ලබන වසරේත් ඖෂධ අර්බුදයක්!

70

ඉමියුනොලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සහ පිළිකා නාශක ඖෂධ වංචාවට සෘජුවම සම්බන්ධ මහ මොළකරුවන් නිදැල්ලේ සිටීමෙන් ලබන වසරේදී උග්‍ර සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය රජයට අනතුරු අඟවා සිටී.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ දියත් වීමත් සමග අත්අඩංගුවට ගත යුතු ඉහළ පෙළේ දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට නොගෙන ඖෂධ සැපයුම් ජාලයේ පහළ සිටින සාමාන්‍ය රෝහල් අධ්‍යක්ෂවරුන් සහ ඖෂධවේදීන් නීතිය හමුවට ගෙන ඒමත් සමග සෞඛ්‍ය සැපයුම් ජාලයම දැඩි ලෙස අකර්මන්‍ය වී ඇතැයි එම සංගමය කියයි.

ඖෂධ සැපයුම් ජාලයේ පහළ නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමත් සමග රෝහල් පරිපාලකයින්, ඖෂධවේදීන් සහ තොග භාරකරුවන් දැඩි ලෙස භීතියට පත්වීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් මෙරටට ඖෂධ ගෙන්වීම සහ ගෙන්වන ලද ඖෂධ තොග වරායෙන් නිදහස් කර ගැනීමත්, අදාළ ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකයට භාර ගැනීම සහ මුදල් ගෙවීම් ආදී කටයුතුත්, දැඩි ලෙස ප්‍රමාද වෙමින් පවතින බව ද එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කරයි.

අදාළ ප්‍රශ්න සහගත ගනුදෙනුවට හේතු වූ ව්‍යාජ ලිපිය හෝ ව්‍යාජ ලිපියේ පිටපත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ගොනුවලට ඇතුළත් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවක් හෝ සිදුවන පරීක්ෂණවල ප්‍රගතියක් පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස තමන් සතුටු නොවන බව ද වෛද්‍යවරයා කියා සිටී.

අදාළ වංචාවට සම්බන්ධ මහ මොළකරුවන් අත්අඩංගුවට ගෙන දඬුවම් පමුණුවනවා සේම, මෙරට සෞඛ්‍ය පද්ධතිය නිවැරදි මාර්ගයට ගෙන ඒමට නිසි සැලැස්මක් ද ක්‍රියාත්මක නොවන්නේ නම් මෙරට සෞඛ්‍ය පද්ධතිය දිනෙන් දින අගාධයට ගමන් කිරීම නොවැළැක්විය හැකි වනු ඇතැයි ද වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment