ජනතාව මරණ මංචකයට යවා ජනපති රට සවාරි ගිහින් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

61

ජනපතිට අයවැයෙන් දුන් මුදලට අමතරව තවත් ලක්‍ෂ දෙදහසක් වෙන්කරගෙන

ජනතාව මරණ මංචකයට යවා ජනපති රට සවාරි ගිහින් ජෝගි නටනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කුලී වැඩ කරන ජනතාවගේ දෛනික ආදායමත් පික්පොකට් ගහන ආණ්ඩුවක් රට තුළ තිබෙන බවත් අද දවස පුරාම ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන නිසා ගිලන් වූ ප්‍රජාවට බෙහෙත් හේත් ගැනීමට නොහැකි වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගේ ඉල්ලීම් ඉදිරිපත් කරනකොට රජයට මුදල් නොමැති බව ආණ්ඩුව පැවසුවත් ජනාධිපතිවරයාගේ වියදම්වලට අයවැයෙන් ලබා දුන් මුදලට අමතරව පරිපූරක ඇස්තමේන්තුවක් හරහා තවත් ලක්ෂ 2000ක් අනුමත කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ රටට වැදගත් වන්නේ පරිණත සෞඛ්‍ය සේවාවක් වුවත් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සඳහා මෙම රුපියල් මිලියන 2000ක මුදල අනුමත කර ගැනීම කණගාටුදායක බවත් ඒ මහතා කීය.

රටේ සෞඛ්‍ය සේවය අඩපණ වී ඇති මොහොතක රටේ නායකයා විදේශ රටවලට ගොස් ජෝගි නටනා බවත් මෙය සාධාරණ නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පාසල්වල දූදරුවන්ට පරිගණකයක් සුහුරු පන්ති කාමරයක් ලබා දෙන්න නොහැකි වුවත් ජනාධිපතිවරයාට ජෝගි නටන්න මුදල් වෙන් කර ඇති බවයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (16 දා) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 68 වැනි අදියර යටතේ කලාවැව සිරිමපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

මේ සෞඛ්‍ය වර්ජනවලින් විපතට පත් වන්නේ අහිංසක රෝගී ජනතාව බවත් ශල්‍යකර්ම පෝලිමේ සිටින පුද්ගලයන්ට පවා මේ නිසා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් මෙයට හේතුව රජයේ දුර්වල පරිපාලනය නිසා බවත් ඔහු පැවසීය.

වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පුද්ගලයන්ට දෝෂාරෝපණය කරනවා වෙනුවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන ගත යුතු වන්නේ ජනාධිපතිවරයාගේ විදේශ ගමන්වලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන සිතීම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment