සරෝජා (2000), පුංචි සුරංගනාවි (2002), සූරිය අරණ (2004), සමනල තටු (2005), සිරි පැරකුම් (2013), සරිගම (2016), සුනාමි (2020), ජංගි හොරා (2021) යන සිනමා නිර්මාණ රිදී තිරයට ගෙනා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපත් රචකයෙක්, රංගන ශිල්පියෙක් සහ ගීත රචකයෙක් ලෙසින් කලා ක්ෂේත්‍රය පුරාවට සිය ප්‍රතිභාව විදහා දැක්වූ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා නිර්මාණය ලෙසින් ‘සිංහබාහු’ 18 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කරන ලදී. ඔහුත් සමග ‘දිවයින සිනමා කලා’ සංවාදය වත්මනේ මේ තුළින් පැන නැඟුණු ගැටලු පිළිබඳවය.

තිරගත කිරීමේ ක්‍රමවේදයේ ලොකු අවුලක් - ආචාර්ය සෝමරත්න දිසානායක

‘සිංහබාහු’ රූගත කිරීමේදී මුහුණදුන් ගැටලුවලට වඩා තිරගත කිරීමේදී ගැටලුවලට මුහුණදෙන්න සිද්ධ වුණා නේද?

ඔව්. තිරගත කිරීමේ අදියර, පශ්චාත් නිර්මාණය අදියර කියන කාරණා සියල්ලම අභියෝග තමයි. දැන් ඒ සියල්ලම ඉවරවෙලා මේක තිරගත කරන්න යෑම ඔක්කොටම වඩා අභියෝගයක්. අපේ රටේ දැනට මේ තියෙන තිරගත කිරීමේ ක්‍රමවේදයේ ලොකු අවුලක් තියෙනවානේ. සිනමා මණ්ඩල පහකට බෙදලා තියෙනවා. සිනමාශාලා සියයක් වගේ ප්‍රමාණයක් තිබෙන්නේ. ඉතින් ඕක මණ්ඩල පහකට බෙදුවට පස්සේ එක මණ්ඩලයකට එන සිනමාහල්වලින් චිත්‍රපටයක් දුවන්න බැහැ. විශේෂයෙන් ජනප්‍රිය, ඉල්ලුමක් තිබෙන සාර්ථක චිත්‍රපටයකට කොහොමත් සිනමාහල් ප්‍රමාණය මදි. ඒ වගේම දැවැන්ත පිරිවැයක් යොදලා හදන චිත්‍රපට සිනමාහල් කිහිපයක පෙන්වලා පිරිවැය පියවාගන්න බැහැ. ඒක බෙදාහැරීමේ ක්‍රමවේදයේ තිබෙන වරදක්. ඉතින් අපිට ඒ වරද නිවැරදි වෙනකම් බලාගෙන ඉන්න බැහැනේ. ඒ නිසා මේ තියෙන ක්‍රමවේදය ඇතුළේ සිංහබාහු මහජනයාට තිරගත කිරීම ආරම්භ කළා.

ඉතිහාස කතාව නැවත නිවැරදි කරන්න යෑමේදී ලොකු අභියෝගයකට මුහුණ දී සිටිනවා නේද?

ඒක දැවැන්ත අභියෝගයක්. හැබැයි ඒක ඉතිහාසය නිවැරදි කිරීම නෙමෙයි. ඉතිහාසය කියලා හැඳින්වීමේදී නිවැරදි ඉතිහාසයක් තිබෙනවා නම් ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. සත්‍ය සිදුවීමක් නම් සත්‍ය ඉතිහාස සිදුවීමක් නම් ඒක කාටවත් වෙනස් කරන්න අයිතියක් නෑ. වෙනස් කරන්නත් බැහැ. නමුත් සිංහබාහු කියලා අපිට කියලා තියෙන කතාව සත්‍ය ඉතිහාසය නොවෙයි කියන එක අපිට පැහැදිලිවම සනාථ කරන්න පුළුවන්. ඒක කාගේ හෝ මනඃකල්පිත ප්‍රබන්ධයක්. ඒක ඉතිහාසය නොවේ. ඉතිහාසය කියලා කියන අපි අපේ ළමයින්ට උගන්වන කතන්දරේ. ඒක තවත් ප්‍රබන්ධකරුවකුට වෙනත් අර්ථකථනයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මම කියන්නේ නැහැ මම ඉදිරිපත් කරන එක තමයි සත්‍ය කියලා. ඒ වස්තුබීජය තේමා කරගෙන අපි කරන අර්ථකථනයක්. මේක වෙනත් අර්ථකථනයක්. පසුකාලීනව තවත් නිර්මාණකරුවකුට පුළුවන් ඔය ඔක්කොම නෙමෙයි මේක තමයි අලුත්ම අර්ථකථනය කියලා කියන්නත් පුළුවන්.

මේ සිනමා කෘතිය සමාජයේ දැවැන්ත විචාරයකට එහෙම ලක්වෙන්න පුළුවන්. ඒවාට මුහුණදෙන්න ඔබ සූදානම්ද?

අපොයි ඔව්. ඒවාට සූදානමක් නැතිව මේ වගේ වැඩ කරන්නේ නැහැ. නොයෙකුත් දේවල් නොයෙකුත් අය කියන්න පුළුවන්. දැනටමත් කියනවා. ඉතින් ඒවාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය අය පිළිතුරු දේවි. අනික ඕනෑම කෙනකුට අයිතියක් තිබෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඒවා සමාජයේ කතිකාවකට තුඩුදෙයි. අපේ පැත්තෙන් අවශ්‍ය දේවල් කරන්න අපි සූදානම්.

තිරගත කිරීමේ ක්‍රමවේදයේ ලොකු අවුලක් - ආචාර්ය සෝමරත්න දිසානායක
තිරගත කිරීමේ ක්‍රමවේදයේ ලොකු අවුලක් - ආචාර්ය සෝමරත්න දිසානායක

නළු නිළියන් තෝරා ගැනීම ගැන කතා කළොත්?

නළු නිළියන් තෝරාගැනීමත් තිබුණු අභියෝගවලින් එකක් තමයි. අපි කවුරුත් දන්න ජැක්සන් ඇන්තනීව තමයි මෙහි ප්‍රධාන භූමිකාවට මම තෝරාගෙන හිටියේ. ජැක්සන්ගේ අනතුරින් පසුව අපිට නිෂ්පාදන කටයුතු නවත්වලා සෑහෙන කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වුණා. පසුව ජැක්සන් විසින්ම යෝජනා කළා වෙනත් විකල්පයකට යන්න කියලත්. ඒ අනුව තමයි ජැක්සන්ගේ දෙටු පුතා අකිල ඒ වගකීම භාරගත්තේ.

අකිල කොහොමත් චිත්‍රපටය ඇතුළේ හිටියා. සිංහයාගේ චරිතය කියන භූමිකාවේ අදියර තුනක් තිබෙනවා. තරුණ අදියර, වැඩිහිටි අදියර සහ මහලු අදියර කියලා. ඉතින් මේකෙන් තරුණ අදියර කොහොමටත් කරන්න හිටියේ අකිල. ඊට පස්සේ වැඩිහිටි සහ මහලු අදියර කරන්න හිටියේ ජැක්සන්. ඒක තමයි ප්‍රධාන කොටස. ජැක්සන්ගේ අනතුරින් පසුව අපි අදියර තුනම අකිලට භාර දුන්නා. අකිලත් ඒ අභියෝගය භාර අරගෙන ඒක කළා.

තිරගත කිරීමේ ක්‍රමවේදයේ ලොකු අවුලක් - ආචාර්ය සෝමරත්න දිසානායක

මුත් ඔබ මෙහි මුහුරත් උළෙලේදී පැවසුවා සිංහයාට ජැක්සන් හැර වෙන විකල්පයක් නැහැ කියලත්?

ඔව්. ඇත්තටම විකල්පයක් නැහැ තමයි. තිරපිටපත ලියන කාලේ ඉඳලම ජැක්සන් මාත් එක්ක කතා කර කර හිටියේ. ජැක්සන්ට තියෙන ඉතිහාස, සෞන්දර්ය වගේම අනෙකුත් දැනුම් සම්භාරය පිටපත ලියන අදියරේ ඉඳලම පිටිවහලක් වුණා. මම ඔහු සමග වගේම මහාචාර්ය සුනිල් ආරියරත්න සමග සාකච්ඡා කරමින් තමයි පිටපත ලියන්නේ. ජැක්සන් ජීවත්ව සිටියදී ජැක්සන් හැර වෙන නළුවෙක් මගේ හිතට ආවේ නැහැ. ඔහු තමයි අංක එක. ඔහු අපිට අහිමිවීමෙන් පසුව ඒකට වෙන විකල්පයක් නැති නිසයි ඒ වගේම අනතුරෙත් පසුවත් අප සමග කතා කළා. ඒ වෙලාවේ ඔහු විසින්ම යෝජනා කළා අකිල මේ වැඩේ කරාවි කියලා. ඇත්තටම අපිට බයක් තිබුණා. නමුත් හිතාගන්න බැරි විදිහට අකිල ඒ වගකීම භාර අරගෙන කළා.

දිනේෂ් විතාන

තිරගත කිරීමේ ක්‍රමවේදයේ ලොකු අවුලක් - ආචාර්ය සෝමරත්න දිසානායක
advertistmentadvertistment
advertistmentadvertistment