අප මේ මොහොතේ සිටින්නේ ආර්ථික අර්බුදයකය. මේ ආර්ථික අර්බුදය විශ්ලේෂණය කිරීමේදී මතුපිටින් පෙනෙන විනය නැති පාලනය සමග මෙහි ඇතුළාන්තය විශ්ලේෂණය කිරීමේදී අපට හමුවන අනන්‍යතාවක් නැති ජාතියක් පිළිබඳව සුවිශේෂ කතිකාවතක් ඇති විය යුතු බව අපගේ අදහසයි. මෙහිදී රටේ අධ්‍යාපනය “බර ඇති බෑගයෙන්” තොර “ගුණ ඇති රටට ආදරය කරන දරුවන්ගෙන්” ලෙස සුසුමාදර්ශි වෙනසකට භාජනය කළ යුතු අතර අප යෝජනා කරන්නේ ඉතා ඉක්මනින් රට තුළ අධ්‍යාපන සංගායනාවක් ඇති විය යුතු බවයි.

මෙහිදී දෙස, බස, රැස යන හෙළ තුනුරුවන දේශය, භාෂාව හා ජාතිය සහ පිළිබඳව, කුමාරතුංග චින්තනය පිළිබඳව රට තුළ, ජන මනස තුළ නැවත අවධි කිරීමක් අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය. බසින් රැස රැකෙන බවත් රැසින් දෙස රැකෙන බවත් යන සරල සත්‍ය අර්බුදයට පත්, බංකොලොත් වී ඇති අර මහ සම්ප්‍රදායක් උරුම වී තිබූ ජාතියට කියා දිය යුතුය. මා අර සඳහන් කළ අනන්‍යතාවක් නැති ජාතිය තුළ අනන්‍යතාවක් පිළිබඳ විමසීමට අත්‍යවශ්‍ය සාධකයකි. ලෝකයේ සිදුකර ඇති සියදහසක් පර්යේෂණ පත්‍රිකාවල නිශ්චිතවම සඳහන් වන්නේ දරුවාගේ නිර්මාණශීලි බවට ස්වභාෂාව අනිවාර්ය අංගයක් බවයි. මහා භාරතයේ උපන් දාර්ශනිකයකු, ශ්‍රේෂ්ඨ කවියෙකු වූ රවීන්ද්‍රනාත් තාගෝර් පවසන්නේ මව් භාෂාව ස්වයං ප්‍රකාශනයේ සැබෑ වාහකය බවයි. මේ සම්බන්ධ එක් පර්යේක්ෂණ පත්‍රිකාවක සඳහන් වන්නේ “කුඩා දරුවකුගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මව් භාෂාව ඉතා වටිනා සහ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන බැවින් එය විෂයමාලාව තුළ අර්ථවත් හා ප්‍රමුඛ ස්ථානයකට නැඹුරු විය යුතු අතර අපේ තරුණයන් තම මව් භාෂාවෙන් අධ්‍යාපනය නොලබන්නේ නම්, වසර දහස් ගණනක චින්තන ක්‍රියාවලීන් හදිසියේම අවසන් විය හැකි බවයි. අප දරුවන් වර්තමානයේ වල්මත් වී ඇත. මෙයට අප ජාතියක් ලෙස වග කිව යුතුය. මා වසර කිහිපයකට පෙර ඉන්දියාවට ගියේ භගවත් ගීතාවේ කළමනාකරණ ක්ෂේත්‍රය භාවිතය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක සමාරම්භක දේශනය සඳහායි. මෙහි මා නිරීක්ෂණය කළේ ලෝකයේ විශිෂ්ට අධ්‍යාත්මික සහ සාහිත්‍ය කෘතිවලින් එකක් ලෙස සැලකෙන භගවත් ගීතාවට එනම් තමන්ගේ නිර්මාණවලට ඉන්දියාව ගරු කරන ආකාරයයි. තවද එම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය තුළ ඉන්ගිර්සිය පමණක් නොව ස්ව භාෂාව ද භාවිතා කළ පර්යේෂණ පත්‍රිකා සම්භාවනාවට භාජනය කළ අතර කේරළයට අනන්‍ය වූ කතකලි නර්තනය තුළ භගවත් ගීතාව නිරූපනය කළේය. මේ තුළ භාරතය තම භාෂාවට සහ සාහිත්‍යයට කරන ගෞරවය සහ බුහුමන මනාව පිළිබිඹු කරයි. අප රට තුළ මෙම ප්‍රවණතා දකිනට නැත. අවම ලෙස අපේ සැළලිහිණි සංදේශය, හංස සංදේශය වැනි නිර්මාණ සහ එහි කළමනාකරණ භාවිතය සහ බහුමානයන් පිළිබඳ කතා නොකරයි. (මේ නිර්මාණවල කළමනාකරණ භාවිතාවන් ගැන ඉදිරි ලිපිවල අප සාකච්ඡා කිරීමට අදහස් කරයි.) ලෝකයේ අන් රටවල අප දක්නා අන්තර්ජාතික සම්මන්ත්‍රණ තුළ විවිධ භාෂා සහ තම භාෂාව ඒ සමග මුහුකිරීම අප රටේ දක්නට නැත. අප රට තුළ කළමනාකරණ විෂය පථය තුළ මේ අනන්‍යතාව, බුහුමන අප නොදකින අතර මේ නිසාම සාමාන්‍ය ජනතාව සහ විෂය ක්ෂේත්‍රය අතර ලොකු පරතරයක් දක්නට ලැබේ.

පාලිත පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ ක්‍රිකට් ක්‍රීඩාව ගමට අරන් ගියේ විකට් (Wicket) එක වෙනුවට “කඩුල්ල” වැනි ගැමි වහර තුළිනි. ඒ නිසාම රොමේෂ් කලුවිතාරණ කඩුල්ල පිටිපසට වී “ඔහොම යන්” කියා උනන්දු කර 1996 ලෝක කුසලානය දිනාදුන් ආකාරය පිළිබඳ අප උදම් විය යුතුය. තව පර්යේෂණ සිදු කළ යුතුය.

නමුත් කළමනාකරණ විෂය පථය තුළ සහ ආර්ථික විද්‍යාව තුළ පරිහරණය කරන වචන තුළ අර කියන සරල බව නැත. මා පසුගියදා සහභාගි වූ වැඩමුළුවක මෙයට හොඳ උදාහරණයක් දක්නට ලැබිණි. Financial Literacy වලට සිංහලෙන් කියන්නේ “මූල්‍ය සාක්ෂරතාව” කියාය. මේ බර අවිය එනම් “මූල්‍ය සාක්ෂරතාව” නම් සංකීර්ණ වචනය නිසාම එය ගැන ඒ දැනුම ලබා ගැනීම සිදු නොවේ. මේ සරල ඉගෙනගත යුතු සංකල්පය අර මා පැවසූ වැඩමුළුවකට සහභාගී වූ පිරිස සමග මුහුවුණේ නැත. මෙය බොහෝ තැන්වල අප නිරීක්ෂණය කර ඇත. අර අහිංසක ව්‍යවසායකය, විෂය ඉගෙන ගන්න කැමති පුද්ගලයා එවිට විෂයට ආදරය නොකරයි. අර wicket එකට කඩුල්ල යෙදුවා වගේ අපගේ විෂයන් ගමට අරන් අරගෙන යන්න කළමනාකරණය දන්නා, සිංහල ඉංගිරිසිය දන්නා, කුමාරතුංග මුනිදාස කියවපු දෙස, බස, රැස දන්නා උගතුන් අවැසි කාලය එළඹ ඇත. කළමනාකරණ විෂයට මිනිසුන්ට තේරෙන ශබ්දකෝෂයක් ඇති විය යුතුය. මෙයට තව උපහැරණයක් මා උගන්වන අලෙවිකරණය විෂය තුළින් ලබාදිය හැක. මාගේ විෂය පථය වන අලෙවිකරණයේ අප අලෙවිකරණයේ පියා වන මහාචාර්ය පිලිප් කොට්ලර්ට අපගේ හින්නිඅප්පු හාමි සම්මුඛ කරවයි. එනම් අලෙවිකරණය 3.0 සංකල්පය තුළ කොට්ලර් කතා කරන පාරිභෝගිකයා වෙනුවට මනුෂ්‍යත්වය ආදේශ කිරීම මැලිබන් හින්නිඅප්පුහාමි මහතා සිදුකළේ වසර පනහකට කලින්මය. ශ්‍රී ලාංකිකයා අලෙවිකරණය ඒ තරමට අධ්‍යයනය කළ යුතු ප්‍රායෝගික විෂයක් වන්නේ අපේ සංස්කෘතිය තුළ අපටම ආවේණික අපගේ අලෙවිකරණයක් ඇති නිසාය. ඇත්තටම ශ්‍රී ලාංකික සංස්කෘතිය නිවැරදිව කියවන්නාට අලෙවිකරණය පිටරටින් ආනයනය කිරීම අවශ්‍ය නැත. මේ බහුමාන කියවීම තුළ දැනුම සහ ප්‍රායෝගිකත්වය ශිෂ්‍යයාට, හදාරන්නට ලැබෙන්නේ එනම් අප උසස් චින්තන පරාසයකට අපේ අනිකා රැගෙන යන්නේ දෙස, බස, රැස යන හෙළ තුනුරුවන සමාදන් වීම තුළින්මය.

මේ රටේ ආර්ථිකය සම්බන්ධව අර්බුදය සම්බන්ධව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනු අප දැක ඇත. නමුත් මේ ආර්ථික යන්ත්‍රය ක්‍රියාත්මක කරන පුද්ගලයන් සවිබල ගන්වන මූලික හරය, නිර්මාණශීලීත්වය උපදවන ජවය අමතක කර අපට මේ ගමන යා නොහැක. රටට ආදරය කරන, ජාතියට ගෞරව කරන රැහක් අප බිහි කළ යුතුය. එහි අංගයක් ලෙස කුමාරතුංගගේ දෙස, බස, රැස මූලික කරගත් කළමනාකරණයක් අප ඇති කළ යුතුය.

මහාචාර්ය
නලින් අබේසේකර
කළමනාකරණ අධ්‍යයන අංශය
විවෘත විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment