“තාත්තා මාව එයාගේ සහෝදරයකුට විවාහ කර දෙන්න බල කළා. මම කැමැති වුණේම නැහැ. ඔවුන් මට දිගට ම පහර දුන්නා. මාව මරණවා කීවා. දිනක් රාත්‍රියේ මම පෙම්වතාගේ ගෙදරට පැන ගියා. පසු දින ම අපි රහසේ විවාහ වුණා. එදිනම සවස තාත්තාත් මාමාත් ඇවිත් මාව ගෙදර එක්ක යන්න චාරිත්‍රානුකූලව විවාහය සිදු කර මගේ පෙම්වතාට භාර දෙන්න කුරාණයේ අත තබා පොරොන්දු වුණා. ඒ නිසා මාත් මගේ පෙම්වතා කෙයිසර් ද එකඟ වුණා. මාත් ඔවුන්ව විශ්වාස කළා. රාත්‍රියේ ගෙදර එද්දී ගඟ ළඟ කාරය නවතා දෙන්නා ම මගේ ගෙල හිර කරගෙන මාව මරන්න හැදුවා. පොර බදද්දී තාත්තා මට පිස්තෝලෙන් වෙඩි තැබුවා. වැරදිලා වෙඩි පාර වැදුණේ මගේ මුහුණට. දෙන්නා මාව ගෝනියක දමා ගෙන ගිහින් ගඟට විසි කළා. වතුරේ ගිලෙනවිට සිහිය ඇවිත් ඉවුරේ අත්තක එල්ලී ගොඩට ආවා. මැදියම් රැයේ බඩගාගෙනම පාරට ඇවිත් වාහනයකට වැඳලා නවතාගෙන රෝහලට ආවා.

වෛද්‍යවරු පැය 7ක සැත්කමකින් දිවි බේරා දී ඇත්තේ වෙඩි පාරෙන් මගේ මුහුණේ වම් පැත්ත ඇස ළඟ සිට තොල් දක්වා අස්ථියත් කම්මුලත් දෙකට පැලී තිබුණා. සති ගාණක් රෝහලේ සිට පෙම්වතා ළඟට ගියා. ඒ මම අපේ රටේ තිබෙන ‘ගෞරවනීය ඝාතන ක්‍රමයෙන්’ බේරුණු සැටි…”

මෙසේ කැමරාවට කතා කරන්නේ පකිස්තානයේ පන්ජාබ් නුවර ගුරුජාන් ගමේ වයස දහනවයේ සාබා නම් මුස්ලිම් තරුණියයි. සාබාගේ මේ කතාව කැමරාවට හසු කර ගන්නට අරගලයක් කළේ පකිස්තානු ජාතික ෂාර්මීන් ඔබේඩ් සිනමාකාරියයි. විසි වයසේ දී ඇමෙරිකාවට ගොස් උසස් අධ්‍යාපනය ලබනවිට ඇයට අවබෝධ වූයේ වාර්තා චිත්‍රපටය සමාජය ගැන කතා කරන්නට බලගතු ම කලාවක් බවය.‘… 17 වැනි වියේ දීම මම පකිස්තානයේ මහමඟ මත් වෙළෙඳාමට හසුවූ දුගී ළමයින් ගැන පත්තරේට ලිපියක් ලිව්වා. පත්තරය අරන් ගෙදර ඇවිත් තාත්තා කිව්වේ ‘ඔන්න මහ ලොකු වැඩක් කරලා. හෙට අනිද්දාට ගෙදරට ම ප්‍රතිඵල ඒවි’ කියලා. මම ඇමෙරිකාවේදී වාර්තා චිත්‍රපට පිටපත් 80ක් විතර ලිව්වත් නිෂ්පාදකයකු සොයාගන්න නොහැකි වුණා. සාබාගේ සිද්ධිය මාධ්‍යවලින් ප්‍රසිද්ධ වුණේ ඔය අතර. ඒ ගැන චිත්‍රපටයක් කරන්න නිෂ්පාදකයෙක් මට කැමැති වුණා. මම පකිස්තානෙට ඇවිත් සාබාව සොයා ගත්තේ එහෙමයි. ‘ගෞරවනීය ඝාතනවලට’ ගොදුරුවූ ස්ත්‍රීන් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. සාබා මගේ කැමරාවට කතා කරන්න කැමැති වුණා. ජීවිතයේ මම ලැබූ ජයග්‍රහණය එයයි…. මෙසේ කියන ෂාර්මීන් පකිස්තානයේ ගැහැනියගේ කතාව හොඳින් දැන සිටියාය. මිලියන 5ක ජනගහනයක් ඇති පකිස්තානයේ සියයට 49ක් ස්ත්‍රීන්ය. අවුරුද්දකට 1000ට වඩා කාන්තාවන් මරා දැමීම සිදුවේ. කාගේ අතින්ද? ඔවුන්ගේම දෙමව්පියන් , ඥාතීන් අතින්මය. වරද කුමක්ද? ආගම සංස්කෘතිය සම්ප්‍රදාය නොතකා සිය කැමැත්තෙන් පෙම්වතකු වෙත යෑමය. මෙහි පුදුමයක් ඇත. එනම් එවැනි තරුණියක් මරා දැමීමට දෙමව්පියන්ට ඥාතීන්ට නිදහසක් බලයක් තිබීමය. එවැන්නකට නීතියේ ඉඩක් නැතත් ‘නීතියේ හිලක්’ තිබීමය. එය හැඳින්වෙන්නේ HONOR KILLING – ගෞරවය උදෙසා ඝාතනය කිරීම කියාය. ඉස්ලාම් සමාජයන්හි මෙය පකිස්තානය තුළ පමණක් නොව ඇෆ්ගනිස්තානය, ඉරානය, ඉන්දියාව යනාදී රටවල ද මෙය යථාර්ථයක් බව ෂාර්බීන් ඔබේඩ් පවසයි. මෙය ශුද්ධ වූ කුරාණයට එහෙම් පිටින්ම විරුද්ධ ප්‍රචණ්ඩත්වයක්ය යනු ඉස්ලාම් ධර්මධරයන්ගේ මතය යි. එහෙත් එය සිදුවේ. ධර්මයේ සංස්කෘතියේ සම්ප්‍රදායයේ නාමයෙන්. නීතියට පටහැනි වුවද නීතිය ක්‍රියාත්මකයේදී ඊට දොරටු හැරී යයි. සංස්කෘතිය ධර්මයට වැඩි දෙයක් බවට පත්ව ඇති සැටි ‘ගඟේ ගිය කෙල්ල’ වාර්තා චිත්‍රපටයෙන් විනිවිද නිරූපණය වන්නේ ගැහැනියට ආදරය කරන සෑම දෙනකගේම හදවත් අල්ලා සොලවන සැටියෙන්ය.

සාබා රෝහලේ සිටිය දී ඥාතීන් පැමිණ කියා සිටින්නේ සුව වූ පසු ගෙදර යන ලෙසය. ගෙදර ගොස් තාත්තාටත් මාමාටත් සමාව දෙන ලෙසටය… ඔවුන් ඒ දේ කළේ පවුලේ ගෞරවය රැක ගැනීමටයි. එසේ ක්‍රියා කිරීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. පරම්පරාවේ ආගමේ සංස්කෘතියේ ගෞරව රැක ගැනීමයි ඔවුන්ගේ අරමුණ. ඒ නිසා ඒක ගෞරවනීය ඝාතනයක්. ඔවුන්ට සමාව දියයුතු යැයි නෑදෑ පවුල් සාබා ගෙන් ඉල්ලා සිටී.

වාර්තා චිත්‍රපටය හෙළි කළ ස්ත්‍රීන් මරණ ගෞරවනීය ක්‍රමය - ගඟේ ගිය කෙල්ල

‘… මං ගෙදර යන්නෙත් නෑ. මම ඔවුන්ට සමාව දෙන්නෙත් නැහැ. මම උසාවි යනවා.’ ඇගේ අරගලය චිත්‍රපටයේ දිග හැරෙන්නේ එසේය.

සාබා පෙම්වතාගේ නිවසට යනවිට පොලිසිය ඇගේ මාමාවත් තාත්තාවත් අත්අඩංගුවට ගෙන තිබුණේය. කෙයිසර්ගේ අම්මා රේවතී කියන්නේ සාබාට තම පුත්‍රයා සමග එම ගෙයිම නැවතී විවාහ ජීවිතය ගත කළ හැකි බවය… කැමති කාලයක් මෙහි ඉන්න පුළුවන්. මම මගේ දුවක් වගේම සාබාව බලා ගන්නවා. කොහේවත් යන්න වුවමනා නැහැ.

එහෙත් ඥාතීන් පැමිණ කියා සිටින්නේ සාබා උසාවි නොයා යුතුය කියාය. තාත්තාවත් මාමාවත් අත්අඩංගුවෙන් නිදහස් කළ යුතුය කියාය. එසේ නොකළහොත්? තාත්තා සිරෙන් නිදහස් වී පැමිණ සාබාව මරා දමනු ඇත කියා ය!

ආගම කෙසේ වෙතත් ආගමික සංස්කෘතියක් තුළ ගැහැනියක් මුහුණ දෙන්නේ කෙතරම් භයානක අවාසනාවන්ත තත්ත්වයකට දැයි චිත්‍රපටය හඬගා කියන්නේය.

සාබා දවස ගත කළේ ලෝකයම ඇයට හරස්ව සිටිනවා වැනි වේදනාවකින්ය. තමා ඇය බලන්නට ගොස් නිතර කතා බහ කරමින් සිටීම ඇයට චිත්ත ධෛර්යයක් වූ බව සිනමාවේදිනිය කියයි. නඩු දිනට උසාවි යෑමටත් ‘ගෞරව සමාව’ දී තාත්තාට මාමාටත් දඬුවමෙන් නිදහස් වීමට ඉඩ නොදීමටත් වරදකරුවන්ට උසාවියෙන් දඬුවම ලබාදීමටත් සාබාව එකඟ කර ගත්තේ බලවත් උත්සාහයකින් බව සිනමාවේදිනිය කියයි. මෙවැනි අරගලයකින් සමාජයේ කාන්තා ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක සිහින දකින්ට පුළුවන් වනු ඇතැයි ඇයට ඒත්තු ගැන්වීමට හැකි විය.

නියමිත දිනයට සාබා ත්‍රීවිලරයක නැඟී තනිව උසාවියට යන සැටි රූගතව ඇත. ස්ත්‍රීන්ට සාමාන්‍යයෙන් උසාවියෙහි පෙනී සිටීමට පුරුෂ සමාජයෙන් ඉඩක් නොලැබේ. මහ මාර්ගවල වුවද ස්ත්‍රීන් හමුවන්නේ කලාතුරකින්ය. ස්ත්‍රීන් සිටින්නේ නිවස තුළත් ගොවිපළවලත්ය. සාබා උසාවි භූමියෙහි උස් බිත්ති අතර හුදෙකලා වන රූප රාමු අප තුළ උපද්දනුයේ සංවේගයකි. ඈ බලා සිටින්නේ ඇගේ නීතිඥයා පැමිණෙන තුරුය. ඔහු අසාද් ජමීල් රේවතීගේ පවුලේ අය හමුවන්නට පැමිණ සියලු දෙනාට කරුණු හොඳින් පහදා දුන් සැටියෙන්ය. සාබා නීතිය හමුවට පැමිණීමට අදිටන් කර ගත්තේ ඔහු කතා කළේ සැබෑ නීතිය ගැනය.

‘…. කිසිම, මිනිස් ඝාතනයකට නීතියේ ඉඩක් නැහැ. ‘ගෞරව ඝාතනය’ කියන දේකට කුරාණයේ කිසිම අවසරයක් නැහැ. ඔයා නඩුවට පෙනී සිටින්න. සමාව දුන්නත් නුදුන්නත් ඔවුන්ගේ වෛරය සන්සිඳෙන්නේ නැහැ. වරදට දඬුවම් දීම නීතියයි. තීරණය ඔබ සතුයි.’

සාබා බලා ඉන්නේ ඒ වචනවලින් බලගැන්වෙමින්ය. ඇය ළඟට නීතිඥයෙක් පැමිණියේය. එහෙත් මේ ඔහු නොවේ. අනෙක් අයෙකි. කෝ මගේ නීතිඥයා? ඇය ඇසුවාය. මම වකුවාස් භාති. මමයි අද ඉදිරිපත්වන්නේ. සාබා අසන්නේ කෝ මගේ නීතිඥයා අසාද් ජමීල්? ඔහු කිසිම පිළිතුරක් නොදෙයි. තම නීතිඥයා වෙනස් කිරීමටත් ඥාති වර්ගයාට බලයක්? සියල්ල සිදුවන්නේ අදිසි හස්තයකින්… ඒ පුරුෂ හස්තය බව යටි පෙළෙන් රූපගත වී ඇත.

… ඔයා ගිහින් උසාවියට කියන්න සමාව දීමට ආවා කියලා.

ඒ හැර මේ නීතිඥයා කිසිවක් නොකියයි. අබොතාබාඩ් සුප්‍රිම් උසාවියට ඇය හිස නමා ගෙන ඇතුළු වෙයි. ස්ත්‍රීන් උසාවියේ පෙනී සිටීමත් පකිස්තානු සම්ප්‍රදාය අනුමත නොකරයි. බොහෝවිට සිදුවන්නේ කොමිසම් හමුවේ පෙනී සිටීමය. ‘සම්ප්‍රදාය තමයි මිනීමරුවා’ කියා සිනමාකාරිය පවසන්නේ මේ යථාර්ථය නිරුවත් කරමින්ය. දිස්ත්‍රික් උසාවිවලින් ලැබෙන තීන්දු වෙනස් කිරීමට ඉහළ අධිකරණයේ විනිසුරන්ට බලය ඇත. මේ ‘පුරුෂ බලය’ ස්ත්‍රියට ලැබෙන අවස්ථාව ද අහිමි කිරීමට හේතු වේ. 2018 කාන්තා ආරක්ෂණ නීති ස්ථාපිතව ඇතත් නඩු විභාග වන්නේ පුරුෂ බලයේ සෙවණැලි තුළය. ගෞරව ඝාතනවලට ඉඩ ලැබෙන හිල් නීතිය තුළින් වැසී නොයන්නේය. ‘ධාර්මික නොවන ආගමික බලයක්’ සංස්කෘතික හස්තය සතුව පවත්නා සැටි දැක ගන්නට ෂාමීන් ඔබේඩ් ගේ මේ සිනමා වාර්තාව අවස්ථාව උපද්දා ඇත්තේය.

… දරුවා එන්න. විනිසුරුකරු සිනාසී කියයි. ඔබ තීරණයක්

ගන්න සූදානම්ද?

ඔව්.

මේ විත්තිකරුවන්ට ගෞරව සමාවක් දීමට කැමැතියි කියනවා නම් ඔබේ තාත්තාත් මාමාත් සිරෙන් නිදහස් වේවි. පැහැදිලියි නේද? ඒ අයට ඔබේ කැමැත්ත වුවමනයි. එහෙම නේද?

ඔව්.

හොඳයි මේ නඩුව මෙතැනින් අවසන් වෙනවා. තවදුරටත් නඩුව ඉදිරියට යන්නේ නැහැ.

‘මේ අධිකරණයයි. එය තැපැල් කන්තෝරුවක් වගේ. පැමිණිල්ලේ සියලු දේ වාර්තා තබාගැනීම පමණයි.’ සිනමාකාරිය කියයි. ඝාතකයන්ව අත්අඩංගුවට ගෙන මේ නඩුව පැවරූ එක් පොලිස් නිලධාරියකු එළියට පැමිණි සාබාට කියූ දෙයකි මේ.

“…. කරුණු මෙහෙම වෙද්දී පොලිසියේ අපට සිතෙන දේ ගැන ඔයාට හිතන්න පුළුවන්ද?”

චිත්‍රපටය අවසානයේ දී සාබාගේ තාත්තා ඔක්සුද් මොහොම්මත් කැමරාවට කතා කරයි.

“… මම ගෞරවනීයයි. දුවව මරා දමන්න ඕන වුණා තමයි. ඒ මගේ පවුලේ පරම්පරාවේ ගෞරවය ආරක්ෂා කරගත යුතු නිසා. මගේ යුතුකම කළ නිසා අද මම ගෞරවනීය පුරවැසියෙක් විදිහට සමාජය මාව පිළිගන්නවා. ගැහැනු ළමයකුට ගෙදරට පිටුපාන්න බැහැ. ඒක අපේ සංස්කෘතියේ ලියැවී තිබෙනවා. ඇගේ අනාගතය වෙනුවෙන් සියල්ල කරන්නේ අපි. ඒවා අපේ කැමැත්ත අනුව සිදුවිය යුතුයි. එයා මට ගෞරවනීය සමාව නොදෙනවා නම් සිරෙන් නිදහස් වෙලා ඇවිත් මම ඇයව මරා දමනවා. ඒ දෙදෙනාව ම.”

‘සාබා සමාව දේවියැයි අන්තිම දවස වන තුරු මම සිතුවේ නැහැ. ඇය එසේ කිරීම මට මහත් වේදනාවක් වුණා. ඒත් එසේ සිදුවීම පුදුමයක් නොවෙයි. සමාව නොදී ඇයට ජීවිතයක් නැහැ. එය මගේ චිත්‍රපටයේ අවසානය වීමම යථාර්ථයක්…’ සිනමාකාරිය පවසන්නේ සාබාට සභාවීමට ඉඩ නොදෙන සමාජය ගැන වැටහීමකින්. සාබාගේ පෙම්වතාගේ අම්මා රේවතී දැන් කියන්නේ සාබා සමාව දුන්නු එක හොඳයි. නැතිනම් අපේ මුළු පවුලම විපතට පත්වෙන්න තිබුණා කියාය. දැන් ඇය සතුටින් කියන්නේ සාබාට ලැබෙන්න සිටින දරුවා වීරවරියක් වෙන්ඩ ඕනෑ කියාය.

‘ගඟේ ගිය කෙල්ල’ වාර්තා චිත්‍රපටයේ සාබා කැමරාවට හිසඔසවා කියන අන්තිම වචන මොනවාද?

‘…. මම සමාව දුන්නා තමයි. ඒත් මගේ හදවතින් මම ඔවුන්ට සමාව දෙන්නේ නැහැ. ඔවුන් කවදා හෝ පාපයට දඬුවම් විඳිනවා ඇති.’

ෂාර්මීන් ඔබේඩ්ගේ අරමුණ වූයේ තම චිත්‍රපටය පකිස්තානයේ නගරවල සමාජයටම නොව දස දහසක් ගම්වල ජනයාට ප්‍රදර්ශනය කළ යුතු බවය. කොහොමද ඒක කරන්නේ? ප්‍රදර්ශන තීරයක් සහිත ජංගම රථයක් යොදාගෙන මම ගමින් ගමට ගිහින් එළිමහනේ ගැමි ජනයා රැස් කරගෙන චිත්‍රපටය පෙන්නුවා. ඔවුන් එය බලා හඬා වැටුණා. කෑගැසුවා. මෙසේ මුළු රටේ ම ජන හඬක් පැන නැඟුණේය. ඉම්රාන් ඛාන් ද චිත්‍රපටය නරඹා මාධ්‍යයට කතා කළේය. අගමැති නවාස් ෂෙරීෆ් තම අමාත්‍යාංශයට චිත්‍රපටය ගෙන්වා ගෙන එය නැරඹුවේය.

අවසානයේදී 2016 හොඳම වාර්තා චිත්‍රපටය ලෙස ‘ගඟේ ගිය කෙල්ල’ට ඔස්කාර් සම්මානය හිමි විය. හේතු පාඨය ලෙස ප්‍රකාශ වුණේ ‘සමාජ අමානුෂිකත්වයක්, අප්‍රමාණ කැපවීමකින් හෙළිදරව් කරන වාර්තා චිත්‍රපටයක්’ යනුවෙන්ය. සම්මාන උත්සවයේදී ෂාර්මීන් කීවේ මෙයයි.

‘…. වාර්තා චිත්‍රපට කලාවට ඇති සමාජ බලපෑමේ ශක්තිය ගැන මට විශාල විශ්වාසයක් තිබෙනවා. සිනමාව තිබිය යුත්තේ සමාජය ඇතුළේ. මිනිසුන් සිතන ආකාරය වෙනස් කරන්න පුළුවන්. කලාකරුවා සමාජය වෙනස් කිරීමට නැඟී සිටිය යුතුයි. ඔවුන් ‘වෙනස් කරන්නන්’ Change makers විය යුතුයි.

මේ අවස්ථාවේදී කතා කළ පකිස්තානු අගමැති නවාස් ෂෙරීෆ් ප්‍රකාශ කළේ අසාමාන්‍ය අදහසක් හා තීරණයකි.

“… වාර්තා චිත්‍රපටයකට මේ තරම් සමාජ බලයක් ඇතැයි මම සිතුවේ නැහැ. මම චිත්‍රපටය නැරඹුවා. ශුද්ධ වූ කුරාණය ඇති රටක මෙහෙම නීතියක් තියෙන්න බැහැ. HONOR KILLING – ගරු ඝාතනය කියා දෙයකට නීතියේ ඉඩක් තිබිය නොහැකියි. නීතියේ හිඩැස මම වසා දමනවා. මේ සිනමාකාරියට වීරවරියක් ලෙස මම ගෞරව කරනවා.”

වාර්තා චිත්‍රපටය හෙළි කළ ස්ත්‍රීන් මරණ ගෞරවනීය ක්‍රමය - ගඟේ ගිය කෙල්ල
ෂාර්මීන් ඔබේඩ්

හැම ආගමික සංස්කෘතියකින්ම ස්ත්‍රියගේ නිදහසට සීමා පැනවෙන බව ෂාර්මීන් ඔබේඩ්ගේ අදහසය. අගමැතිවරියන් – ජනපතිවරියන් බිහි කරන ශ්‍රී ලංකා සමාජයෙහි වෙනසක් ඇති බව ඇත්තකි. එහෙත් ඒ වගේම තවත් සත්‍යයක් ඇත. ස්ත්‍රී හිංසනය නිවසේ ප්‍රචණ්ඩත්වය – බාල අපරාධ මෙරට ප්‍රධාන සමාජ ලක්ෂණයකි. ගෙදර බුදුන් අම්මා කියා ස්ත්‍රිය නමඳින මේ සමාජයේ අද බෞද්ධ ශිෂ්ටාචාරය බිඳ වැටී තිබීම ඊට හේතුව බව නොරහසකි.

මේ සම්මානිත වාර්තාරංගය හා සමතැන් ගන්නා මහාර්ඝ නිර්මාණයක් මේ රටේ ද උත්පාදනයවූ බව මෙහිදී නොලියා සිටිය නොහැකිය. ඒ ප්‍රසන්න විතානගේ නව සිනමාවේදියාගේ ‘උසාවිය නිහඬයි’ වාර්තා සිනමාවයි. සැමියන් පොලිසියේ අත්අඩංගුවට පත්වූවිට ඔවුන්ගේ තරුණ බිරියන් තමාගේ ලිංගික අත්අඩංගුවට ගන්නා අධම මහෙස්ත්‍රාත්වරයකු පිළිබඳ සත්‍ය පුවතක් සමාජය දෙදරවමින් වළෙන් ගොඩ ගෙන ජනතාවට කියාපාන මේ වාර්තාරංගය ‘උසාවිය නිහඬයි’ සමාජයෙහි නිහඬ කිරීමට ඊට තහනමක් ද පැනවුණේය. අවසානයේදී උසාවිය නිහඬ කරවමින් නීතියෙන් නිදහස් වන මේ නීති අධිපතියා අගවිනිසුරකු ලෙස ජනාධිපතිනියක හමුවේ දිවුරුම්දීමෙන් තමාගේ සෙල්ලම ජය ගන්නේ යුක්තිය උදෙසා වීරවත්ව සටනක යෙදුණු මාධ්‍යකරුවා ද නීතිඥයන්ද පරාජය කරමින්ය.!

නැවත නැවතත් නීතියේ නාමයෙන් කෙළෙසුණු මේ තරුණිය අතකින් දරුවා වඩාගෙන අතකින් දරුවාගේ හිසට සෙවණ දීගෙන කොටු වැටුණ එකම ගවුම හැඳ කාෂ්ටක පදික වේදිකා දිගේ ඇවිද යන ….. ඇවිද යන දර්ශන පෙළ ලෝක සිනමා තිරයක පමණක් අපට හමුවන හද මනස කම්පා කරවන්නකි. ‘උසාවිය නිහඬයි’ මේ වාර්තා චිත්‍රපටයට ද ඒ සත්‍ය හෙළි කළ වික්ටර් අයිවන් පුවත්පත් කලාවේදියාට ද අනාගතයේ හෝ ‘ප්‍රමාද වූ ඔස්කාර් සම්මානයක්’ හිමි විය යුතුය. මේ වැනි යථාර්ථ කලාවක් වඩාත් අවශ්‍ය වන්නේ අද වැනි වෙනස් වන්නට දඟලන සමාජයකටය.

● පරාක්‍රම කොඩිතුවක්කු


advertistmentadvertistment