චීන අහසේ තරුෂී සඳ රනින් බැබළේ

453

විසි එක් වසරකට පසුව ආසියානු මලල ක්‍රීඩා රන් පදක්කමක් ශ්‍රී ලංකා මාතාවගේ ගෙලෙහි පැළඳවීමට මීටර් 800 ධාවන ශූරී තරුෂි කරුණාරත්න චීනයේ හංජෝ නුවරදී ඊයේ (04වැනිදා) සමත් වූවාය.

චීන අහසේ තරුෂී සඳ රනින් බැබළේ

විනාඩි 2.03.20 කින් මීටර් 800 ඉසව්ව අවසන් කරමින් තරූෂි එම දස්කම දැක්වූවාය. ශ්‍රී ලංකාව කාන්තා අංශයෙන් දිනාගත් පළමු මැදි දුර රන් පදක්කම ලෙස මෙම පදක්කම ඉතිහාසයට එක් වේ.

ශ්‍රී ලංකාව අවසන් වරට මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනා ගෙන තිබුණේ දමයන්ති දර්ශා 2002 වසරේ ඔක්තෝබර් 10 වැනිදාය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා රන් පදක්කමක් දිනාගත් සිව්වැනි කනිෂ්ඨ මලල ක්‍රීඩිකාව ලෙස ද තරූෂි ඉතිහාසයට එක්වන අතර ඇයට පෙර (නිර්මලා දිසානායක 1962, සුසන්තිකා ජයසිංහ 1994 සහ දමයන්ති දර්ශ 1994 වර්ෂවලදී රන් පදක්කම් දිනා ගෙන තිබුණි.

මේ අතර ඊයේ පැවැති මීටර් 400 සහාය දීවීමේ පිරිමි සහ කාන්තා තරගවලින් ද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් අදාළ ජයග්‍රහණය ලබා ගත් අතර එම තරගය සඳහා තරුෂි කරුණාරත්න, නදීෂා රාමනායක, ජයේශි උත්තරා සහ සයුරි මෙන්ඩිස් තරග වැදුණහ.

පිරිමි සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන්නේ අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ සහ රාජිත රාජකරුණා යන ක්‍රීඩකයෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment