වෙරි වූ පියා දරු දෙදෙනාවත් රැගෙන බෝට්ටුවකින් මුහුදේ ගිහින්

1010

දරු දෙනොගේ කෑගැසීම ඇසී නාවික හමුදාව ගිහින් ඔවුන් බේරාගෙන

පියාට බෝට්ටු පදවන්නත් බැරිලු…

යාපනයේ මයිලිට්ටි මුහුදේ බෝට්ටුවක් මත සිට කෑගැසූ වයස අවුරුදු දෙකක හා හතක ළමයින් දෙදෙනෙකු හා තවත් අයෙකු නාවික හමුදා හට පිරිසක් විසින් 29 දා බේරාගෙන තිබේ.

අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයෙකු සිය දරුවන් දෙදෙනා බෝට්ටුවක නංවාගෙන මුහුදේ ගමන් කරමින් සිටියදී බෝට්ටුව අනතුරකට පත්වීමට ගිය අවස්ථාවේදී ළමයින් දෙදෙනා බියට පත්ව කෑ කෝ ගසා තිබේ.

වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ පිරිසක් බෝට්ටුවකින් එම බෝට්ටුව වෙත හඹා ගොස් ළමයින් දෙදෙනා හා වැඩිහිටියා ගොඩ බිමට රැගෙන විත් ඇත.

නාවික හමුදා නිලධාරීන් මේ පිළිබඳ කළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ බීමත් පුද්ගලයාට බෝට්ටු පැදවීමට නොහැකි බවත් ඔහුට බෝට්ටුවක් පවා නොමැති බවත්ය.

ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසුව සිය ළමයින් දෙදෙනා කැටුව මුහුදු වෙරළට ගොස් වෙරළේ නවතා තිබූ බෝට්ටුවක ළමයින් දෙදෙනා නංවාගෙන බෝට්ටුවෙන් මුහුද මැදට ගොස් තිබේ.

ඔහුට නිසි ලෙස බෝට්ටු පැදවීමට නොහැකි නිසා බෝට්ටුව මුහුදේ විශාල රළ පහරකට හසු වූ අවස්ථාවේදී බෝට්ටුව කරකැවෙන්නට පටන් ගැනීම නිසා ළමයින් බියට පත්ව කෑ ගසා තිබේ.

නාවික හමුදාවේ පිරිසක් විසින් ඔවුන්ව බේරා ගෙන ඇත්තේ ඒ අවස්ථාවේදීය.

සිද්ධිය දැනගත් පසුව පියාට තරයේ අවවාද කිරීමෙන් පසු ඔවුන් තුන් දෙනාව නාවික හමුදාවේ නිලධාරීන් විසින් ආපසු නිවසට යවා ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment