ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩා වැටීම

1857

දිගු කාලයක් මුළුල්ලේ පවතින අයවැය හිඟය සහ විදේශීය ජංගම ගිණුමෙහි හිඟය යන ද්විත්ව හිඟයන් හා සමගාමීව, තිරසාර නොවන සාර්ව ආර්ථික ආකෘතියකට අනුගතව සිටි ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ දේශීය මූලාශ්‍ර මගින් පැන නැගුණු අවදානම් රාශියකට මුහුණ දීම හේතුවෙන්, 2022 වසරේ මුල් කාලය වන විට එහි සියලුම ආර්ථික ස්වාරක්ෂක භාවිත කොට අවසන් වූ බව නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

2022 වසර සඳහා වන මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාව පසුගිය දා නිකුත් විය. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වන වගන්තියට අනුව මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මුදල් ඇමැතිවරයාට පිළිගැන්විය යුතු වේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගිය අප්‍රේල් මස 27 දින පිළිගන්වන ලදි. මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ. ජී. හරිස්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්ය එල්.ආර්. සී. පත්බේරිය යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. අප දැනටමත් දන්නා පරිදි 2022 වර්ෂය යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ අඳුරුතම වර්ෂයකි. නිදහසින් පසු අප මෙතෙක් වාර්තා කළ දරුණුතම ආර්ථික පසුබෑම වාර්තා වන්නේ 2022 වසරේ දීය. මේ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වන පරිදි ගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.8 ක ඍණ ආර්ථික වර්ධනයක් (ආර්ථික පසුබෑමක්) වාර්තා කර ඇත. මෙය ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ සිදු වූ ඉහළම සංකෝචන අගයයි. මීට පෙර 2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.6 කින් පරිහානියට ලක්විය. මෙම 2022 වසරේ ආර්ථික පසුබෑමට අදාළ 2022 වසරේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු මෙවර මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. ඒ පිළිබඳව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩා වැටීම

● දරුණුතම ආර්ථික කඩා වැටීම

2021 වසරේ දී ස්ථාවර වෙළඳපොළ මිල (2015) අනුව දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.5කින් වර්ධනය විය. ද.දේ.නි. 2022 වසරේ දී සියයට 7.8කින් පහත වැටුණු අතර, මේ සඳහා රට හමුවේ පැවති අහිතකර ආර්ථික තත්ත්වයන් සමනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ගන්නා ලද දැඩි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ද ඉවහල් වී ඇත. ධන 3.5 ක ආර්ථික වර්ධනයක සිට ඍණ 7.8 ක් දක්වා ආර්ථිකය පසුබැසීම ඉතාමත් විශාල සංකෝචනයකි. මේ ආර්ථික පසුබෑම නියෝජනය කරමින් ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන කෘෂිකර්ම, කාර්මික සහ සේවා යන අංශවල ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන අපි මීළඟට සලකා බලමු. මේ අනුව 2021 වසරේ දී සියයට 0.9 කින් වර්ධනය වූ කෘෂිකර්ම අංශය ගිය වසරේ දී සියයට 4.6 කින් පසුබෑමට ලක්ව ඇත. එසේම 2021 වසරේ දී සියයට 5.7 කින් වර්ධනය වූ කර්මාන්ත අංශය සියයට ඍණ 16 කින් සැලකිය යුතු අගයකින් සහ 2021 වසරේ දී සියයට 3.5 කින් වර්ධනය වූ සේවා අංශය ගිය වසරේ (2022) දී සියයට ඍණ 2.0 කින් ද පසුබෑමට ලක්ව තිබේ. ගිය වසරේ සිදු වූ ආර්ථික කඩා වැටීම ගැන මෙවර මහ බැංකු වාර්තාවේ සමස්ත නිරීක්ෂණ වශයෙන් මෙසේ සඳහන් වේ.

‘ශ්‍රී ලංකා ආර්ථිකය, නිදහසින් පසු මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදය හමුවේ, 2022 වසරේ දී පෙර නොවූ විරූ පරිදි සියයට 7.8ක පහත වැටීමක් වාර්තා කළ අතර, ක්‍රියාත්මක කරන ලද විචක්ෂණශීලී ප්‍රතිපත්ති අර්බුදකාරී වාතාවරණය තවදුරටත් තීව්‍ර වීම වැළැක්වීමට උපකාරී විය. අර්බුදය මුල් අවධියේ දී ප්‍රධාන වශයෙන් දැඩි විදේශ විනිමය හිඟතාවය හේතුවෙන් භාණ්ඩ සැපයුම් ක්‍රියාවලිය සඳහා බාධා සිදු වීම නිසා පාරිභෝගික භාණ්ඩ, ඉන්ධන හා විදුලිය වැනි බලශක්ති සහ නොයෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය යෙදවුම් ආදියේ උග්‍ර හිඟයක් ඇති වූ අතර, ඒ හා සමගාමීව ඒවායේ මිල මට්ටම් ද විශාල ලෙස ඉහළ යන ලදි. මෙම වාතාවරණය තවදුරටත් උග්‍ර වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් උද්ධමනය පාලනය කිරීමට සැලකිය යුතු ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීම සහ විදේශ විනිමය පිටතට ගලා යෑම පාලනය කිරීමට අත්‍යවශ්‍ය ආනයන සඳහා පමණක් ප්‍රමුඛතාව ලබා දීම වැනි දැඩි නමුත් අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම ක්‍රියාමාර්ග මගින් අධික ඉල්ලුම පාලනය කිරීමට, සැපයුම් අංශයේ අවහිරතා අවම කිරීමට මෙන්ම ඉන්ධන සහ කර්මාන්ත සඳහා අවශ්‍ය යෙදවුම් ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා වැඩි ඉඩ ප්‍රස්ථා ඇති කිරීම තුළින් ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර කිරීමට හැකි විය. ආර්ථිකයෙහි ඇති වූ අයහපත් ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරමින් කර්මාන්ත, සේවා සහ කෘෂිකර්මාන්ත යන ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වයේම ක්‍රියාකාරිත්වය 2022 වසරේ දී පහත වැටුණි. ඒ අනුව, නිෂ්පාදන කර්මාන්ත, ඉදිකිරීම් සහ පතල් හා කැණීම් කටයුතු කර්මාන්ත කටයුතුවල පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී සංචාරක පැමිණීම් ඉහළ යෑම නිසා ඇති වූ ප්‍රතිලාභ හමුවේ වුවද, නිවාස අයිතිය ද ඇතුළත් දේපළ වෙළෙඳාම් කටයුතු, රක්ෂණ සේවා හා මූල්‍ය සේවා ආදියේ පසුගාමීත්වය සමස්ත සේවා කටයුතුවල පහත වැටීමට මූලිකව හේතු විය.’

● ඒක පුද්ගල ආදායම් අහිමි වීම

පවත්නා වෙළෙඳ පොළ මිල අනුව 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 24,147.7 ක් වන අතර එය ඇමෙරිකානු ඩොලර් බිලියන 77.1 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2021 වසරේ දී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 88.5 ක දළ දේශීය නිෂ්පාදිත අගයට වඩා සැලකිය යුතු ලෙස අඩු වී ඇත. 2022 වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 77.1ක ජාතික නිෂ්පාදන අගයට අනුව ඒක පුද්ගල ආදායම ඩොලර් 3474කි. පසුගිය 2018 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 94.7 ක් වූ අතර එය 2019 වසරේ දී ඩොලර් බිලියන 89 දක්වා පහත වැටිණි. මේ නිෂ්පාදිත අගයන් අනුව වර්ෂ 2018 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 4372 ක් සහ 2019 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 4082 ක් විය. සාමාන්‍ය කාලවල දී කොහොමත් ආර්ථිකයකට කිසියම් ස්වභාවික වර්ධනයක් තිබේ. එසේ ආර්ථිකය වර්ධනය වූවා නම් අපගේ ඒක පුද්ගල ආදායම් අගය ද වැඩි විය යුතුව තිබුණි. ඒ අනුව ආර්ථිකය අවම වශයෙන් සියයට එකකින් වර්ධනය වූයේ නම් 2018 වසරට සාපේක්ෂව දළ දේශීය නිශ්පාදිතය ගිය වසරේ (2022) දී ඇමෙරිකානු ඩොලර් බිලියන 98 කට අධික අගයක් ගත යුතු විය. ඒ අනුව වාර්තා විය යුතු ඒක පුද්ගල ආදායම ඩොලර් 4400 කට වැඩි අගයක් විය යුතුය. එහෙත් මහ බැංකුව පවසන පරිදි ගිය වසරේ (2022) එම අගය ඇමෙරිකානු ඩොලර් 3474 ක් පමණකි. මේ අනුව බලන විට වර්ෂ 2018 සිට මේ දක්වා ඒක පුද්ගල ආදායමේ ඇමෙරිකානු ඩොලර් 1000 ක පමණ අඩුවක් තිබේ. මේ අනුව 2022 වසර වන විට ඇමෙරිකානු ඩොලර් 1000 ක් පමණ මේ ආර්ථික අර්බුදය නිසා රටේ එක් පුරවැසියකුට අහිමිව ඇත. එනම් ආර්ථික අර්බුදය විසින් ජනයාගේ ආදායමට මෙවැනි හානියක් කර ඇති බවයි. අප මුහුණ දුන් උග්‍ර ආර්ථික අර්බුදය සහ වෙනත් විදේශීය පරිසරයේ අහිතකර බලපෑම් ද හමුවේ ආර්ථිකය වර්ධනය වනවා වෙනුවට සිදුව ඇත්තේ ආර්ථිකය සංකෝචනය වීමයි. මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුද? මේ කියන ආර්ථික අර්බුදය ස්වාභාවිකව ඇති වූවක් නොවේ. එයට රජයේ සහ මහ බැංකුවේ වැරදි තීන්දු තීරණ මෙන්ම නිසි වෙලාවට නිවැරදි තීරණ නොගැනීම ද බලපෑ ඇත. මේ ගැන මෙවර මහ බැංකු වාර්තාවේ ද සඳහන් වේ. මේ කෙටිකාලීන හේතුවලට අමතරව ආර්ථිකයේ පැවති දිගුකාලීන ව්‍යුහාත්මක විෂමතා ද ගිය වසරේ (2022) ආර්ථික ව්‍යසනයට බලපා තිබේ. මේ හේතු ගැන අප මීට පෙර බොහෝ සාකච්ඡා කර තිබේ.

● වසර ගණනාවකින් පසුපසට ගිය ආර්ථිකය

එසේම අනාගතය ගැන සඳහන් කරන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනය අනුව අප රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 89 නැවත ළඟා කර ගන්නේ වර්ෂ 2028 වසරේ දීය. ඒ සඳහා තවත් වසර පහක් තිබේ. මේ අනුව වසර පහකින් පසුවත් අප ළඟා වන්නේ 2019 වසරේ පැවති ආර්ථික මට්ටමටම ය. මේ අනුව පැහැදිලි වන්නේ ආර්ථික අර්බුදය විසින් අපගේ ආර්ථික වර්ධන මට්ටම වසර ගණනාවකින් ආපස්සට ගෙන ගොස් ඇති බවයි. මේ ආර්ථික ව්‍යසනය විසින් රටේ ආර්ථිකය දශකයකින් පමණ පසුපසට ගෙන ගොස් ඇත. මේ නිසාම රටේ එක් මිනිසෙකුගේ වර්ධනය විය යුතුව පැවැති ඒක පුද්ගල ආදායම සැලකිය යුතු ලෙස අහිමි කර ඇත. මේ අර්බුදය නිර්මාණය කළ දේශපාලකයන් සහ ඇතැම් ප්‍රබල රාජ්‍ය නිලධාරින් කවු ද? මේ ගැන රට නොදන්නවා නොවේ. එහෙත් ඒ ව්‍යසනයට වගකිව යුතු අයට එරෙහිව කිසිවක් සිදුවනු ඇතැයි ද අපට සිතිය නොහැකි අතර අවසානයේ එහි වන්දි ගෙවීමට සිදුව ඇත්තේ අතිමහත් බහුතර මහජනතාවට ය.

මෙවර මහ බැංකු වාර්තාවේ 2022 වසරේ අප මුහුණ දුන් මහා ආර්ථික ව්‍යසනයට බලපෑ හේතු ද සඳහන්ව ඇත. ඒ අනුව දිගු කාලයක් මුළුල්ලේ පවතින අයවැය හිඟය සහ විදේශීය ජංගම ගිණුමෙහි හිඟය යන ද්විත්ව හිඟයන් හා සමගාමීව, තිරසාර නොවන සාර්ව ආර්ථික ආකෘතියකට අනුගතව සිටි ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ දේශීය මූලාශ්‍ර මගින් පැන නැගුණු අවදානම් රාශියකට මුහුණ දීම හේතුවෙන්, 2022 වසරේ මුල් කාලය වන විට එහි සියලුම ආර්ථික ස්වාරක්ෂක භාවිත කොට අවසන් වූ බව නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. රජයේ ප්‍රතිපත්ති තීන්දුවල වැරදි ගැන ද අප මීට පෙර ගිය වසරේ සිටම බොහෝ සාකච්ඡා කර තිබේ. ඒ ගැන ද අඩු වැඩි වශයෙන් මෙවර මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇත. ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ දුර්වල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම් හේතුවෙන් තවදුරටත් උග්‍ර වූ ආර්ථිකයේ දීර්ඝ කාලීනව මුල් බැස ගත් දුර්වලතා මගින් රට බහුවිධ ව්‍යසනයක් වෙත යොමු කරන ලද බවයි. මහ බැංකු වාර්තාවේ සඳහන් මේ දුර්වල ප්‍රතිපත්තිමය තීරණ මොනවා ද? ඒවා මහ බැංකු වාර්තාවේ මෙසේ සඳහන් වේ.

● නුසුදුසු කාලයක දී සිදු කළ බදු අඩු කිරීම්,

● කිසිදු පූර්ව සූදානමකින් තොරව කාබනික කෘෂිකර්මාන්තය වෙත කඩිනමින් යොමු වීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග,

● නොකැළැල් ණය සේවාකරණ වාර්තාවක් එලෙසම පවත්වා ගැනීමේ නිරර්ථක උත්සාහයන් මධ්‍යයේ රටේ නිල සංචිත අඩු වීම,

● විනිමය අනුපාතිකයෙහි ගැළපීම් ප්‍රමාද වීම මෙන්ම පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි අවධානය යොමු නොකිරීම

මේ යනාදී හේතු නිසා සමස්ත ආර්ථිකයට අතිවිශාල කම්පන ඇති වූ බව ද නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව ඇති වූ දැඩි අහිතකර ආර්ථික බලපෑම් මෙසේය.

● උග්‍ර විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය සහ විනිමය අනුපාතිකය මත පීඩන සමඟ ගෙවුම් ශේෂය මත වූ පීඩන ඉහළ යෑම,

● ජීවනෝපායන් විශාල වශයෙන් අහිමි වීම,

● උද්ධමනය අඛණ්ඩව ඉහළ යෑම,

● ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම,

● රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා විශාල වීම,

● රාජ්‍ය ණය තිරසාර නොවන මට්ටම් කරා ළඟා වීම හා අවදානම් අධිමිල විශාල ලෙස ඉහළ යෑම,

● ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් දැඩි ලෙස පහත වැටීම හේතුවෙන් විදේශ මූල්‍යනය වෙත වූ ප්‍රවේශය සීමා වීම,

● සමාජ-ආර්ථික හා සමාජ-දේශපාලනික අර්බුද පෙර නොවූ අන්දමින් උත්සන්න වීම සහ

● ව්‍යාපාරික විශ්වාසය ශීඝ්‍රයෙන් පහළ යෑම

මේ ප්‍රධාන බලපෑම් ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් අපේ ආර්ථිකය 2022 වසරේ දී දැඩි බලපෑමකට ලක් වූ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මේ නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ වීම හා සලාකකරණය, ජීවන වියදම හා නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ යෑම සිදුව ඇත. එසේම සුබසාධනය හා ජීවනෝපායන් අහිමිවීම් මධ්‍යයේ ව්‍යාපාර මෙන්ම සාමාන්‍ය ජනතාව ද එක සේ දැඩි පීඩාවට පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ශීඝ්‍රයෙන් වර්ධනය වූ සමාජ නොසන්සුන්තාව සමඟ නිර්මාණය වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ආර්ථිකය තවදුරටත් පසුබෑමට ලක්වීම වළක්වාලීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා නැවත නිර්ණය කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් මතු වූ බව ද නවතම මහ බැංකු වාර්තාවේ (2022) තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment