කන්දක් සේමා සිනමාවට

1264

මේ රටේ චාරයක් නෑ… කාටවත් ලැජ්ජා නෑ… නව කතාවෙන් තිර රචනාව ලියනකොට හරි ලෝභයි – සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ

2010 වසරේ රාජ්‍ය, ස්වර්ණ පුස්තක, ගොඩගේ සහ විද්‍යෝදය යන සියලුම සම්මාන උළෙලවල් හි හොඳම නවකතාව ලෙස අභිසෙස් ගන්නට වාසනාවන්ත වූයේ ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය විසින් රචිත “කන්දක් සේමා” නව කතාවය. එම නව කතාව පාදක කරගෙන නිර්මාණය වුණු කන්දක් සේමා සිනමා කෘතිය ඊයේ (02දා) සිට දිවයින පුරා ඊඒපී මණ්ඩලයේ සිනමාශාලාවල තිරගතවීම ආරම්භ කෙරිණි. “කන්දක් සේමා” සිනමා කෘතියේ තිර රචනාවද ඇයගේම අතින් නිර්මාණය වූවකි. ඉතිං සුමිත්‍රා රාහුබද්ධ නමැති සම්මානනීය ලේඛිකාව සමග දිවයින සිනමා කලා සංවාදයක නිරත වූයේ ඒ හේතුවෙනි.

2010 වසරේ සියලුම සම්මාන උළෙලවල්හි හොඳම නවකතාව ලෙස “කන්දක් සේමා” තේරීපත් වුණා. ඒ පිළිබඳව මුලින් කතා කරමු?

ඔව්. ඒක සිංහල සාහිත්‍යයේ ලොකු වෙනස් සිද්ධියක්. මොකද සිංහල සාහිත්‍ය නවකතාවකට ලැබුණ, ඒ අවුරුද්දේ තිබුණු සියලුම සම්මාන උළෙලවල හැම සම්මානයක්ම ලැබුණ නවකතාව “කන්දක් සේමා”. වෙන කිසිම නවකතාවකට එහෙම සම්මානයක් ලැබිලා නැහැ. සම්මාන මණ්ඩල පහකින් මේක තේරුවා කියන්නේ, ඒකේ විශේෂතාවක් තියෙනවා. ඒක ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම ඉතිං “කන්දක් සේමා” ඉදිරියට යන්නත් ඒ සම්මාන හේතුවක් වෙන්න ඇති.

කන්දක් සේමා සිනමාවට

“කන්දක් සේමා” නවකතාව කෘතියට නඟන්නේ, සත්‍ය කතාවක් ඇසුරෙන් නේ. ඉතිං මේ කතාව සිනමාවට රැගෙන ඒමේ දී එය කොතරම් දුරට අභියෝගයක් වුණාද?

සිනමාවට ගෙන එනකොට තියෙන අභියෝගය තමයි, ඕනෑම නවකතාවකට තිර රචනාව ලිව්වේ ලේඛකයා වුණාට ඒ කෘතිය අයිතිවෙන්නේ පාඨකයාට. මොකද ඒක ලියලා ඉවර වුණාම පාඨකයාට තමයි අයිතිය හිමි වෙන්නේ. ඉතිං පාඨකයන් දහදෙනෙක් ගත්තොත් දහදෙනා බලන්නෙ වෙනස් විදි දහයකින්. එනිසා නවකතාවකින් සිනමාවට එනකොට අපි කොටුවක් ගහනවා. සිනමාව කියන්නේ, කොටුවක්. ඒ කොටුව තුළ පුළුවන් උපරිමයෙන් සිනමාත්මකව ඒක නිර්මාණය කිරීම තමයි අධ්‍යක්ෂවරයාගේ කාර්ය වන්නේ. ඒකට උපකාර වන්නේ තිරනාටකය. ඉතින් තිරනාටකය මේ අභියෝගය වෙනුවෙන් අවබෝධයෙන් ලියන්න ඕනෑ. ඉතින් මෙතැනදී තිබුණ අභියෝගය තමයි මගේම නවකතාවකින් මම තිර රචනයක් ලියනකොට හරිම ලෝභ කමක් දැනෙනවා. ඒක වෙන කෙනෙක් ලියනවා නම් ඒ ලෝභකම දැනෙන්නේ නැහැ. ඉතින් මගේ පොතකින් මම තිර රචනය ලියනකොට තමන්ගේ දරුවගෙන් කෑලි ගලවලා අයින් කරනවා වගේ දැනෙන්නේ. ඒ වුණාට ඒකට කරන්න දෙයක් නැහැ. අවබෝධයෙන් යුතුව හිතට අරගෙන, සිනමාපටයක් ගැන හිතලා ලියන්න ඕන. ඉතින් තිර රචනයක් ලියනකොට මට මෙතන තිබුණ එකම අභියෝගය ඒක තමයි.

නවකතාවේ නූපාගේ චරිතය සිනමාපටයට නැගෙද්දී ඇති වුණ වෙනස්කම් මොනවාද? “නූපාගේ” චරිතයට නිරෝෂා පෙරේරාව තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණාද?

“කන්දක් සේමා” නවකතාව කියවන කොට අපි මේ චිත්‍රපටයට අරගෙන තියෙන කෙනා නෙවෙයි වෙන්න ඇති තමන්ගේ හිතේ ඉන්නේ. පාඨකයා කැමැතිම රූපයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක නිසා මට සාපේක්ෂව නූපාගේ චරිතයට නිරෝෂාව තෝරා ගත්තේ මම. මම බලාපොරොත්තු වුණ දේවල් නූපා කියන චරිත ලක්ෂණ තුළ නිරෝෂා පෙන්නුවා. මම බලාපොරොත්තු වුණ හැඟීම් වෙනස් කරගැනීම්, එක මොහොතකින් තවත් හැඟීමකට යන එක වගේ ඒවා මීට ඉස්සෙල්ලා මම ලාංකීය නිළියකගෙන් දැක්කේ ස්වර්ණා මල්ලවාරච්චිගෙන් සහ මෑතකදී වසන්ති චතුරානිගෙන්. නිරෝෂා පෙරේරාගේත් ඒක නොඅඩුව තියෙනවා. එයා මේ විෂය ගැන හොඳ හැදෑරීමක් තියෙන නිළියක්. සිනමා නිර්මාණයක් කලාත්මකව ඉදිරිපත් කිරීමේ වගකීම හරියට කළොත් අර කියන තාක්ෂණික ප්‍රශ්න කෙතරම් තිබුණත් සිනමා නිර්මාණය සාර්ථකවෙලා පොතට වෙනම සාධාරණයක් ඉෂ්ට වෙනවා. මොකද පොතේ තියෙන දේම කියන්න ගියොත් ඒක ටෙලිනාට්‍යයක් වෙනවා. සිනමාව කියන්නේ, ඊට වඩා පුළුල් බැරෑරුම් වෙනස්ම දෙයක්.

“කන්දක් සේමා” සිනමාපටය තිරගත වෙන්න අවුරුදු නවයක් වගේ ලොකු කාලයක් ගත වෙනවා. මේ තරම් ප්‍රමාද වෙන්න බලපෑ හේතුව මොකක්ද?

මම තාමත් ඒ ප්‍රශ්නයට උත්තර හොයනවා. ඒ දේ තමයි වෙනස් වෙන්න ඕනෑ. වෙනස් වෙන්න තැන් ගොඩක් තියෙනවා. හැම තැනම වෙනස් වෙන්න නම් එක තැනකින් හරි වෙනස පටන් ගන්න ඕනෑ. මේ රටේ චාරයක් නෑ. කාටවත් ලැජ්ජ නෑ. මම අවුරුදු නමයක් මේ චිත්‍රපටය හදාගෙන බලාගෙන ඉන්නකොට, එහෙම බලාගෙන ඉන්න දීපු නිලධාරීන්ට කිසිම

ගාණක් නැහැ. එහෙම ඉන්දෙද්දිම වෙනත් චිත්‍රපටයක් තිරගත කරන්න ඉදිරිපත් වන සිනමාකරුවන්ටත් චාරයක් නෑ. ඉතින් මේක නවත්වන්න නම් හොඳ නියාමනයක් තියෙන්න ඕනෑ. අපට නැත්තෙ නියාමනය. අපි චිත්‍රපට හදන්නේ මනුෂ්‍යත්වය ගැන කියලා දෙන්න. ඉතින් කලාකාරයන්ට වෙනස් වෙන්න බැරි නම් අනිත් අයට වෙනස් වෙන්නත් අමාරුයි.

කන්දක් සේමා සිනමාවට

සිනමාපටය සාර්ථකව කරගන්නට ජපානයේ රූගත කිරීම් සිදු කිරීම කොතරම් දුරට බලපෑවද?

මේ කතාව ජපානය පසුබිම් කරගෙන නේ නිර්මාණය වෙන්නේ. ඉතිං එහෙම පසුබිම කරගත්තම ජපනයේම කරන්න ඕනෑ. මටත් ඕනෑ වුණේ ස්වභාවික විදියට ඒක කරන්න. චිත්‍රපටය නැරඹුවම රසිකයන්ටත් ඒක හරිම සුන්දර අත්දැකීමක් වෙයි.

චිත්‍රපටය සාර්ථක කරගන්න සහයෝගය දැක්වූ පිරිසත් මතක් කරමු ?

අශෝක අතාවුදහෙට්ටි සහ කාඕ හෂිමොටෝ සම අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. තිර පිටපත ලියන්නේ මම. එය ජපන් බසට පරිවර්තනය කළේ කනෝ මිත්සුරු. කැමරාකරණය රුවන් කොස්තා. සංස්කරණය කළේ අජිත් රාමනායක. නිරෝෂා පෙරේරා, සිරිල් වික්‍රමගේ, චාන්දනී සෙනෙවිරත්න, වීණා ජයකොඩි, ජුන් ඉතෝ වැනි ප්‍රවීණ සහ නවක රංගන ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වුණා. ඒ වගේම අමතක කරන්න බැරි කීපදෙනෙක් ඉන්නවා. ඒ මට නිෂ්පාදනයෙන් සහාය වූ සමන්මලී පද්මකුමාර, ආෂු මාරසිංහ, ජයන්ත හෙට්ටිආරච්චි මොවුන් හැමෝම එක වගේ ආදරෙන් මේ වැඩේ කළා. ඒ වගේම මෙහි අවසාන ගීතය අභිෂේකා විමලවීර, ගයත්‍රි කේමදාස තමයි සිදු කරන්නේ. සුනිල් ආරියරත්න මහත්මයාගේ ගී පදමාලාවකට සුරේෂ් මාලියද්ද ගේ සංගීතයෙන් සඳනි විජේතුංගත් ගායනා කරනවා. ඉතින් මේ සියලුදෙනාම “කන්දක් සේමා” සිනමාපටයේ කොටස්කරුවෝ. ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් මම ආරාධනා කරනවා “කන්දක් සේමා” බලන්න එන්න කියලා.

පාරමී කෞෂිකා

කන්දක් සේමා සිනමාවට
advertistmentadvertistment
advertistmentadvertistment