අනුලා යන්න ගියා…

2793

මට ඇය පළමුවරට හමුවූයේ හැත්තෑ ගණන්වල කොළඹ සරසවියේ පැවති ලේඛක වැඩමුළුවකදී ය. එදින අප අතර ඇති වූ ඒ මිතුරු දම මිය ඇදෙන මොහොත දක්වා පරසතු මලක් මෙන් සුවඳ විහිදුවමින් දිදුලුනි. මා එනතුරු මග බලා සිටින ඇය අවසන් මොහොතේ ද රෝහල් ඇඳ මත වැතිරී සිටිමින් “ඔයා සැප්තැම්බර් එනවා නේදැ”යි ඇසුවේ අවසන් වතාවට යයි මට නො දැනුණේ ඒ මහා ලේඛිකාව තවත් බොහෝ කල් ජීවත් වනු ඇතැයි මා නිර්තුරුවම සිතූ පැතූ නිසාවෙනි.

ජීවිත කාලයෙන් අඩක්ම මාධ්‍යවේදිනියක හා පුවත්පත් කතුවරියක ලෙස ඇය කළ සේවය අප්‍රමාණයි. ඒ සේවයේ දී අප වැනි කුළුඳුල් ලේඛකයින්ට ඇය අත හිත දුන්නේ අපේ අඩුලුහුඬුකම් උළුප්පා දෙමිනි. නිවසේ, දරු දෙදෙනාගේ, රැකියාවේ හා සමාජයේ සෑම කටයුත්තකම නියැළෙමින් ඇය 1964 “උන්මත්තකයෝ” නවකතාව පිට කළාය. මා ඇයට ලබාදුන් පොත “කටුකුරුළු හඬ” ඇගේ පළමු පරිවර්තනය විය. ඊට ලැබුණු පාඨක අනුග්‍රහයෙන් ප්‍රබෝධමත් වූ ඈ ඉන්පසු අහර ටික මුවට දා ගන්නා විටවත් පෑන බිම තැබුවේ නැත. නවකතා, කෙටිකතා, පරිවර්තන, චරිතාපදාන, ළමා හා යොවුන් කතා පොත් සිය ගණනකටත් වඩා මුද්‍රණයෙන් එළි දැක්වූ ඇය සාහිත රසකාමීන්ගේ ආදරය වැඩි වැඩියෙන් දිනා ගනිමින්, සාහිත්‍ය ලෝකයෙන් පිරිනැමුණ සම්මාන බොහොමයක් ද දිනා ගත්තා ය.

ඇය පීඩිත ජනතාව හා කාන්තා අයිතීන් ගැන පෑනෙන් සටන් කළ කාන්තාවකි. අසරණ මිනිසුන් සමග ජීවත් වූ ඇයට ඔවුන්ගේ ජීවිතවලින් ලැබුණු අත්දැකීම් බොහෝ ය. ඉතා සුළු අත්දැකීමක් නවකතාවක් කිරීමට ඇයට පුදුම ශක්තියක් තිබුණි. වරක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක යෙදෙද්දී තරුණියකගේ දුක්බර කතාව ඇයට අසන්නට ලැබුණි. මාස කිහිපයකට පසු එය නවකතාවක් ලෙසින් එළි දැක්විණි. ඇයගේ දෙනෙත් හා මනසේ සටහන් වූයේ මිල මුදල් හා වෙනත් වයිවාරන්න දේවල් නොව මිනිසුන්ගේ දුක් ගැනවිලි ය. ඈ හැකි අයුරින් ඒ අයට උදව් උපකාර කළාය.

ඇගේ නිවසේ අස්සක් මුල්ලක් නෑර පිරි ඇති දූවිලිවලින් වැසුණු මහා පොත් කන්දරාව ඈ ආපසු නිවසට පැමිණෙන තුරු බලා සිටිනවා ඇත.

ප්‍රියංවදා ඇම්.බන්දුවර්ධන
ස්වීඩන්

advertistmentadvertistment
advertistmentadvertistment