අවමන් ම විඳ විඳ විඳින දුක් ඉවර නැති ත්‍රීවිලර් වාහනේ අපේ දුක කියවන්න…!

289

මෙරට ත්‍රිරෝද රථ මිලියනයකටත් අධිකයි

ලක්‍ෂ 40ක් පමණ යැපෙනවා

රජයෙන් කිසිම දිනක සහනයක් නෑ

හැත්තෑව දශකයේ අග පමණ හඳුන්වා දුන් ත්‍රීරෝද රථය මෙරට බහුතරයක් ජනතාවගේ ජනප්‍රියම වාහනය සහ ප්‍රධානතම පොදු ප්‍රවාහන සේවය ලෙසද හැඳින්විය හැකිය. ඒ අනුව ත්‍රීරෝද රථ මිලියනයකටත් අධික ප්‍රමාණයක් දැනටමත් මෙරට තිබේ. එයිනුත් බස්නාහිර පළාත තුළ පමණක් ත්‍රීරෝද රථ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර අන් ත්‍රීරෝද රථ ඉතිරි පළාත් අට තුළ තිබේ.

මෙම ත්‍රීරෝද රථ හිමිකරුවන්ගෙන් ලක්ෂ අට හමාරක් පමණ වෘත්තිකයන් නොහොත් ත්‍රීරෝද රථ රියැදුරන් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව ගත් කල ලක්ෂ හතළිහකට පමණ ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගෙන් යැපෙති. එය මෙරට සමස්ත ජනගහනයෙන් ගත් කල විශාල ප්‍රතිශතයකි. කලක් ඔවුහු රටටත් ජනතාවටත් කරදරයක් නොවී තමන්ට හැකි උපරිම අයුරින් ජීවිකාව ගැට ගසාගෙන ගියහ. එහෙත් දැනට මාස කීපයක සිට මෙම පවුල් අන්ත අසරණවී සිටිති.

වරක් කොරෝනා වසංගතය නිසා පීඩා විඳි ඔවුහු දැන් රට තුළ පවතින අර්බුදය සහ ඉන්ධන හිඟය නිසා පීඩා විඳිති. කොටින්ම කියතහොත් දැන් එම පවුල් කබලෙන් ළිපට වැටී හමාරය. ඔවුන් දෙස බැලීමට කිසිවෙකුත් නොමැත. එමනිසා සමහරු ජීවිකාව කෙසේ වෙතත් පණ නල ගැට ගසා ගැනීමටත් නොහැකිව අන්ත අසරණ වී සිටිති.

ජීවිතයත් මරණයත් අතර දරුණු සටනක නියැලෙමින් සිටින එම පීඩිතයන් පිළිබඳව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනයේ වර්තමාන සභාපති මහින්ද කුමාර මහතා අප සමග මෙලෙස පැවසුවේය.

“අපේ හිටපු සභාපති සුනිල් ජයවර්ධන මහතාව පෞද්ගලික ලීසින් ආයතනයක් ඉදිරිපිටදී ඉතාමත් කුරිරු ලෙස පහරදී ඝාතනය කළ පසු ත්‍රීරෝද රථ සංගමයේ නව සභාපති ලෙස මම වැඩකටයුතු කරනවා. පළමුවෙන්ම කියන්න ඕනා අපි කිසිම රජයකට සහ වෙනත් කිසිදු පාර්ශ්වයකට බරක් නොවී අපේ පාඩුවේ ජීවත්වුණ පිරිසක්. එහෙත් වර්තමානයේ අපිට එහෙම ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ රජයේ විවිධ අත්තනෝමතික ක්‍රියාකාරකම්.”

“වර්තමානය වනවිට මෙරට ත්‍රීරෝද රථ ලක්ෂ 11 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එයින් ලක්ෂ අටහමාරක පමණ පිරිසක් ත්‍රීරෝද රථ රියදුරන් ලෙස රැකියාව සිදු කරනවා. ඔවුන් යටතේ ලක්ෂ හතළිහකට පමණ ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. බස්නාහිර පළාත තුළ පමණක් ලක්ෂ පහකට ආසන්න පිරිසක් මෙම වෘත්තීයේ නියැලෙනවා. එයිනුත් වැඩි පිරිසක් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ. වර්තමානය වන විට මෙයින් බහුතරයක් පමණ ඉන්නේ අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා.”

“මුලින්ම අපි පීඩාවට පත්වුණේ කොරෝනා වසංගතය හමුවේ. ඒක අපිට විතරක් නොවෙයි මුළු ලෝකයටම බලපාපු දෙයක්නේ. ඒක නිසා අපි රජයට සහ වෙනත් කිසිම පාර්ශ්වයකට කරදරයක් නොකර පුළුවන් විදිහට ජිවත් වුණා. එහෙත් දැන් අපිට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ දේශපාලකයින්ගේ සහ සමහර නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා. බලන්න දැන් අපේ පවුල් ලක්ෂ ගාණක් කන්න බොන්න නැතිව අසරණ වෙලා ඉන්නවා. කවුරුත් අපි දිහා බලන්නේ නැහැ.”

“ඉන්ධන නොමැති වීම, විටින් විට ඉන්ධන මිල ඉහළ යෑම, බාල ඉන්ධන වෙළෙඳ පොළට නිකුත් කිරීම, අමතර කොටස් නොගෙන්වීම ආදී වර්තමාන රජයේ අත්තනෝමතික තීන්දු තීරණ නිසා තමයි අපිව නැත්තටම නැති වුණේ.”

අවමන් ම විඳ විඳ විඳින දුක් ඉවර නැති ත්‍රීවිලර් වාහනේ අපේ දුක කියවන්න…!

“බලන්න මේ අවුරුද්දේ 138 ට තිබුණ පෙට්‍රල් ලීටරය හතර වතාවකට වැඩි කළා. දැන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 විතර වෙනවා. ඒ ගාණට තෙල් ගහලා අපි කොහොමද හයර් දුවන්නේ පරණ ගාණට. ඒක නිසා අපි හයර්වල ගාණ වැඩි කළා. එහෙම ගාණ වැඩි කළා කියලා වෙනද වගේ අපිට හයර් ලැබෙන්නේ නැහැ.”

“ත්‍රීවිල් එකක හයර් එකක් යන්නේ සල්ලිකාර උදවිය නොවෙයි සාමාන්‍ය ජනතාව. ඒ මිනිස්සුත් ඉන්නේ එදා වේල කන්නේ කොහොමද කියලා කල්පනා කර කර. එවැනි තත්ත්වයක් මත ඒ මිනිස්සු යන්නේ අත්‍යවශ්‍යම හයර් එකක් විතරයි. ඉතින් කොහොමද වෙනද වගේ හයර් ගිහින් අපි පවුල් නඩත්තු කරවන්නේ.”

“අනෙක් ප්‍රධානම ගැටලුව තමයි ඉන්ධන පෝලිම්. අද තෙල් ටිකක් ගහ ගන්න පැය තුන හතරකට වඩා පෝලිම්වල ඉන්න වෙනවා. උදේ පාන්දර ගෙදරින් පිටවෙලා පැය ගාණක් තෙල් පෝලිම්වල ඉඳලා හයර් දුවන්න වෙලාවක් තියෙනවද කියලා බලන්න. සාමාන්‍යයෙන් උදේ වරුවට තමයි හයර් ටිකක් වැඩිපුර තියෙන්නේ. තෙල් පෝලිම්වල ඉන්න වෙන නිසා ඒ තියෙන හයර් ටිකවත් අපිට දුවා ගන්න විදිහක් නැහැ.”

අනෙක් කාරණය තමයි දැන් වෙළෙඳ පොළට නිකුත් කරන පෙට්‍රල් බාල වර්ගයේ ඒවා. වෙනදා තෙල් ලීටරයකින් කිලෝ මීටර් 20 කට එහා පැත්ත දුවන්න පුළුවන්. දැන් තියෙන තෙල් ලීටරයකින් උපරිම දුවන්න පුළුවන් කිලෝ මිටර් 18 ක වගේ දුරක්. බලන්න එතැනිනුත් ලොකු අසාධාරණයක් අපිට වෙලා තියෙනවා. ඒ වගේම මේ ඉන්ධන බාල නිසා වාහනවල රේපයාරුත් වැඩිවෙනවා.”

“නිසි ප්‍රමිතියට ඉන්ධන වෙළෙඳ පළට නිකුත් නොකිරීම පිළිබඳව පාරිභෝගික අධිකාරියට පවා ගොස් මම පැමිණිලි කළා. පසුව එම නිලධාරීන් සමග ඉන්ධන පරීක්ෂා කරන්න පවා ගියා. අවසානයේ එම නිලධාරීන් පැවසුවේ ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පහසුකම් ඔවුන් සතුව නොමැති බවයි. බලන්න එයිනුත් අසරණ වුණේ අපි. මේ වගේ ගැටලු රැසක් අපිට තිබෙනාව.”

“තවත් දෙයක් කියන්න ඕනා. රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා කරන අය පවා තම රාජකාරි වේලාවෙන් පසු ත්‍රීරෝද රථ දුවනවා. එවැනි අයත් ලක්ෂ හතරහමාරක් විතර ඉන්නවා. ඒ අයටත් දැන් මේ රැකියාව කරගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්නේ. අනෙක් ලොකුම ගැටලුව තමයි මේ තත්ත්වය උඩ ලීසින් ගෙවා ගන්න බැරි එක. ලීසින් කම්පැණි වලිනුත් අපිට කිසිම සහනයක් දෙන්නේ නැහැ. ඒගොල්ලොත් හදන්නේ අපිව මරාගෙනම කන්න. මේ අසරණ තත්ත්වය උඩ ලීසිං ගෙවාගන්න බැරිවුණ වාහන ගොඩක් මේ අය උස්සලා තියෙනවා.”

“ත්‍රීරෝද රථ රැකියාවේ නියැළුණු බොහෝ පිරිසක් දැන් රැකියාව කරගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්නවා. සමහරු කුලී වැඩ ආදිය කිරීමටත් යොමුවෙලා තියෙනවා.”

“මම අවස්ථා කිහිපයකදීම අපේ ගැටලු සාකච්ඡා කරන්න අදාළ නිලධාරීන් ළඟට ගියා. එහෙත් අද වෙන තුරු කිසිම ප්‍රතිඵලයක් නැහැ. අපි මෙච්චර කල් ඉවසගෙන හිටියා. හැබැයි ඉදිරියේදී ඉවසගෙන ඉන්නෙ නැහැ. ඉවසගෙන ඉන්නත් බැහැ. ඒ තරමටම අපි අසරණ වෙලා ඉන්නේ. ඉදිරියේ දී අපට සහන නොදුන්නොත් රජයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා. හිතන්න එපා අපි පොඩි මිනිස්සු කියලා. පවුල්වල සාමාජිකයෝ නැතුව ලක්ෂ නවයකට ආසන්න පිරිසක් අපිත් එක්ක නිරතුරුවම ඉන්නවා.”

ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ඔවුන්ගේ ගැටලු එලෙස පවසද්දී ත්‍රිරෝද රථ රියදුරන් කිහිපදෙනෙක් ද අපි මුණ ගැසුණෙමු. ඔවුන්ද තමන්ගේ දුක් ගැනවිලි අපට පැවසුවේ මෙලෙසින්ය.

සංජීව පුෂ්පකුමාර – “මම වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරෙක්. කොටහේන පාක් එකේ තමයි මම අවුරුදු 10ක් ඉඳලා දුවන්නෙ. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඊට අමතරව අසනීප වී සිටින බිරිඳගෙ අම්මත් මගේ ළඟ ඉන්නේ . මේ සියලු දෙනාම ජීවත් වෙන්නේ මගේ මේ රැකියාවෙන්.”

“දැන් මාස කිහිපයක ඉඳලා අපිට මේ රැකියාව හරියට කරගන්න බැරි වුණා. හැමදාම මොකක් හරි අවුලක්. එක්කෝ පෙට්‍රල් මිල වැඩි කරලා නැත්නම් තෙල් නැහැ. ඒ මදිවට අමතර කොටස් හොයාගන්න ඇත්තෙත් නැහැ. මෙවැනි ගැටලු රැසක් මැද්දේ තමයි අපි රැකියාව කරගෙන යන්නේ. වෙනදට නම් අපිට හොඳට හයර් තිබුණා. ගෙදර අයට කන්න බොන්න දීලා පොඩි ගාණක් ඉතුරු කර ගන්න පුළුවන් වුණා. දැන් එහෙම හිතන්නවත් බැහැ.”

“උදේ ඉඳන් රෑ වෙනකන් දිව්වත් හොයා ගන්න පුළුවන් සුළු මුදලක් විතරයි. ඒ ලැබෙන මුදල එක වේලක් කන්නත් මදි. මාස තුනකින් ලීසිං ගෙවාගන්න බැරි වුණා. කොයි වෙලාවක හරි දැන් ලීසින් කම්පැනියෙන් වාහනය උස්සගෙන යනවා. බලන්න ඉතිං අපේ මේ දුක කාට කියන්නද. තව ටික දවසක් මෙහෙම ගියොත් පවුල පිටින්ම වහ ටිකක් කාලා මැරෙන්න තමයි සිද්ධවෙන්නේ.”

සුනිල් අල්විස් – “අවුරුදු තිහක් මම මේ රැකියාව කළා. ඒ කාලේ කාලා බීලා හොඳට හිටියා. දැන් නම් නන්නත්තාර වෙලා තියෙන්නෙ. වරු ගණන් තෙල් පෝලිම්වල ඉඳලා තෙල් ගහගෙන පාරට බැස්සහම රුපියල් පන්සීයක් හොයාගන්න බැහැ. ඉතිං හිතන්න අපි ජීවත් වෙන්නෙ කොහොමද කියලා. කවුරුත් අපේ මේ දුක දන්නෙ නැහැ.”

“මගේ යාළුවෝ ගොඩක් මේ රස්සාව අතෑරල කුලී වැඩ කරනව. තවත් අයගේ ත්‍රීවීල් වාරික ගෙවා ගන්න විදිහක් නැති නිසා ලීසින් කම්පැණිවලින් උස්සලා. රජයෙන් අපිට කිසිම සහනයක් නැහැ. මේ වැඩ නිසා දැන් නම් ඇත්තටම ජීවිතෙත් එක්ක එපාවෙලා තියෙන්නේ.”

තවත් බොහෝ පිරිසක් අපි හමු වුණෙමු. ඔවුන් සියලු දෙනාම පවසන්නේ තමන්ගේ සහ පවුලේ දුකම පමණි. කලක් රජයට සහ කිසිම පාර්ශ්වයකට බරක් නොවී තමන්ගේ පාඩුවේ ජීවත් වූ මේ මිනිස්සු අද නන්නත්තාර වී සිටිති. ඒ ඔවුන්ගේ වරදින් නොව රජයේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසාය. එම නිසා රජයේ වගකිවයුතු නිලධාරීන් මොවුන් ගැන සිතා ඔවුන්ට කඩිනමින් සහන සැලසිය යුතුය. එසේ නොවුණහොත් ලක්ෂ හතළිහකට පමණ ආසන්න පිරිසකට යන එන මං නොමැතිවනු ඇත.

● ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment