැහැ කියන එක නොවෙයි. මේ රටේ ජනතාව නගා සිටුවීම වගේම මේ රට ගොඩනැගීම අපේ සමගි ජන බලවේග රජයක් මගින් ක්‍රියාත්මක කරනවා. මේ රජයට පාසල් දුවා දරුවන්ට දිවා ආහාරය දෙන්න වැඩ පිළිවෙළක් නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටිලා තිබෙනවා. රට බංකොලොත් කරලා රට සුන්නද්ධූලි කරපු මේ පොහොට්ටුවේ අය අද කතා කරනවා අධ්‍යාපනය, සෞඛ්‍ය ගැන. පාසලකට කම්පියුටරයක් දී ගන්න බෑ. රෝහල්වලට බෙහෙත් ටික දීගන්න බෑ. ඒ වෙනුවට මේ අයවැයෙන් පාරවල් හදන්න මුදල් වෙන් කරලා. මේක දූෂණයක්. පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කරපු අපේ මුදල් ටික ගන්න ආර්ථිකයට. දැන් ලාභ ලබන ආයතන විකුණන්න යනවා. මේක වෙන්දේසිලන්තයක්ද. එහෙම විකුණනන්න දෙන්න බෑ. පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයකට යන්න ඕනාත නැතුව වික-ණන්න දෙන්න බෑ. මේ රටට උචිත වන්නේ මැද මාවතයි. අන්ත ධනවාදයට, අන්ත සමාජවාදයට, අන්ත ලිබරල්වාදයට යන්න හොඳ නෑ. රාමුවෙන් පිට ගිහින් සමාජ වෙළෙඳ පොල, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂීය ධනවාදය ක්‍රියාත්මක කරන්න අපි ක්‍රියා කරලා අපි රට ගොඩ නගනවා.

වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා

අපේ ජනතාවට ඕන යකා එක්ක හරි එකතුවෙලා රට ගොඩනඟන්නයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දුෂ්කර හා නිවැරදි මාවත තෝරාගත් බව කිව්වා. විපක්‍ෂ නායකවරයා ජනප්‍රිය සටන් පාඨ කියලා බලය ගන්න පුළුවන් කියලා හිතනවා. ජනාධිපතිවරයා පුද්ගලයෝ දිහා බල බල හිටියේ නෑ. අසීරු අවස්ථාවේ රට බේරා ගැනීමට ඉදිරිපත් වුණා.

මේ අයවැය ලේඛනය ජනප්‍රිය හෝ ජනතාවට විකුණන්න පුළුවන් එකක් නොවෙයි. ඒත් ජනතාවට අපි නිවැරදි තත්ත්වය පෙන්වාදී ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි. පක්‍ෂයට පෙර රට පිළිබඳව හැඟීමෙන් කටයුතු කළ යුතුයි.

අපේ විදේශ ප්‍රේෂණ අඩුවුණා. සංචාරක කර්මාන්තය එදා අරගලය තිබ්බ නිසා අඩපණ වුණා. දැන් සංචාරක කර්මාන්තය හොඳයි. මගී නෞකා එනවා. ඉදිරියේදී තවත් සංචාරක මගී නැව් 6 ක් එනවා. මේ ක්‍රියාවලිය තුළ අපි යන ගමන ධනාත්මකව සිදුවෙනවා. මේ තුළින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ සාර්ථක වන බව තාමත් පේනවා. මෙතෙක් කළ නොහැකි වූ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරනවා. ඒ තුළින් ආර්ථිකය ශක්තිමත් වෙනවා.

පැරණි සටන් පාඨවලින් ආර්ථිකය හදන්න බැහැ. බෝඩ් ඉල්ලගෙන ඉඳලා රට හදන්න බැහැ. පාඩු ලබන ආයතනවල බෝනස්, වැටුප් වැඩිවීම් කරනවා. ඇයි මේ වගේ බරක් ආණ්ඩුව තබාගෙන ඉන්නේ. වඩාත් ලාභ උපයන්න පුළුවන් ඒවා ප්‍රතිසංස්කරණ කළානේ.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් (දෙජාස)-

රජයේ වියදම් වැඩි කළත් සහනාධාරවල වැඩිවීමක් නැහැ. ආබාධිත අපට ලැබෙන සහන අඩුකරලා. මාසයකට දෙන රුපියල් 5000 න් 2500 ක් අඩු කරලා. අවුරුදු 100 ට වැඩි පිරිසට දෙන රුපියල් 5000 න් 2500 ක් අඩු කරලා. තිබෙන දේත් දීගන්න සමත් වෙලා නෑ.

බජට් එක තුළින් පත් කරන්න යෝජනා කර ඇති කමිටුවලින් සෙතක් වෙයිද? ආර්ථික ඝාතකයා රටට එන විට පාවඩ දාලා පිළිගන්නවා. කලින් හොරෙන් රටින් පනින්න ගිහින් බැරි වුණා.

මඩකලපුව දිස්ත්‍රික් සංචාරක කමිටුවේ සම සභාපති චන්ද්‍රකාන්තන් කරන හොර වැඩ නවත්වන්න. මඩකලපුව දිස්ත්‍රික්කයටම කාබනික පොහොර දෙන්න. එක සමාගමයි අරගෙන තියෙන්නේ හිතවතෙක්.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා-

සමහර දෙමළ දේශපාලකයෝ මේ සභාවට ඇවිත් වහසිබස් දොඩවනවා. නමුත් ඒ අයට ගම්වලට යන්න බෑ. අපේ ආණ්ඩුව උතුරු නැගෙනහිර පළාත්වලට හොඳට වැඩ කරලා තිබෙනවා. ඒ පළාත්වලට ගියහම ඒක පෙනෙනවා. අපේ පළාත්වලට වඩා හොඳින් සංවර්ධනය කර තිබෙනවා. මේ අයවැය

මගිනුත් ඒ සඳහා නව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊළඟ ඡන්දය බලාගෙන නොවෙයි අපි කතා කරන්නේ.

නියෝජ්‍ය කාරක සභා සභාපති අශෝක් රාමනාදන් මහතා මූලාසනයට පැමිණේ.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා (සජබ)-

රටට ඩොලර් උපයන්න මේ අයවැයේ නෑ. ලංකාවේම ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙනවා. ඒ වගේම පොහොර නැති නිසා අපේ අපනයන භෝග ක්‍ෂේත්‍රය කඩා වැටිලා. මත්ස්‍ය වෙළෙඳ පොළ වැටිලා. දේශීය කර්මාන්ත දියුණු කරන්න මේ අයවැයේ මොකුත් නෑ. කර්මාන්ත සියල්ලක්ම කඩා වැටිලා. මේ අයවැය අනාගෙන තිබෙනවා කියලයි මට නම් පෙනෙන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා (සජබ)-

අපි මේ කතා කරන්නේ. ඉතිහාසයේ වැඩිම අය වැය පරතරය තිබෙන වැඩියෙන්ම බදු ගහන ණය ගන්න අයවැයක් තමයි මේක. මේ අයවැය මගින් පසුගිය වසරට වඩා සියයට 70 ක් ආදායම් ලබනවා කියලා තිබෙනවා. මේක ප්‍රශ්නයක්. ඔය කියන විදිහට ආදායම් නොලැබුණොත් ප්‍රශ්නයක් වේවි. ඒ වගේම ලාභ ලබන ආයතනත්, විකුණන්න යනවා. මේක නව යටත් විජිතකරණය වගේ. යුද්දෙන් කරන්න බැරිවුණ දේවල් තමයි දැන් කරන්නේ. පසුගිය කාලයේ රාජපක්‍ෂලා කිව්වේ රාජ්‍ය ආයතන විකුණන්නේ නෑ කියලා නමුත් අද විකුණන්න යනවා. ඒ නිසා මම ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අහන්නේ රෙද්දක් ඇඳගෙන මේ අයවැයට ඡන්දය දෙන්න පුළුවන්ද? මේ අයවැය කියන්නේ ඉලක්කම් විජ්ජාවක්. ණය අරගෙන බදු ගහලා, සල්ලි අච්චු ගහලා තමයි දැන් මේ අයවැය හිඟය අඩු කරන්න යන්නේ.

මුදල් අච්චු ගහලා කොහොමද උද්ධමනය අඩු කරන්නේ. ආණ්ඩු පක්ෂයේ අය හිතාගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ මහ ලොකු වැඩකාරයෙක් කියලා. මහ බැංකුව මහ දවල් හොරා කෑවා කියලා චෝදනා කරපු අය අද දැන් එතුමා මහ බැංකුව ස්වාධීන කරනවා කිව්වහම අත්පොලසන් දෙනවා. කාවද මේ රවට්ටන්න යන්නේ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

එන්. එම්. පෙරේරා රොනී ද මැල් යන අය තමන් විසින්ම අයවැය සකස් කර ඉදිරිපත් කළා. පසුව ආපු මුදල් ඇමැතිවරු කළේ කවුරු හරි හදලා දීපු එකක් මාධ්‍ය සංදර්ශනයක් කරමින් ඉදිරිපත් කළා. ජනපති රනිල් කළෙත් එයමයි.

මොන ගැටලු තිබුණත් ජේ. ආර්. ජයවර්ධන ජනපතිවරයා කිසිම අමාත්‍යාංශයක් දැරුවේ නෑ. ඒ ආදර්ශය රනිල් ජනපතිවරයා ලබා ගත්තේ නෑ. ඒ

වැරැද්ද නිවැරදි කරමින් ඒ ආදර්ශය ලබා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලනවා. එය ආර්ථිකය සකස් කිරීමේ නිවැරදි පියවරක් වෙනවා.

මේ අයවැය ප්‍රායෝගික නොවන රාජ්‍ය වියදම් කෘත්‍රිමව අඩු කර පෙන්වූ අයවැය ලේඛනයක්. බරපතළ ලෙස නොමග යැවීම් එහි තියෙනවා.

මාධ්‍යවේදීන්ට රක්ෂණයක් දුන්නා. මිලියන 50 ක් රජය දැම්මා. මෙවර අයවැය ලේඛනයෙන් එය ඉවත් කරලා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් වර්ණකුමාර (ශ්‍රීලපොපෙ)

විපක්ෂයට චෝදනා කර වැරදි කිය කියා ඉඳලා ගෙදර ගිය හැකියි. එහෙත් ආණ්ඩුවකට එහෙම බැහැ. හැමදේම වැරදි දකින අය ආණ්ඩු බලය තිබියදී කළේ මොනවාද කියා බලාගත හැකියි.

රටට සිදු වූ දේට දේශපාලනඥයන්ට චෝදනා කරනවා වගේම නිලධාරීන්ටත් චෝදනා එල්ල විය යුතුයි. හිටපු ජනපතිවරයාට යම් තීරණ ගැනීමේදී නිලධාරීන් නිවැරදි තත්ත්වය පෙන්නුවේ නෑ. හරියට ක්‍රියා කළේ නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන (ශ්‍රීලපොපෙ)

කර්මාන්තවලින් විශාල ලෙස බදු අය වෙනවා. ඒ ගැන වහාම හිතා බලන ලෙස මහ බැංකු අධිපතිගෙන් ඉල්ලනවා. එක් අයෙකු නිසා සිදු වූ වරදට හැමෝම වගකිවයුතු නැහැ.

පත් කළ මන්ත්‍රී එම්. මුසම්මිල් (ශ්‍රීලපොපෙ)

ඉදිරිපත් කළ අයවැය හෝ වැඩපිළිවෙළ මගින් පවතින් ප්‍රශ්නයට කිසිම විසඳුමක් ලැබෙන්නේ නෑ. විපක්ෂයේ සමහරු මේ වැඩපිළිවෙළ හොඳයි කියනවා. නමුත් කරන අයගේ ප්‍රශ්නයක් මතු කරන්නේ. නමුත් අපට නම් මේ වැඩපිළිවෙළින් කිසි විසඳුමක් නෑ.

මේ අර්බුදය සමග යුරෝපයේ ඇති ප්‍රශ්න නිසා අපගේ අපනයන සිදුකරන්නේ කෙසේද යන්න කිසිම සඳහනක් නෑ

උත්තර ලංකා පදනම ලෙස අපි යෝජනා කරනවා විදේශ විනිමය පනත සංශෝධනය කරන්න කියලා. රටට අපනයන්ගෙන් හිමිවිය යුතු ඩොලර් ප්‍රමාණය ලබා ගන්න රාජ්‍ය ආයතන විකුණුවත් ලැබෙන්නේ ඩොලර් සොච්චමයි. ඒ නිසා පනත සංශෝධනය කරලා ඩොලර් රඳවා ගන්න.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ (ශ්‍රීලපොපෙ)

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන කිසිම තැකීමක් අයවැයෙන් කරලා නෑ. බදු පිට බදු එකතු කරනවා. බිලියන 5000 ක විතර අයවැය පරතරය පියවා ගන්න තියෙන්නේ මිනිසුන්ගෙන්ම හූරගෙන කාලයි. කවුරුත් ණය දෙන්නේ නෑ.

බදු පැහැර හැර ඇති අය විශාල ලෙස ඉන්නවා. එක්ලක්ෂ විසිදහසක් බදු ලියාපදිංචි වී තිබුණත් බදු ගෙවා ඇත්තේ විසිපන්දහසක් පමණයි. මහා පරිමාණ බදු ගෙවන්නේ බදු පැහැර හැරලා. මේ බදු සියල්ල අයකරගන්න ක්‍රම හදාගන්න. මිනිසුන්ගෙන් හූරගෙන කන්න එපා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී මුදිතා ප්‍රිෂාන්ති (ශ්‍රීලපොපෙ)

අයවැය කාටවත් සතුටු විය නොහැකියි. එහෙත් අපි සියලු දෙනා එක්ව අයවැය සාර්ථක කර ගන්න එකතු විය යුතුයි. රටේ ආර්ථිකය කඩා වැටීමට පාලනය කළ සියලු දෙනා වගකිව යුතුයි. ඒ නිසා හැමදේටම විරුද්ධ නොවී රට ගොඩනැගීමට සහාය දෙන්න.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල් හලීම් (සජබ)

දූෂණය නාස්තිය නැති කිරීමට කිසිම වැඩපිළිවෙළක් නෑ. පසුගිය කාලයේ වංචා රැසක් වුණා. බොර තෙල් ගනුදෙනු වංචාව, කුණු පොහොර වංචාව, සීනි බදු වංචාව, සුදු ලූනු වංචාව වැනි සිද්ධි රැසක් වුණා. ඒවා හොයන්නවත් නවත්වන්නවත් කිසිවක් යෝජනා වී නෑ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවම අවසන් වී නෑ. චීනය තමන්ගේ කැමැත්තදීම තවදුරටත් කල් ඇරියහොත් මුල්‍ය අරමුදල ණය දීමෙන් ඉවත් වේවි.

ආර්ථික කලාප ඇති කිරීම හොඳ පියවරක්. අපේ රටේ ආයෝජනය කරන්න විදේශිකයන් අකමැත්තක් දක්වනවා. එය වළක්වා ආයෝජන දිරිගැන්විය යුතුයි. ගෙවන වාට්ටු ක්‍රමය ඉතා හොඳයි. පෞද්ගලික රෝහල්වල මිල ගණන් අධිකයි. ඒ නිසා ජනතාවට සහනයක් ලැබේවි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ (ශ්‍රීලපොපෙ)

නව ලිබරල්වාදය කුළු හරක් වාදය වගෙයි. මේකට හරි නිර්වචනයක් අවශ්‍යයි. ජනපතිගේ අයවැයේ සාරාංශය බදු හා විකිණීමේ ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීමයි.

අද ඇති පදමට බදු ගහලා. බීඩියටත් බදු ගැහුවා. දැන් ගහන්න තැනක් නෑ. ජනතාව තව තවත් පීඩාවට පත් වෙලා. සෘජු බදු වැඩි කරන්න කිසිම පියවරක් ගෙන නෑ. වක්‍ර බදු වැඩි කරන්නමයි පියවර ගත්තේ. මත්පැන්වලට අසීමිත ලෙස බදු ගහලා. ඒ නිසා වෙනත් ක්‍රියාමාර්ගවලට ජනතාව පෙළඹීම නිසා සුරාබදු ආදායමට බලාපොරොත්තු වන ආදායම ලැබෙන්නේ නෑ.

සෙස් බද්ද හැම දේකටම ගහලා. හෘද සාක්ෂියට එකඟ කිසිවෙකුට අයවැයට පක්ෂ වෙන්න බැහැ. හිරිකතයකින් තොරව විකිණීම සාධාරණීකරණය කරලා. ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් විකුණන්න පිඹුරුපත් සකස් කරලා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන

පසුගිය අවුරුදු 74 ක කාලයම රටට සිදු වූ දෙයක් නෑ කියලා සමහරු කියනවා. එදා කරත්තවල ගිය මිනිස්සු අද කාපට් පාරවල්වල වාහනවල යනවා. පාසල් හොඳට දියුණුයි. එදාට වඩා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වඩාත් දියුණුයි. එදා සිට මේ දක්වා පාලනය කළ හැම රජයක්ම ඒ දියුණුවට වැඩ කළා.

අවුරුදු 74 පුරාවටම පැවැති ආර්ථික අර්බුදය තුළදී ඉදිරිපත් වූ අයවැයට සතුටු විය යුතුයි. මේ කාලය තුළ පැවති අඩුපාඩු වැටුණෙ ගෝඨාභය ජනාධිපතිගෙ හිස මතටයි.

පාර්ලිමේන්තුව අද (22 දා) පෙරවරු 9.30 ට යළි රැස් වෙයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment