ජිනීවා කවුන්සිලයේ ආසියාවේ ප්‍රධානියා ලංකාවට ඒමේ අභිරහස!

507

● චීන නැව ට්‍රාන්ස්පොන්ඩර් උපකරණය ක්‍රියාවිරහිත කරලා;
නැව ඇති තැන දැනගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වෙයි

● ප්ලොට් සංවිධානය ස්වයං පාලනය ඉල්ලයි!

මෙරට හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ දඩයම් කිරීමේ මෙහෙයුම දැන් ආරම්භ වී ඇත. මේ සතියේ දිනෙක ඇමරිකාවේ වොෂින්ටන් නුවර පර්ල් නැමැති කොටි හිතවාදී සංවිධානයක් ද යාපනයේ අඩයාලම් සංවිධානය ඇතුළු කොටි හිතවාදී සංවිධාන 17ක් සිංගප්පූරුවේ සොලිසිටර් ජනරාල් ඩැෆ්නේ හොන්ස් පැන් වෙත හදිසි සංදේශයක් යවමින් ගෝඨාභය ද්‍රවිඩයන් 169,796ක් ඝාතනය කර ඇති බව දක්වමින් ඔහුව අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලා සිටියේය.

මේ සංවිධාන අතර ව්‍යාජ සංවිධානද විය. එසේම සිංගප්පූර් කම්කරු පක්‍ෂයේ නායක ජෙරමි සීබල්ද සිංගප්පූර් විදේශ ඇමැතිවරයා ගෙන් ප්‍රශ්නයක් අසමින් ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිට ජාත්‍යන්තර මුක්තිය හෙවත් ඉම්පියුනිටි (වරප්‍රසාද) ලබාදී තිබේදැයි ප්‍රශ්න කළේය. එයට ප්‍රතිචාර දැක්වූ සිංගප්පූර් ස්වදේශ ඇමැතිවරයා වූ ෂන්මුගරාජා ගෝඨාභයට මුක්තිය හෝ වෙනත් විශේෂ වරප්‍රසාද ලබාදී නැතැයි කීවේය.

මේ පසුබිම මැද වසර කීපයකට පෙර මෙරට බලවත්ම ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්‍ෂ කිසිදු රටකට යෑමට නොහැකි අසරණයකු බවට පත්වී ඇත.

2019 අවසාන භාගයේ බලයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂට වැරදුනේ මිතුරන් වෙනුවට සතුරු පාර්ශව ළංකර ගැනීමයි. විශ්‍රාමික හමුදා ප්‍රධානීන්ව රටේ ඉහළ තනතුරු වලට පත්කළ ගෝඨාභය රාජපක්‍ෂ ගුවන් යානාවලට වෙඩි තැබූ අත්අඩංගුවේ සිටි කොටි ත්‍රස්තයන් නිදහස් කිරීමට පවා ක්‍රියාකළේය. ඔහුට වැරදුනේ එතනයි. 120,000ක කොටිද මුදාහැරිනි.

එහෙත් කොටි ඩයස්පෝරාව යුද හමුදා නිලධාරීන් ද්‍රවිඩ සංහාරකයන් බවට ලොව පුරා ප්‍රචාරය කරද්දී ගෝඨාභය බලා සිටියේය. අඩු වශයෙන් හමුදාවට එල්ලවූ යුද අපරාධ චෝදනාවලට අභියෝග කිරීමටද ඔහු ක්‍රියාකළේ නැත. බලයෙන් පහවීමට ඔන්න මෙන්න කියා තිබියදී කොටි ජාත්‍යන්තරයේ 352ක තහනම ඉවත් කිරීමටද ඔහු ක්‍රියාකළේය. මෙවන් පසුබිමක් මැද කොටි ඩයස්පෝරාව අතිශයින්ම බලවත් විය. එහි ප්‍රතිඵලය වූයේ ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප්‍රැන්සිස් තමාව පැහැරගෙන ගිය බවට බොරු මෙහෙයුමක් දියත් කිරීමයි.

මේ බොරුව හෙළිවන අවස්ථාවේ රහස් පොලිසියේ සේවය කළ නිශාන්ත සිල්වා නමැති පොලිස් පරීක්‍ෂකවරයා සහ පවුලේ අය ස්විට්සර්ලන්තයට පැන ගියේය.

අවසානයේදී තමන්ට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ඔහුට දැන ගැනීමටද නොහැකිවිය. එසේම වෛi සේවයේ යැයි දක්වමින් කේලෙයි ප්‍රේසර් නමැති විදේශීය කාන්තාවකට මෙරටට ඇතුළු වීමටද ඔහු ඉඩදුන් අතර එම කාන්තාවගේ වගතුග සෙවීමක් නොවීය. බ්‍රිතාන්‍ය ජාතික මේ කාන්තාව වෛiවරියක් නොවේ. ඇගේ මෙහෙයුම වූයේ රජය පෙරළීමයි. මෙරට හමුදාව සිවිල් වැසියන්ගේ හිසට පිස්තෝල තබා මරණ බවට තර්ජනය කරන බව ඇය හඬා වැටෙමින් ප්‍රචාරය කළාය.

ජිනීවා කවුන්සිලයේ ආසියාවේ ප්‍රධානියා ලංකාවට ඒමේ අභිරහස!

ප්‍රේසර් නැමැත්තිය වහාම මෙරටින් පිටුවහල් කිරීමටද ගෝඨාභය බියවිය. ප්‍රේසර්ගේ වගතුග බුද්ධි අංශවලට වාර්තාවූවත් ඇයට එරෙහිව පියවර ගැනීමට ගෝඨාභය කටයුතු කළේ නැත. මේ අතර ජිනීවා, සුරිච්, ලන්ඩන් ඇතුළු නගරවල සිටි ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ව ඔහු තඹ දොයිතුවකටවත් ඇගයීමට ලක් කළේ නැත.

එසේම තානාපතිධුර කීපයකට ඔහු තමාට හිතවත් නිලධාරීන් පත් කළේය.

මේ හැර කොටි ත්‍රස්තයන් යුද අපරාධ කළ බවට අභියෝග කිරීමටද ඔහු ක්‍රියාකළේ නැත. එහෙත් කොටි ඩයස්පෝරාව නොකඩවා ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58ක් යුද අපරාධ කළ බව කියා සිටීය. මේ බොරු ප්‍රචාර සඳහා 120,000ක සාක්කි මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ වෙත යොමුකිරීමටද කොටි ඩයස්පෝරාව ක්‍රියාකළහ.

කටුනායක ගුවන්තොටුපළට කොටි ප්‍රහාර එල්ල වන අවස්ථාවේ සිය අසුනේ නොසිටීම නිසා යුද්ධාධිකරණය විසින් ධුරයෙන් පහකළ හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් ජනවසම ප්‍රධාන බලධාරියා ලෙස පත්වන අවස්ථාවේ ඔහුව ඉවත්කිරීමටද ගෝඨාභය රාජපක්‍ෂ කටයුතු කළේ නැත.

එසේම ඊනියා සටන්විරාම අත්සන් කිරීමට මුල් වූ ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවාව සම්බන්ධ පුද්ගලයකුටද ඔහු කැබිනට් බලතල සහිතව මහ කොමසාරිස් ධුරයක් දුන්නේය. ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට යැවූ නම් හත ඔස්ටේ්‍රලියානු බලධාරීන් ප්‍රතික්‍ෂේප කරද්දී ඊට එරෙහිව ගෝඨාභය කිසිදු පියවරක් ගත්තේ නැත.

මේ හැර කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කරනු ලැබුවේ අංක එකේ කොටි හිතවාදියෙකි.

ගුවන් හමුදා ඇන්ටනෝව් යානාවකට මිසයිල ප්‍රහාර එල්ල කළ තබෝරූබන් නමැති කොටි ත්‍රස්තයාවද නිදහස් කිරීමට ගෝඨාභය ක්‍රියාකළේය. එසේම දේශප්‍රේමීන්ගේ අනතුරු ඇඟවීම් සත පහකට ගණන් නොගත් ගෝඨාභය අලුත් මිතුරන් ළංකර ගත්තේය. විධායක බලතල තිබුණත් නීතිය හා සාමය බිඳවැටෙන අවස්ථාවේ ඔහු බලා සිටියේය. හැටනවලක්‍ෂයක් ඡන්දය භාවිතා කළ ගෝඨාභය දැඩි පියවරගන්නා අයකු වනු ඇතැයි ජනතාව සිතුවත් එය කනපිට පෙරලුණි. ප්‍රභාකරන් අද සිටියා නම් ගෝඨාභය පැන දුවනු ඇති බව ගෝඨාභයගේ වර්තමාන ක්‍රියාකලාපය ගැන නිරීක්‍ෂණය කරන විට තහවුරු විය.

අවසානයේදී සිංගප්පූරුවට ගොස් දින 11ක වීසා කාලයක් ලබාගත් ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකාගේ දඩයමට ලක්විය. ඔහුට වීසා දීම ඇමරිකාවද ප්‍රතික්‍ෂේප කළේය. සතුරන් ඔහුව දඩයම් කිරීමට දියත්කරන විට ඊට ප්‍රතිචාර දැක්වීමටද ඔහු උසස් ධුරවලට පත්කළ පාර්ශ්ව ක්‍රියාකළේ නැත.

ඔහුට ලිබියාවේ කර්නල් ගඩාපිට සිදුවූ දෙය සිදුවීමට ඉඩ තිබුණත් ආරක්‍ෂක අංශ නිසා දිවි ගලවා ගැනීමට හැකිවිය.

මේ තත්ත්වය මත ගෝඨාභය දඩයම් කිරීම උච්චස්ථානයට පැමිණ ඇත. ඉන් ඔහුට ගැලවිය හැකිද? එසේම යාපනයේ ස්ථාන රැසකම ද්‍රවිඩ ජනසංහාරය කළ ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පෝස්ටර් අලවා තිබුණි.

උතුරේ ආරංචි මාර්ග පැවසුවේ කොටි ඩයස්පෝරාව එම පෝස්ටර් ව්‍යාපාරයට අරමුදල් සපයා ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ උපදේශක සමාගමක් යැයි හඳුන්වාගත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් නම් මෙරටට පැමිණීමට නියමිත පර්යේෂණ නැවක් වූ යුවාන් වැන් නෞකාව ඔත්තු බැලීමේ යාත්‍රාවක් ලෙසට හඳුන්වා ඇත. මෙම චීන නැවේ ආගමනය කල්දමන ලෙස ශ්‍රී ලංකා රජය චීන බලධාරීන්ට දන්වා ඇත. මෙය චීනයේ දෙවැනි පරපුරේ නැවකි. මෙම නැවේ ආගමනය ගැන ඉන්දීය රෝ සංවිධානය විසින් නිරීක්‍ෂණය කර තිබේ. චීන ජනතා හමුදාව පාලනය කරන මෙම නැව අගෝස්තු 11දා මෙරටට පැමිණ අගෝස්තු 17දා දක්වා හම්බන්තොට වරායේ රැඳී සිටීමට නියමිතව තිබුණි. ඉන්දීය බලධාරීන් පැවසුවේ චීන නැවට ඉන්දීය ආරක්‍ෂක ස්ථාන විමර්ශනය කිරීමේ අධි තාක්‍ෂණික උපාංග ඇති බවයි. චීන ජනතා හමුදාව හම්බන්තොට වරාය ඔත්තු බැලීමේ කටයුතු සඳහා මෙම නැව භාවිතා කිරීමේ ඉඩකඩ ඇති බව ඉන්දියාව චෝදනා කර ඇත.

2007 සැප්තැම්බර් 29 දා සේවයට යොදවා ඇති මෙම නැව මිසයිල විමර්ශනය කිරීමේ අධිතාක්‍ෂණික උපාංගවලින් සමන්විත වූවකි. ඇමෙරිකානු සී එන් එන් රූපවාහිනි සේවය පැවසුවේ මෙම නෞකාවට ඉන්දීය සාගරයේ යුද නැව් ගැන සවන්දීමේ හැකියාවක් ඇති බවයි. ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඇති උපාය මාර්ගික නාවික කේන්ද්‍රස්ථාන සහ චන්දිපූර්හි ඇති චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ ස්ථානයට අදාළ තොරතුරු සෙවීමටද ඊට හැකි බව සී එන් එන් ප්‍රවෘත්ති සේවාව තවදුරටත් හෙළිකර ඇත.

ජාත්‍යන්තර නාවික අංක 8413054 යටතේ යාත්‍රා කෙරෙන මෙම නැවේ ගමනාන්තය පසුගිය දින 23 තුළ ඉන්දියාව නිරීක්‍ෂණය කර තිබේ. මෙම පසුබිම මැද ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. එසේම කොටි පැරදවූ යුද ජයග්‍රහණ දැන් අමතක වී ඇත. එම තත්ත්වය මත කොටි ඩයස්පෝරාව පෙරට වඩා බලවත්වී තිබේ.

උතුරේ කොටි හිතවාදීන්ද ඩයස්පෝරා අරමුදල් මත දැඩිලෙස බලවත්වී ඇත. සෙබළුන් 10,000 ක් පෙට්ටිවලින් කොළඹට එවන බවට පාර්ලිමේන්තුවේදී තර්ජනය කළ සෙල්වරාසා ගජේන්ද්‍රන්ද යළිත් පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් ඒකීය යන වචනය ඉවත්කළ යුතු බවට පවසා තිබේ. මේ අයුරින් ගජේන්ද්‍රන්ලාට පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී හඬ නැගීමට හැකිවූයේ හිටපු ජනපතිගේ අඥාන ක්‍රියාකලාපය නිසාය.

මේ හැර ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේද ශ්‍රී ලංකාවේ හමුදාවට අවසාන ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් වේ. ඒ හමුදා නිලධාරීන් 58 කට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඔවුන්ව විදේශ රටකදී අත්අඩංගුවට ගැනීමටයි.

මේ හමුදා නිලධාරීන්ට චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය හැර වෙන කිසිම රටකට යෑමට නොහැකිය. ඔවුන් යුරෝපා රටවලට ගියොත් සර්වලෝක අධිකරණ පද්ධතිය මත අත්අඩංගුවට ගනු ඇත. මෙවන් ක්‍රියාමාර්ගයක් ව්‍යාර්ථ කිරීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ හමුදාව යුද අපරාධ චෝදනාවලින් මුදාගැනීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් පවා ඉදිරිපත් කළේ නැත. එහෙත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එවන් පනත් සම්මත කර ගනිමින් තම හමුදා නිලධාරීන් බේරාගැනීමට ක්‍රියාකළේය.

මෙයට අමතරව ජිනීවා වලදී එල්ල වූ යුද අපරාධ චෝදනාවලට අභියෝග කිරීමටද ගෝඨාභය රාජපක්‍ෂ ක්‍රියාකළේ නැත. ඔහු අඥාන දේශපාලකයන්ගේ උපදෙස් මත යුද අපරාධ චෝදනා අභියෝගයට ලක්කිරීමට ඉදිරිපත් නොවුණි. ලබන සැප්තැම්බර් මස ජිනීවා නුවර පැවැත්වෙන 51 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව දැඩි අසීරු තත්ත්වයකට මුහුණ පාන්නේ ගෝඨාභයගේ ක්‍රියාකලාපය නිසාය. මෙරට හමුදා නිලධාරීන් 58 කට එරෙහිව යුද අපරාධ සාක්කි 120,000ක් ඇති බව මිචෙලි බැචලේ පවසද්දී සාක්කිකරුවෝ හෙළිකරන ලෙස ගෝඨාභය අභියෝග නොකර නිහඩව සිටියේය. එහෙත් ඉන්දීය හමුදා නිලධාරීන් 700 කට යුද අපරාධ චෝදනා ඇති බව මානව හිමිකම් බලධාරීන් පවසද්දී ඉන්දීය රජය ඊට අභියෝග කළේය.

ජිනීවා කවුන්සිලයේ ආසියාවේ ප්‍රධානියා ලංකාවට ඒමේ අභිරහස!

මේ අතර ඩග්ලස් මුන්රෝ නැව ශ්‍රී ලංකාවට ගෙන ඒමට ගිය නාවික කණ්ඩායමෙන් අතුරුදන් වූ නැවියන් නවදෙනා මෙතෙක් හමුවී නැත. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩකයන් දෙදෙනකුද අතුරුදන්වී ඇති අතර අනිකුත් ක්‍රීඩකයන්ගේ ගමන් බලපත්‍ර බ්‍රිතාන්‍ය බලධාරීන් ඔවුන්ගේ භාරයට ගෙන ඇත. මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආසියා ප්‍රධානී රෝරි මුන්ගෝවන් සැප්තැම්බර් මස මුලදී දූත කණ්ඩායමක් සමග ශ්‍රී ලංකාවට පැමිණේ. ශ්‍රී ලංකාව ගැන සැප්තැම්බර් මස සමුළුවට රහසිගත වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ මුන්ගෝවන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment