අළු බදාදා අදයි

203

මෙම වසරේ චතාරික සමය අද (14දා) අළු බදාදායින් ආරම්භ වේ. මුල් සියවස්වල චතාරිකය ආරම්භයේදී අළු බදාදා ගැන සඳහනක් නොවීය. චතාරිකයට දින 40 ක කාලයක් තීරණය වූයේ ක්‍රි. ව. 325 නිසියානු මන්ත්‍රණ සභාවේදීය. හතරවන සියවස වනවිට පාස්කු ඉරුදිනට, ඉරුදින 6කට පෙර මෙම සමය ඇරඹිණි. ඉරුදිනයන් අත්හල විට මෙම දින ගණන 36ක් විය. එය හරියටම 40ක් කර ගැනීම සඳහා පෙර සතියෙන් දින 4 ක් එකතු කර ගන්නා ලදී. ඒ අනුව එම බදාදා දිනය අළු බදාදා ලෙස නම් කෙරිණි.

ක්‍රි.ව. 1051 දී දෙවන අති උතුම් උර්බානු පාප්තුමා විසින් බෙතවොන්තෝ සමුළුවේදී අළු තැවරීම පිළිවෙතක් ලෙස අළු බදාදා දේව මෙහෙයට එකතුකර ගැනීමට අවසර දෙන ලදී.

මෙම දිනය අළු බදාදා වූයේ පව්කාරයන්ට ප්‍රසිද්ධියේ දඬුවම් කිරීම ආරම්භ කිරීම නිසාත්, එම ප්‍රසිද්ධ පව්කාරයන් දෙව්මැඳුරින් පිටමං කර අනතුරුව තම ශරීරවල අළු තවරාගෙන ප්‍රසිද්ධ දණ්ඩන කාලය ආරම්භ කිරීමත් නිසාය. මෙම දණ්ඩන කාලය අවසන් කරන පව්කාරයන් නැවත පාස්කු රාත්‍රී මෙහෙය අවස්ථාවේදී ප්‍රසිද්ධියේ ශාන්ත සභා සාමාජිකත්වයට නැවත ඇතුළුකර ගනු ලැබීය. මෙය චතාරිකයේ අරමුණුවලට සමානය. චතාරිකය තුළින් අපේක්‍ෂා කරන්නේ සැබෑ සිත් හැරීමක් තුළින් මනස්ථාපනය වී උපවාසයෙන්ද අප පාපවලට හඬා වැලපීමෙන්ද, එකිනෙකාට සමාව දානය කිරීමෙන්ද, මුළු සිතින්ද මුළු හදින්ද දෙව් පියාණන් වෙත හැරී ඒමය. එසේ නැවත හැරී ආ යුත්තේ වත ඉරාගෙන නොව සිත ඉරාගෙනය.

එහෙත් අද අළු බදාදා අළු තැවරීම හුදෙක් චතාරිකය ආරම්භ කරන සංකේතයක් පමණක් බවට පත්වී තිබේ. අළු බදාදා අළු තවරන දිනය ලෙසත්, මහ සිකුරාදා නූල් බෙදන දිනය ලෙසත්, ආලෙලුයියා සෙනසුරාදා වතුර බෙදන දිනය ලෙසත්, සලකනවාට වඩා මෙම දිනයන්හි ඇති දේව ධාර්මික වටිනාකම් උකහාගෙන ඒවා අප ජීවිතවලට බද්ධ කර ගැනීම අත්‍යවශ්‍යය.

කැලිස්ටස් ජයමාන්න හීන්කෙන්ද

අළු බදාදා අදයි
advertistmentadvertistment
advertistmentadvertistment