15 තීරණාත්මක වර්ජන ඇරඹුමක් – වරාය – දුම්රිය – විදුලිය – බැංකු රෝහල් – ගුරු විදුහල්පති

219

වරාය, දුම්රිය, විදුලිය, බැංකු, රෝහල් මෙන්ම ගුරු විදුහල්පතිවරු, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ලබන බදාදා (15 දා) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වෙයි. උපයනවිට අයකරන පුද්ගල ආදායම් බද්ද වහා සංශෝධනය කරන්නැයි යන ප්‍රධාන ඉල්ලීමට අමතරව ඒ ඒ වෘත්තීය සමිති තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරයි.

මෙය දිනනියමයක් නැති අඛණ්ඩ වර්ජනයක් දක්වා දිග්ගැස්සීමට ඉඩ ඇතැයි වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.

වෘත්තිකයන්ගේ සන්ධානයට අයත් ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති හතළිහක් ද ඊට අමතරව තවත් වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් ද මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතව ඇත.

බදු පනතට එරෙහිව ඉකුත් 01 වැනිදා වෘත්තීය සමිති හතළිහක් හා බහුජන සංවිධාන එක්ව එක්දින වැඩවර්ජනයක් දියත් කළ අතර ඊට රජය කිසිදු පියවරක් නොගත් නිසා ලබන බදාදා

(15 දා) දෙවැනි වතාවටත් මෙම එක්දින වැඩවර්ජනය ප්‍රකාශයට පත්කර ඇත.

විශ්විiාල ආචාර්යවරු ඉකුත් 09 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

තෙල් සංස්ථා හා විදුලි වෘත්තීය සමිති මෙම වර්ජනයට සහාය පළකර ඇති අතර විදුලි සේවකයන් ලෙඩ නිවාඩු දමා වර්ජනයට එක්වීමට දැනට තීන්දු කර ඇතැයි ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කීය.

රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවකයන් 13 වැනිදා කළු ඇඳුමින් රාජකාරිවලට පැමිණ 14 වැනිදා කෑම පැයේදී පිකටින් හා උද්ඝෝෂණවල නිරතවීමට තීරණය කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමයේ සම්බන්ධීකාරක ධනුෂ්ක කුමාරසිංහ මහතා පැවසීය. රාජ්‍ය, පෞද්ගලික හා ජාත්‍යන්තර බැංකු 18 ක් නායකත්වය දෙන ලංකා බැංකු සේවක සංගමය 15 වැනි බදාදා බැංකු රාජකාරිවලින් ඉවත්වී වර්ජනයට එක්වන බව කුමාරසිංහ මහතා කීය.

දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 ට ආරම්භ කරන වැඩවර්ජනය 15 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 තෙක් ක්‍රියාත්මක කරන බව එහි කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම වැඩවර්ජනය හේතුවෙන් මඟී හා බඩු දුම්රිය ගමන්වාර අවලංගු වී දුම්රිය කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතරවනු ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළ කළේය.

15 වැනිදා දියත් කරන එක්දින වැඩවර්ජනය හමුවේ රජය යම්කිසි සාධාරණ පියවරක් නොගතහොත් අඛණ්ඩ වරඩවර්ජනයකට යෑම හැර විකල්පයක් නැතැයි වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.

උපයනවිට අයකරන බද්ද වහාම සංශෝධනය කළ යුතු බවත් ඊට අමතරව විදුලි බිල ඉහළ දැමීම, ජීවන වියදම දරාගත නොහැකිව තිබීම හා මර්දනයට එරෙහිව මෙම වර්ජනය දීපව්‍යාප්තව ආරම්භ කෙරේ.

මෙම වැඩවර්ජනය නිසා රටේ එදිනෙදා කටයුතු කඩාවැටීමේ වගකීම පාලකයන් විසින් භාරගත යුතු බව ද වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.

වැඩවර්ජනය හමුවේ අත්‍යවශ්‍ය සේවාවලට පවා යම් බලපෑමක් එල්ලවිය හැකි බවත්, මුරණ්ඩු පාලකයන් දැන්වත් කම්කරු ජනතාවගේ ඉල්ලීම්වලට කන්දිය යුතු බවත් ඔවූහු පැවසූහ.
ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment