සුඩානයේ ප්‍රකට කුලුනක් ගිනිගනී

599

එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් අප්‍රිකානු මහාද්වීපයේ විශාලතම රාජ්‍යය වන සුඩානයේ පිහිටි ප්‍රකට අහස උසට ඉදි වූ ගොඩනැගිල්ලක් වූ මහල් 18කින් යුත් ‘ග්‍රේටර් නයිල් පෙට්‍රෝලියම්’ තෙල් සමාගමේ ගොඩනැගිලි කුලුන ගිනිගෙන දැවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය විසින් ඊයේ (18දා) වාර්තා කර තිබිණි. සුඩානයේ පාලනය ගෙන යන හමුදා රජයට අයත් හමුදාවන් හා විරුද්ධවාදී කැරලි කණ්ඩායම් අතර පවතින ගැටුම් හේතුවෙන් ප්‍රකට නයිල් නදිය අසල පිහිටි අදාළ කුලුනට කිසියම් පාර්ශ්වයකින් ප්‍රහාරයක් එල්ලව ඇති බව වාර්තා වේ. ගිනිගෙන දැවෙමින් පවතින කුලුන සුඩානයේ අගනුවර වන කාර්ටුම් නගරයේ පිහිටි මීටර් 65 ක් පමණ (අඩි 215.6 ක් ) උසැති එරට අභිමානය පෙන්වන සංකේතයක් ලෙස නම් දරා තිබේ

මෙම ගොඩනැගිලි කුලුන ගිනිගෙන විනාශ වෙමින් පැවතියද ඉන් කිසිවෙකුට ජීවිත හානියක් හෝ තුවාලයක් සිදුවූ බවට වාර්තා වී නොමැත. ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණ ශිල්පියෙකු වන ටැග්රීඩ් ඈබ්ඩින් සමාජ මාධ්‍ය ජාලයක් වන ‘එක්ස්’ (කලින් ට්විටර්) හි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ කුලුන ගිනිගෙන දැවී යෑමේ දර්ශනය සත්‍ය වශයෙන්ම වේදනාකාරී දසුනක් බවත් කාර්ටුම් නගරයේ අහස උසට දිස්වූ මෙම කුලුනට පහර දීම මෝඩ ක්‍රියාවක් බවයි. ඉකුත් අප්‍රේල් 15 වැනිදා සිට සුඩානයේ රජයේ හමුදාවන් හා ‘රැපිඩ් සපෝට් ෆෝසස්’ (ආර් එස් එෆ් ) නමැති කැරලි කණ්ඩායම් අතර හටගෙන ඇති සටන් හේතුවෙන් රට දැඩි අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති අතර මිලියනයක පමණ ජනතාවක් රටින් පලා ගොස් ඇති බව වාර්තා වී තිබේ. ඉකුත් සිකුරාදා සිට මෙම සටන් දරුණු වී ඇති අතර කාර්ටුම් නගරයේ බලය අල්ලා ගැනීමට කැරලි කණ්ඩායම් උත්සාහ දැරීම නිසා එය වැළැක්වීමට රජයේ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත් දෙපාර්ශ්වයෙන්ම එල්ල වී ඇති ප්‍රහාරයන් හේතුවෙන් සුඩාන අගනුවර පිහිටි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඇතුළු වැදගත් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment