ලක්ෂ 223 මංකොල්ලය වළක්වාගත් පොලිස් සැරයන්ට තඹුත්තේගම වෙළෙඳ සංගමයෙන් උපහාර

421

තඹුත්තේගම නගරයේ ව්‍යාපාරිකයකු විසින් බැංකුගත කිරීමට රැගෙන ආ ලක්ෂ 223 ක මුදලක් මංකොල්ල කෑමට උත්සහා දැරීමේදී තම දිවි පරදුවට තබා එය වළක්වාගත් තඹුත්තේගම පොලිසියේ පොලිස් සැරයන් (42313) බී.එස්.සී. බුද්ධික කුමාර මහතාට උපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික සංගමය විසින් මෙම උපහාර දැක්වීමේ උත්සවය සංවිධානය කර තිබුණු අතර එය පැවැත්වූයේ තඹුත්තේගම මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේදීය.

තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කෝටිපති ව්‍යාපාරිකයකු විසින් පසුගිය 26 වැනිදා සවස 2.00 ට පමණ ලක්ෂ 223 ක මුදලක් තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටියදී එම බැංකුව ඉදිරිපිටදීම මංකොල්ලකරුවන් දෙදෙනකු විසින් එම මුදල් සහිත බෑගය පැහැරගෙන තිබිණි. පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා තම යතුරුපැදියෙන් එම ස්ථානය අසලින් ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම දැක තම දිවි පරදුවට තබා ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා මෙල්ලකර අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම වීර ක්‍රියාව අගය කිරීම සඳහා දින තුනක් වැනි සුළු කාලයදී ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ප්‍රජාව විසින් උත්සවය සංවිධානය කර තිබිණී. මෙහිදී පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා සහ පවුලේ ඥාතීන් රථ පෙළපාලියකින් තඹුත්තේගම පොලිස් ස්ථානයේ සිට උත්සව ශාලාව වෙත කැඳවාගෙනවිත් ඇගැයීම සිදුවිය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් සුමිත් සෝමරත්න, තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී ජීවහස්ත සිරිසේන, මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජේ. අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු ව්‍යාපාරික සංගමයේ සාමාජිකයන් පිරිසක් ද සහභාගිවී සිටියහ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතාගේ වීර ක්‍රියාව ඇගයීමට ලක්කළේය. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් සුමිත් සෝමරත්න මහතාද මෙම අවස්ථාවට එක්වූවේය.

එච් කලාපය – කේ. නන්දන

advertistmentadvertistment
advertistmentadvertistment