ලූනා-25 කඩා වැටෙද්දී චන්ද්‍රයාන් – 3 සඳ මතට ?

1011

1957 දී ස්පුට්නික් නම්වූ චන්ද්‍රිකාව දියත් කරමින් ඇරඹූ අභ්‍යවකාශ තරගය තුළ සෝවියට් දේශය සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කළේ පළමුව සඳට ළඟා වීමෙනි. ඉන් වසර හතරකට පසු 1961 අප්‍රේල් 12 අභ්‍යවකාශයට ගිය මුල්ම මිනිසා බවට යූරි ගගාරින් පත්වූයේ ඔහු වොස්ටොක් 1 යානයේ නැගී මහපොළොව වටා යෑමත් සමඟිනි. අමෙරිකාව මේ ජයග්‍රහණය දුටුවේ තමන් දෙවැනි වීමක් හැටියටය. 1966 දී සෝවියට් ලූනා 9 යානයෙන් මුල්වරට ලබාගත් සඳේ ඡායාරූප පෘථිවියට එවිණි. 1965 වසරේදී සෝවියට් අජටාකාශගාමී අලෙක්සෙයි ලියොනොෆ් අභ්‍යවකාශයේ අවිදගිය පළමු මිනිසා ලෙස ඉතිහාසයට එක්විය. “මෙය මිනිසකුට කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට යෝධ පිම්මක්.” පළමු වරට සඳ මත පා තැබීම අතරතුර නීල් ආම්ස්ට්‍රෝන්ගේ මුවින් පිටවූ එම වචන 1969 වසරේ ජුලි 20 වෙනි දින, එනම් මීට වසර 54කට පෙර විද්‍යාව සහ තාක්ෂණය ලබා ගත් විජයග්‍රහණයක් පිළිබඳ සඳහනකි.

2019 ජුලි 20 වැනි සෙනසුරාදා අමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් අපූරු එළිදරව්වක් සිදු කළේය. එනම් 2024දී අමෙරිකාව මුල්වරට කාන්තාවක් සඳ මතට යවන බවට වූ සුබ ආරංචියයි. හිටපු උප ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කළේ 1969 සඳ මත මුල්වරට පා තබන්නට සඳගාමීන් රැගෙන ඇපලෝ 11 පිටත් වූ ෆ්ලෝරීඩාවේ අභ්‍යවකාශ තොටුපළේදීය. වසර 2024දී කාන්තාවක් රැගෙන සඳ බලා යන්නට නියමිත යානය “ඔරියන් කැප්සූලය” ඔහු අසලම විය. වසර 50කට පෙර ලෝක අභ්‍යවකාශ තරගයේ අංක 01 වන්නට අමෙරිකානුවන් තුළ එදා තිබූ කැකෑරෙන ආශාව තවමත් සංසිඳී නැති බවට මේ හොඳම නිදසුනය. මීට දශක පහකට පෙර සඳට ගිය මුල් ගමනේදී ද අමෙරිකාවට ඒ සඳහා තිබුණේ දැඩි කඩිමුඩියකි. එකල ලෝකයේ ලොක්කා වන්නට අමෙරිකාව සහ රුසියාව අතර වූයේ සීතල යුද්ධයකි. යූරි ගගාරින් අභ්‍යවකාශ තරණය කළ විට අමෙරිකාව මේ ජයග්‍රහණය දුටුවේ තමන් දෙවැනි වීමක් හැටියටය. මේ නිසාම අභ්‍යකාශ කටයුතු සඳහා වෙන්වූ ලොව විශාලම ආයතනය ඔවුන් බිහි කළේය. එය අප දන්නා නාසා ආයතනයයි. එහි මුල් සේවක පිරිස පමණක් 34000ක් විය.

මීට වසර 54 කට පෙර සිදුවූ සඳ මෙහෙයුමේ සම්පූර්ණ කාලය දින අටකුත් පැය තුනක්, විනාඩි දහ අටක් සහ තත්ත්පර තිස් පහක් ලෙස ගණනය කර තිබිණි. 1969 ජූලි මස 16 වැනිදා අමෙරිකානු වේලාවෙන් දහවල් එකයි තිස් දෙකට යානය චන්ද්‍රයා කරා පියැසැරිය ඇරඹීය. ඒ යානය තුළ නීල් ආම්ස්ට්‍රොන්ග්, මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඔල්ඩි්‍රන් සිටියදීය. මේ වීරයන් තිදෙනා පෘථිවියෙන් බැහැරට යමින් සිටියේ මිනිස් වර්ගයාගේ තානාපතිවරුන් වශයෙනි. ජූලි 16 වැනි දින ගමන ඇරඹුවද සඳේ කක්ෂය කරා ගමන් කිරීමට අභ්‍යවකාශ යානයට දින තුනක් ගත විය. සඳේ කක්ෂයට ළඟා වූ පසු යානයේ අදාළ කොටස වෙන්ව ගොස් සඳ මතුපිට දක්වා ගමන් කිරීමට නියමිත කොටස ක්‍රමයෙන් සඳ මතුපිටට පැමිණීමට නියමිතව තිබිණි. මේ දක්වා සියල්ල පෘථිවියේදී සැලසුම් කළ පරිද්දෙන්ම සිදුවෙමින් පැවති අතර යානය පහත් වීමට නියමිතව තිබුණේ ‘නිසල මුහුද’ ලෙස ඔවුන් පෙර නම් කරන ලද ප්‍රදේශය වෙතය. මයිකල් කොලින්ස් යානයේ නියමු මැදිරියේ රැඳී සිටි අතර සඳ ආසන්නයටම පැමිණියද සඳ මතුපිට පය තැබීමේ වාසනාව ඔහුට හිමි වූයේ නැත. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඔල්ඩි්‍රන් රැගත් යානය සඳ කරා ගමන් කිරීම අරඹන විට පෘථිවිය මත හරියටම ජූලි 20 වැනිදාව උදාවෙමින් පැවතිණි. ප්‍රධාන යානයෙන් සඳ වෙත යෑමට නියමිත වූ කුඩා යානය නම් කර තිබුණේ ඊගල් යනුවෙනි. ඊගල් සඳ වෙත පදවාගෙන යෑමේ ප්‍රධාන වගකීම පැවරී තිබුණේ යානයේ ප්‍රධාන නියමු නීල් ආම්ස්ට්‍රෝන්ටය. ඔහු සහ ඔල්ඩි්‍රන් එකතුව ඊගල් සඳ මතුපිටට ගෙන එන විට පෘථිවියේ වේලාවෙන් රාත්‍රී 8ට ආසන්න විය. හරියටම රාත්‍රී 8.17 ඊගල් යානය සඳ මත ආරක්ෂිතව පතිත කිරීමට අභ්‍යවකාශගාමීන්ට හැකි විය. ඊගල් යානය සඳ මත පතිත වී පැය හය හමාරක් ගත වූ පසු යානයේ දොරටුව විවෘත කරමින් පිටතට පැමිණි වීර අභ්‍යවකාශගාමීන් දෙදෙනා ප්‍රථම මිනිස් පියවර සඳ මත සලකුණු කළහ.

මේ ඉතිහාසය අප සඳහන් කරනු ලැබුවේ රුසියාවේ ලූනා-25 අභ්‍යවකාශ යානය සඳ මතට කඩා වැටීමේ සිද්ධිය සමගය. රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව වන රොස්කොස්මොස් ඉරිදා උදෑසන ප්‍රකාශ කළේ, සෙනසුරාදා සවස 2:57ට සුළු වේලාවකට පසු ලූනා-25 සමග පැවති සම්බන්ධතා ගිලිහී ගිය බව ය. කිලෝග්‍රෑම් 800ක් බරැති යානය “සඳෙහි පෘෂ්ඨය මත ගැටීම හේතුවෙන් විනාශ වී ගිය” බව මූලික සොයාගැනීම්වලින් පෙනී ගියේ යැයි එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මෙය වසර 50කට පමණ පසු රුසියාව දියත් කළ පළමු සඳ මෙහෙයුම විය. ලූනා-25 යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බසින ලද ප්‍රථම යානය බවට පත් වීමට නියමිතව තිබුණු නමුත් එහි ඉරණම වෙනස් විය. සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත ගමන් කිරීම සඳහා රුසියාව හෙට (23) ගොඩබෑමට නියමිත චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය හිමි ඉන්දියාව සමග තරගයක නිරතව සිටියේ ය. ඉන්දියානු යානය සඳ ස්පර්ශ කිරීමට දින කිහිපයකට ප්‍රථම ඊයේ හෝ හෝ අද ලූනා-25 සඳ මත මෘදු ගොඩබෑමකින් අනතුරුව ඉතිහාසගත වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. නමුත් සියල්ල වෙනස් විය. ඇමෙරිකාව සහ චීනය යන රටවල් දෙක ම සඳ මතුපිටට ආරක්ෂිතව ගොඩ බැස ඇතත්, මීට පෙර කිසිදු රටක් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස නැත.

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 මෙහෙයුම, චන්ද්‍රයාගේ එතරම් ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවයට සමීප වෙමින් පවතින අතර පසුගිය බ්‍රහස්පතින්දා (18දා) ලෑන්ඩරය චන්ද්‍රයා සමීපයට රැගෙන ගිය අභ්‍යවකාශ මොඩියුලයෙන් සාර්ථකව වෙන් වීමත් සමග, මෙහෙයුමේ අවසාන අදියර ආරම්භ විය. චන්ද්‍රයාන් – 3 ජූලි 14 වන දින අභ්‍යවකාශ ගත කරන ලද නමුත් අගෝස්තු 5 වැනිදා චන්ද්‍ර කක්ෂයට ඇතුළු වීමට පෙර යානය පෘථිවිය වටා කිහිප වතාවක් ගමන් කළේය. පූලි 01 වැනිදා චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය විසින් ගන්නා ලද චන්ද්‍රයාගේ පළමු ඡායාරූප ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය විසින් නිකුත් කර තිබිණි. චන්ද්‍රයාන් – 3 හි ලෑන්ඩරය සහ රෝවරය හෙට සාර්ථකව චන්ද්‍ර පෘෂ්ඨයට ළඟා වුවහොත් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නව “මෘදු ගොඩබෑමක්” සිදුකරන පළමු රට ඉන්දියාව වනු ඇත. රුසියාව තරගයෙන් දැවී ගොස් තිබේ. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය පසුගිය සතියේ ප්‍රකාශ කළේ චන්ද්‍රයාන් – 3 වඩා හොඳින් ක්‍රියාත්මක වන බව සියලු පරීක්ෂණවලින් පෙන්නුම් කළ බවයි. මේ මෙහෙයුම සඳහා ඉන්දියාව ඉන්දියානු රු. බිලියන 6.1ක් වියදම් කර ඇත. 2008 දී සඳේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයෙන් ජලය සොයාගත් පළමු යානාව වූයේ ඉන්දියාවේ චන්ද්‍රයාන්-1 ය. එහෙත් චන්ද්‍රයාන් – 1 සඳ මතට ගොඩ බැස්වීමට නොහැකි විය.

චන්ද්‍රයාන් – 2 යානය ඉන්දියාවේ ශ්‍රීහරිකෝතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මුදා හරිනු ලැබුවේ, 2019 ජූලි 22 ඉන්දීය වේලාවෙන් පස්වරු 2.43ටය. ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් වැය කරමින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ගොඩ බසින පළමු යානය වනු ඇතැයි ඉන්දියාව ප්‍රකාශ කර තිබිණි ‘චන්ද්‍රයාන් 2’ සංකීර්ණ මෙහෙයුමකි. යානා තුනක් ඊට ඇතුළත් විය. ‘වික්‍රම්’ නමැති පතිත කරවන ගවේෂණ යානය සඳට ගොඩබෑමට යැවුණි. ඒ, තුළ ‘ප්‍රාග්යාන්’ යන නමින් නම් කළ රොබෝ රෝවර් යානයක් ද විය. රෝවර් යානයක් යනු එහෙ මෙහෙ යමින් ගවේෂණ කටයුතු කරන යානයකි. අවාසනාවකට ගොඩබෑමට පහත් කරද්දී, ‘ප්‍රාග්යාන්’ සඳට කඩාවැටුණේය. 2019 සැප්තැම්බර් මාසයේ දී ‘ප්‍රාග්යාන්’ සඳට ගොඩබානු දැක ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ මෙහෙයුම් මැදිරියට ගොස් සිටියේය. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම අසාර්ථක වී, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී කයිලසවාදියෝ සිවන් කඳුළු සලද්දී, ඔහු වැලඳගෙන සැනසුවේ ද අගමැති මෝදි ය. ‘අපි ආයෙත් උත්සාහ කරමු’ ඒ, මෝදිගේ වදන් ය.

චන්ද්‍රයාන් – 3 හි ලෑන්ඩරය සහ රෝවරය හෙට සාර්ථකව චන්ද්‍ර පෘෂ්ඨයට ගොඩ බැස්සොත් අමෙරිකාව රුසියාව සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සාර්ථක කර ගන්නා සිව්වන රට බවට ද ඉන්දියාව පත්වීමට නියමිතය. සියල්ල සැලැස්මට අනුව සිදුවුවහොත්, රෝද හයේ රෝවරය ලෑන්ඩරයෙන් පිටවී චන්ද්‍රයා මතුපිට ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය කිරීමට පෘථිවියට යැවීම සඳහා තීරණාත්මක දත්ත සහ ඡායාරූප රැස්කරනු ඇත. කිලෝග්‍රෑම් 1500ක් පමණ බර ලෑන්ඩරය විසින් කිලෝග්‍රෑම් 26ක් බර රෝවරය ප්‍රවාහනය කරනු ඇත. දැන් මේ මෙහෙයුම සාර්ථක වන්නේදැයි සමස්ත භාරතය පමණක් නොව ලෝකයම අද බලා සිටී.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment