ඇණවුම් කළ තෙල් නැව්වලට ඩොලර් මිලියන 316ක්  ගෙවිය යුතුයි – 10දා වන විට ඩීසල්  නැවක් ගෙන්වා ගන්නවා

151

– ඇමැති කාංචන පවසයි

ලබන 8 වැනිදා සිට මෙරටට ඉන්ධන නෞකා ගෙන ඒමට ඇණවුම් කර තිබුණත් එම ඇණවුම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 316 ක් ගෙවිය යුතු බවත් එම ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පැවසීය.

බලශක්තකි අමාත්‍යාංශයේ ඊයේ (03 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා කියා සිටියේ එම ඩොලර්වලින් ඩොලර් මිලියන 125 ක් ලබාදීමට මහ බැංකුව එකඟවූ බවයි.

කෙසේ වෙතත් ඇනවුම් කර තිබෙන ඩීසල් හා පෙට්‍රල් නෞකා සඳහා අත්පිට මුදල් ගෙවීමට හෝ ඒවා ගොඩබාන අවස්ථාවේදී ගෙවීම් කළ නොහැකි වුවහොත් ඇනවුම් කළත් වැඩක් නොවන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් දැනට ඇනවුම් කර තිබෙන ඩීසල් නෞකාවක් ලබන 08 හෝ 09 මෙරටට ගෙන්වා ගැනීමටත් 11 හෝ 14 වැනිදා තවත් ඩීසල් නෞකාවක් ගෙන්වා ගැනීමටත් බලාපොරොත්තුවන බව ද කාංචන විජේසේකර මහතා පැවසීය. මෙම නෞකා දෙක කොරල් එනර්ජි සමාගමෙන් ලබා ගැනීමට සාකච්ඡා සිදු කළ බවද ඒ මහතා කීය.

මීට අමතරව ලබන 22 හෝ 23 වනවිට ඉන්දීය තෙල් සමාගම  (IOC) පෙර ගෙවීමක් කර 10 වැනිදාට පෙර ඉන්ධන නෞකා තුනක් සඳහා ලිපිගොනු යොමුකර තිබෙන බව ද සඳහන් කළේය.

මීටත් අමතරව මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට එරටින් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 50000 ක් සහ භූමිතෙල් මෙටි්‍රක් ටොන් 10,000 ක් මෙරටට ලබා ගැනීමට සාකච්ඡා සිදු කළ බවත් මැලේසියාවේ වේට්‍රනාසී සමාගමෙන් එම ඉන්ධන තොගය මෙරටට ලබා ගැනීම පිළිබඳව අද වනවිට ස්ථිර යමක් කිව හැකි වෙතැයි ඇමැතිවරයා කියා සිටියේය. 10 හෝ 11 වැනිදා මෙරටට ලබා ගැනීමට නියමිත නෞකාවට අමතරව විකල්ප සඳහා ද යොමුවී සිටින බවද ඇමැතිවරයා කියා සිටියේය.

කොරල් එනර්ජි සමාගම හරහා බොරතෙල් මෙටි්‍රක් ටොන් 1,35,000 ක් මෙරටට ගෙන එන අතර එමගින් සපුගස්කන්ද පිරිපදුවේ නිෂ්පාදන යළි ආරම්භ කළ හැකි වනු ඇති බවත් ඒ මහතා කීය.

මෙරටට ඉන්ධන සැපයූ සමාගම් හතකට ගෙවිය යුතු ඩොලර් මිලියන 800 ක පමණ මුදල සතියෙන් සතිය හෝ මාසිකව ගෙවා දැමීමට පියවර ගෙන ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් 2000 ක පමණ පිරිසක් ද තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 1700 ක් පමණ ද තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ පමණක් කළමනාකාර සේවකයන් 400 ක් පමණ සිටින බවද ඇමැතිවරයා පැවසීය.

මේ අය තෙල් ඇනවුම් නිසි පරිදි කළ යුතු බවත් ඒ අනුව ලබන සිකුරාදායින් (07 වැනිදා) පසුව ඉදිරි දෙසැම්බර් මාසය දක්වා රටට අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment