මිසදුටු විශ්ව බුද්ධි 2දා තෙක් යළි රිමාන්ඩ්

148

සුප්‍රකට යූ ටියුබ් නාලිකාවක් සමග සිදුකළ සාකච්ඡාවකදී බෞද්ධාගමිකයන්ගේ ආගමික හැඟීම්වලට රිදවීමේ අරමුණින් හා බෞද්ධ ධර්මයට හානිකර අන්දමින් ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධියත් සමග පවරා තිබූ නඩුවේ සැකකාර විශ්ව බුද්ධි හෙවත් රත්නපුරේ විශ්ව බුද්ධි නමින් පෙනී සිටි රණසිංහ ආරච්චිලාගේ රොෂාන් රවීනක රණසිංහ නමැත්තා ලබන 2 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා ඊයේ (26 දා) නියෝග කළේය. කොට්ටාව පන්නිපිටිය රුක්මලේ ධර්ම විජයාලෝක මහා විහාරයේ වැඩවාසය කරන ඉත්තෑපානේ ධර්මාලංකාර හිමියන් කළ පැමිණිල්ලක් අනුව එම සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එරන්ද තිබ්බොටුවාව මහතා බී වාර්තාවක් මගින් අධිකරණයට පැවසීය. ඔහු ඉදිරිපත් කළ කරුණු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

මේ වනවිට රෝහල් ගතකර ඇතැයි කියන එම සැකකරු ඊයේ (26 දා) අධිකරණයට ඉදිරිපත් කොට නොතිබූ අතර ඉදිරි දිනයේදී වෛද්‍ය වාර්තා සමග සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය නියෝග කළේය.

එම සැකකරුගේ භික්‍ෂුභාවය පසුගිය 12 වැනිදා සිට අහෝසිකොට ඇති බවත් තමගේ භික්‍ෂුභාවය අහෝසි කොට ඇති බව දැන දැනත් භික්‍ෂුවක ලෙස පෙනී සිටිමින් සිදුකර ඇති එම මාධ්‍ය සාකච්ඡාව මුල් දින අට තුළදී පමණක් ලක්‍ෂ නමයකට ආසන්න පිරිසක් නරඹා ඇති බවත් දස දහසකට ආසන්න පිරිසක් ඒ පිළිබඳ අදහස් දක්වා ඇති බවත් අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී අදහස් දැක්වීම් හා සැකකරු කර ඇති ප්‍රකාශ සලකා බැලීමේදී බෞද්ධ ධර්මයට දැඩි හානියක් සිදුවන බව පෙනී යන්නේ යැයි ද පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment