ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ධූත මණ්ඩල ප්‍රධානි පීටර් බ්රුවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියේය. මහ බැංකුව, මුදල් අමාත්‍යංශය ඇතුළු විවිධ පාර්ශ්වයන් සමග සාකච්ජා පැවැත් වූ ඔවුන් සිය සංචාරය අවසානයේ මාධ්‍ය හමුවක් ද පවත්වන ලදී. එහි දී ඔවුන් කියා සිටි ප්‍රධාන කාරණයක් වූයේ එම අරමුදල මගින් දැනට අප වෙත ලබා දී ඇති ණය වැඩසටහනට අදාළව දෙවන විමර්ශනයට පෙර අප විසින් අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් එකඟතා සඳහා විදේශ ණය හිමියන්ගෙන් කැමැත්ත ලබා ගත යුතු බවයි. මේ වන විට අපට එම ණය මුදලට අදාළව වාරික දෙකක් ලබා දී තිබේ. දැන් තිබෙන්නේ අපට තුන්වන වාරිකය ලබා ගැනීමටයි. මේ ණය වැඩසටහනට අදාළව මාස හයෙන් හයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපගේ ප්‍රගතිය ගැන විමර්ශනයක් කරනු ලබයි. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත් වන්නේ නම් අප අදාළ එකඟතා සහ ඉලක්ක අනුව කටයුතු කර ඇත්නම් අදාළ ණය වාරිකය අප වෙත මුදා හැරීමට ඔවුන් කටයුතු කරයි. මේ ක්‍රියාවලියේ වසර හතරක් පුරා අදාළ අවශ්‍යතා සහ කොන්දේසි සපුරමින් ගමන් කිරීමට අපට සිදුව ඇත. මෙය දුෂ්කර සහ අභියෝගාත්මක ගමනකි. එම ගමනේ කිසියම් දුරක් අප සාර්ථකව පැමිණ ඇති අතර තව බොහෝ දුරක් යෑමට ද ඇත. එහිදී අයිඑම්එෆ් පදයටම නටන්නේ නැතුව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට, විශේෂයෙන් විදේශ විනිමය ඉපයීම් වර්ධනය කර ගැනීමට අපටම වෙනම සැලසුම් තිබිය යුතු වේ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් එකඟතා ජුනි මසට පෙර

2022 වසරේ අප්‍රේල් 12 වැනිදා අප විසින් අපගේ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලදී. එය ඇතැමුන් හඳුන්වන්නේ රජය විසින් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමක් ලෙසය. එහෙත් මෑතදී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් නොකළ බවයි. මෙහිදී රජය කළේ තාවකාලිකව ණය ගෙවීමට අපහසු බව අදාළ ණය හිමියන්ට දැනුම් දී ඔවුන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ජා ආරම්භ කිරීමයි. පසුව ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීමෙන් පසු නැවත ණය ගෙවීම ආරම්භ කිරීම මේ අනුව සිදුවේ. නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමක් රජය විසින් සිදු නොකළ බව ඇත්තය. එහෙත් රාජ්‍ය නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා නම් රට බංකොලොත් වූ බව විවිධ අවස්ථාවල දී ප්‍රකාශ කර ඇත. රජය විසින් නිල වශයෙන් රට බංකොලොත් වූ බවට ප්‍රකාශ නොකළ නමුත් අපත් සිතන්නේ රජයට තාවකාලිකව හෝ ණය ගෙවීම අත්හිටුවීමට සිදු වූයේ රට බංකොලොත් වූ නිසා බවයි. එහෙත් එහි අදහස විදේශ ණය නැවත නොගෙවා සිටින බව නොවේ. රටක් බංකොලොත් වුවත් ඉන් මිදීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමෙන් බංකොලොත්භාවයෙන් මිදිය හැකිය. ඒ සමග ක්‍රමයෙන් විදේශ ණය ගෙවීමේ හැකියාව ද වර්ධනය කරගත හැකිය.

අප දකින ආකාරයට රජය දැන් කටයුතු කරමින් සිටින්නේ බංකොලොත් තත්ත්වයට පත් වූ රට එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වන ක්‍රියාවලියකි. එහිදී අයිඑම්එෆ් සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය මූලිකම කරුණකි. මේ අනුව රජය විසින් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන එහි අරමුදල් පහසුකමක් අනුමත කරගෙන, අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට ණය හිමියන් සමග සාකච්ජා කරමින් විදේශ ණය ගෙවීමේ හැකියාව නැවත ඇති කර ගැනීමට කටයුතු කරමින් සිටී. ඒ සඳහා සියලු විදේශ ණය හිමියන්ගෙන් මූලික එකඟතා ඇති කර ගැනීමට අප සමත් වූ අතර දැන් තිබෙන්නේ එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතා සඳහා ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීමයි. මේ සඳහා දැන් ඔවුන් සමග සාකච්ජා පවත්වමින් තිබේ. මේ කැමැත්ත ලබා ගැනීම මේ වසරේ (2024) ජුනි මසට පෙර සිදු කරගත හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වීරසිංහ මහතා ඉකුත් ජනවාරි 23 වැනිදා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය. ඒ අනුව අපගේ ණය වැඩසටහනට අදාළ දෙවන විමර්ශනය අවසන් වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපගේ ණය මුදලට අදාළ තුන්වැනි වාරිකය ලබාදෙනු ඇත.

අයිඑම්එෆ් ණය මුදලේ මෙම තුන්වැනි ණය වාරිකය ලැබීමෙන් අදහස් වන්නේම අප විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් එකඟතා සඳහා ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන ඇති බවයි. ඒ අනුව තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් එම ණය හිමි රටවල් සහ බැඳුම්කර හිමියන් සමග ගිවිසුම්ගත වී එම නව එකඟතා අනුව අලුතින් ණය ගෙවීම ආරම්භ කිරීමටයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතා ඇති කර ගැනීමෙන් පසු ඒ සඳහා ගිවිසුම්ගත වීමේ ක්‍රියාවලිය සඳහා කිසියම් කාලයක් ගතවනු ඇත. එහෙත් ඒ සඳහා දිගු කාලයක් ගත වනු ඇතැයි තමා නොසිතන බව ද මහ බැංකු අධිපතිවරයා පවසයි. කෙසේ වෙතත් එය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් වන බැවින් ඒ සඳහා ඊට වඩා වැඩි කාලයක් ගතවනු ඇත. ඒ අනුව අපට පෙරට වඩා අඩු මට්ටමකට අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම ඇතිකරගත් නව එකඟත්වයන් අනුව ගෙවීම පටන් ගත හැකිවේ. ඒ අනුව සිදුවන්නේ අපගේ විදේශ ණය ගෙවීමේ හැකියාව නැවත ඇති වීමයි. ඒ අනුව අපට අපගේ විදේශ ණය අපටම ගෙවාගෙන යෑමට හැකියාව ඇති කරගත් විට අපගේ ණය තිරසාර බවට පත් වීමෙන් අප මුහුණ දී සිටි බංකොලොත්භාවයෙන් ද මිදීමට අපට හැකිවනු ඇත. බොහෝ දෙනෙක් අසන්නේ අපටම අපගේ විදේශ ණය ගෙවාගෙන යෑමේ හැකියාව ඇති කරගත හැකි වන්නේ කවදා වන විට ද යන්නයි. මේ සිදුකළ පැහැදිලි කිරීමෙන් ඒ සඳහා වන පිළිතුර ලැබේ. එනම් තුන්වන ණය වාරිකය ලැබීමෙන් කිසියම් කාලයකින් පසු අපට විදේශ ණය හිමියන් සමග ඇතිකර ගන්නා ගිවිසුම් එකඟතා අනුව අත්හිටුවා ඇති ණය ගෙවීම ආරම්භ කළ හැකිවනු ඇත. එහිදී අප සිතන්නේ අපගේ විදේශ මුදල් ලැබීම් තත්ත්වයන් වර්ධනය කර ගැනීම මෙන්ම නව විදේශ මුදල් උත්පාදන මාර්ග පවා හඳුනා ගැනීම යන්න මේ විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමේ දී විශාල ශක්තියක් වනු ඇති බවයි. මෙහිදී අප විසින්ම අපගේ විදේශ ණය ගෙවීම ආරම්භ කළත් එසේ කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකින් පසුවය. එහිදී අපට ණය පියවීමට සිදුවනු ඇත්තේ කිසියම් අඩු මට්ටමකින් සහනයක් සහිතවය. මේ නිසා අපට ණය ගෙවීම නැවත ආරම්භ කළත් පෙර මට්ටමට වඩා වාර්ෂිකව ගෙවීමට සිදුවනු ඇත්තේ අඩු ණය ප්‍රමාණයකි.

රටේ ආර්ථික තත්ත්වය කිසියම් දුරකට ස්ථාවර තත්ත්වයට පත්ව තිබෙන නමුත් ජනතාවට ජීවත් වීම සඳහා විශාල අමාරු තත්ත්වයක් නිර්මාණය කර ඇත. භාණ්ඩ හා සේවා මත පනවන වැට් බදු සියයට 18 දක්වා විශාල ලෙස වැඩි වී බඩු මිල ගණන් බොහෝ වැඩි වී ඇත. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති එකඟතාව ගැන බොහෝ විවේචන තිබේ. එහෙත් එසේ විවේචන සිදු කරන කිසිවෙකුට මේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීමේ වෙනත් විකල්ප මාර්ගයක් ඇතැයි අපට දැකිය නොහැකිය. මේ යන ගමනේ ද බොහෝ අඩුපාඩු සහ දුර්වලතා තිබෙනවා ද විය හැකිය. ඒවා නිවැරදි කරගෙන සාමාන්‍ය ජනයා මත පැටවී ඇති ඇති විශාල පීඩනය සමනය කිරීම සඳහා නම් විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ. එනම් බදු ආදායම් වර්ධනය කර ගැනීමේ දී වක්‍ර බදු වෙනුවට හැකිතාක් ගෙවීමේ හැකියාව සහ ශක්තිය තිබෙන අයගෙන් සෘජු බදු වැඩියෙන් අය කර ගැනීමෙන් මෙන්ම බදු පදනම හෙවත් බදු ගෙවන ආයතන හා පුද්ගලයන් සංඛ්‍යාව වැඩි කර ගැනීමෙන් ද සාමාන්‍ය ජනයාගේ වක්‍ර බදු බර අඩු කරගත හැකි වේ. බදු ගෙවිය යුතු වුවත් බදු නොගෙවා පැහැර හරින විශාල පිරිසක් සිටී. ඒ අය ක්‍රමයෙන් බදු දැලට කොටු කරගත යුතු වේ. එහෙත් දැනට තිබෙන මසකට රු. ලක්ෂයක් වන බදු නිදහස් සීමාව නම් වැඩි විය යුතු වේ. අද රු. ලක්ෂයක් යනු මහ ලොකු මුදලක් නොවේ. මේ නිසා සැබෑ ලෙසම ඉහළ ආදායම් ලබන්නන් බදු ගෙවන්නන් බවට පත්කරගත යුතු බවට නම් කිසිම සැකයක් නැත. මේ නිසා ආණ්ඩුව වයස 18 ට වැඩි සියලු දෙනාට බදු අංකය (ටින් අංකය ) ගැනීම අනිවාර්ය කර, මේ පටන් ගැනීමට යන්නේ එම කාර්යය විය හැකිය. මේ නිසා කිව යුත්තේ අයිඑම්එෆ් සහාය ගැනීම ගැන ඇතැම් අය දොස් කිව්වත් අයිඑම්එෆ් සහාය නොගෙන මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් එන ගමන නොපැමිණියේ නම් ජනයාට මුහුණ දීමට සිදු වනු ඇත්තේ මීටත් වඩා දුෂ්කර තත්ත්වයකට බවයි. විදේශ විනිමය හිඟය උග්‍ර වීමෙන් තෙල් ගෑස් පමණක් නොව තවත් බොහෝ අමුද්‍රව්‍ය පවා නොමැති වීමෙන් බොහෝ කර්මාන්ත, ව්‍යාපාර යනාදිය වැසී ගොස් මීට වඩා වැඩි පිරිසකට රැකියා අහිමි වී විශාල අර්බුදයකට, අරාජික තත්ත්වයකට රට ගමන් කළ හැකිව තිබිණි.

මේ අනුව රට වැටී සිටි තැන සිට වත්මන් තත්ත්වයට ගෙන ඒමට අයිඑම්එෆ් සහාය විශාල පිටිවහලක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එනම් රට වැටී සිටි තත්ත්වයේ සිට වත්මන් තත්ත්වය දක්වා ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශාල පිටිවහලක් වූ බවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ ගැන මෙසේ ද කියයි.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම තම රජයක් යටතේ වෙනස් කරන බවට විපක්ෂ නායකවරයා මේ අවස්ථාවේ කරන ප්‍රකාශය පැරණි සටන් පාඨයක්. මේ අවස්ථාවේදී සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි.

රට අසීරුවට පත්ව තිබූ අවස්ථාවේ මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම මගින් රටට හා ආර්ථිකයට සිදු වූයේ යහපතක් මිස අයහපතක් නොවෙයි. කෙසේ වෙතත් ජනප්‍රියත්වයට උදෙසා සිදු කරන මෙවැනි ප්‍රකාශ මගින් රටට සිදුවන යහපතක් නැහැ.’

අපත් සිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම වෙනත් රජයකට ඒකපාර්ශ්විකව වෙනස් කිරීමට නම් හැකියාවක් නැති බවයි. විපක්ෂ නායකවරයා දේශපාලනිකව මේ කතාව මෙසේ කියා සිටියත් ඔහු මේ යථාර්ථය නොදන්නවා විය නොහැකිය. එහෙත් නව රජයකට සාකච්ජා කර දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් අදාළ ඉලක්ක සහ ප්‍රතිසංස්කරණවල යම් යම් වෙනස්කම සිදු කර ගැනීමට බාධාවක් නැත. එහෙත් කවර රජයයක් බලයට පත් වුවත් ගමන් කිරීමට සිදු වනුයේ නම් මේ මාර්ගයේම මිස වෙනත් මාර්ගයක නම් නොවේ. යථාර්ථය එයයි.

පසුබෑමට ලක්ව තිබූ ආර්ථික ක්‍රියාකාරිත්වය ඉහළ යමින් තිබේ. මේ අනුවම අපේ ආර්ථිකය මේ වන විට ඍණ ආර්ථිකයකින් ධන ආර්ථිකයකට පරිවර්තනය වෙමින් තිබේ. මේ අනුව මහ බැංකුව පවසන පරිදි අඛණ්ඩව කාර්තු හයකදී සංකෝචනය වීමෙන් පසු ගිය වසරේ (2023) තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය ධන වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇස්තමේන්තුවලට අනුව 2023 තුන්වන කාර්තුවේදී ආර්ථිකය සියයට 1.6 කින් වර්ධනය වී ඇත. මෙය කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශවල වර්ධනයන් මගින් සහාය දැක්වූ ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් පදනමකින් වර්ධනය වීමක් වේ. වෙළෙඳපොළ පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති වේගවත්ව සම්ප්‍රේෂණය වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ණය ඉල්ලුම ඉහළ යෑම, ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ අපේක්ෂා වර්ධනය වීම, සැපයුම් තත්ත්ව වැඩිදියුණු වීම සහ විදේශීය ඉල්ලුම් තත්ත්වයන්හි අපේක්ෂිත ක්‍රමික වර්ධනය මගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම්හි යථා තත්ත්වයට පත්වීම තවදුරටත් තිරසාර ලෙස සිදුවෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෙසේ රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමේ දී ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීම ද අත්‍යවශ්‍ය කරුණකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment