ඩක්සන් ෆස්ලස් සුබ ගමන්

337

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 200 ටත් වඩා පසු ගමන් ගොස් සිටි ශ‍්‍රී ලාංකේය පාපන්දුව ක‍්‍රමයෙන් අළු ගසා දමා නැඟිටින ආකාරයක් දැක ගන්නට හැකි වූයේ ඉකුත් වසරේ දී ය.

පරාජයේ අඳුරු සෙවණැලි ක‍්‍රමයෙන් පහව ගොස් ශ‍්‍රී ලාංකේය පාපන්දු අහස් කුස රිදී රේඛාවක් දිස්වන ආකාරයක් එතුළ පෙනෙන්නට තිබුණි. ඒ ජාත්‍යන්තර මට්ටමේ තරග රැසකදී ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩකයන් ප‍්‍රදර්ශනය කළ ඉහළ දක්ෂතා සහිත තරග කිරීම හමුවේය.

මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ දෙවන වටය ක‍්‍රියාත්මක වූ දකුණු කොරියාවේදී ද දකුණු ආසියාතික පාපන්දු ශූරතාව හෙවත් සාෆ් තරගාවලිය ක‍්‍රියාත්මක වූ මාලදිවයිනේ දී ද අග‍්‍රාමාත්‍ය අභියෝග කුසලාන තරගාවලිය සංවිධානය වූ කොළඹ දී ද ඉහළ දක්ෂතා ප‍්‍රදර්ශනය වූයේ නැවත වතාවක් ජාත්‍යන්තරයේ අනගි ස්ථානයක් තහවුරු කර ගැනීමේ උත්සාහය මෙරට ක‍්‍රීඩකයන් තුළ මොනවට ප‍්‍රදර්ශනය කරමිනි. ඒ සඳහා ක‍්‍රීඩකයන්ගේ අත්දැකීම් මෙන්ම කැපවීම සහ යුතුකම උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගන්නා ආකාරය මෙරට පාපන්දුව කරවන්නන් වෙතින් දිස්විණි. ඒ යන ගමනේදී ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කර ඇති රුමී පකීර් අලි මහතා මන්නාරම පුරවරයෙන් හඳුනා ගත් දක්ෂයකු ජාතික සංචිතයට ඇතුළත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරට පාපන්දුවට ආලෝකය එක්වීම වැළැක්විය නොහැකි විය.

මන්නාරම ශාන්ත සර්වේශස් විදුහලෙන් පාපන්දු අත් පොත් තැබූ ඔහු නමින් යෝගේන්දන් ඩක්සන් පස්ලස් විය. ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට නැතුවම බැරි ක‍්‍රීඩකයකු බවට පත්වන්නට තරම් ඩක්සන්ගේ හැකියාවන් පසුව ඉහළින්ම කැපී පෙනුණි. වෙන්නප්පුව නිව් යංග්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහු දේශීය පිටියේදී අපට දැක ගන්නට හැකියාව ලැබිණ.

මන්නාරමේ දී ලත් දක්ෂතාව ජාතික සංචිතය තුළ උපරිම ආකාරයෙන් ප‍්‍රදර්ශනය කරමින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර කෙළිබිම හමුවේ ඔසවා තබන්නට ඩක්සන් ගත් උත්සහය ප‍්‍රශංසනීයය. 2018 වසරේ සිට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු කෙළි බිමේ පසු පෙළ ආරක්ෂක බල ඇණිය ශක්තිමත් කළ ඔහු රට වෙනුවෙන් ඕනෑම සටනකට සූදානම් බව හැම විටම ප‍්‍රදර්ශනය කළේ හදවත පතුළෙන්ම තරගයට අවතීර්ණ වීමෙනි.

ඒ සඳහා හොඳම උදාහරණය සපයන්නට හැක්කේ දකුණු ආසියාතික පාපන්දු ශූරතා තරගාවලිය වෙනුවෙන් පැවති ආරම්භක තරගයේ දී බංග්ලාදේශය සමග තරග වැදුණු ආකාරය දෙස බැලීමේදීය. එහි දී රට වෙනුවෙන්ම ආවේගශීලී වූ ඔහු ප‍්‍රතිවාදී බංග්ලාදේශයට එරෙහිව නැඟී සිටීම ද එහිදී කැපී පෙනුණි. ඒ හදවතින්ම රටට ආදරේ කළ බැවිනි.

මන්නාරමේ සිට වෙන්නප්පුවට සේන්දු වන මේ වීරයා ජාතික සංචිතයේ මෙන්ම තමන් නියෝජනය කරන ක‍්‍රීඩා සමාජයේ හැම දෙනාගේම ආදරය දිනා ගනිමින් ක‍්‍රීඩාවේ නිරත වූයේය. ඔහු පසුව වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩකයකු බවට පරිවර්තනය වන ආකාරයක් දක්නට ලැබුණේ මාලදිවයිනෙන් ලැබුණු ආරාධනාවකට ප‍්‍රතිචාර දැක්වීමත් සමඟිනි. ඒ අනුව ඔහු මාලදිවයිනේ ප‍්‍රමුඛතම ක‍්‍රීඩා සමාජ දෙකක් වෙනුවෙන් ගිවිසුම්ගතව වෘත්තීය මට්ටමේ පාපන්දු ක‍්‍රීඩාවේ නිරත වන්නට හැකියාව ලැබිණි.

එහෙත්, එය ඔහුගේ ඉරණම විසඳන තීරණාත්මක අවස්ථාව ද මෙහි ගැබ්වී තිබුණු බව ඔහුවත් නොදන්නවා සැක නැත.

අවසන් වතාවට මාලදිවයිනේ වැලෙන්සියා ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් ක‍්‍රීඩා කරමින් සිටියදී මෙම අභාග්‍යසම්පන්න ඉරණමට ගොදුරු වී තිබේ. බියකරු හුදෙකලාවත් සීතල මරණයත් නැවත සිහි ගන්වන ශෝචනීය පුවතක් ඒ තුළ ගැබ් වී ඇති බවද පෙනෙන්නට තිබේ. එය ඥාති හිතවතුන්ටත් දරාගත නොහැකිය.

ඉතාමත් සාර්ථකව ක‍්‍රීඩාවේ ඉදිරි ගමනක නිරත වූ ‘‘ඩක්සන්” හදිසියේම මෙලොව හැර යෑම පිළිබඳව ඇත්තේ සැකයකි. ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන මෙන් මෙරට මන්නාරම පොලිසියෙන් ශෝකයට පත් ඥාතීන් ආයාචනාත්මකව ඉල්ලා තිබේ.

දුරු රටක දී සිදු වූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ශෝක වන්නන් අතර ඔහුගේ පවුලේ ඥාතීන් පමණක් නොව ශ‍්‍රී ලාංකේය කෙළි බිමට ආදරය කරන හැමදෙනාම ද වෙති. ඒ අතරේ වත්මන් පාපන්දු පාලනාධිකාරියේ නිලධාරීන් මෙන්ම සහෝදර ජාතික ක‍්‍රීඩකයන් ද හඬා වැළපෙන ආකාරයක් දැකගන්නට හැකි විය.

‘‘යෝගේන්දන් ඩක්සන් ෆස්ලස්”….

නැවත ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු කෙළිබිමේ දක්නට නොලැබීම සත්‍යයකි. එය කම්පාවට හේතුවකි.

ඔබ මව්බිමේ කීර්තිනාමය වෙනුවෙන් ප‍්‍රශංසනීය ක‍්‍රීඩා විලාසයක නිරත වූ බව අපි නැවත නැවත පවසන්නෙමු.

ලෝක කුසලාන සුදුස්සන් තෝරා ගැනීමේදී සහ දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලියේ දී ද ඔබේ දක්ෂතා ඉහළ අගයක් ගත් බව ද සත්‍යයකි…. මෙරටදී ද එසේමය. ජාතික පාපන්දු කණ්ඩායමේ පසු පෙළ ප‍්‍රබලතම ආරක්ෂකයා ද ඔබමය. උතුරුකරයේ මන්නාරම පුරවරයෙන් මෙරට පාපන්දු කෙළි බිමට දායාද කළ මෑත කාලයේ විශිෂ්ටතමයා ද ඔබයි.

ඉකුත් පෙබරවාරි මස 26 දින මාලදිවයිනේදී අකාලයේ මෙලොව හැර ගිය ඔබගේ නිසල දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (07) මන්නරම පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙන්නේ සහෝදර ක‍්‍රීඩකයන්ගේ හා ඥාති හිතවතුන්දගේ සෝසුසුම් මැදය.

මෙරට පාපන්දුවට ආලෝකය එක් කළ යෝගේන්දන් ඩක්සන් ෆස්ලස් නම් වන ඔබ මෙරට පාපන්දුවට සිදු කළ සේවය අගයමින් සමාදානයේ සැතපෙන්නට වාසනාව පතනෙමු.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment