මම සිනමාවට ආධුනිකයෙක් – 2023 ජනාධිපති සිනමා සම්මාන උළෙලේ “හොඳම කලා අධ්‍යක්ෂ” සම්පත් වන්නිආරච්චි

53

2023 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී අධ්‍යක්ෂක ලලිත් රත්නායක ගේ “විෂම භාග” චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් “හොඳම කලා අධ්‍යක්ෂ” ලෙස සම්මානයට පාත්‍රවීමට කලා අධ්‍යක්ෂ සම්පත් වන්නිආරච්චිට පුළුවන් විය. මෙම සම්මානය මොහුගේ කලා ජීවිතයේ වසර 25 ට ලබාගත් තුන්වන සම්මානය බවත් ඔහු පවසනවා. එම වටිනා අවස්ථාව පිළිබඳව සහ ටෙලි නාට්‍යවල මෙන්ම සිනමා නිර්මාණවලටත් කලා අධ්‍යක්ෂණයෙන් දායක වන අයුරු පිළිබඳව කතා කරන්නට මෙවර ‘මීවිත’ අපි සම්පත් වන්නිආරච්චිට කතා කළා.

2023 ජනාධිපති සිනමා සම්මාන උළෙලේ, හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය “විෂම භාග” චිත්‍රපටය වෙනුවෙන් ඔබට දිනා ගන්නට හැකිවීම පිළිබඳව ඒ මොහොතේ මොනවගේ සතුටක් ද දැනුණේ?

පළවෙනිම කාරණය තමයි මම චිත්‍රපට ගොඩක් කරපු කලා අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. ටෙලි නාට්‍ය තමයි ගොඩක් කරලා තියෙන්නේ. චිත්‍රපටවලට මම ආධුනිකයෙක්. ඒ නිසා මාව නොමිනේට් වුණාම මම බලාපොරොත්තු වුණේ නෑ මට සම්මානයක් ලැබේවි කියලා. මොකද මගෙත් එක්ක නොමිනේට් වෙලා හිටපු අනිත් අධ්‍යක්ෂවරුන් ජාත්‍යන්තර වශයෙන් චිත්‍රපට කරන මට වඩා අත්දැකීම්, අවබෝධය තියෙන අය. මොකද ටෙලි නාට්‍යවල කලා අධ්‍යක්ෂණය නම් මට පුරුදු විෂය පථයක්, චිත්‍රපට අලුත් අත්දැකීමක්. ඉතිං නොමිනේට් වෙච්ච එක පවා මට ලොකු දෙයක් වගේම ලොකු සතුටක්. බලාපොරොත්තු නොවුණ විදිහට මගේ නම කියනකොට මට අදහගන්න බැරි වුණා. ඒ වෙලාවේ ලොකු සතුටක් දැනුණා. මට ඒක විශ්වාස කරන්න බැරි අමුතු ජයග්‍රහණයක්.

මම සිනමාවට ආධුනිකයෙක් - 2023 ජනාධිපති සිනමා සම්මාන උළෙලේ “හොඳම කලා අධ්‍යක්ෂ” සම්පත් වන්නිආරච්චි

● මීට පෙරත් මෙලෙස සම්මානයට පාත්‍ර වන්නට වාසනාවන්තවෙලා තියෙනවා නේද?

ඔව්. ටෙලිනාට්‍යවල මම මීට පෙර අවස්ථා දෙකකදීම සම්මාන අරගෙන තියෙනවා. ඒත් ලලිත් රත්නායක මහත්මයාගේ “තාත්තා” ටෙලි නාට්‍යයේ 2019 යේ දී සිග්නීස් සම්මාන කලා අධ්‍යක්ෂණයයි, රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙලේ, හොඳම කලා අධ්‍යක්ෂණය කියන සම්මාන දෙකම ලබා ගන්නට පුළුවන් වුණා.

කලා ක්ෂේත්‍රය සමඟ සම්බන්ධවෙලා දැනට කොපමණ කාලයක් වෙනවද?

මම කලා අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරන්න පටන් අරගෙන දැනට අවුරුදු 25 ක් වගේ වෙනවා. නමුත් මම මුලින්ම බලාපොරොත්තු වුණේ නළුවෙක් වෙන්න. නළුවෙක් වෙන්න උත්සාහ කරලා කරලා, අන්තිමට තීරණය කළා කලා අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඕන කියලා.

පවුලේ විස්තර සහ ලැබෙන සහයෝගය ගැනත් කතා කළොත්?

මම පාසල් ගියේ ගාල්ල මහින්ද විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ, අම්මා, තාත්තා, නංගිලා දෙන්නා, මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා. ඒ අය තමයි නිතරම මගේ ජීවිතේ මගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න මට ශක්තියක් වෙන්නේ. මම නාට්‍යයකට ගියාම ගෙදරට කෝල් කරන්නත් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ වෙලාවෙදි මගේ බිරිඳ තමයි දරුවන්ගේ වැඩත් කරගෙන සියලුම වැඩ කරන්නේ. මට ඒ අය ලබා දෙන්නේ ලොකු ශක්තියක්. ඉතිං මගේ වැඩ නිදහසේ කර ගන්න පුළුවන් වෙන්නෙ ගෙදරින් ලැබෙන ඒ සහයෝගය නිසයි.

ඔබ අතින් කලා අධ්‍යක්ෂණය වූ නිර්මාණ මොනවද?

මගේ ජීවිතේ මම ටෙලිනාට්‍ය ගොඩක් කරලා තියෙනවා. ගොඩක් ඒවා මෙගා නාට්‍යය. ඒ අතරින් කිහිපයක් ගත්තොත් දීපශිකා, පිණි බිංදු, බොඳ මීදුම්, තාත්තා, පාර වසා ඇත, ඇය සහ මේ දිනවල විකාශනය වන සිදාදියේ සමනලියෝ කියන නාට්‍ය වගේම සිනමාපට ගත්තොත් මාතා, උදුම්බරා, රූකඩ පැංචි සහ විෂම භාග කියන නිර්මාණවලට මම කලා අධ්‍යක්ෂණයෙන් දායකවෙලා තියෙනවා.

කලා අධ්‍යක්ෂණයක් සිදු කරනවා කියන දේ මොනතරම් භාරදූර කර්තව්‍යයක්ද?

පළවෙනිම කාරණය තමයි අපට යැපෙන්න වෙන්නේ පිටපත මතමයි. පිටපතෙන් ඉල්ලන සියලුම දේ සිදු කරන්න අපි ලෑස්ති වෙන්න ඕන. මොකද කලා අධ්‍යක්ෂණය කියන විෂයෙම තියෙන්නෙ, රූපයේ පේන සියල්ලම අයිති කලා අධ්‍යක්ෂකවරයාට. ඇඳුම් පැලඳුම්, ආභරණ වගේම පිටතින් පෙනෙන සෙට් එක කියන මේ සියල්ලෙම අවසාන තීරණය ගන්නේ කලා අධ්‍යක්ෂක. හැබැයි මේකට අධ්‍යක්ෂතුමාත් ලොකු බලපෑමක් කරනවා. අපි දෙන්නා කතාබහ කරලා කරලා තමයි අවසාන තීරණය ගන්නේ.

“විෂම භාග” සිනමා පටයේ අධ්‍යක්ෂක ලලිත් රත්නායක ගෙන් ඔබට මොනවගේ සහයෝගයක් ද ලැබුණේ?

ලලිත් රත්නායක මහත්මයා නිසා තමයි මගේ ජීවිතයේ මට ලැබුණු මේ සම්මාන සියල්ලම ලැබුණේ. ඔහුගේ අතින් සිදු කළ ගොඩක් නිර්මාණ සම්මානයට පාත්‍ර වුණා. ඔහු සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක්. විෂම භාග චිත්‍රපටයටත් අපට ලෝකයේ සම්මාන පනහක් විතර ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂතුමා තමයි ගොඩක් අදහස් දෙන්නෙ, මෙහෙම මෙහෙම කරන්න කියලත්. මගේ අතින් නිර්මාණය වන නිර්මාණ ගැන ඔහු සෑහීමකට පත්වෙනවා සහ මට ලොකු සහයෝගයක් ලබා දෙනවා ඒවා සාර්ථකව නිමා කරන්නට.

ඔබේ ජීවිත ගමනේ ඔබට ස්තුති කළ යුතු විශේෂ පුද්ගලයින් ඉන්නවද?

ඔව්. අනිවාර්යෙන්ම. මම කලාව පැත්තට නැඹුරු වුණේම දයාරත්න වල්ගම මගේ ගුරුවරයා නිසා. ඊට පසුව කලා අධ්‍යක්ෂණය ගැන මට මුලින්ම ඉගැන්වුවේ, රංජිත් සිල්වා ගුරුතුමා. ඊට පසුව මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු කියන මගේ මිත්‍රයා. ඊට අමතරව මගේ අම්මා, තාත්තා, නංගිලා දෙන්නා, මගේ ආදරණීය බිරිඳ සහ දරුවන් දෙදෙනාවත් මේ වෙලාවේ මතක් කළ යුතුමයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය නිසා කලා ක්ෂේත්‍රයට අද වන විට මොනවගේ ඉරණමකට ද මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන්නේ?

සියලුම කලා විෂයන්ට අදාළයි රටේ ආර්ථිකය කියන කාරණය. ආර්ථිකය නිදහස් නම්, ආර්ථිකය ඇතුළේ මිනිස්සුන්ට තමන්ට කැමති දේවල් කරගෙන ඉවර කරගන්න පුළුවන් නම්, එතනින් පස්සේ තමයි යන්නේ නිර්මාණ රසවිඳින්න. එතකොට ලංකාවේ දැන් තියෙන තත්ත්වයත් එක්ක සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බැරුව ඉන්න කොට එතැනින් එහාට අපට පවුලක් එක්ක චිත්‍රපටයක් රසවිඳින්න අමාරුයි. මේ කලා ක්ෂේත්‍රය රැඳෙන්නේ සුළු පිරිසකගේ වුවමනාව හා දායකත්වය මතයි. ආර්ථික පදනමත් එක්ක තමයි ප්‍රශ්නය තියෙන්නේ. ඒ නිසා හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. එනිසාම ඇතැම් නිෂ්පාදකවරු ලාභය ගැන නොහිතා නිර්මාණ කරන අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු?

එහෙම කියලා වෙන විශේෂ බලාපොරොත්තු මට නැහැ. නිර්මාණය විදග්ධ ද නැත්නම් සාමාන්‍ය ද කියලා අදාළ නැහැ. මට ලැබෙන සියලුම නිර්මාණ මම හොඳින් කරනවා. මට කරන්න පුළුවන් උපරිමයෙන්ම කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment