සරස්වතී දෙවඟනගේ බැල්මක අංශුවක් හෝ ලබා ජනයා කවීහු වෙත්වායි ප්‍රාර්ථනා කළෝ කව්සිළුමිණ කවියාය. සරස්වතී දෙවඟන වචනයට, වාදනයට, කලාවට අධිපති දෙවඟනයි. කවි රස විඳීමට මෙන් ම කවි රචනා කිරීමට ද සරසවි වරම අවශ්‍යවේ. කලා ලොවේ අධිපතිනිය සරස්වතියයි.
නුගේගොඩ ගංගොඩවිල සරසවියගේ නිවහන

සරසවිය බැලුම සෙත්නි වෙත්වා කිවි දනෝ යනුවෙනි කව්සිළුමිණ කවියාගේ ප්‍රාර්ථනය.

මේ ලිපියෙහි ශීර්ෂයේ දැක්වෙන්නේ නුගේගොඩ, ගංගොඩවිල සරසවියගේ නිවහන බවයි. නුගේගොඩ ගංගොඩවිල සරසවියගේ නිවහන බවට පත්වන්නේ 1959 දීය. ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය, නුගේගොඩ ගංගොඩවිල ඇරැඹීමෙන් වසර දහහතරකට පමණ පසුව නුගේගොඩ නගරයෙහි සරසවියගේ තවත් නිවහනක් ඇරැඹුණේ සරසවි පොත්හල නමිනි. විදුදය සරසවි නිවහනින් ශිල්ප ලබා දශක හයකට අධික කාලයක් තුළ බිහි වූ ශාස්ත්‍රවන්තයන් මේ වනවිට මෙතෙර එතෙර නගර ගම් දනව් තුළ තම සරසවි කීර්ති නාමය පතුරවද්දී නුගේගොඩ නගර මධ්‍යයේ සරසවියට නිවස්නයක් වූ සරසවි පොත්හල් ජාලය මෙතෙර එතෙර කවීන් ද ඇතුළු සුවහසක් නිර්මාණශීලී ලේඛක ප්‍රජාවට නිවහනක් ම වෙමින් ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කර ගැන්මට අත්වැලක් ම වෙමින්, සුවහසක් පාඨක ජනයාගේ බුද්ධි පිපාසය සංසිඳුවමින් ඥාන මණ්ඩල නවීන දැනුමින් පුරවා ලමින් නිහඬ පින්කමකට දායකවනු දැක බලාගැනීමට අවස්ථාව උදාකොට දී ඇත. නුගේගොඩ සරසවිය විසින් වසරක් පාසා මෙරට සාහිත්‍ය කලා ප්‍රමුඛ පරිවර්තන, ළමා හා යෞවන, විද්‍යා, ශාස්ත්‍රීය, ඓතිහාසික, තාක්ෂණික විෂය හා අනෙකුත් විෂය රැසක පොත්පත් සමුදාය මෙරට එකදු පොත් ප්‍රකාශන ආයතනයක් හෝ විසින් ජයනොගත් අභියෝගයකි. මේ කෘති අතර ද්විභාෂික කෘති රැසක් වීම ද ඉන් බහුතරයක් මෙරට ප්‍රමුඛ සාහිත්‍ය සම්මාන උලෙළ ඉහළ ම සම්මාන දිනාගැනීම ද ආශ්චර්යයක් ලෙස පෙනේ. දිවයින පුරා නගර, ගම් සිසාරා පිහිටුවා ඇති සරසවි පොත්හල් ජාලය පාඨකයන්ගේ දැනුම් පිපාසයට දියදෝතක් නොව, නිසලව ගලා බස්නා නදියක් ලෙස දැකීමේ කිනම් වරදක් දැයි සිතේ. මේ කෙටි ආවර්ජනයෙහි අරමුණ වන්නේ මෙකී සරසවියෙහි නිල නොලත් කුලපතිවරයා වූ ජීවන මඟ අටවන දශකයට පිවිසෙන නිහඬ චරිතයක තතු විමසීමයි. හේ එච්.ඩී.ප්‍රේමසිරි නොහොත් නුගේගොඩ සරසවි ව්‍යාපාර අධිපති හපුතන්ත්‍රිගේ දොන් ප්‍රේමසිරියන් ය. ලේඛක, ප්‍රකාශක හා මිතුරු සමාජය විසින් හඳුන්වනු ලබන සරසවි ප්‍රේම් ය. ජීවන මඟ අටවන දශකය අබිමුව සිටින එච්.ඩී. ප්‍රේමසිරි මහතා දුක දිනා ජයගත්තේ කෙසේද යන දීර්ඝ අන්දරයෙන් බිඳක් විමසා බැලීමට ගනු ලබන උත්සාහයකි මේ.

මෙම ලිපියෙහි කතානායකයා ගේ භූමිකා කවරේ ද? සරසවි පොත් හල් ජාලයෙහි නිර්මාතෘ හා එහි වර්තමාන අධිපතිවරයා පමණක් ද? ලෝකය පුරා, යුරෝපය,එක්සත් රාජධානිය, ආසියාවේ ඉන්දියාව, චීනය, ජපානය, සිංගප්පූරුව ආදී ප්‍රධාන නගර සියල්ලෙහි ම පොත් ප්‍රකාශන ආයතන හා ඒවා පාලනය කරනු ලබන සමාගම් පිළිබඳ තොරතුරු අප සතුය. Peniguin Random House New York, Harper & Collins Publishers, Blue Rose, India Macmilan Publishers ආදී ප්‍රකාශන ආයතන කිහිපයක නම් ගම් මතකයට එයි. මේ ප්‍රකාශන ආයතන අතර ඇතැම් සමාගම් වාණිජ පොතපත, වෘත්තීය විෂයයන්ට අදාළ පොතපත, විද්‍යා ප්‍රබන්ධ, තාක්ෂණික විෂය පිළිබඳ ලියවෙන පොතපත, සඟරා, පෙළ පොත් හෝ පාඨක රුචිය අනුව පළ කෙරෙන පොත්පත් වේ. සරසවි ප්‍රකාශකයන් මේ සියලු විෂය ක්ෂේත්‍ර ආවරණය කෙරෙන පොත්පත් ප්‍රකාශනයෙහි ප්‍රමුඛයා වේ. පොත්පත්, ලිපිද්‍රව්‍ය අලෙවියෙන් ඇරැඹුණු ව්‍යාපාරයක් ප්‍රකාශනය මතු නොව, දිවයින පුරා එකවර බෙදාහරිනු ලබන ක්‍රමවේද තුළින් අලුතින් නිකුත්වන ඕනෑම පොතක් එදිනම පාඨකයන් අතට පත්වීමේ පහසුකම් සැපයෙන ප්‍රකාශන සමාගමක් පිළිබඳ මෙරට අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් ඒ පහසුකම සැපයෙන සරසවි පොත් ප්‍රකාශන සමාගමෙහි අධිපති ප්‍රේමසිරි මහතා මේ කළමනාකරණ ශිල්පය, තාක්ෂණය පිළිබඳ උගත්තේ කුමන විද්‍යායතනයකින් ද? පාසලකින් ද? තිස්තුනකට අධික පොත්පත් අලෙවි ශාලා ජාලයක හිමිකරුවා වන එච්.ඩී.ප්‍රේමසිරි මහතා මෙම ව්‍යාපාර ඥානය තම බාල කාලයේ දී ලබාගත්තක් ද ? වෛද්‍යවරයකු වීමේ සිහින දුටු ශිෂ්‍ය ප්‍රේමසිරි හංවැල්ල මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය අසමත් වීමෙන් ජීවිතය පිළිබඳ කලකිරීමට පත්ව උකටලීව සිටියේ ද? ඈත ඉඳන් මට අත වනපන් අම්මේ ජනකවිය ප්‍රේමසිරියන්ගේ මතකයේ ඇත්තේ ඔහු ගේ බාල කාලයේ දී ම අම්මා ඔහු අතැර ගිය බැවිනි. අම්මාගේ මුහුණ යාන්තම් මතක බව ප්‍රේමසිරි මහතා පවසයි. අම්මාගේ වියෝවෙන් ඔහුගේ ජීවිතයේ දුක් පරිච්ඡේදය නිමාවට පත්වී ද? අම්මා ජේන් නෝනාය. මව් සෙනෙහස, ආදරය අහිමි වූ පුතකුට, සහෝදරයෙක්, සහෝදරියක් සිටියි. වැඩිමහල් සොයුරකුට මවගේ වියෝව සමග කෙටි කාලයකින් තාත්තා සීමන් මහතා ද ඔහු හැර ගිය කල, ජයසුමන හා සිරියලතා සොයුරු හා සොයුරිය සමග ජීවන කතර අතරමංවූ ප්‍රේමසිරියන්ගේ ළමාවියේ වීරවරිය වූයේ රොස්ලින් පුංචි අම්මා ය. මීවනපලාන රජයේ පාසල, කුළුපන ප්‍රාථමික විද්‍යාලය, උඩුමුල්ල රාජාභිෂේක විද්‍යාලය හා අවසන හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලය ජීවන අරගලයට මුහුණ දීමට මඟ කියාදුන් සිප්හල්ය. ප්‍රේමසිරි තරුණයාගේ පොතපත පිළිබඳ ලාලසාව හටගන්නේ පාදුක්ක වීරකෝන් පොත්හල හා සිංහල බෙහෙත් බඩු වෙළෙඳ සැලෙහි බෙහෙත් බඩු සුවඳට වඩා අලුත් පොත්පත් සුවඳට ඉව ඇල්ලීම සමගය. ප්‍රේමසිරියන්ගේ පරමාදර්ශී චරිතය වන්නේ වීරකෝන් මාමා ය. පාදුක්ක පොත්හලින් මහරගම සරසවි පොත්හලට පැමිණීම සමග රාත්‍රි කාලයේ අවට සිනමා ශාලාවලට රිංගා ගැලරියේ සිට චිත්‍රපට බැලීමට ද ඇබ්බැහි වූයේ නිතැතිනි. ඒ ඇබ්බැහිය ද පසු කාලයක සිනමාවට සම්බන්ධ වීමේ අඩිතාලම සකස්කොට දුන්නේය. කලක් මහරගම සරසවිය අවට ජීවත් වූ කලාකරුවන් රැසකගේ හමුවීම් මධ්‍යස්ථානය වීම නිසාදෝ තරුණ ප්‍රේමසිරියන්ගේ මිතුරන් බවට ඔවුන් පත්විණ. සෝමවීර සේනානායක, චන්ද්‍රසේන පෙරේරා, රෝහණ වෙත්තසිංහ, නිමල් ජී. ගමගේ, සරණපාල පමුණුව, තලංගම ජයසිංහ, එස්.එච්.සරත්, රංජන් පෙරේරා, පියසේන වික්‍රමගේ, සරසවි ආචාර්යවරුන් වූ නන්දසේන රත්නපාල, ඒ.වී.සුරවීර ආදීන් ගේ ඇසුර ප්‍රේමසිරියන්ට ලැබෙන්නේ මහරගම සරසවියේ දීය. එච්.ඩී.ප්‍රේමසිරියන් සතු වූ නුගේගොඩ ලෝටස් පොත්හල සරසවි පොත්හල ලෙස නම් කෙරුණේ 1973 ජූනි මාසයේ දිනෙක වීරකෝන් යුවළ, ප්‍රේමසිරියන්ගේ සමීප ඥාතීන්, මහරගම සරසවියේ සිටිය දී හඳුනාගත් සුකුමාල යුවතිය කුමුදුනී ඩයස්, ලේඛකයන්, ප්‍රකාශකයන් හා තවත් කලාකරුවන් රැසක් මධ්‍යයේ ය. මහරගම සරසවියෙන් ඈත් වී නුගේගොඩ සරසවිය ම තම ඒකායන වෘත්තීමය මධ්‍යස්ථානය බවට පත් කරගන්නා ප්‍රේමසිරිට මහරගම දී හමු වූ සාහිත්‍යකාමී පිරිස්වලට අමතර බොහෝ පිරිස් හමු වීය. සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර, සුනිල් ආරියරත්න, තිලකරත්න සිල්වා, නන්දා මාලිනී, තිස්ස කාරියවසම්, වින්ටන් කුරේ ආදීන් ඒ අතර විය. නුගේගොඩ සරසවියේ කළමනාකාර රංජන් පෙරේරා මහතා එදා සිට අද දක්වාම වරින් වර ප්‍රේමසිරියන් ගෙන් වෙන් වී ද යළි එක්වෙමින් ද අද දක්වා සිටින්නේ ප්‍රේමසිරියන් යනු මිතුරන් අතර හොඳම මිතුරාය යන දහම සනාථ කරමින් විය යුතුය. මහරගම සරසවියේ සිටිය දී ඔහු සිත්ගත් කුමුදුනී ඩයස් යුවතිය කුමුදුනී හපුතන්ත්‍රි වූයේ ප්‍රේමසිරි ගේ නුගේගොඩ සරසවිය විවෘත වීමෙන් අනතුරුව ය. ජීවිතයේ අටවන දශකය අබිමුව සිටින ඔහු හා කුමුදුනී ගේ දෙදරුවන් වන්නේ චන්දු සුභාෂණ හා චාන්ද්‍රි සුලෝචනා ය. සරසවි කලර් ලැබ් ආයතනය ද සරසවි පොත්හල ද නව ගොඩනැඟිල්ලක විවෘත වන්නේ විවාහයෙන් පසුව ය.

නුගේගොඩ ගංගොඩවිල සරසවියගේ නිවහන

පොත්පත් ප්‍රකාශනය හැර තවත් කලා ක්ෂේත්‍ර රාශියක සක්‍රීය දායකත්වයෙන් සම්බන්ධ වන පොත් ප්‍රකාශකයකු හෝ ප්‍රකාශන සමාගමක් පිළිබඳ මෙරටින් අසන්නට නොලැබේ. එතෙර වුව එවැනි සමාගමක්වේද යන්න පිළිබඳ දැනගන්නට නොලැබේ. එහෙත් නුගේගොඩ සරසවිය ඒ වාර්තාවට හිමිකම් කියයි. මෙරට කීර්තිමත් චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ප්‍රේමසිරි මහතා විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට සංඛ්‍යාව 17 කි. සරසවි සිනෙරු නිෂ්පාදන සන්නාමය යටතේ එච්.ඩී.ප්‍රේමසිරි කුළුඳුල් නිෂ්පාදනය වූයේ සුගතපාල ද සිල්වාගේ බිත්ති හතර නවකතාව, පරාක්‍රම සිල්වා ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත කිරීම ( 1982) සරසවි සිනෙරු නිෂ්පාදිත චිත්‍රපට 17 අතර පවන රළු විය (රංජිත් කුරුප්පු) තණ්හා රතී රඟා ( නිලේන්ද්‍ර දේශප්‍රිය), කුස පබා (සුනිල් ආරියරත්න) වස්සානේ සඳ (උදයකාන්ත වර්ණසූරිය), නෙලා (බෙනට් රත්නායක), නිව්ස් පේපර් (කුමාර තිරිමාදුර – සරත් කොතලාවල ) ආදී චිත්‍රපට සම නිෂ්පාදන වේ. ආකාස කුසුම් ( ප්‍රසන්න විතානගේ ) සක්කාරං (ධර්මසේන පතිරාජ ) උසාවිය නිහඬයි ( ප්‍රසන්න විතානගේ ) යශෝධරා ( සුනිල් ආරියරත්න ) අසන්ධිමිත්තා ( අසෝක හඳගම ) විජයබා කොල්ලය ( සුනිල් ආරියරත්න ) ඇල්බොරාදා ( අසෝක හඳගම ) සහෝ (ආරියරත්න ඇතුගල ) ක්ෂීර සාගරය කැලඹිණ ( සුනිල් ආරියරත්න ) ගාඩි ( ප්‍රසන්න විතානගේ) යන සියලු චිත්‍රපට නිෂ්පාදකයා ප්‍රේමසිරියන්ය. ඉහත චිත්‍රපට අතරින් බොහෝ චිත්‍රපට මෙරට මෙන්ම විදේශීය චිත්‍රපට උලෙළවල් සඳහා සම්මානයට පාත්‍රවීම තුළින් ප්‍රේමසිරියන්ගේ අර්ථපතීත්වයේ අගයට අමිල වටිනාකමක් එක් වූ බව මෙහි ලා සඳහන් කිරීම උචිත ය. ආකාස කුසුම් රංගනයට ගෝව අන්තර් ජාතික සිනමා උළෙලහි දී හොඳම නිළියට හිමි රජත මයුර සම්මානය මාලිනී ෆොන්සේකාට, ඔසාකා ආසියානු සිනමා උලෙළේ දී දක්ෂතම රංගන ශිල්පිනියට හිමි සම්මානය නිල්මිණි සිගේරාට, විජයබා කොල්ලයට SLIM – Peoples Award සම්මානයෙ පිදුම් ලැබීම, ඇමෙරිකාවේ INDIE Fest Film Awards හා Rainbow Film Festival , සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර හොඳම නළු සම්මානයෙන් පුදනු ලැබීම පවසන්නේ එච්.ඩී.ප්‍රේමසිරියන් යනු දේශීය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යෑමට නිහඬවම ක්‍රියාකාරීවන්නකු බවයි. සිනමාව මතු නොව, වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍ය නිෂ්පාදනයෙහි ද එච්.ඩී. ප්‍රේමසිරි භූමිකාව ඔහුගේ නිෂ්පාදන කාර්යයෙහි අන්තර්ඥානය පෙන්වන්නකි. ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්ටකාරී, තාරාවෝ ඉගිලෙති හා ප්‍රසන්න විතානගේ දෙබිඩ්ඩෝ ( ද්විත්ව) ප්‍රතිනිෂ්පාදන ද කේ.බී.හේරත්ගේ කළු කුමාරි නිෂ්පාදනය වේදිකාව වෙනුවෙන් ප්‍රේමසිරියන්ගේ ආදරය, කැපවීම පෙන් වූ අවස්ථාය. ටෙලිනාට්‍ය ක්ෂෙත්‍රයෙහි ද ප්‍රේමසිරි මුද්‍රාව සහිත අර්ථපතීත්වය විශද කරනු ලබන්නේ ස්වයංජාත, අප්පච්චි, වන් වේ, මහ පොළොව වැනි නිර්මාණයි. මෙහිදී අවධාරණය කළ යුතු තවත් වැදගත් ම ලක්ෂණයක් සේ මා දකින්නේ ඔහුගේ ම සාහිත්‍ය ප්‍රකාශන සඳහා සාහිත්‍ය මාධ්‍යයෙන් බැහැර විද්‍යුත් මාධ්‍ය අවකාශයෙහි ඉඩ හසර සොයා දීමයි. ස්වයංජාත, අසන්ධිමිත්තා, සක්කාරං, සහෝ නිදසුන් කොට දක්වමි.

නුගේගොඩ ගංගොඩවිල සරසවියගේ නිවහන

එච්.ඩී. ප්‍රේමසිරි නම් අසූ වියැති නිහඬ මිනිසාගේ කාර්ය සාධනය පිළිබඳ විමසීමක දී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ක්‍රියාකාරී නිලදරුවකු ලෙස පසුගිය දශක කිහිපය තුළ සාහිත්‍යයට අදාළව ඉටුකරන ලද සේවාවට මිලක් නියම කළ නොහැකි යැයි සිතමි. එතෙර සංචාර තුළින් ඔහු දියුණු රටවල පොත් ප්‍රකාශනය, පොත් ප්‍රදර්ශන, පොත් ශාලා දැකීමෙන් ලද අත්දැකීම් ඔස්සේ අභිප්‍රේරණය වීමෙන් මෙරට වාර්ෂික අන්තර් ජාතික පොත්පත් ප්‍රදර්ශන, සාහිත්‍ය සම්මාන උලෙළ හඳුන්වාදීම වැනි ලේඛක, පාඨක, ප්‍රකාශක සුසංයෝගයට අර්ථවත් අත්දැකීම් එක්කොට තිබීම එච්.ඩී.ප්‍රේමසිරි හා සරසවි නාමය එක්ව සිහියට නැඟෙන අතුල්‍ය මොහොතක් ලෙස සටහන් කරමි. 2007 සිට ඇරැඹුණු ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයෙහි ද 2017 සිට ආරම්භ කළ රජත පුස්තක සම්මානයෙහි ද හිමිකාරීත්වය සතු ශ්‍රී ලංකා පොත් ප්‍රකශකයන්ගේ සංගමයෙහි ප්‍රේමසිරියන්ගේ භූමිකාව කෙතරම් ප්‍රබල ද යන්න මෙරට සාහිත්‍යලෝලී ජනතාවගේ වාර්ෂික සංස්කෘතික දින පොතෙහි Cultural Diary සැප්තැම්බරයේ දින දහයක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කර ගැනීමේ පුරුද්ද ඇති කරන්නට ප්‍රේමසිරි මහතා ප්‍රමුඛ ප්‍රකාශක සංගමය ඉටුකොට ඇති උදාර මෙහෙවර අමතක කළ නොහැකිය. ප්‍රේමසිරියන්ගේ චරිතාපදානය ද එළි දැක්වෙන (සරසවි ප්‍රේමසිරි – බණ්ඩාර ඇහැළියගොඩ සංස්කරණය ) ලබන (25 දා) අඟහරුවාදා සන්ධ්‍යාවෙහි එච්.ඩී.ප්‍රේමසිරි සුලවතානන්ට චිර ජීවනය පතන්නට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට එක්වන පිරිස් අතර ඔහුගේ ද ආශීර්වාදය ඇතිව ඇරැඹුණු කැටපත් පවුරට කවි ලියූ නවීන, ප්‍රවීණ කවි කිවිඳියන් ප්‍රදර්ශන කාලය තුළ දුර බැහැර සිට පැමිණ කවියක් කුරුටු ගෑ ආධුනික කවි කිවිඳියන් ද දැකගන්නට ලබෙනු ඇතැයි සිතමි.

● බුද්ධදාස ගලප්පත්ති


advertistmentadvertistment