ජෙට් එකෙන් අද ලංකාවට ගොඩ බහින ලෝක හෙවිවේට් ශූරයා

3529

මෙරට බොක්සිං ක්‍රීඩා පිටියට අද (16 වැනිදා) අමරණීය දවසකි. අමරණීය බොක්සිං ක්‍රීඩකයකු වන රෝයි ලෙවෙස්ටා ජෝන්ස් ශ්‍රී ලංකාවට අද පැමිණීමට නියමිතව සිටී. ඔහු එසේ මෙසේ ක්‍රීඩකයෙකු නොව, ආධුනික බොක්සිං ක්‍රීඩකයකු ලෙස බොක්සිං වළල්ලට පැමිණ ඔලිම්පික් පදක්කම් ද දිනා තවත් නොමැකෙන වාර්තා බිහි කළ ක්‍රීඩකයෙකි. ඔහු හිටපු හෙවිවේට් ලෝක ශූරයා වේ. ලෝක බොක්සිං කෙළිබිමේ ඔහුගේ බර පන්තිය යටතේ ඔහුට එරෙහිව සටන් කරන්නට තරම් හයිය ඇති ‘අයියෙකු’ එකල නොසිටියේය.

රෝයි අද ශ්‍රී ලංකාවට එන්නේ තනියම නොවේය. ලෝක බොක්සිං සංගමයේ ලොක්කා ද සමගය. ඔහු උමර් ක්‍රෙම්ලව්ය. ඇත්තම කියනවා නම් ක්‍රෙම්ලව්ගේ තනියට සහ සහායට සිටීමේ අදහසින් මතු නොව මෙරට බොක්සිං සභාපති ඩයන් ගෝමස් සමග ඇති සුහදතාවය ද මත මිසක් රෝයි මෙරටට එන්නේ නැත. ජාත්‍යන්තර බොක්සිං පිටියේ ඔහු තරම් චණ්ඩිකම් පෙන්නූ දැවැන්තයකු මෙරටට පැමිණ ඇති බවක් අපේ මතකයට නං නොපැමිණේ.

ජෙට් එකෙන් අද ලංකාවට ගොඩ බහින ලෝක හෙවිවේට් ශූරයා
රෝයි සහ ඩයන්

එසේම ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ කල ජාත්‍යන්තර බොක්සිං සංගමයේ ප්‍රධානියකු මෙරටට පැමිණීම ද විරල අවස්ථාවකි. මීට පෙර එසේ පැමිණි අයකු වන්නේ පාකිස්තාන ජාතික අන්වර් කුර්ෂිඩ් චවුද්රි ය. ඔහු පැමිණියේ ද කලාපීය තරගාවලියක් පැවති අවස්ථාවකදී ය. බොක්සිං හැර වෙනත් ක්‍රීඩාවක් බැලූ කල ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා 2019 වසරේ දී මෙරටට සැපත් විය. ඒ ජනාධිපති කුසලාන තරගාවලිය සඳහා ය. ඉහත අවස්ථා දෙකම නිල තරගාවලි නියෝජනය කිරීම පිණිස පැමිණි අවස්ථාවන් වේ.

එහෙත් උමර් ක්‍රෙම්ලව් පැමිණෙන්නේ පෞද්ගලික ආරාධනාවක් මත ය. කොහොමටත් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල ප්‍රධානීන් ආවට ගියාට ලංකාව වැනි රටවලට එන්නේ නැත. අප රටට පැමිණ කුමක් අරං යන්න ද? එසේ හෙයින් උමර් ක්‍රෙම්ලව් මෙරටට පැමිණීම මෙන්ම රෝයි ගේ පැමිණීමත් ශ්‍රී ලංකා රජයේ ද ඇගයීමට ලක් විය යුතුය. ඔවුහු ලබන අඟහරුවාදා දින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. එසේම එදිනම ඔවුහු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද හමු වීමට අපේක්ෂාවෙන් සිටිති. ඊට පෙර දින එනම් හෙට ගල්කිස්ස හෝටලයේදී උමර් සහ රෝයි වෙනුවෙන් සාදයකි. මේ සියල්ල සංවිධානය කරන්නේත් උමර්ට සහ රෝයිට ආරාධනා කරන්නෙත් අප ඉහත කී ඩයන් ගෝමස් මහතාය.

ජෙට් එකෙන් අද ලංකාවට ගොඩ බහින ලෝක හෙවිවේට් ශූරයා
සභාපති උමර් ක්‍රෙම්ලව්

රෝයි බොක්සිං ක්‍රීඩා පිටියේ වසර 106ක වාර්තාවක් බිඳ දැමූ අයෙකි. එනම් මිඩ්ල් වේට්, සුපර් මිඩ්ල් වේට්, ලයිට් හෙවිවේට් සහ හෙවිවේට් යන අංශ හතරේම ශූරයා වීමට ක්‍රීඩකයකු සමත් වී ඇත්නම් ඒ වසර 106 කට පසුව රෝයි වේ. 2003 වසරේ ලොව හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස ලෝක බොක්සිං පිටියේ ගෞරවාදරයට පත් රෝයි ඇමෙරිකවේ බොක්සිං ක්‍රීඩාවෙන් දිනාගත හැකි ඉහළම ශූරතාව වන ‘ගෝල්ඩන් ග්ල්ව්ස්’ රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා තිබේ.

1984 වසරේදී කිලෝ ග්‍රෑම් 54 බර පන්තිය යටතේ ආධුනික බොක්සිං ක්‍රීඩකයකු ලෙස කනිෂ්ඨ ඔලිම්පික් පදක්කමක් දිනූ රෝයි වෘත්තීමය ක්‍රීඩකයකු ලෙස 1988 වසරේදී ලයිට් මිඩ්ල්වේට් බර පන්තිය යටතේ ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තේය. 1988 වසරේ සියොල් ඔලිම්පික් උළෙලේදී ඇමෙරිකාව නියෝජනය කළ ඔහුට එරෙහිව වැරදි තීරණයක් හිමි වුණි. පසුව ඒ වරද නිවැරදි කරමින් රෝයිට රන් පදක්කම පිරිනැමීය. එසේම ඔහුට එරෙහිව තීරණය දුන් විනිසුරුවන් තිදෙනාට තහනමක් ද පැනවිණ. වඩාත් වැදගත් සිදුවීම වන්නේ වැරදි ලෙස රන් පදක්කම පළමුව හිමිකරගත් දකුණු කොරියාවේ පාර්ක් සි – හුන්, රෝයි ගෙන් පසුව සමාව ඉල්ලීමය. බොක්සිං තරග දිවිය තුළ තරග 76කට ක්‍රීඩා කර ඇති රෝයි එහිදී ජයග්‍රහණ 66ක් ලබාගෙන ඇත. බොක්සිං ක්‍රීඩාවට සමුදෙන විට ඔහු වසර 27 ක් එහි පෙරළි කර තිබුණි. ඇමරිකානු ජාතිකයකු වන රෝයි ට රුසියාවේ පුරවැසිභාවය ද හිමිය. රෝයි සහ උමර් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ උමර් සතු ඔහුගේ පෞද්ගලික ජෙට් යානයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment