ශ්‍රී දළදා මාලිගාව මගින් සිදුකරනු ලබන විවිධ පූජාවන්ට අමතරව නියඟය, දුර්භික්ෂය, යුද බිය, රෝග බිය වැනි විපත් දුරු කරගැනීම සඳහාත් සුදුසු කල වැසි ලබාගැනීමටත් රටට සමෘද්ධිය, සෞභාග්‍ය, සමගිය හා සමාදානය ප්‍රාර්ථනා කිරීමටත් හුදී ජනතාවට ආශීර්වාදය ලබාදීම සඳහාත් අතිපූජනීය වූත්, ගෞරවනීය වූත් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම අතීතයේ සිට පැවතෙන පූජා චාරිත්‍ර ධර්මයක් ලෙස සඳහන් කළ හැකිය.

ඒ සඳහා මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අතිපූජනීය මහ නායක මාහිමිපාණන් වහන්සේලා දෙනමගේත් දියවඩන නිලමෙතුමාගේත් එකඟත්වය තිබිය යුතුය. දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා තබන අවස්ථාවලදී දන්ත ධාතුන් වහන්සේ සුවිශේෂී කරඬුවක තැන්පත් කිරීම පුරාණයේ සිට පැවතෙන චාරිත්‍රයක් ලෙස සඳහන් වෙන අතර එම කරඬුව ප්‍රදර්ශන කරඬුව ලෙස ද හඳුන්වයි. රනිල් කළ නෙළුමක් මත තබන කොපුවක දළදා වහන්සේ වඩාහිඳුවා ප්‍රදර්ශනය සඳහා තැබීම සිදුකරයි. කිත්සිරිමෙවන් රාජ්‍ය පාලන සමයේදී දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දඹදිව සිට ශ්‍රී ලංකාද්වීපයට වැඩම කර ඇත. අනතුරුව දෙවුලේ බමුණු නමැති පුද්ගලයාගේ මඟපෙන්වීම යටතේ අනුරාධපුර මේඝගිරි මඩුකන්ද විහාරයට දළදා වහන්සේ වැඩම කළ බව සඳහන් වේ. එහිදී දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. උතුම් දළදා වහන්සේ වැඩම කළ පුවත හා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන පුවත ඇසූ මහා සංඝරත්නයත් මහජනතාවත් දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ අභිලාෂයෙන් යුක්තව පැමිණ ඇති බව ඉතිහාසයෙහි සඳහන්ව ඇත. එය ලංකාවේ දී පවත්වන ලද ප්‍රථම දළදා ප්‍රදර්ශනය ලෙස සඳහන් වේ. මේඝ ගිරිමඩුකන්ද විහාරයේ ඉදිකළ දළදා මැඳුර පළමු දළදා මන්දිරය ලෙස සඳහන් කළ හැකිය. පසුකාලීනව දළදා වහන්සේ මහත්වූ පෙරහැරින් අභයගිරි විහාරයට වැඩමවා මහජනතාවගේ වියදමින් වසරක් පාසා දළදා ප්‍රදර්ශන පවත්වා ඇත.

ශ්‍රී දළදා උත්තම වන්දනා ඉතිහාස කතාව

අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් අනතුරුව පොළොන්නරු රාජධානියට දළදා හාමුදුරුවන් වහන්සේ වැඩම කිරීමෙන් පසු පළමු විජයබාහු රජතුමා අටදාගෙය නමින් හඳුන්වන මහාර්ඝ වූ දළදා මන්දිරයක් ඉදිකරවා පූජා කර ඇත. විජයබාහු රජුගේ රාජ්‍ය කාලයෙන් පසු උද්ගත වූ යුද ආක්‍රමණ, අරගල හමුවේ මොග්ගල්ලාන නම්, ස්වාමීන් වහන්සේ හා රාජ්‍ය ඇමැතිවරු ඇතුළු සියලු බලධාරීන් සමග සාකච්ඡා කොට දළදා වහන්සේ වේලයික්කාර නමින් හඳුන්වන ලද කුලී හමුදාවකට භාරදී ඇත. රට එක්සේසත් කළ මහා පරාක්‍රමබාහු රජතුමා ද දළදා වහන්සේ මහජනයාගේ ගෞරවය සඳහා ප්‍රදර්ශනය කර තිබෙන බවට තොරතුරු දළදා පුවත තුළ විස්තර කර ඇත. පොළොන්නරු රාජධානිය බිඳවැටීමත් සමග එවකට සිටි වාචිස්සර ස්වාමීන් වහන්සේ දළදා වහන්සේ කෝතමලේ ප්‍රදේශයට වැඩම කරවා ඇත. බෙලිගල පර්වතය මුදුනේ දළදා මැඳුරක් ඉදිකරවා එහිදී ද පුද පූජාවන් පවත්වා ඇත. ඉන් අනතුරුව දඹදෙණිය රාජධානිය අවසානයේදී තුන්වන විජයබාහු රජු කොත්මලේ වැඩසිටි දළදා හාමුදුරුවන් වහන්සේ පෙරහැරින් වැඩමවා දඹදෙණියේ ඉදිකළ දළදා මන්දිරයක දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර පුද පූජා පවත්වා ඇත. රජුගේ උපන් දිනය දා ශ්‍රී වර්ධනපුරය දක්වා මහමඟ විසිතුරු පෙරහැරකින් දළදා වහන්සේ වැඩම කර වසරකට තුන් වතාවක් දළදා ප්‍රදර්ශන පවත්වා ඇත. දෙවන පරාක්‍රමබාහු රාජ්‍ය පාලන සමයේදීත් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා වෙනම නීති පද්ධතියක් සකස්කර, නියඟයක් පවතින අවස්ථාවලදී රටට වැසි ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද කළ බවට තොරතුරු දළදා සිරිත නම්, ග්‍රන්ථයෙන් අනාවරණය වේ. මාඝ නම් සොළී ආක්‍රමණිකයා ලංකාවට පැමිණීමත් සමග ලංකාවේ පැවැති ව්‍යසනකාරී තත්ත්වයත් අනාරක්ෂිත බවත් පදනම් කරගෙන විජයබාහු රජු දළදා වහන්සේත් පාත්‍රා ධාතුන් වහන්සේ නැවත පොළොන්නරුවට වැඩම කර වටදාගෙය නම් ස්ථානයේ තැන්පත් කර පුදසත්කාර පවත්වා ඇත. ඉන්පසු දඹදෙණි රාජධානිය තුළ සිටි පළමු වන බුවනෙකබාහු රජු, තුන්වන පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ අටදාගේ දළදා වහන්සේ වඩාහිඳුවා පුදසත්කාර කරමින් දළදා හාමුදුරුවන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු සිදුකර ඇත. පරාක්‍රමබාහු රජතුමා ඒ සඳහා වගන්ති 38ක් ඇතුළත් නීතිමය වශයෙන් ව්‍යවස්ථාවක් සාදවා ඒ යටතේ දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පැවැත්විය යුතු පුද පූජා, ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇත.

කුරුණෑගල රාජධානිය තුළ ඇතිවුණු ගැටලුකාරී තත්ත්වයන් මත දළදා වහන්සේ ගම්පොළට වැඩම කර ඇත. ගම්පොළ නියම්ගම්පාය නමින් හඳුන්වන ලද දළදා මන්දිරය තුළ වසර පනහක් පමණ කාලයක් දළදා වහන්සේ වැඩසිටි අතර එහිදී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමක් නොකළත් උන්වහන්සේ උදෙසා පවත්වන ලද පුදසත්කාර ආදිය නොපිරිහෙළා ඉෂ්ට කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියට පැමිණි 5 වන බුවනෙකබා රජතුමා දළදා වහන්සේ කෝට්ටේ රාජධානියට වැඩම කර පුදසත්කාර කිරීමට කටයුතු සිදුකළේය. ඉන්පසු රජ පැමිණි 6 වන පරාක්‍රමබාහු රජු කෝට්ටේ තෙමහල් දර්ශනීය දළදා මැඳුරක් කරවා ඒ තුළ දළදා වහන්සේ තැන්පත් කරමින් පුදසත්කාර සිදු කර ඇත. 1551 දී ධර්මපාල කුමාරයා කෝට්ටේ රජවීමත් සමග පෘතුගීසීන් විසින් කෝට්ටේ දළදා මන්දිරය සහ දළදා මාලිගාවේ වස්තුව කොල්ලකා මහා විනාශයක් සිදුකර ඇත. එවකට දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා ලෙස කටයුතු කළ හිරිපිටියේ නිලමේතුමන් කෝට්ටේ තිබුණු දළදා වහන්සේ පෘතුගීසීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සීතාවක රාජධානියට රැගෙන ගොස් කැලණි ගඟ දිගේ දළදා වහන්සේ වැඩමවා, සීතාවක මායාදුන්න රජතුමාට භාර දී ඇති බව සඳහන්ව ඇත. අනතුරුව සබරගමුවේ දෙල්ගමුව වෙහෙරේ දැඩි ආරක්ෂාව සඳහා දළදා වහන්සේ කුරහන් ගලක අවුරුදු තිහක පමණ කාලයක් වඩාහිඳුවා විදේශීය ආක්‍රමණිකයන්ට නොපෙනෙන සේ රහසිගතව දළදා වහන්සේ උදෙසා පුදසත්කාර ආදිය සිදුකර ඇත. මේ කාලවකවානුව තුළ සෙංකඩගල රාජධානිය ආරම්භ කළ පළමු විමලධර්මසූරිය රජතුමා දෙල්ගමු විහාරයේ වඩාහිඳුවා තිබුණු දළදා වහන්සේ තමාගේ රාජධානියට වැඩම කරවා දෙමහල් දළදා මන්දිරයක් සකස්කර දළදා පුද පූජාවන් විධිමත් ආකාරයෙන් පැවැත්වීම නැවත ආරම්භ කර ඇත.

ශ්‍රී දළදා උත්තම වන්දනා ඉතිහාස කතාව

පළමු විමලධර්මසූරිය රජතුමා රන් ආලේපිත දළදා කරඬුවක් නිර්මාණය කර ඒ තුළ දළදා වහන්සේ තැන්පත් කර ලක්වැසියනට දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා දළදා ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇත. සිංහල රාජවංශයේ අවසන් සිංහල රජතුමා බවට පත්වූ වීර පරාක්‍රමබාහු නරේන්ද්‍රසිංහ රජතුමාගේ අභාවයෙන් පසු නායක්කාර වංශිකයන් ලංකාව තුළ රාජ්‍යත්වය ලබාගෙන ඇත. පළමු නායක්කාර කුමාරයා ශ්‍රී විජයරාජසිංහ නමින් උඩරට රාජධානියට පත් විය.

අනතුරුව දළදා වහන්සේ ළඟ තබාගන්නා පුද්ගලයා රටේ රජතුමා යන නාමයෙන් අතීතයේ සිට පැවතෙන නිසාම දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා කළයුතු පුදසත්කාර සිදුකර ඇත. ඒ සඳහා වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ සහයෝගයත් හිමි විය. බුදුදහම වැලඳගත් ශ්‍රී විජය රාජසිංහ රජතුමා දළදා පූජා ආගමික කටයුතුවලට ප්‍රමුඛස්ථානය ලබාදී රාජ්‍ය පාලනය ගෙනගිය බව සඳහන් වේ. දිනක් කරඬුව විවෘත කරන අවස්ථාවේ දී උන්වහන්සේ තුළ පැවති ප්‍රාතිහාර්යය දැක ප්‍රීතියට පත් එතුමා තම දරුවන් සමග විශාල උත්සවයක් පවත්වා, වර්ෂ ගණනාවකට පසුව දළදා වහන්සේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය සමයේ මහනුවර රාජධානිය ඉංග්‍රීසීන් අතට පත්වීමට පෙර අවසන්වරට මහජන ප්‍රදර්ශනයක් හා ගෞරවයක් දක්වා ඇත්තේ එම අවස්ථාවයි. 1818 දී ඌව කැරැල්ල ආදීකොට ඇති කැරැලි උත්සන්නවූ අවස්ථාවේදී වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමිපාණන් වහන්සේ දළදා වහන්සේ සඟවාගෙන හේවායන් දෙදෙනකු සමග වනගතව දළදා හාමුදුරුවන් වහන්සේ ආරක්ෂා කළ ආකාරය ඉතිහාස තොරතුරු දළදා පුවත වැනි ග්‍රන්ථයන්හි සඳහන් වේ. අනතුරුව කැප්පෙටිපොළ නිලමේතුමන්ගේ අනුග්‍රහය ඇතිව හඟුරන්කෙතදී යුද බිමට රැස්ව සිටි පිරිස අමතා දළදා වහන්සේ වැඩම කර ඇති බව දන්වා රැස්ව සිටි සියලු දෙනාට වන්දනා කිරීම සඳහා දළදා ප්‍රදර්ශනයක් පවත්වා යුදමය කටයුතු සඳහා පිටත්ව ගිය සේනාවට ආශිීවාදය කර ඇත. එම සටන පරාජයට පත්වුවද, නිදහස් සටන කෙරෙහි ජනතාව එක්රැස් කිරීමට දළදා ප්‍රදර්ශනය පැවැත්වීම බලවත් හේතු සාධකයක් බවට පත්ව ඇත. 1828 ජුනි 18 එඩ්වඩ් ආණ්ඩුකාරවරයාගේ හා දෙහිගම ලොකු බණ්ඩාර නිලමේතුමාගේ කාලයේදී අවසන්වරට දළදා වහන්සේ ධාතු මන්දිරයෙන් පිටතට වැඩමවා මහමළුවේ ප්‍රදර්ශනය කර ඇත. එය දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටි ස්ථානයෙන් පිටත ස්ථානයකට වැඩමවා ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය. එම දළදා ප්‍රදර්ශනය අවසානයේදී මහා වැසි ඇදහැලී ඇළ – දොළ පිරී මහා ගංවතුරක් ගැලූ බව සඳහන් වේ. එය “දළදා වතුර” නමින් ඉතිහාසයෙහි සඳහන් ය. අනතුරුව ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර ක්‍රි. වර්ෂ 1925 ජනවාරි 01 වෙනිදා සිට 31 දක්වා කාලසීමාව තුළ දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. මාසයක පමණ කාලයක් පැවැත්වූ එම දළදා ප්‍රදර්ශනයේදී බොහෝ සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණි බව ද සඳහන්ව ඇත.

ශ්‍රී දළදා උත්තම වන්දනා ඉතිහාස කතාව

ඉංග්‍රීසි පාලනයෙන් පසු සුවිශේෂී අවස්ථා කිහිපයකදීම දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. විශේෂයෙන්ම 1982 පෙබරවාරි 7 වෙනි දින සිට 14 වෙනිදා දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා 1992 ජූලි 8 වැනි දින සිට ලෝක බෞද්ධ සම්මේලනයේ නියෝජිතයන් සඳහාත් 1991 මාර්තු 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා මහජනතාව උදෙසාත් 1995 පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වාත් දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. සියම් දේශයේ සිට වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ සියම් උපසම්පදාව ලංකාවට ගෙනවිත් වර්ෂ 250ක් සපිරීම නිමිත්තෙන් 2004 වර්ෂයේ අප්‍රේල් 17 සිට මැයි 1 වෙනිදා දක්වා විශේෂිත දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බව සඳහන් වේ. ඉන් අනතුරුව 2006 වර්ෂයේදී අගෝස්තු 12 වෙනිදා දින ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට සහභාගිවූවන් සඳහාත් දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. වසර හතරකට පසුව වර්තමාන දියවඩන නිලමේතුමන් වන ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මැතිතුමා විසින් සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාව උදෙසා 2009 මාර්තු 6 වන දින සිට දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. මේ කාලවකවානුව තුළ ලංකාවේ අවසන් යුද සමය නිසා නියම කරගත් දින කිහිපය තුළ පැවැත්වීමට අවකාශ ලැබී නැත. ඉන් අනතුරුව 2009 නොවැම්බර් මස 13 වෙනිදා දින මියන්මාර් ජනාධිපතිතුමන් ඇතුළු පිරිස ලංකාවට පැමිණීම සිහිපත් කරමින් දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. අනතුරුව 14 වන අන්තර්ජාතික වෙසක් දින උත්සවය ලංකාවේ පැවැති අවස්ථාවේදී විදේශීය දූත පිරිස උදෙසා 2017 මැයි 14 වන දිනය ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇත. ඉන් අනතුරුව නේපාල ජනාධිපතිතුමා, තායිලන්ත අගමැතිතුමිය ආදී කොට අතිවිශේෂිත දූත පිරිස් ලංකාවට පැමිණි අවස්ථාවලදී දළදා හාමුදුරුවන් වහන්සේ ප්‍රදර්ශනය කර ඇත. එම අවස්ථාවන්වලදී විශේෂයෙන් ලංකාවාසී කිහිපදෙනකුට පමණක් දළදා වහන්සේ දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවී ඇත. දළදා ප්‍රදර්ශනය අතීතයේ සිට මේ ආකාරයට ප්‍රදර්ශන කටයුතු සිදුකර තිබේ. සුවිශේෂිත වූ පුද්ගලයන් ලංකාවට පැමිණි අවස්ථාවන් තුළදී දළදා වහන්සේ දැක බලා ගැනීම සඳහාත් ඒ වගේම රටේ පැවතුණු නියඟ කාලවල රටට නිසි කලට වැසි ප්‍රාර්ථනා කරමින්, සියලුම දෙනාට සෞභාග්‍ය, සමෘද්ධිය සහ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් ඉහත සඳහන් ආකාරයට දළදා ප්‍රදර්ශනය පැවැත්වූ බව ඉතිහාසය තුළ සඳහන් වේ.

පූජ්‍ය වැලිවිට සොරත හිමි

‘ශ්‍රී දළදා පුරාණය’ ග්‍රන්ථයේ අනුග්‍රහයෙනි. එම කෘතියේ සංස්කරණය හේමමාලා රන්දුණු ගෙනි.
සමයවර්ධන ප්‍රකාශනයකි.


advertistmentadvertistment