කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරය ඔන්ටාරියෝ පළාතේ ටොරොන්ටෝ නගරය අවට නගරවලටත්, තවත් පිරිස් කුවිබෙක් පළාතේ මොන්ටි්‍රයල් නගරය තදාසන්න ප්‍රදේශවලත්, බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ වැන්කුවර් නගරය තදාසන්න ප්‍රදේශවලත්, ඇල්බර්ටා පළාතේ කැල්ගරි සහ එඩ්මන්ටන් නගර ආශ්‍රිතවත්, නෝවා ස්කොෂියා පළාතේ හැලිෆැක්ස් නගරය ආශ්‍රිතවත්, තවත් පිරිසක් ඔන්ටාරියෝ පළාතේ ඔටාවා නගරය ආශ්‍රිතවත් ජීවත් වේ. අනෙකුත් පළාත්වල විවිධ නගරවල සුළු කණඩායම් ශ්‍රී ලාංකිකයින් නියෝජනය කරයි.

කැනඩාවේ ටොරොන්ටෝ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා මාධ්‍ය කටයුතුවල යෙදෙන ‘රූපණ මාධ්‍ය ජාලය’ ‘රූපණ අන්තර්ජාල රූපවාහිනිය’, ‘ශ්‍රී ලංකන් නිව්ස් ඩිජිටල් පුවත්පත’ සහ සිනමා නිර්මාණ සහ ප්‍රාසාංගික අත්දැකීම් ප්‍රජාව වෙත ඉදිරිපත් කරන ‘ශ්‍රී ලංකැන් ඉවෙන්ට්ස්’ යන ආයතන තුනෙන් සමන්විතයි.

2016 සැප්තැම්බර් 10 වෙනිදා පටන් ගත් ‘රූපණ අන්තර්ජාල රූපවාහිනිය’, 2023 සැප්තැම්බර් මාසයේදී පටන්ගත් ‘ශ්‍රී ලංකැන් ඉවෙන්ට්ස්’ සහ 2024 අප්‍රේල් මාසයේ පටන්ගත් ‘ශ්‍රී ලංකැන් වෙබ් පුවත්පත’ ඇතුළු රූපණ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ වීරා ෆොන්සේකා මහතායි. මව්බිමෙන් විවිධ හේතුමත සංක්‍රමණික වී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව විවිධ බාධක කම්කටොළු මැද්දේ දිවි ගෙවද්දී මග හැරෙන අපේකම ප්‍රජාව වෙත සමීප කරවන්නට විවිධ දක්ෂතා ඇති පිරිසක් මෙහෙයවමින් සතියේ දිනවල කරන රාජකාරි, පවුල්වල කටයුතු මැද්දේ සති අන්ත කැපකරමින් කරන කාර්යභාරය මේ වනවිට ටොරොන්ටෝව ප්‍රමුඛ කැනඩාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ “අගේ ඇති අපූරු වැඩක් නම් රූපණ ” ලෙසින් නම තබා ඇත්තේ කැපවීමෙන් කර ඇති අති මහත් නිර්මාණාත්මක කාර්යභාරය නිසයි.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් 2016 වසරේ සිට ‘රූපණ අන්තර්ජාල රූපවාහිනිය’ තුළින් සහ 2024 සිට ‘ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ් පුවත්පත’ හරහා රූපණ අනතර්ජාල රූපවාහිනියේ විධායක නිෂ්පාදක සහ ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ් පුවත්පතේ ප්‍රකාශක වීරා ෆොන්සේකා මහතා කළ අනූපමය සේවාව අගයනු වස් වාර්ෂිකව කිහිප දෙනෙකුට පමණක් ප්‍රදානය කරන ජාතික සම්මානයක් 2024 දෙසැම්බර් 20 වැනිදා ඔහුට හිමිවිය. ටොරොන්ටෝව අවට වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලුම ශ්‍රී ලාංකික පිරිස් වෙනුවෙන් ජාති, ආගම් භේදයකින් තොරව එම මාධ්‍ය දෙක මගින් කරන සමාජ මෙහෙවර අගය කරමින් එම සම්මානය සහ පදක්කම පිරිනමන ලද්දේ කැනඩාවේ ජාතික ජනවාර්ගික පුවත්පත් සහ මාධ්‍ය කවුන්සිලය මගිනි. විවිධ ජනවර්ග විශාල ප්‍රමාණයක ජනතාව නිදහසේ ජීවත්වන කැනඩාව එකී ජනවර්ගවල සහයෝගීතාවය සහ සහජීවනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන රටකි. එම සහයෝගීත්වය සාක්ෂාත් කරගැනීම සඳහා ක්‍රියාත්මක ප්‍රජා පුවත්පත්, ගුවන්විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකාවල එකමුතුවක් සහ සංවර්ධන ආයතනයක් ලෙසින් NEPMCC – National Ethnic press & Media Council of Canada ක්‍රියාත්මක වේ.

වීරා ෆොන්සේකා මහතා පරිගණක අංශයේ රැකියාවක යෙදෙන කෙනෙක්. මීට කාලෙකට කලින් සති අන්තවල ඒ වනවිට ටොරොන්ටෝවේ ක්‍රියාත්මක වුණු රූපවාහිනී ආයතනයකට සම්බන්ධ වෙලා යම් යම් ප්‍රජා ජනමාධ්‍ය කටයුතුවල යෙදෙමින් හිටියා. ඔහුට තිබුණු තාක්ෂණික දැනුම එක්ක ඔහුට හිතුනෙ යම් යම් ස්ථානවල සිදුවන සිදුවීම් වාර්තාකරණයෙන් ඔබ්බට ගිහින් හරවත් යමක් සමාජයට දෙන්නට අපට පුළුවන් නේද කියලා. මුලින්ම පටන්ගත්තෙ රූපණ අන්තර්ජාල රූපවාහිනිය. මුලින් කැමරාකරණය, සංස්කරණය වගේම නිෂ්පාදන කටයුතුත් කළේ ඔහුමයි. කැමරා, ලයිට් සහ අවශ්‍ය බඩු ටික උස්සගෙන තැනින් තැනට ගිහින් පටිගත කරගෙන ඇවිත් නිදි මරාගෙන ඒවා කපලා කොටලා වැඩසටහන කොහොම හරි සෙනසුරාදා පාන්දර වෙනකොට වෙබ් ගත කළා. අන්තර්ජාල වෙබ් මාධ්‍ය මේ වෙනුවෙන් පාවිච්චි කළේ අනාගතයේ වන තාක්ෂණයක වෙනස්කම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න කෙනෙක්. අපි කරන වැඩසටහන්වලින් බහුතරය ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක බලන්න පුළුවන් දේවල්. අපි ගමනක මතකය, රූපණ ලෝකෙ වටේ හරහා සංචාරය ගැන කතා කරනවා. අමයුරු කවි රස, නොමැකෙන ගී රස හරහා කවි ගැන ගීත ගැන කතා කරනවා. පොත්පිටු අතරින් හරහා පොතපත ගැන කතා කරනවා. හැම අවුරුද්දෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දට, කැනඩා දිනයට අපූරු වැඩසටහන් කරනවා. සුමියුරු ගී නද හරහා සහ තවත් සංගීත වැඩසටහන් හරහා ටොරොන්ටෝව අවට ප්‍රජාවගේ ගායන කුසලතා නංවනවා. පැංචන්ගේ සාදය හරහා ළමා දක්ෂතා එළි දක්වනවා. කාන්තා හමුව හරහා කාන්තාවන් ගැන කථා කරනවා. ව්‍යාපාරික හමුව තුළින් ප්‍රජා ව්‍යාපාරිකයින් ගැන කතා කරනවා. ඒ කාලීන ප්‍රජා වැඩසටහන්වලට අමතරව. ඒ හින්ද නියමිත විකාශ වේලාවක් නැතිව ඔබට ඉඩ තියෙන වෙලාවට බලන්න පුළුවන් ලෝකෙ කොයි කොනක ඉන්න කෙනෙකුට වුණත් අන්තර්ජාලයට ගිහින් රූපණ වෙබ් අඩවියේ තියෙන වැඩසටහන් 450 කට අධික ප්‍රමාණය බලන්න පුළුවන්.

2023 දී ශ්‍රී ලන්කැන් ඉවෙන්ට්ස් ආයතනය පටන් ගත්තේ ලෝපුරා ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට සුපුරුදු ශ්‍රී ලාංකික කලාකරුවෙක් ගෙන්වා කුඩා ශාලාවක පවත්වන ඉදිරිපත් කිරීමකින් ඔබ්බට ගිය යමක් කරන්නයි. ඒ වගේම ඒ හරහා ශ්‍රී ලංකාවේ කලාකරුවනට නිසි ගෞරවය ලබා දෙන්නටත් ඔවුන් උත්සාහ කරනවා. 2024 ශ්‍රී ලන්කැන් නිව්ස් වෙබ් පුවත්පත පටන් ගත්තෙත් විනාඩි තිහක ශ්‍රව්‍ය දෘෂ්‍ය කාලයට වඩා වැඩිපුර දේවල් ප්‍රජාව වෙනුවෙන් ඉඩ තියෙන ඕනම වෙලාවකින් කියවන්න ඩිජිටල්ගත කරන අදහසින් සහ අපේ ප්‍රජාවට සේවය කරන පුද්ගල චරිත අගය කරන අරමුණින්. එය හරහා මුහුණු පොතේ ඇතිවී මතුවී යන අගය කිරීම් වෙනුවට ඩිජිටල් ගත වන අපක්ෂපාත ප්‍රජා මතක ලෝකයට දායාද කරනවා.

රූපණ වෙබ් රූපවාහිනිය තමයි රූපණ මාධ්‍ය ජාලයේ පළමු පියවර. ඔවුන් හැම සෙනසුරාදාවකම පැය භාගයක වැඩසටහනක් වෙබ් ගත කරනවා. ජාතික රූපවාහිනියෙන් මීට එක්වුණු සම්පතක් බඳු එරංග හිදෙල්ලආරච්චි මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විදියට එය පවත්වාගෙන යනවා. නිර්මාණ අධ්‍යක්ෂක අනුරුද්ධ වැලිගමගේ සංජීව අබේරත්න, සම්පත් පෙත්තාවඩු, මංජුලා වික්‍රමරත්න, කල්ප සමරතුංග, නිරංග විජේසූරිය, අනූෂා කිංස්ලි, යෙනුලි කොතලාවල යන සහ රූපණ කණ්ඩායමේ සාමාජිකයින් මේ වනවිට වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරනවා. ඔෂාවා නගරයේ වීරාගේ නිවසේ රූපණ පටිගත කිරීමේ මැදිරිය තිබෙනවා. ලංකාවේ ඉන්නා ප්‍රමුඛ වීඩියෝ සංස්කාරකවරයකු වන පුබුදු වනිගසේකර සහ ඔහුගේ සහායක රවිදු කන්නන්ගර එය මනාව සංස්කරණය කරනවා. එතකොට ශ්‍රී ලන්කැන් නිව්ස් වෙබ් අඩවිය සතිපතා කැනඩාවෙ, ලංකාවේ පුවත් සහ කාටූන්, ක්‍රීඩා තොරතුරු යාවත්කාලීන වන ප්‍රකාශනයක්. ඒ හරහා චිත්‍රපට, වාර්තා වැඩසටහන්, කවි, කෙටිකතා, කැනඩා සහ ලෝක සංචාරය වගේම දේශපාලන විග්‍රහයන් ගැනත් මාසිකව තොරතුරු ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම අපි අපේ ප්‍රජාවේ වැදගත් පුද්ගලයන්, විශ්වවිද්‍යාල සහ පාසල්වල ආදි සිසු එකමුතු ගැන වගේම සංක්‍රමණිකයන්ට වැදගත් වන තොරතුරු ඇතුළත් ලිපි පළ කරනවා. නුදුරේම ශ්‍රී ලාංකික ප්‍රජාව වැඩි වශයෙන් වාසය කරන වැන්කුවර් නගරය සහ කැනඩාවේ වෙනත් ප්‍රාදේශීය නගර ආවරණය කරන්නටත් මේ වනවිට කටයුතු සූදානම් වෙනවා. ප්‍රවීණ අධ්‍යාපනවේදිනි ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය උපදේශක සංස්කාරක ධුරය දරමින් අනුශාසකත්වය සපයනවා. අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් කතුවර අනුරුද්ධ වැලිගමගේ එහි කර්තෘ මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ හිටපු රූපවාහිනී පුවත් සංස්කාරකවරයෙකු වන නිරෝධ කාරියවසම් ඒ සඳහා අවශ්‍ය ලිපි සැපයීම කරනවා. ආචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා වගේම අශෝකා ජයලත්, කුමුදු රත්නවීර, ලියෝනි අමරතුංග මහත්මීන් එයට කැනඩාවෙ සිට විවිධ ලිපි සපයනවා.

ශ්‍රී ලන්කැන් ඉවෙන්ට්ස් ආයතනය රූපණ මාධ්‍ය ජාලයේ ප්‍රාසාංගික විවිධත්වය විදහා දක්වන අංශයයි. මේ හරහා හරවත් සහ ජනප්‍රිය අංශයේ චිත්‍රපට සහ සංගීත ප්‍රසංග ඉදිරිපත් කෙරෙනවා. 2023 වින්දනීය සන්ධ්‍යාවේ දී මුල්වරට කැනඩාවට යූ ටියුබය හරහා ජනප්‍රිය හාස්‍ය ශිල්පීන් වන ජනයි-ප්‍රියයි ගෙන්වූයේ ඔවුන්. ‘ස්ටෑන්ඩ් අප් කොමඩි’ කියන්නේ උතුරු ඇමෙරිකා මහාද්වීපයේ ජනප්‍රිය අංගයක්. 2024 දී ඉදිරිපත් කළේ එඩ්වඩ් ජයකොඩි මහතාගේ සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස් යුවලගේ “නෙතු දැහැන්” ප්‍රසංගයයි. 2025 දී ඔවුන් යුග 3 ක වෙනස් හඬ පෞර්ෂ 3 ක් වන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, බාචි සුසාන් සහ රයිනි ගුණතිලක ටොරොන්ටෝවේදී එකට ඉදිරිපත් කළා. චිත්‍රපට ලෙස 2024 දී කතුරු මිතුරු, 2025 දී රාණි ප්‍රදර්ශනය කළා. රාණි කැනඩාවේ වැන්කුවර්, ඔටවා සහ කැල්ගරිවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධීකරණය කළෙත් ශ්‍රී ලන්කැන් ඉවෙන්ට්ස් ආයතනය විසිනුයි. වීරාගේ උපදෙස් මත ප්‍රාසාංගික විවිධත්වය ජනතාවට දායක කිරීම සම්බන්ධීකරණය කරන්නේ එරංග හිදෙල්ලආරච්චි සහ කල්ප සමරතුංග විසින්.

වීරාටෙක් ක්‍රියේෂන්ස් (Weeratech Cteations) ආයතනය කැනඩාවේ ඕනෑම ප්‍රදේශයක පැවැත්වෙන ප්‍රසාංගික අත්දැකීමක් සජීවී ලෙස හෝ පටිගත කිරීම් ලෙසින් කරන්නටත් අවශ්‍ය කැමරා ශිල්පීන්, ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලන ශිල්පීන් සහ සජීවී ප්‍රසංගයකට අවශ්‍ය සියලු උපකරණ සහ පහසුකම් සපයන්නට සමත් එකක්. වීරා සහ එරංගගේ නායකත්වයෙන් සුශාන්ත විජේසූරිය, තවීන් ද සිල්වා, උපාලි කමල් සහ චෙනුල කරුණාරත්න කණ්ඩායමක් ලෙස මේ වනවිට ප්‍රසංග රැසකට සේවා සපයා තිබෙනවා.

ඔබ කැනඩාවේ කුමන ප්‍රදේශයක හිටියත් රූපණ සියලු වැඩසටහන් සහ මාධ්‍ය ටොරොන්ටෝව අවට සහ කැනඩාවේ වෙසෙන සියලු දෙනා වෙනුවෙන් විවෘතයි, ඒවාට සම්බන්ධ වෙන්න ඔබට ඕනෑම වෙලාවක පුළුවන්. ඔවුන්ගේ හොඳ, නරක, අඩුපාඩු සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට කියන්න. රූපණ මාධ්‍ය ජාලයේ වැඩසටහන් ගැන ඔබේ හිත මිතුරන්ට කියන්න. මුහුණු පොතේ සමාජ මාධ්‍යවල ඒවා ගැන සටහනක් තියන්න අමතක කරන්න එපා. ඔබට හමුවන අයගේ දක්ෂතා හඳුන්වා දෙන්න ඔවුන් ඉදිකළ වේදිකාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ වැඩවලට මුදලින්, වෙළඳ දැන්වීමකින්, ටිකට් පතකින් ඔබටත් උදව් කරන්න පුළුවන්. ඔබ වෙනුවෙන් ඔවුන් බොහෝ මහන්සි වෙනවා. ඒ ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුරින් හිටියත් ශ්‍රී ලාංකික උරුම රැකගන්න. ඔවුන්ට උදව් කරන එක ඔබේ ප්‍රජාවට වගේම මේ වැඩසටහන් දිගට කරගෙන යන්න මහත් රුකුලක් වේවි.

මේ වෙබ් ලිපින තුළින් ගොඩවෙලා වැඩි විස්තර බලන්න, අහන්න, දැනගන්න පුළුවන්.
රූපණ වෙබ් රූපවාහිනිය
https://rupane.com/

ශ්‍රී ලන්කැන් නිව්ස් වෙබ් පුවත්පත
https://srilancan.ca/

ශ්‍රී ලන්කැන් ඉවෙන්ට්ස් ප්‍රසාංගික විවිධත්වය

ජගත් කණහැරආරච්චි


advertistmentadvertistment