කඳානේ ගින්න අවට පාසල්වල සිසු සිසුවියෝ 200ක් රෝහලේ – ගණකාධිකාරී මරුට

656

කඳාන, උස්වත්ත, පල්ලිය පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය අඩංගු කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක ඊයේ (08 වැනිදා) උදෑසන 7.30 ට පමණ හටගත් හදිසි ගින්නකින් එහි ගණකාධිකාරීවරයකු මරුමුවට පත්වී ඇතැයි කඳාන පොලිසිය පවසයි.

මීට අමතරව එම කර්මාන්ත ශාලා ගින්නේ දුමාරය සමඟ ඇතිවූ ශ්වසන අපහසුතා, සුළු ආබාධ හේතුවෙන් කර්මාන්ත ශාලාවට මීටර් 400 ක් දුරින් පිහිටි කඳාන සෙබස්තියන් බාලක හා බාලිකා විදුහල්වල සිසු සිසුවියන් 200 ක් පමණ පිරිසක් ගිලන්රථවලින් හා වාහනවලින් රාගම ශික්ෂණ හා ආනියාකන්ද දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

කඳානේ ගින්න අවට පාසල්වල සිසු සිසුවියෝ 200ක් රෝහලේ - ගණකාධිකාරී මරුට

මෙම සිසු සිසුවියන්ගේ තත්ත්වය රෝහල්වලින් විමසා බැලීමේදී ඒවායේ බලධාරීන් කියා සිටියේ දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවය.

ගින්නට හසුව මියගොස් ඇත්තේ ගණේමුල්ලේ පදිංචිව සිටි සමන්ත අබේරත්න නමැති 50 හැවිරිදි අයෙකි.

පිපිරීම් ශබ්දයත් සමග ගින්න හටගත් අවස්ථාවේ එම කර්මාන්ත ශාලාවේ සේවය කළ ගණකාධිකාරීවරයා ගබඩාව තුළ සිට ඇති අතර ඔහු ගින්නට හසුව මෙසේ මිය ගොස් තිබේ.

ගින්න හටගැනීමත් සමග ගම්පහ සහ මීගමුව ගිනි නිවන ඒකකවල සහ නාවික හමුදාවේ ගිනි නිවීමේ රථ 3 ක්ම එම ස්ථානයට පැමිණි අතර ගින්න පැය 4 ක් තුළ මැඬ පැවැත්වීමට ඔවුන්ට හැකි වී තිබේ.

මෙම ගින්නෙන් පැතිරුණු රසායනික ද්‍රව්‍ය සහිත දුමාරය කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැතිර යන්නට වූ අතර රසායනික ද්‍රව්‍යවල සැර ඇස්වලට ද දැනුනු බව කොළඹ නගරයේ ජනතාව ‘දිවයින’ට පැවසූහ.

රසායනික ද්‍රව්‍ය අතර සිදු වූ පිපිරීමත් සමග ගින්න හටගන්නට ඇතැයි සැකකරන බව පොලිසිය කියයි.

සහකාර පොලිස් අධිකාරි ධනංජය පෙරමුණ මහතාගේ අධීක්‍ෂණය යටතේ කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී හේවාවිතාන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සමන් ගමගේ, බී. ටී. කේ. ජා ඇල සහ සරත් චින්තක – වත්තල, ටෝනි කරුණානායක මිනුවන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment