ගොයම් කැපීමට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වූයේ දෑකැත්තය. පැරණි ගොවියා තමන්ගේ දහදිය මහන්සියෙන් වපුල කුඹුර පෑසී ගෙන එන සැටි බල බලා අතිශයින් ප්‍රීතිමත් විය. ප්‍රීතිවන අතරම හෙතෙම ගොයම් කැපුමට ලහි ලහියේ සූදානම් ද වූයේය. හේ ගොයම් කැපීමේ කයියට සහභාගි වන ලෙස යායේ සෙසු ගොවීන්ට ආරාධනා කෙළේය. මෙසේ අසල්වැසි හිතවත් අනෙකුත් ගොවීන් ද කැඳවා කයියට සහභාගි කරවා ගෙන, කවි – සිංදු කියමින්, නටමින් ගොයම් කැපූ බැව් පෙනේ.

තාල කැපීමේ දෑකැති

බෙරගසමින් එම පදයට තාලයට ගොයම් කැපීමට දක්ෂ අය තාල කැපීමේ දෑකැති සාදාගෙන තිබුණ බව අදත් සමහර ගොවීන් අතර කලාතුරකින් තිබෙන පැරණි දැකැතිවලින් පෙනී යයි. තාලයට නටමින් ගොයම් කැපීමට සාදවාගන්නා දෑකැත්ත සාමාන්‍ය දෑකැත්තට වඩා වෙනස් නොවතුදු එහි ඇති ස්වල්ප වෙනස නම් කැරලි ළඟින් කොටා තිබීමය. තව ද තාල කැපීමේ දෑකැත්තේ තලයේ මුල ඇඟිල්ල දැමීමට තරම් සිදුරක් වෙයි. මෙහි තලයේ මුල් සිහින්වටත් අග (මහත) පළල වැඩියටත් හොඳ පන්නරේ සහිත වානේවලින් තනා ඇත. දෑකැත්තේ මීට මී අංවලින් ලියවා සායම් ගා ලක්ෂණ කොට ඇත.

කොළ ලණුව

කපා ගත් ගොයම මිටි බැඳීමට කොළ ලණුව අවශ්‍ය වෙයි. මෙය ලිහිනිය පට්ටාවලින් ද පොල් කොහු ආදියෙන් ද බඹ 3ක් පමණ දිගට අඹරා ගන්නා ලදී. මෙසේ බඹ තුනක් පමණ දිගට අඹරාගත් තනි ලණුව බඹ එකහමාර බැගින් දිග සිටින සේ හරි මැදින් ගැටයක් (කොළ ලණු ගැටය) නමැති ගැටය ගසා ලණු දෙපටම එක දිග ප්‍රමාණයට ගනු ලැබේ. පැරණි ගොවිතැන් ක්‍රමවලින් සමහරක් අදත් ඒ පැරණි ක්‍රම අනුවම කරගෙන යනු පෙනේ.

කොළ පැදුර

කැපූ ගොයම් කමතට ගෙනයෑමට කොළ පැදුර අවශ්‍ය විය. ගොවියෝ මෙසේ පැදුරක් මත තබා (කොළමිටිය) ගොයම් මිටිය බැන්දේ ඒවායේ ඵල වෙන වී පැදුරට වැටීම සඳහාය. එක් එක් කුඹුරේ කොළ පෑගීම සඳහා නියමිතව පැවත එන කමත් ගම්බදව තිබුණි. අදනම් එසේ පැවති කමත් බොහොමයක් නැති තරම්ය. කොළ පාගන කමතට පැරණි ගොවියා බොහොම ගරු සරු දැක්වූයේය. හේ වැවිලි ආදියක් නොකර කමත ආරක්ෂා කර ගත්තේය.

පැල

ගොයම් කැපීමට ටික දිනක් තිබියදී සෑම කමතකම පැලක් සාදා ගැනීම එදා පැවති සිරිත විය. රාත්‍රි කාලයේ කමතේ බැත (වී) රැක ගැනීමටත්, දහවල් කාලයේ බැත වේළන ගමන් අව් විඩාව මඟහරවා ගැනීමටත්, ගොවි භාණ්ඩ ආදිය සුරක්ෂිතව තබා ගැනීමටත් පැල මහෝපකාරි විය. එදා මේ පැල්වලින් නැඟුණ ගීතරාවය මුළු ගම් පෙදෙසම ගීතවත් කිරීමට පොහොසත් විය. කුඹුරු යායේ ළඟ ළඟම පිහිටි කමත්වල පැල් රකින ගොවියෝ රාත්‍රි කාලයෙහි ඔවුනොවුන් පරයා පැල් කවි හා සීපද කීවෝය.

ගොවි භාණ්ඩ

හක් බෙල්ලා හා යකඩ කෑල්ලක් ද ගොවියාගේ ගොවි භාණ්ඩ අතර ඇති දේය.

කොහොඹ පෝරුව – මෙය ද කොහොඹ ලෑලි කෑල්ලක් හතරැස්වට කපා ගැනීමෙන් සකස් වූයේ. සමහරු මේ කොහොඹ පෝරුව යන්ත්‍ර ඇඳ කපා ගත්තෝය.

උකුණුගහ – කොළ මැඬවීමේදී මෙය නැතිවම බැරි උපකරණයකි. බැත වේළීමේදී ද කොග් ගෑමට උකුණුගස බෙහෙවින් ඕනෑ විය. උකුණුගහට යොදාගත් හොඳම ලීය ඇට්ටේරියා ගස, මොර ගස ආදී පැළ ගස් හෝ අතුවලින් කපාගත් ලී වේ. යකඩ උකුණු ගස් තවත් විශේෂයකි. හැඩ ඇති පෙරකී ලීයක් ගෙන එහි අග කොටසට (පෙර පැත්ත) යකඩෙන් හදා සවි කිරීමෙන් මෙය සැදුණේය.

ගැලතිල්ල – මෙනමින් හැඳින්වෙනුයේ කොළ මැඬවීමට මීහරකුන් එකට ඇඳා ගැනීමට සකසා ගත් ලණුවකි. හන, නාවා ආදියෙනි මෙය වැඩිපුරම අඹරා ගත්තේ. හරකුන්ගේ කරට පහසුදේකි මේ ලණු.

කොහොඹ පෝරුව උකුණුගහ සහ කටුමානත්ත

බෝලත්ත

කොරගහ පැළෑටි, රවන් ඉදල යන වර්ග දෙක බෝලත්තට යොදාගත් හොඳම පැළෑටි වෙති. මේ අතු වර්ග කපා ටික දිනකින් කොළ හැලී ගිය පසු ගිනිතිල්ල, වැල් පුවක්, ගෙඩියා වැල්, මදු වැල් යන වැල් වර්ගවලින් මුලින් සිහින් වටද අග ලොකු වටද එය බැඳ ගති. මේවායේ අතුකූරු සිහින්ව එක්රැස්ව ඇත. වී අතුගා එක් කර ගැනීමට බෝල් තැබීම යැයි කියති. ඉක්මනට ගෙවී නොයන නිසා ඉහත කී දෑ බෝලත්තට ගත්තාසේ පෙනේ. කටුමානත්ත යනු ද මීටම නමකි.

කුල්ල – බැත පාහින කුලු, පොළන කුලු යනු දෙවර්ගයකි. පොලන කුල්ල ලොකුවටත් බැත පාහින කුල්ල බර අඩුවෙනුත් සකැසුණි. කුලු විවිමට ගත් දෑ වශයෙන් කිතුල් කෙඳි මුල් තැන ගති.

ලාහ – පැරණිතම ගොවියාගේ වී මැනීමේ උපකරණයකි එය. ලී වලින් පිඟානක හැඩයට වියා වී නැළි 6 සහ 7ක් අල්ලන තරම මේ හදාගෙන ඇත. වී මැනීමේ තවත් උපකරණයක් නම් කුරුනි යයි. මෙය ද කිතුල් කෙඳිවලින් වියන ලද්දකි. මේ හැරෙන්නට කිතුල් කෙඳිවලින් වියාගත් පෙට්ටියක් ද ඇත.

මල්ල – අප දන්නා පැරණි මලු තුන් වර්ගයක් වෙයි. ඒවානම් හුනු මල්ල, කත් මල්ල හා වී මල්ලත් ය. මලු වියාගනු ලැබුවේ පොඩි තල ගොබ, පුලුක් ගොබ, ගල්ලැහ සහ හැවන් ආදියෙනි. වී ගෙන ඊම සඳහා වී මල්ල ටිකක් ලොකුවට වියා ගන්නා ලදී.

හුළුඅත්ත – කුඹුරු පැසීමට මත්තෙන් හුළුඅතු සපයා තැබීම ගොවියාගේ සිරිත විය. ඔහු එය කිසිදාක අමතක නොකෙළේය. වේළීගිය පොල් අත්තට මේ නම යෙදුණි. කමතේ කොළ මඩවන දිනයෙහි හුළුඅතු රැසක් රැගෙන ගොස් ගොවියා කමතේ තබාගනී. රාත්‍රි කාලයේ පැලේ ගිනිදැල් දැල්වීමට ද මේවා යොදා ගන්නා ලදී. හුළු එළිය කෙත් වැඩවලදී බොහෝ ප්‍රයෝජනවත් විය.

“කුඹුරු ගොවිතැන් කොට බත්කෑම හිතන තරම් ලෙහෙසි පහසු නැත” යනු ගොවියාගේ කියමනකි. මේ ගැන මඳක් කල්පනා කර බැලීම වටී. වේළීගිය පොල්අත්ත (හුළුඅත්ත) එදා අඳුර මකා ගැනීමට ගත් බැව් සිතන විට ගොවියාට තවත් මොනතරම් කම්කටුලුවලට මුහුණ පාන්නට සිදුවන්නට ඇද්ද යනු සිතා ගැනීම දුෂ්කර නොවේ. මෙතරම් කම්කටොලු මධ්‍යයෙහි බත් කෑමට වී ලබාගැනිීම පිණිස උනන්දු වූ ඒ අපේ පරපුර ගෙන ගිය දෘඪතර සේවාව අඛණ්ඩව මතු මත්තෙහි ද පවත්වාගෙන යෑම අප සැමගේ යුතුකම විය යුතුය.

දුල්දෙනියේ – එච්.පී. ජේම්ස් දෙලංකාවත්ත

පැරැණි ලිපියකි.


advertistmentadvertistment