ජනාධ්පති රනිල්ගේ අලුත්ම තුරුම්පුව…

667

මේ රටේ දේශපාලන කරළිය මේ වන විට පුළුල් පරිවර්තනයකට ලක් වී ඇත. අද වන විට සමාජයේ ඇත්තේ අපි මීට සතියකට කලින් දුටු දේශපාලන කරළිය නම් නොවේ. ඊට බොහෝ වෙනස් ප්‍රස්තුත සහිත දේශපාලන කරළියකි. ඊට හේතු බොහෝය.

මීට සති දෙකකට පෙර, එනම් අයි එම් එෆ් අරමුදලින් ලංකාවට ණය මුදල් අනුමත වන්නට පෙර දේශපාලන කරළියේ ප්‍රධාන ප්‍රවාදය වූයේ පළාත් පාලන මැතිවරණයයි. ඇතැම් අය තර්ක කළේ ආණ්ඩුව මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණයක් නොපැවැත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදල අනුමත කිරීම පවා නොකරන බවට ය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක්වූ ණය මුදල අනුමත වීමත් සමඟම සියල්ල උඩුයටිකුරු වන්නට විය.

කලින් කතාව තිබුණේ මාර්තු 9 වැනිදා ඡන්දය නො පැවැත්වුවහොත් එය 25 වැනි දා පැවැත්වීමට රජය කටයුතු යෙදිය යුතු බවයි. එහෙත් ඒ වන විටත් රජයේ ඒ සඳහා කිසිදු සූදානමක් නොවීය. මූල්‍ය තත්ත්වය හා අවශ්‍ය විධිවිධාන ඒ සඳහා පෙර පැවැති තත්ත්වයම මිස බිඳුවකින් හෝ වෙනසක් නම් වූයේ නැත. ඒ අතරතුර අමාත්‍ය සිසිර ජයකොඩි වෙනත් අදහසක් ඉදිරිපත් කළේය. “පළාත් පාලන ඡන්දයකින් දැන් රටට වැඩක් නෑ. මේ වෙලාවේ මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න නම් ජනාධිපතිවරණයක් තියන්න ඕන” කුමන හෝ හේතුවක් නිසා ඔහු කී එම අදහසට සමාජයේ ලොකු වටිනාකමක් ලැබී තිබුණා අපට මතකය. කෙසේ වෙතත් අයි එම් එෆ් ණය මුදල අනුමත වී එහි පළමු වාරිකය ලංකාවට ලැබීමත් සමඟම එතෙක් ඡන්දයක්ම ඉල්ලා රට පුරා මහා ගෝරනාඩුවක් කළ දේශපාලන පක්ෂ ගණනාවක් සිය ඡන්ද සටන අතහැර වගේ වගක් නැතුව පැත්තකට වූහ.

● පුංචි ඡන්දයටත් බාලගිරි දෝෂය…

අද වෙන විට ජාතික ජන බලවේගයවත් සමගි ජන බලවේගයවත් හෙලිකොප්ටර් සන්ධානයවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් පළාත් පාලන ඡන්දයක් ගැන කතා කරන්නේ නැත. ඊට හේතු බොහෝය.

ඒවා ගැන කතා කරනවාට වඩා අද වන විට වැදගත් ව තිබෙන්නේ අයි එම් එෆ් ණය මුදලත් සමඟ කොන්දේසි ලෙස අපට ලැබුණු ප්‍රශ්න හා අභියෝග ගැන කතා කිරීමට ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හරහා අපට යෝජනා කරන නව ආර්ථික කොන්දේසි අතර ‘රජය වාණිජ ව්‍යාපාරවලින් ඉවත්වීම’ ප්‍රබල වැදගත් කොන්දේසියකි. රජය ඊට එකඟ වන්නේ නම් දැනට පාඩු ලබන රාජ්‍ය ආයතන මෙන්ම ලාභ ලබන රාජ්‍ය ආයතන ගණනාවක් ද පුද්ගලික අංශය වෙත විකුණා දැමිය යුතුය. එහෙත් රජය මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ ලාභ ලබන රාජ්‍ය ආයතන ශක්තිමත් කර රජයට තබා ගන්නා අතර පාඩු ලබන ආයතන පමණක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුද්ගලික අංශයට ලබා දීමය. එහෙත් මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි දැඩි කොන්දේසි මත එම සෙල්ලම තවදුරටත් කරගෙන යෑමට රජයට නොහැකි විය.

මේ සඳහා මොනතරම් විරෝධතා පැමිණියත් ජනාධිපතිවරයා අද සිටියේ මේ සම්බන්ධයෙන් දැඩි මතවාදයකය. මේ සම්බන්ධයෙන් එක්තරා අවස්ථාවක දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ජනාධිපතිවරයා කෙළින්ම තම අදහස කීවේය.

“ආණ්ඩුව ඇයි බිස්නස් කරන්නේ. ආණ්ඩුවට කරන්න වෙන වැඩ තියෙනවා. පාඩු ලැබුවත් ලාභ ලැබුවත් ආණ්ඩුව බිස්නස්වලින් අයින් විය යුතුයි. ඒවා පුද්ගලික අංශයට දිය යුතුයි. ලෝකෙ කොහෙත් එහෙමයි. ඇමරිකාවේත් එහෙමයි, එංගලන්තයේත් එහෙමයි ඉන්දියාවෙත් එහෙමයි. ආණ්ඩුව බිස්නස් කර කර අනවශ්‍ය බරක් දරන්න ඕනේ නෑ…” ජනාධිපති රනිල් ඉතා දැඩිව සහ පැහැදිලිව ඒ බැව් කීවේ තවත් කිසිවකුටත් ඒ ගැන ප්‍රශ්න කරන්නටවත් ඉඩක් නොතබා ය.

කෙසේ වෙතත් ටෙලිකොම්, පෙට්‍රෝලියම්, රක්ෂණ, විදුලිබල ඇතුළු අනිකුත් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම නම් ව්‍යාපෘතියක් යටතේ පුද්ගලික අංශයට පවරා දීම සම්බන්ධයෙන් පසුගිය සතිය වන විට ලොකු ප්‍රශ්න ඇතිවිය. විශේෂයෙන්ම ඛනිජ තෙල් බෙදාහැරීම තවදුරටත් තරගකාරීව ඉන්දියානු සමාගම් කීපයකට පවරා දෙන්නට රජය ගෙන ඇති තීන්දුව ඒවායේ බලවත් වෘත්තීය සමිතිවල හිත සුව පිණිස නොවීය. පසුගිය සතියේ ඔවුන් දැවැන්ත වැඩ වර්ජනයක නිරත වෙමින් රජයට හා රජයේ තීන්දුවට විරෝධය පාන්නට පටන් ගත්හ.

ඒත් පසුගිය සතිය වන විට ලංකාවේ සමාජ දේශපාලන කරළිය කොතෙක් පරිවර්තනයකට ලක්ව තිබුණේද යත් එම වැඩ වර්ජන සමාජගත වෙනවාට පොදු ජනතාවගේ එකඟතාවක් නොවීය.

ඒ වන විට රටේ පොදු ජනතාව සිටියේ වෙනම තැනක ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගෙන ජාත්‍යන්තර උපදෙස් ගෙන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩගන්නට අපමණ වෙහෙස දරද්දී ඔහුගේ කකුල්වලින් නොඇද ඔහුටත් යම්කිසි අවකාශයක්, කාලයක් ලබාදී බැලිය යුතු යැයි කියන තැනට රටේ ජනතාව පැමිණ සිටියහ.

කෙසේ වෙතත් මෙහිදී වෘත්තීය සමිති අසාර්ථක විය. අත්‍යවශ්‍ය සේවාවන් ඉටු නොකරන වෘත්තීය සමිතිවලට එරෙහිව රජයේ දැඩි පියවර ගන්නට ක්‍රියා කළේය. වෘත්තීය සමිති නායකයින් සතර දෙනකු ඇතුළු ක්‍රියාකාරීන් විසි දෙනකු ඇමැති නියමයෙන් අනිවාර්ය නිවාඩු යැවිණි. ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කෙරිණි. එපමණක්ද නොව, වෘත්තීය සමිතිවලට මුවා වී මෙම වෘත්තිය සමිති නායකයෝ රජයෙන් ලබා ගන්නා වරප්‍රසාද හා දීමනා පිළිබඳ රටට හෙළිදරව් කිරීමක් කරන්නට ද රජයේ උපක්‍රමිකව කටයුතු කළේය.

මේ සියල්ල අතරතුර ජනතාවට දැනෙන මුදලකින් ඉන්ධන ගාස්තු අඩු කිරීමට ද රජය පියවර ගත්තේය. ඒ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ වෙනදා අති සාර්ථකව දීප ව්‍යාප්තව දේශපාලන පක්ෂවල ද අනුග්‍රහය ඇතිව දියත් කෙරෙන වැඩ වර්ජන ව්‍යාපෘතිය බලා සිටියදී අසාර්ථක වී දියවී යෑමයි. වැඩ කරන ජනතාවගේ පැත්තෙන් ගත් විට එය කනගාටුදායක ඉරණමක් වුවද සෑම සියලු දේටම වැඩ වර්ජන ඉදිරියට දමමින් ක්‍රියා කරන සමාජයක කාට කාටත් මෙය හොඳ පාඩමක් ලෙස සිතන බහුතරයක් ද සිටියහ.

● මත්ද්‍රව්‍ය මාෆියාවේ නොදැක්ක පැත්ත…

පසුගිය සඳුදා පැවැති මේ සතියේ ඇමැති මණ්ඩල රැස්වීම ඉතා වැදගත් තීන්දු තීරණ ගණනාවක්ම සාකච්ඡාවට ලක් වූ තැනක් විය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල්වලින් කොටසක් විදේශ සමාගම් තුනකට පැවරීමේ යෝජනාව ඇමැති මණ්ඩලයේදී සම්මත විය.

ඉන් පසුව පැමිණියේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත තවත් මාස තුනක සේවා දිගුවක් පිරිනැමීම සඳහා යෝජනාවයි.

“අපි නම් අපේ යෝජනාව කලින් කිව්වා. ඔබතුමානෙ මෙයාට මාස තුනක් දෙන්න එකඟ වෙලා තියෙන්නේ…” පොහොට්ටුවේ ඇමැතිවරු කිහිප දෙනෙක් කීහ. නමුත් ඊට ද අනුමැතිය ලැබිණි. පොලිස් ඇමැති ටිරාන් අලස් ද මෙහි සිටි බැවින් ඊළඟට සියල්ලෝම කතාබහ කරන්නට වූයේ හරක් කටාගේ සිද්ධිය ගැනයි. ලංකාවේ නීතිඥ සංගමයේ සභාපතිවරයා හරක් කටා වෙනුවෙන් නඩුවලට පෙනී සිටීම සමහර ඇමැතිවරුන්ට ඇදහිය නොහැකි කාරණාවක් විය.

“ලංකාවට අවුරුද්දකට ගේන කුඩුවලින් 50% කට වඩා එන්නෙ හරක් කටාගෙ ලින්ක් එක හරහා බව පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. එහෙම කෙනෙක් වෙනුවෙන් තමයි මේ කියන නීතිඥයා පෙනී ඉන්නේ…” පරීක්ෂණ ගැන දන්නා ඇමැතිවරයෙක් එසේ කියද්දී බන්දුල මෙසේ කීවේය.

“අයිතිය තියෙනවා ඕනෑම නීතිඥයකුට හරක් කටා නෙවෙයි, ඊට වඩා ලොකු කටෙක් වෙනුවෙන් වුණත් නඩුවලට පෙනී ඉන්න. හැබැයි ජනතාවගේ පොදු මානව අයිතිවාසිකම්, මානව හිමිකම්, යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් මේ තරම් කතා කරන අපේ රටේ පිළිගත් නීතිඥ සංගමයේ සභාපති හැටියට ඔහු මෙයට පෙනී සිටිනවා කියන්නේ ලෝකයට ම වැරදි චිත්‍රයක් ලබා දෙන එක…”

“මට නම් ප්‍රශ්නයක් නෑ… මං ඔය මිනිස්සු ගැන ඉස්සර ඉඳලම දන්නවනේ…” ප්‍රසන්න කීවේය. ඒ ගැන හුඟ දෙනෙකුට පැහැදිලි වීමක් නොවීය.

“නෑ මං කියන්නේ මං ඔය සභාපති කවුද කියලා අපි දන්නවා ඉස්සර ඉඳලා.”

“අනිත් එක ඔයගොල්ලන්ට මතකද දන්නෑ… අරගලය වෙලාවෙදි කට්ටිය කිව්වා නීතිඥ සංගමයේ සභාපතිවරයාව වැඩබලන ජනාධිපති විදිහට මේ රටේ පත් කරන්න කියලා. ඒ ඉල්ලුවේ අරගලකාරයෝ හා ඒගොල්ලො පිටිපස්සෙ හිටපු දේශපාලන පක්ෂ. මට නම් එදා ඉඳලම සැකයක් තිබුණ ඔය අරගල කරපු කොල්ලො කෙල්ලො ඔක්කොම මත්ද්‍රව්‍ය අරන් හිටියේ. දැන් ඒ බව ඔප්පු වෙලා ඉවරයි නේ…

“හරක් කටාගේ මත්ද්‍රව්‍ය අරගලයට ආවා කියලද කියන්නේ…”

“ලංකාවට මත්ද්‍රව්‍ය එන ඒවයින් සීයට පනහකට වඩා හරක් කටාගෙ ලින්ක් එකෙන් එනවනං ඉතින් තව මොනවද”

“දැන් ලතින් ඇමෙරිකානු රටවල් බොහොමයක් පාලනය කරන්නේ මත්ද්‍රව්‍ය මාෆියාව විසින් පත් කරගත්තු ජනාධිපතිවරු හා අගමැතිවරු… ලංකාවත් ඒ තත්ත්වයට පත් කරන්න සැලැස්මක් තියෙන්න ඇති…” කංචන තමන් කියවූ විදේශ ජර්නල් එකක් ඇසුරින් කරුණු පැහැදිලි කළේය.

“ඔය හරක් කටා කියන්නෙත් මැඩගස්කරය, අප්‍රිකාවේ සමහර රටවල් එක්ක ඉහළ ගනුදෙනු තියෙන කෙනෙක්. මැඩගස්කරයට ගිහින් තිබුණෙ ප්‍රයිවට් ජෙට් එකක. එහිදී තවත් පාස්පෝට් දෙකක් හදන්න සූදානම් වෙලා. එරට පොලිසියෙන් මෙයාලව අල්ලපු වෙලාවේ මේගොල්ලෝ මෙයාලැයි බලය පෙන්වලා සද්දයක් දාලා තියනවා. අන්තිමේ බැරිම තැන කියලා තියෙනවා ඩොලර් මිලියන පන්සීයක් දෙන්නම් අත්අරින්න කියලා. හොඳ වෙලාවට ඒ රටේ පොලිස් ඇමැති කෙළින් මනුස්සයෙක්…” සිද්ධිය ගැන අගමුල දත් ඇමැතිවරයෙක් පැහැදිලි කළේය.

එම සාකච්ඡාව තරමක් දුර දිග ගියේය. ඒ අතරේ මේ සතියේ පැවැත්වීමට නියමිත ඛනිජ තෙල් සංස්ථා වර්ජන රැල්ල ගැන ද කථාවක් ඇති විය. අසාධාරණ ලෙස ජනතාව පෙනීමට වර්ජනය කරන්නේ නම් වර්ජකයන් වෙනුවෙන් ද රජය නිසි පියවර අනුගමනය කළ යුතු බව සාකච්ඡාවට ලක්විය.

● ජනපති රනිල් ගැන ප්‍රසන්නගේ තක්සේරුව

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය 25 වැනිදා සවස් වරුව ගත කළේ වෝටර්ස් එජ් හෝටලයේය. ඊට නිමිත්ත වී තිබුණේ ප්‍රසන්නගේ අමාත්‍යාංශයෙන් සංවිධාන කර තිබූ සුහද හමුවකි. රටේ නම් දැරූ මාධ්‍යවේදීන් පිරිසක් මේ සුහද හමුවට ආරාධනා ලැබ සිටියහ.

පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු තිහක පමණ පිරිසක් ඊට එක්ව සිටි අතර විශේෂත්වය වූයේ ඔවුන් සියලුදෙනා ම පාහේ ප්‍රසන්නගේ ළඟම හිතවතුන් වීමය. සවස හය වන විට සුහද හමුව ආරම්භ වන බව දැනුම් දී තිබූ නිසා බොහෝ මාධ්‍යවේදීන් වේලාපහම හෝටලය වෙත පැමිණ සිටියද අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කිහිපයක් හේතුවෙන් ප්‍රසන්න එහි එන විට මදක් ප්‍රමාද වී තිබුණි. ඒ වන විටත් මාධ්‍යවේදීන් හට සංග්‍රහ කටයුතු ආරම්භ කොට තිබූ නිසා ප්‍රසන්න එන විට එය ප්‍රසන්න නොමැති ප්‍රසන්නගේ සුහද හමුවක් බවට පත් වෙමින් තිබුණේය.

පමාව ගැන සමාව අයදිමින් ආ ප්‍රසන්න මුලින්ම හිඳ ගත්තේ රාජ්‍ය සහ පෞද්ගලික පුවත්පත් ප්‍රධානීන් සිටි මේසයකය.

“ඇමැතිතුමා මොකෝ ප්‍රමාද? අයකු ඇසුවේය.

“දන්නැද්ද අපිට මේ දවස්වල වැඩ වැඩිනෙ” ප්‍රසන්න සිනාසෙමින් කීවේය.

“ආරංචියි අපිට ජනාධිපතිතුමාට ඔබතුමා නැතිවම බැරි බව” තවත් අයකු පැවසීය.

“අපි ඉතින් හිට ගන්න පැත්තේ කෙලින් හිට

ගන්නවනෙ” ප්‍රසන්න ඇඟට පතට නොදැනී කීවේය.

“කලින් නම් ඔය පැත්ත වහකදුරු වෙලා නේද ඇමැතිතුමා තිබුණේ? තවත් පැනයකි.

“ඔව් මට තරම් වෙන කාටවත් රනිල්, මෛත්‍රී එක්ක ඇරියස් තිබුණේ නැහැ. ඒ කාලෙ මතකනෙ මල්ලි? ප්‍රසන්න ඇසුවේ සිය ගම් පළාතේ මාධ්‍යවේදියකු දෙස බලමිනි.

“ඔව් ඒ කාලෙ කට ඇරියොත් බණින එකමනෙ වැඩේ” මාධ්‍යවේදියා කීවේය.

“බනින්න ගියාම වගෙම තමයි රකින්න ගියාමත් එහෙමද ඇමැතිතුමා? එල්ල වූයේ බවුන්සරයකි.

“වැඩේ මේකනෙ” ප්‍රසන්න අසුනේ හරිබරි ගැසුණේ දිගු කතාවකට මුල පුරමිනි.

“ගෝඨාභය මහත්තයාගෙ ආණ්ඩුව හදන්න මූලික වුණේ අපි. හැබැයි වැඩි කලක් යන්න ඉස්සර ආණ්ඩුවට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වුණා. සමහර ඒවා අපට පාලනය කර ගන්න බැරි ඒවා. හැබැයි සමහර ප්‍රශ්න ආණ්ඩුවේ අයම දාගත්තුවා. ඒ නිසා රටේම ලොකු විරෝධයක් ආවා. අන්තිමේදී අපිට සිද්ධවුණා තීන්දුවක් ගන්න. පක්ෂයේ බහුතර තීන්දුව වුණේ ඒ වෙනකොට අගමැති වෙලා හිටපු රනිල්ට සහය දෙන්න ඕනෙ කියන එක. අපි ඒ බහුතර මතය පිළිගත්තා. පිළිගත්තා වගෙම දැන් ඒක ක්‍රියාත්මක කරනවා. අපේ නෑ නෙ පුරුද්දක් මැදදි මාරු වෙලා යන” ප්‍රසන්න පැහැදිලි කළේය.

● අරගලය කාලේ යටගිය රහස්…

“මොකද හිතන්නෙ අරගලය ගැන? තවත් පැනයකි.

“අරගලය ආවෙ කොහොමද, පිටිපස්සෙ හිටියෙ කවුද කියන එක දැන් අපි කාටත් රහසක් නෙමේ නෙ. හැමෝම දන්නවා කොල්ලො කෙල්ලො අවුස්සලා බොරදියේ මාළු බාන්න ගියෙ කවුද කියලා, හැබැයි දැන් බොර දිය පැහැදිලි වෙනකොට ඒ අය සිල් ගත්තු කොක්කු වගේ” ප්‍රසන්න ව්‍යංගයෙන් කීවේ කවුරු ගැනදැයි කාටත් රහසක් නොවීය.

“ඔබතුමාගෙ ගේත් ගිනි තිබ්බනෙ? මාධ්‍යවේදියකු ඇසුවේය. මෙතෙක් වේලා සැහැල්ලුවෙන් සිටි ප්‍රසන්න හැඟුම්බර වූයේ එවිටය.

“මගේ ගේ මුලින්ම ගිනි තිබ්බෙ 77දී. ඒක මගෙ මහ ගෙදර. පස්සෙ මෑතකදි තමයි මම ඔය ගිනි තිබ්බ ගෙදර හැදුවෙ. මේ සමහරු දන්නවා ඕක හදපු හැටි. මහ ගේ කඩලා මාව ඔය ගේ තිබ්බ පොඩි ඉඩම් කෑල්ලට එන්න ගේට්ටුවක්වත් නැතිව අසරණ වෙලා හිටපු විදියත් මේ අය දන්නවා. මට දුක ගේ පුච්චපු එකට නෙමේ. ගේ ඇතුළෙ තිබ්බ මගෙ තාත්තගෙ, මගෙ දේශපාලන ඉතිහාසය ගිනි තිබ්බ එක” ප්‍රසන්න කීවේය.

“අපරාදෙ කරපු අය ඇල්ලුවෙ නැද්ද ඇමැතිතුමා? තවත් අයකු ඇසුවේය.

“මොකද නැත්තෙ. ඔය අහුවෙලා ඉන්නෙ. ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ගෙවල් ගාණක් ගිනි තිබ්බෙ. ඒවා ඔක්කොම කලින් ප්ලෑන් කරලා කරපුවා. දවස් ගාණකට ඉස්සර තමයි තීරණය කරලා තිබ්බෙ මෙන්න මේ මේ ගෙවල් ගිනි තියනවා කියලා. මේ අය ගේ විනාස කරද්දි එතන බලන් හිටපු අය වෙච්ච දේ සම්පූර්ණයෙන් මට කිව්වා” ප්‍රසන්න කීවේය.

කතාබහ අතරේ ප්‍රසන්න අරගල කාලයේ සිදුවූ අපූරු සිදුවීම් රැසක්ද හෙළි කළේය. පාර්ලිමේන්තුව වටලන්න අරගලකරුවන් එන අතරේ පක්ෂ නායක රැස්වීම් පැවැති අයුරු, පළමු දෙවැනි ආරක්ෂක වළලු බිඳ වැටෙන විට ඇතැම් පක්ෂ නායකයන් පැන දිව් සැටි, අරගලයේ මුවාවෙන් බලය ඩැහැගැනීමට සූදානම් වූ ඇතැමුන් පාර්ලිමේන්තු වට රවුම අසලට ආ සැටිත් පාර්ලිමේන්තු වැටලීම අසාර්ථක වනවිට ඔවුන් හීන් සීරුවේ මාරු වූ සැටිද ඒ කතා ගොන්න අතරේ විය.

මෙසේ කතා බහ දිගින් දිගට ඇදී ගියේ වේලාව ගැන ද කාටත් සිහියක් නොවන අයුරිනි. ඒ වන විට පැය දෙක තුනකට අධික කාලයක් සුහද හමුවේ ගත කර තිබුණත් ප්‍රසන්න සිටියේ මුලින් හිඳගත් මේසයේමය. අනෙක් මේසවල සිටි මාධ්‍යවේදීන් කලබල වී තිබුණේ ප්‍රසන්න එළිවන තුරු එතැනින් නොනැගිටීවි යන බයටය. අවසානයේදී ප්‍රසන්නගේ මාධ්‍ය ලේකම්වරයා මැදිහත් වී ප්‍රසන්න එතැනින් එහා මේස වෙත කැඳවාගෙන ගියේ කාගේත් සිත් නොරිදෙන පරිද්දෙනි.

ජනපති රනිල් ඉකුත් ඉරිදා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වෙත ගියේය. 2016 දී එම ස්ථානයේ ඉදි කරන සංවර්ධන කටයුත්තක් ගැන සැලැස්මක් ඔවුන්ගේ යටි සිතේ තිබුණි. එම ස්ථානයට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ඇමැති බන්දුල ගුණවර්ධන, ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සේම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හා ක්‍රීඩා ඇමැති උපදේශක සුදත් චන්ද්‍රසේකර ද පැමිණ සිටියහ. අර්ජුන හා සුදත් චන්ද්‍රසේකර අතර පසුගිය සතියේ යම් මත ගැටුමක් සිදු වූවා යැයි කියා ප්‍රවෘත්තියක් පළ විය. එම මත ගැටුම් සිදු වූයේ මෙම සිද්ධියට පෙරදැයි පසුදැයි කියා සඳහනක් නොවීය. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ද සිදු වූයේ එතරම් සතුටුදායක සිද්ධියක් නම් නොවේ.

ක්‍රීඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමට යෑමට පෙර ජනපති නිලධාරීන් හා සාකච්ඡාවක් වෙනුවෙන් අසුන් ගත්තේ ක්‍රීඩා සංකීර්ණ සාකච්ඡා ශාලාවේය. එහිදී ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිලධාරියකු කරුණු දක්වන්නට විය. ඔහු ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබීය.

ඔහු කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ජනපතිට වැටහී ගියේ එය ක්ෂණිකව සකස් කළ වාර්තාවක් බවටය. තමන් ඉදිරියේ බොරු රඟපෑමක් ඔහු කරන බව දැනගත් ජනපති ඔහුගේ කතාව නවතන ලෙස ඉල්ලා සිටියත් දිගින් දිගටම ඔහු අදහස් දැක්වීම නිසා ජනපතිට කතාව නවතන ලෙස උස්හඬින් කීමට සිදුවිය.

“2016 න් පස්සේ මම ඉදිරිපත් කළ මේ ක්‍රීඩා විශ්වවිද්‍යාල යෝජනාව ගැන හැරිලවත් බලලා නෑ. දැන් ඒක ගැන බොරු කතා කරන්න එපා. අපි වියදම් කරන හැම ශතයකටම අපි වගකියන්න ඕනේ.” ජනපති කීවේ උස් හඬිනි. පසුගිය කාලයේ මුහුණ පුරා රැවුල වවාගෙන හිටි අර්ජුන රණතුංග මේ දිනවල සිටින්නේ සම්පූර්ණයෙන් රැවුල කපා ය. එබැවින් ජනාධිපතිට මේ ඉන්නේ අර්ජුන බව හඳුනාගත නොහැකි විය. මේ ඉන්නේ අර්ජුන බව එතන සිටි බොහෝ දෙනෙකුට වටහා ගත නොහැකි විය. ඇත්ත වශයෙන්ම ඔහු බව බොහෝ දෙනා හඳුනා ගත්තේ ඔහු කතා කරන විට ය අර්ජුන රණතුංග ද ක්‍රිකට් ක්‍රීඩාව ගැන අදහස් දැක්වූයේය. පසුව ජනපති ඔහුට කීවේ තමන්ට ඔහුව හඳුනා ගැනීමට නොහැකි වූ බවය.

“සර්ට විතරක් නෙවෙයි මගේ කොච්චර කලක ඉඳලා මෙයා යාළුවෙක් ද… මට දැන් අඳුර ගන්න බැරි උනා නේ…” එහි සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද කීවේ තමන්ට ද එකවර ඔහු හඳුනා ගැනීමට නොහැකි වූ බවය.

● තරුණකමේ රහස ජෝන් කියාදෙයි…

සාමාන්‍යයෙන් අවමංගල උත්සවවලට සහභාගී වීම රාජ්‍ය නායකයන්ට ඒ තරම් විශේෂ වන්නේ නැත. එහෙත් මේ සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුවිශේෂී අවමංගල උත්සව දෙකකට සහභාගී වන්නට සිදුවිය. එක්කෙනෙක් දසක ගණනාවක් තිස්සේ තමන් සමඟ එකටම දේශපාලනය කළ සහෝදර දේශපාලනඥයෙකු වූ ජෝෂප් මයිකල් පෙරේරාගේ ය. අනිත් අවමංගල්‍යය වසර දසක හයක් තිස්සේ මේ රටේ සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් ඉටු කළ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගේය. මේ අවමංගල්‍යය උත්සවය දෙක සඳහාම සහභාගී වන්නට තමන්ට අවශ්‍ය බව ආරක්ෂක අංශවලට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා සුදුසු වේලාවක් ලැබෙන තුරු බලා සිටියේය.

ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසන් ගෞරවය සඳහා බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවට ගෙන ආවේ ය. මේ නිසා ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන්ට මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියා, මේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා, මේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා වෙනුවෙන් තමන්ගේ අවසන් ගෞරවය පුද කරන්නට හැකි විය.

ජෝශප් මයිකල්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ජනාධිපති රනිල්, අගමැති දිනේෂ්, හිටපු ජනපති මහින්ද, චමල් රාජපක්ෂ, කථානායක මහින්ද යාපා, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයෝ සියලුම දෙනා පාහේ සහභාගි වී සිටියහ.

මේ අතර තවත් එක් විශේෂ පුද්ගලයෙක් එතනට පැමිණියේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් ජෝන් අමරතුංගය. ජෝශප් මයිකල් පෙරේරාත් තරමටම වියපත් වුවත් හේ තරුණයකු මෙන් සවි සම්පන්න වීම ගැන කවුරුත් ප්‍රශ්න කරන්නට වූහ…

“මොකක්ද මේ තරුණකමේ රහස…” අජිත් රාජපක්ෂ විමසා සිටියේය…

“අරව තමයි රහස…. අරවා… ” උත්තර දුන්නේ මහින්ද රාජපක්ෂ විය යුතුය… උත්තරයට එතන සිටි කවුරුත් අතින් කට වහගෙන හිනාවෙන්නට වූහ…

“හිනා වෙන්න එපා ඕයි… මේ මරණේ ඉස්සරහ… කියමින් ජෝන් එතැන සිටිය පසුපෙළ මන්ත්‍රීවරුන්ට තරවටු කළේය. ඒත් හිකි හිකිය නතර වූයේ නැත.

“තරුණකම හොඳට තියාගන්න මම හිත හොඳින් ඉන්න ඕන…” ජෝන් එසේ කියද්දී තවත් අයෙක් කීවේ…

“හිත හොඳින් තියාගන්න නම් අරවා තමයි බෙහෙත” කියාය.

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ හා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ වධය ඉවසන්නට බැරි තැන ජෝන් එතනින් මදක් ඈත්ව පසුපසට ගොස් මන්ත්‍රීවරු හා කතාබහ කරන්නට වූහ…

“හා දැන් තමුසෙල ඕන කුණුහබ්බයක් කියනවා…”

“පිස්සුද සර්… සර් රත්තරන් අපිට පුළුවන්ද ඕවා…

“ඔබතුමා ආයෙත් දේශපාලනයට එන්න ලෑස්තියි ද…?”

“එන්න දෙයක් නෑ… මම දේශපාලනයෙන් සමුගෙන නෑනේ…”

“අපිට ආරංචියි දැන් හෙට අනිද්දා බස්නාහිර පළාතට සම්බන්ධ ලොකු තනතුරක් දරන්න යනවා කියලා…”

ඔව් ඉතින්… එහෙමත් තියෙන්න එපාය… කියමින් ඔහු හිතවතුන් හා තවත් බොහෝ වේලා කතා බහ කරමින් සිටියේය…

මේ අතර අර්ජුන රණතුංග පැත්තකට වී නාමල් රාජපක්ෂ සමඟ කුමක්දෝ කතාබහ කරමින් සිටිනු බොහෝදෙනකුගේ නිරීක්ෂණයට ලක් විය.

“මං හිතන්නේ අර ප්‍රශ්නය ගැන. ඉස්සර රනිල් මහත්තයා ළඟ හිටපු සුදත් චන්ද්‍රසේකර දැන් ඉන්නේ රොෂාන් රණසිංහගේ උපදේශකයෙක් වෙලා. එයා කියලලු අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිකමෙන් ඉවත් වෙන්න කියලා. අර්ජුන අයියා බැහැ කියලා තියෙනවා. හරි නම් ඒක කියන්න ඕන ඇමැතිනේ. එහෙම නැත්තං ජනාධිපති. අර්ජුන අයියා කිව්වලු ඒ තැන් දෙකෙන් දැනුම්දීමක් ආවොත් මිස තමන් ඉවත් වෙන්නේ නැහැ කියලා. ඕක තමයි ගැටුම.” එතන සිටි පසුපෙළ මන්ත්‍රීවරයෙක් සිද්ධිය අනිත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට පැහැදිලි කළේ ඒ වන විට ඒ ගැන බොහෝ දෙනෙක් දැන නොසිටි නිසා ය.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ අර්ජුනගේ පිටට තට්ටු කරමින් යම් කාරණාවක් පිළිබඳ අස්වසන අයුරු පමණක් පිටතට නිරීක්ෂණය විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment