මෙම ලිපිය මෙවර රජත පුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූමහාචාර්ය සරත් විජේසූරිය මහතා පළ කළ අදහස් ඇසුරින් සැකසිණි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ගන්නා මේ ව්‍යායාමයට මම ප්‍රථමයෙන් ම කෘතඥතාව පළකරන්නට කැමැත්තෙමි. අප පාසල් යන අවධියේ අපේ රටේ සාහිත්‍යය ගැන උනන්දුවක් ඇති කළේ සැප්තැම්බර් මාසයේ දී පවත්වන ‘රාජ්‍ය සාහිත්‍ය උත්සවය’ යි. ක්‍රමක්‍රමයෙන් ඒ ‘රාජ්‍ය සාහිත්‍ය උත්සවය’ දේශපාලනීකරණය වීමෙන් අවපැහැ ගැන්විණි. ඉන්පසුව සාහිත්‍ය මාසයේ දී සාහිත්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කිසියම් අවධානයක් යොමුවෙන්නේ ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ මගිනි. එම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමාජයට කළ යම් සාධනීය බලපෑමක් නිසා පොත් නිෂ්පාදනයේ සුවිශේෂ දියුණුවක් ඇතිවූ අතර ප්‍රකාශකයන් විශාල පිරිසක් ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නටත්, ලේඛක-ලේඛිකාවන් විශාල පිරිසක් බිහිවන්නටත් එය හේතු විය.
පොතකට වෙළඳපොළක් ඇතිකිරීම යන්න අත්‍යවශ්‍ය දෙයක් මෙන් ම, වැදගත් දෙයක් ද වන්නේ පොතක් යනු යම්කිසි ආකාරයකට කිසියම් නිෂ්පාදන භාණ්ඩයක් වන හෙයිනි. පොතක් කොයිතරම් හොඳ මට්ටමක තිබුණ ද ඊට පාඨක සමාජයක් ලබාගත නොහැකි නම්, අවධානයක් දිනාගන්නට නොහැකි නම් ඒ පොතෙන් ප්‍රයෝජනයක් ලැබේ ද යන්න ප්‍රශ්න කළයුතු තත්ත්වයකි.
අපේ රටේ ‘ස්වර්ණ පුස්තක සම්මානය’ නිර්මාණය කිරීම ඔස්සේ සිංහල නවකතා කලාවේ විශාල දිප්තියක් ඇති වී තිබෙන අතර හොඳ ප්‍රබල විශිෂ්ට නවකතා රාශියක් පසුගිය කාලය තුළ ප්‍රකාශයට පත්ව තිබේ. එය මා දකින්නේ ආණ්ඩුවකට කරන්න බැරි සමාජයේ අවධානය දිනාගත් වැදගත් වැඩක් ලෙසට ය. දෙවනුව මේ ‘රජත පුස්තක සම්මානය’ නිර්මාණය කර කෙටිකතා, කවි සහ යොවුන් සාහිත්‍ය කෘතිවලට සම්මාන ප්‍රදානය කිරීම ආරම්භ කිරීමෙන් පසුගිය කාලයේ ඒ ඒ සාහිත්‍යය ප්‍රවර්ගවල විශාල වර්ධනයක් ඇතිව තිබේ. අද වනවිට කවි ලියන තරුණ පිරිස අතර ඉතා ප්‍රතිභාසම්පන්න කවි කිවිඳියන් රැසක් අපට හමුවේ. කාව්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම, කෙටිකතා ක්ෂෙත්‍රයෙත් ඇති වී තිබෙන මෙම දීප්තියට මේ සම්මාන ප්‍රදානයන් බෙහෙවින් බලපා තිබේ.
අපේ රටේ ප්‍රකාශකයන් කවිපොත්, කෙටිකතා පොත් මුද්‍රණය කරන්නට මැලිවූ බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. මේ තත්ත්වය අද වනවිට වෙනස් වී තිබෙන අතර අපේ රටේ ප්‍රධාන ප්‍රකාශකයෝ පවා මේ වනවිට කවිපොත්, කෙටිකතා පොත් පළ කරන්ට පෙළඹී සිටිති. ඊට මේ ‘රජත පුස්තක සම්මාන ප්‍රදානය’ ද බෙහෙවින් බලපා තිබේ.
‘ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය’ මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ඔවුනට කළ හැකි කාර්යභාරය ඔවුන් සිදුකර තිබේ. එමෙන් ම, පාඨක සමාජයක් ගොඩනැඟීමේ පරමාර්ථයෙන් පාසල්වලට පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ද ඔවුහු වාර්ෂිකව සිදුකරමින් සිටිති. මේ සියල්ල ප්‍රකාශකයන්ගේ මට්ටමින් සිදුකරන සාධනීය කටයුතු වුව ද අවාසනාවන්ත තත්ත්වය වන්නේ මේ වනවිට අපේ රටේ පාඨක සමාජය ඉතා දරුණු ලෙස බිඳවැටී තිබීම ය. මා විශ්වාස කරන ආකාරයට මේ පාඨක සමාජයේ බිඳවැටීමට බලපෑවේ අපේ පාසල් අධ්‍යාපනය තුළ භාෂාව හා සාහිත්‍යය හැදෑරීම අඩුවීමයි. මා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අවුරුදු දහයක සංඛ්‍යා ලේඛනවලට අනුව, 2013 සිට 2023 දක්වා උසස් පෙළ සිංහල විෂය හදාරන සිසුන්ගේ සංඛ්‍යාව 25,000කින් අඩු වී තිබේ. මේ වසරේ එය තවත් 10,000කින් පමණ අඩු වී ඇත. මෙයට හේතුව කුමක් ද? උපන් දා සිට කතාකරන භාෂාව ලියන්නට කැමැත්තක් නොදක්වන ළමුන් පාසල් සමාජයේ දක්නට ලැබීමයි. ඒ භාෂාව ඉගෙනගෙන සාහිත්‍යය කියවන්නට ළමුන්ගේ උනන්දුව නැති වී තිබීමයි.
මීට හේතු සාධක ගණනාවක් හඳුනාගෙන තිබේ. මෙය ඒ ළමුන්ගේ වරදක් නොවේ. අප සිංහල විෂය උගන්වන්නට දීර්ඝ කාලයක් තිස්සේ සම්පාදනය කර ඇති විෂය නිර්දේශ ළමුන්ට ඉතා වෙහෙසකර ය. නීරසය. භාෂාවක ව්‍යූහාත්මක කරුණු ඉගැන්විය යුත්තේ උසස් අධ්‍යාපනයේ දී ය. එම ව්‍යූහාත්මක කාරණා හය, හත, අට පන්තිවල දී ඉගැන්වීම ආරම්භ කළ ද භාෂාව සුඛනම්‍ය ලෙස පරිහරණය කරන්නට අවශ්‍ය පුහුණුව එමගින් ළමයින්ට නොලැබේ. ළමයකු තුළ කියවීමේ ආශාව ඇතිවෙන්නේ ඒ ඒ වයස්වලට ගැළපෙන සාහිත්‍යය නිර්දේශ කිරීම මගිනි. අපේ පැරණි සාහිත්‍යයේ එන ඉතාම නීරස කතා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්තිවල විෂය නිර්දේශවලට ඇතුළත් කර ඇති බව වසර හතළිහකට වැඩි කාලයක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සාහිත්‍යය උගන්වා ඇති ගුරුවරයකු ලෙස මම දනිමි. ගැඹුරු ව්‍යාකරණ සිද්ධාන්ත උගන්වන්නට තැත්කරන ඒ ව්‍යාපෘතිය අසාර්ථක බව අද අප තේරුම් ගතයුතුය. එම කරුණු ඉගැන්වීමෙන් ළමුනට භාෂා ඥානය හෝ සාහිත්‍ය ඥානය ලැබී නොමැති බව කිවයුතුය. මෙම වරද ඉක්මනින් නිවරද කළ යුතුය. එම සාධනීය ප්‍රතිසංස්කරණය සිදු නොවන්නේ නම්, සිංහල භාෂාව හදාරන, සිංහල සාහිත්‍යය කියවන සමාජයක් අපට අහිමිවනු ඇත.
අපේ රටේ වරින්වර සිදුකරන ලද ප්‍රතිසංස්කරණ මගින් මානව ශාස්ත්‍ර විෂයයන් අවප්‍රමාණය කෙරිණි. ඉතිහාසය, පුරාවිද්‍යාව වැනි විෂයයන් ද කලක් එසේ අවප්‍රමාණ වීමට ලක්විය. අද වනවිට අපේ රටේ මව් භාෂාවට මේ ඉරණම අත්ව තිබේ. භාෂාව නීරස එකක් බවට පත්ව තිබෙන බව දරුවන් සිටින මව්පියන්ට පහසුවෙන් තේරුම් ගතහැකි ය. මන්ද? තුන, හතර, පහ පන්තිවල උගන්නා දරුවන්ගේ ‘හෝම් වර්ක්’ කරන්නට සිදුව තිබෙන්නේ ඔවුන්ගේ මව්පියන්ට වීම නිසාය. අදත් ඒ මව්පියන් ගෙන් බොහෝ දෙනකු දරුවන්ගේ ‘හෝම් වර්ක්’වල ඇති අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ ගැටලු නිරාකරණය කර ගැනීමට නිරන්තරව අපට කතා කිරීමෙන් ඒ බව පැහැදිලි වේ. අපේ මේ කුඩා දරුවන්ට මේ ආකාරයේ රළු පරළු විෂය නිර්දේශයක් ඔස්සේ භාෂා ඥානය ලබාදිය හැකිද? අවසානයේ ඒ ළමුන්ගේ ‘හෝම් වර්ක්’ සිදුකර තිබෙන්නනේ අප නිසා ඔවුනට ඒ භාෂා ඥානය ලබන්නට කිසිදු අවකාශයක් හිමි නොවේ.
දීර්ඝ කාලයක් තිස්සේ ජාතික අධ්‍යාපන ආයතනයත්, විෂය මාලා සංවර්ධන දෙපාර්තමේන්තුවත් සමග අපි මේ සම්බන්ධව වාද විවාද මගින්, ලිපි ලේඛන මගින් මේ ක්‍රමය වෙනස් වියයුතු බවට අදහස් පළකර ඇත්තෙමු. අභාග්‍යයකට මෙම විෂය නිර්දේශ සම්පාදනය කරන තැන්වලත්, විභාගවල ප්‍රධාන විභාග පරීක්ෂකවරුන් ලෙසත් කටයුතු කරන්නේ කාලයක් තිස්සේ ආචීර්ණ කල්පික අදහස් හිසින් ගත් පිරිසකි. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වී තිබෙන්නේ ඒ අයට අවශ්‍ය කරන මතවාද සියල්ල එම විෂය නිර්දේශවලට ඇතුළු කිරීමය. ඒ වෙනුවෙන් ඔවුහු පුදුමාකාර ලෙස සටන් කරති. ළමයාට භාෂා ඥානය විද්‍යාත්මකව ලබාදෙන්නේ කෙසේ ද යන්න හොඳින් ම දන්නා විශිෂ්ට වාග්විද්‍යාඥයෝ රැසක් අප අතර සිටිති. ඔවුන් එම කටයුතුවලින් සම්පූර්ණයෙන් ම දුරස්ථ කර දමා තිබේ. ඒ නිසා, ජාතික භාෂාව උගන්නා දරුවන්ට භාෂා ඥානය ලබාගැනීමට හැකිවන පරිදි නිර්මාණාත්මක විෂය නිර්දේශයක් සකස් කරන්නට නොහැකි වී තිබේ. භාෂා ඥානය නොමැතිව සාහිත්‍යය නොකියවන්නේ නම්, වයසින් මුහුකුරා යනවිට ඒ ළමුන් රසික සමාජයක් ලෙස ගොඩ නොනැඟේ.
මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ වරදක් වන අතර එහි නරක ම තැනට අද අපි පත්ව සිටිමු. කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකේ ඇති උසස් පාසල්වල කලා අංශවල සිංහල විෂය හදාරන ළමුන් එක් අයකුවත් නැති තත්ත්වයට පත්ව තිබේ. මෙය කෙතරම් අනතුරුදායක තත්ත්වයක්ද? අධ්‍යාපන මනෝවිද්‍යාවේ උගන්වන ආකාරයට සාහිත්‍ය ඥානය ලැබිය යුත්තේ, චින්තන ශක්තිය දියුණු කළ යුත්තේ හය, හත, අට පන්තිවලනි. අපේ වැඩිහිටියන්ට ඒ කාලේ ඒ වෙනුවෙන් සකස් කර තිබූ ‘කුමාර රචනය, ‘කුමාරෝදය’ වැනි පොත් තවමත් මතක ඇතැයි සිතමි. ඒ පොත්පත්වලින් ඉගෙනගත් ඒ පරපුරට හොඳ භාෂා ඥානයක් මෙන් ම, සාහිත්‍ය ඥානයක් ද තිබිණි. මේ පොත් වෙනුවට රජය සම්පාදනය කළ පෙළපොත්වලින් සිද්ධවුණේ ළමයින්ට අනෙක් විෂයයන් ද හැදෑරීමට අවශ්‍ය මූලික උපකරණය වන සිංහල භාෂාව නීරස විෂයයක් බවට පත්කිරීමය.
අද දවසේ පොත් නිෂ්පාදනයක් සිදුවී ඒවා වෙළඳපොළට නිකුත් වී යම් ප්‍රමාණයක මිල දී ගැනීමක් සිදුවේ. මෙසේ මිල දී ගන්නා පොත්වලින් කොපමණ ප්‍රමාණයක් ඇත්ත වශයෙන් ම කියවන්නේ ද යන්න සමීක්ෂණයක් කර සොයාබැලිය යුතුය. අලුතින් ලියැවෙන සාහිත්‍යය කියවන ඒ සමාජය මොන වගේ එකක් ද? කුමන වයස් මට්ටම්වල අය ද? මගේ පුද්ගලික අදහස නම් කියවීමේ මට්ටම පොත් මිල දී ගන්නා අයගේ පවා හොඳ සාධනීය මට්ටමක නැති බව ය. මෙයින් ප්‍රකාශ වන වැදගත් අදහස නම් ළමුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරන්නට මව්පියන් ළමුන්ට පොත්පත් ගෙනැවිත් දුන්න ද ළමයි සිංහල පොත් නොකියවතී. එහෙත්, ඔවුහු ඉතාමත් හොඳින් ඉංග්‍රීසියෙන් පළවන සාහිත්‍ය පතපොත කියවතී. මෙවන් තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ඇයි?
ළමුන් පොත්පත්වලින් ඈත්වී ඇත්තේත්, ඔවුන්ගේ සාහිත්‍ය ඥානය අඩු වී ඇත්තේත් තාක්ෂණික මෙවලම් භාවිතය නිසා යැයි අපි චෝදනා කරමින් සිටිමු. එහෙත්, ඒ තාක්ෂණික මෙවලම් ඉංග්‍රීසි සාහිත්‍යය කියවන ළමුන්ට බලපා නැතිද? මෙහි ගැඹුරින් තේරුම් ගතයුතු පැහැදිලි කාරණාවක් තිබේ. අපි යම්කිසි ආකාරයකට මේ පිළිබඳ කරුණු එක්රැස් කරමින් යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරන්නට උත්සාහයක් දරමින් සිටිමු. ඒ අපේ රටේ පාසල් සංස්කෘතිය තුළ භාෂාව උගන්වන ක්‍රමවේදය ප්‍රබල ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතුය යන අදහසිනි. ළමුන්ට කුඩා කාලයේ සිට ම ව්‍යූහාත්මක කාරණා උගන්වමින් භාෂාව දරදඬු එකක් බවට පත්කර තිබීමෙන් ළමුන් මුදාගත යුතුය. ළමුන්ගේ වින්දන චින්තන ශක්තිය දියුණු කරන්නට හැකිවන ආකාරයේ සාහිත්‍ය කෘති නිර්දේශ කළ යුතුය. මෙය පාසල් අධ්‍යාපනයේ සිදු කරන බරපතළ වෙනසකින් මෙපිට වෙනත් පැලැස්තරවලින් කිසිසේත් සිදුකළ නොහැකිය.
විශ්වවිද්‍යාල ගුරුවරයකු ලෙස මා සහභාගී වූ පළමු දේශනය සඳහා සිංහල විෂය තෝරාගත් ළමයි 675 දෙනෙක් සහභාගී වී සිටියහ. වසර හතළිහකට පසු මා සේවයෙන් විශ්‍රාම යනවිට ඒ සිංහල විෂය තෝරාගන්නා ළමුන්ගේ සංඛ්‍යාව 110ක් දක්වා අඩු වී තිබේ. අනෙක් විශ්වවිද්‍යාලවල තත්ත්වය ද මෙය ම බව මේ පිළිබඳව සොයාබැලීමේ දී මට දැනගන්නට ලැබිණ.’ රටක දරුවන් වැඩිහිටි වියට පත්වනවිට තමන්ගේ භාෂාව පිළිබඳ ඔවුනට අවබෝධයක් නැතිනම්, ඔවුන් ලියන්නට අසමත් පිරිසක්නම්, ඒ භාෂාවෙන් ලියැවෙන සාහිත්‍යය කියවන්නට අසමත් පිරිසක්නම්, ඒ සමාජය මොන වගේ සමාජයක් බවට පත්වෙයිද?
මිනිසාගේ චින්තනය ගොඩනැඟෙන්නේ භාෂාවෙනි. ඕනෑ ම දෙයක් පිළිබඳ ඥානය අත්පත් කරගන්නේ භාෂාවෙනි. කුඩා කල සිටම දරුවන් තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබිය යුතුය යන්න ලොව පිළිගත් මතයකි. එහෙත්, දරුවන්ට පළමු වසරේ සිට ම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබාදියයුතු යැයි දේශපාලකයෝ යෝජනා කරමින් සිටිති. එසේ පළමු වසරේ සිට ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබාදෙන්නට අවශ්‍ය පහසුකම් අපට තිබේද? අපි එය මඳකට පසෙකින් තබමු. කුඩා කල සිට ම දරුවන් තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබියයුතු යැයි ලෝකය ම පිළිගෙන තිබෙන්නේ ඇයි? ඒ, මානව චින්තනය යන්න ග්‍රහණය කරගැනීමට සෑම පුද්ගලයකුට ම ඉවහල් වෙන්නේ තමන්ගේ මාතෘ භාෂාව වන හෙයිනි.
‘රජත පුස්තක සම්මාන ප්‍රදානය’ තුළ තව එක් කරුණක් පිළිබඳව අවධානය යොමු කරන්නටත්, එය යෝජනාවක් ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට ඉදිරිපත් කරන්නටත් මම අදහස් කරමි. සෑහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ‘ගොඩගේ සම්මාන ප්‍රදානය’ නිසා අලුත් කවියන්, කෙටිකතාකරුවන්, යොවුන් සාහිත්‍ය රචකයන් ගණනාවක් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ බව මගේ නිරීක්ෂණයයි. පසුව ‘රාජ්‍ය සම්මාන’, ‘ස්වර්ණ පුස්තක සම්මාන’ සහ ‘රජත පුස්තක සම්මාන’ ලැබුවෝ එතැනින් ආ අය වෙති. එහි මා දකින සාධනීය ලක්ෂණයනම්, අත්පිටපත් තරගයක දී කතුවරයා කිසිසේත් ම නොපෙනී යෑමයි. එහි දී විනිශ්චයට ලක්වෙන්නේ කෘතියයි. කතුවරයා විනිශ්චය වීම තුළ ඒ ඒ අවුරුදුවල ඇත්තෙන් ම සම්මාන බලන්නේ උසස් ම කෘති ද යන ප්‍රශ්නය මතුව තිබේ.
අද වනවිට ‘ගොඩගේ සම්මාන ප්‍රදානය’ නතර වී ඇතත් ‘විදර්ශන ආයතනය’ අත්පිටපත්වලට සම්මාන ලබාදීමේ තරගාවලියක් ආරම්භ කර තිබීම හොඳ සාධනීය ප්‍රයත්නයකි. සාහිත්‍යයේ උන්නතියට විශාල සාධනීය බලපෑමක් කළ හැකි දෙයක් වන අත්පිටපත් ලබාගෙන ඒවායින් සුදුසු කෘති තෝරාගෙන සම්මාන ප්‍රදානය කිරීමෙන් අලුතින් ලේඛක ලේඛිකාවන් පිරිසකට ක්ෂේත්‍රයට පිවිසෙන්නට අවස්ථාව ලැබේ. වසර හතළිහකට පමණ එපිට අප සාහිත්‍යකරණයට අවතීර්ණ වූ කාලයට වඩා දියුණු පරිකල්පන ඥානයක් අලුතින් ලියන තරුණ පරම්පරාවට ඇති බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි. එහෙත් මූලික ගැටලුව වී ඇත්තේ ඔවුන්ගේ ඒ කෘතිවලට සරිලන පාඨක සමාජයක් නොමැතිවීමය. එවන් පාඨක සමාජයක් නොපමාව බිහිකර නොගතහොත්, සිංහල භාෂාවෙන් ලියන සාහිත්‍යයට වැඩිකල් යන්නට පෙර මේ ක්ෂේත්‍රය තුළ බරපතළ අර්බුදයක් ඇතිවනු නියතය. තාවකාලික කටයුතුවලින් අපට යම් සැනසිල්ලක් ලැබුණ ද එහි දීර්ඝකාලීන ප්‍රතිඵලය ඉතාම නරක එකක් විය හැකි ය.
ඒ නිසා, මගේ යෝජනාව වන්නේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙවැනි සාධනීය බලපෑම් සිදුකරන අතරතුර විවිධ ක්ෂේත්‍රවල සිටින නිදහස් අධ්‍යාපනයෙන් පිබිදුණු විද්වත් සමාජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියමුවන්, පරිපාලන නිලධාරීන් අපේ භාෂාවට සාහිත්‍යයට අනාගතයේ අත්වන ඉරණම පිළිබඳව කල්පනා කර බැලිය යුතුය. ඒ අඳුරු තත්ත්වය උදාවීමට පෙරාතුව සාධනීය ප්‍රතිසංස්කරණ හරහා තවදුරටත් ලබාගත හැකි ප්‍රතිඵල ඇති බව මම අවංකව ම විශ්වාස කරමි.
● අනුර බී. සෙනෙවිරත්න