තිත්තවැල්ලේ මැටි වළඳේ ලාක්ෂාව

කැලණි ඡායාරූප කලා සංගමයේ 2025 ඡායාරූප වැඩමුළුවෙන්…

“කැලණි ඡායාරූප කලා සංගමය” මගින් වාර්ෂිකව සිදුකරන ඡායාරූප වැඩමුළුවේ මෙවර 2025 චාරිකාව සඳහා තෝරාගනු ලැබුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුවෙන් හැරී ගිය විට හමුවන ප්‍රකට “අරංකැලේ” පුරාවිද්‍යා රක්ෂිතය සහ එවැනිම ප්‍රකට කඳුවැටියක් වන “දොළුකන්ද” යි. මේ බව අප ඔබට කරුණු කාරණා සහිතව මීට පෙර කීවෙමු. වාර්ෂිකව සිදුකෙරෙන මෙම වැඩසටහන සඳහා “සංචාරේ” අපටද සාමාන්‍යයෙන් සුපුරුදු ආරාධනයක් ලැබෙන අතර, එසේ මෙවර ලැබුණු සිහිපත් කිරීම අනුව අපද සංචාරයට එක්වූයේ ඡායාරූප කලා සංගමයේ සාකාජිකයන්ද සමග එකම බස් රථයකිනි. හැමදාමත් ඉතාම විනෝද බර චාරිකාවක් බවට පත්වන කැලණි ඡායාරූප කලා සංගමයේ චාරිකාවට අප කැමැත්තෙන්ම ඉදිරිපත්වන්නේ විශේෂයෙන්ම මෙම චාරිකාව ඡායාරූපකරණ වැඩමුළුවක් වන නිසා අවසානයේදී අපගේ “සංචාරේ” විශේෂාංගයට ද ඉතා හොඳ ඡායාරූප ගොන්නක් මෙයින් ලැබෙන නිසාය.

ජනපති සම්මාන ගත් මැටි කර්මාන්තයේ අලුත් පරපුර

නිශාන්ත විජේසිංහ

උදේ 7-8 වන විටම අරන්කැලේට ළඟාවූ අපට උදේ ආහාරය ඇතුළු පහසුකම් සකසා තිබුණේ පරිසරවේදියකු සහ ඡායාරූප ශිල්පියකු ද වන, කවියට, කතාවට දක්ෂ, සිරිමෙවන් චන්ද්‍රසිරි සොයුරාගේ මැදිහත්වීමෙනි. කැලණි ඡායාරූප කලා සංගමයේ සාමාජිකයකුද වන සිරිමෙවන්, සැබැවින්ම මෙවර චාරිකාවේ අරංකැලේ සංවිධායකවරයා යැයි කීවද වරදක් නැත. එනම්, සංගමයේ මෙවර චාරිකාව අරන්කැලේට සහ දොළුකන්දට යොදාගෙන තිබුණේ තනිකරම සිරිමෙවන් චන්ද්‍රසිරිගේ මැදිහත්වීම නිසාය. එසේම අමතර චාරිකාවක් ලෙස සිරිමෙවන් මෙම දෙදින චාරිකාවට තවත් අපූරු ගමනක් යොදාගෙන තිබිණි. ඒ අරංකැලේ පසුකර තවත් කිලෝමීටර් 3 ක් පමණ

ජනපති සම්මාන ගත් මැටි කර්මාන්තයේ අලුත් පරපුර

“කුඹුක්ගැටේ” පැත්තට යනවිට හමුවන “තිත්තවැල්ල” නම් ගම්මානයේ පාරම්පරික කුඹල් කර්මාන්තය සිදුකරන අයුරු දැක බලාගෙන එම කර්මාන්තයේ කලාත්මක ඡායරූප එකතුවක් ලබාගැනීමට “කැමරා හසුරුවන ආකාරය” ගැන කියාදීම සඳහා ය. මේ සඳහා රොහාන් ෆොන්සේකා, කීර්ති අමරසේකර ඇතුළු ප්‍රවීණයන් කිහිප දෙනෙක්ම ආධුනිකයන්ට ගුරුහරුකම්දීමට මෙන්ම ඡායාරූපකරණය සඳහා එහි පැමිණ සිටියහ. “අරන්කැලේ” සහ “දොළුකන්ද” ගැන මීට පෙර කතාකරන ලද බැවින් මෙවර අප කතාකරන්නේ මේකී කුඹල් කර්මාන්තය නොහොත්, කාර්මික මැටි බඳුන් කර්මාන්තය සිදුකරන තිත්තවැල්ල ගම්මානයේ ඒ අපූරු කලා කටයුත්ත ගැනය. ඒ අතර පාරම්පරික මැටි වැඩ ශිල්පී රුක්මන් ………… මහතා සහ නිශාන්ත විජේසිංහ මහතාගේ කර්මාන්ත ශාලා පිහිටි පරිශ්‍ර අප වෙන වෙනම නිරීක්ෂණය කළ අතර, ජාතික ශිල්ප සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ජනාධිපති සම්මාන” තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන්ම විසිතුරු මැටි භාණ්ඩ කර්මාන්තය සඳහා ජනාධිපති සම්මානය ලබාගත් නූතන පරපුරේ යොවුන් මැටි කලා ශිල්පියකු ද සිටින බව සිහිපත් කළ යුතුය. ඒ මධුමාල් විජේසිංහ ය. නිශාන්ත විහෙසිංහ මහතාගේ පුතු වන ඔහු හුදෙක් මැටි කර්මාන්තයට පමණක් කොටු නොවී, ශ්‍රී ලාංකික මැටි භාණ්ඩ අගය වැඩි නිෂ්පාදනයක් බවට පත්කරමින් බඳුන් කර්මාන්තයේ “සෙරමික්” නිමාවක් මතුකර පෙන්වන තැනට මැටි තාක්ෂණය සහ නව නිර්මාණ කලාව ඔපවත් කළ මධුමාල් අද ජාත්‍යන්තරය දිනාගන්නට වෙහෙස දරන තරුණයෙකි.

ජනපති සම්මාන ගත් මැටි කර්මාන්තයේ අලුත් පරපුර

මේ අපූරු නිර්මාණ ශිල්පීන් සොයා ගිය අපේ සංචාරය සඳහා කැලණි ඡායාරූප කලා සංගමයේ සභාපති ලක්ෂ්මන් පන්තියදේව, ලේකම් සුජීව ජිනේන්ද්‍ර, භාණ්ඩාගාරික රජීව් ඇලෙක්සැන්ඩර්, ප්‍රධාන සංවිධායක කුමාර දහනායක, උප සභාපති කමල් සූරියආරච්චි, හිටපු සභාපති කීර්ති අමරසේකර ඇතුළු සංගමයේ විධායක කමිටුව සහ සාමාජිකයන් සියල්ලම එකතුව මහත් කැපවීමක් සිදුකර තිබුණු අතර කිරිබත්ගොඩ “ලක්සේයා” අධිපති නිමල් උඳුගොඩ, “කැමරා එල්.කේ.” අධිපති අනුෂ්ක ගුණසිංහ විශේෂ අනුග්‍රහ දායකත්ව සපයා තිබිණි. මේ නිසාම ඒ සමග ගිය අප “සංචාරේ” කණ්ඩායමටද මෙම චාරිකාව මහත් පිටිවහළක් කරගන්නට අවස්ථාව උදාවිය. අපගේ ඉඩ කඩ සඳහා සහ මාධ්‍ය ආවරණය සඳහා ක්‍්පැර්ගකන ආයතනය මගින් සාදර අනුග්‍රහය සපයා තිබුණු අතර එම අනුග්‍රහය නොවන්නට මෙම අරංකැලේ චාරිකාව “දිවයින-සංචාරේ” අපට සිහිනයක් වන්නටද ඉඩ තිබිණි. එම නිසා ක්‍්පැර්ගකන ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතාට සහ “ලක්සේයා” අධිපති නිමල් උඳුගොඩ මහතාට තුති පුදන්නට අප මෙය අවස්ථාවක් කරගන්නට කැමතිය.

දෙවැනි දින දිවා ආහාරයෙන් පසුව යෙදුණු “තිත්තවැල්ල-වලංගම” සංචාරයේදී අප පළමුව ගියේ රුක්මන් මහතාගේ මැටි වැඩපළට ය. රුක්මන් මහතා සහ පවුලේ උදවිය පරම්පරාවෙන් මේ ගමේ මැටි වැඩ නොහොත්, වළං කර්මාන්තයේ යෙදෙන්නන්ය. තම මුත්තා සහ පියා දක්වා පාරම්පරික වළං කර්මාන්තයේ යෙදෙන ඔවුන්ගේ වළං නිෂ්පාදන බොහෝ විට සාම්ප්‍රදායක වූ අතර, එකල ප්‍රවාහනය කෙරුණේද ගොන් (බර) කරත්තවලිනි. නමුත් දැන් තත්ත්වය බොහෝ සෙයින් වෙනස්වී ඇත. දර ලිප වෙනුවට ගෑස් ලිප් පැමිණ තිබෙන කාලයක මැටි වළඳ “ගෑස් වළඳක්” බවට පත් නොවුණහොත් පාඩු දෙකක් සිදුවේ. එකක් මැටි වළන් කර්මාන්තයට ආයුබෝවන් කීමට සිදුවීමය. අනික තම ජීවනෝපායට සමුදී වෙනත් රැකියාවක් කිරීමට සිදුවීම ය. නමුත් මොළේ ඇත්තෝ කළේ ගෑස් ළිපට සරිලන මැටි වළං තැනීමට කටයුතු කිරීමය. රුක්මන් මහතා අත තිබ්බේ එවන් කර්මාන්තයකටය. අද ඔහු මෙම ගෑස් වළං කර්මාන්තයෙන් බොහෝ දුර ගිය අයෙකි. සාම්ප්‍රදායක වළං වලට අමතරව පදම් කළ මැට්ටෙන් ගෑස් වළං තනන ඔහු දිවයිනේ හතර දිග් භාගයටම ගෑස් වළං නිපදවා බෙදාහරී. අප යන විටත් ඔහුගේ ගෑස් වළං නිෂ්පාදනය සිදුකරමින් තිබුණේ ඒ සඳහා නිපදවා ඇති වළං අච්චුවක් මාර්ගයෙනි.

නිශාන්ත විජේසිංහ සහ මධුමාල් විජේසිංහ පිය – පුතු දෙපළගේ මැටි බඳුන් කර්මාන්තය ඊට තරමක් වෙනස්ය. ඔවුන් තවමත් බොහෝ විට බඳුන් තනන්

“සකපෝරුව” ආධාරයෙනි. නිශාන්ත විජේසිංහ පන්සල්, පල්ලි, හෝටල්, නිවාඩු නිකේතන යනාදියට අලංකරණය පිණිස සාදන විශාල ප්‍රමාණයේ මැටි කළ, මැටි පෝච්චි යනාදිය තැනීමට රුසියෙකි. කැලණිය, බියගම උපන් ඔහුද මෙම කර්මාන්තයේ පාරම්පරිකයෙකි. අප යන විටද ඔහු සිටියේ තවත් ගෝලයකු සමග පල්ලියක් සඳහා ලැබුණු ඇණවුමකට මෙවන් විශාල මැටි බඳුන් කිහිපයක් නිපදවමිනි. මේවා පුළුස්සා ගන්නට විශාල පෝරණු ද ඔවුන්ට ඇත. කොටින්ම විජේසිංහ පවුලේ නිවස සහ කර්මාන්ත ශාලා පරිශ්‍රයට ඇතුළුවන ගේට්ටු කණු දෙක පවා තනා ඇත්තේ කැටයම් යෙදූ මැටි නිර්මාණ දෙකකිනි. රුක්මන් මහතාට සහ විජේසිංහ පවුල් දෙකටම තම නිෂ්පාදන අලෙවිකරණ සහ ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශනාගාර දෙකක් ද ඉබ්බාගමුව – කුඹුක්ගැටේ මාර්ගයේ පිහිටා ඇත. කොටින්ම තිත්තගල්ල යනු එවන් ප්‍රදර්ශනාගාර සහ අලෙවිසල් පිරුණු ප්‍රදේශයකි.

ජනපති සම්මාන ගත් මැටි කර්මාන්තයේ අලුත් පරපුර
මධුමාල්, තාත්තා, අම්මා, බිරිඳ සමග

මධුමාල් විජේසිංහ තරුණයාද “සකපෝරුව” කරකවා විසිතුරු මැටි බඳුන් තනන්නට උපන් හපන් කමක් ඇත්තෙකි. ඒ පරම්පරාව අනුව යනවාටත් වඩා ඔහු ජාතික ශිල්ප සභාවෙන් සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙන් කර්මාන්තය ගැන වැඩි දුර අධ්‍යාපනය ලබා ඇති බැවිණි. පෙර අප කතා කළ ගෑස් වළං කර්මාන්තය මෙන් විසිතුරු මැටි බඳුන් කර්මාන්තයේ නව මාවතක් සොයා ගිය මධුමාල් මේ වන විට මැටි කර්මාන්තයේ පෙරළියක් කළ තරුණයෙකි. තමන් අතින් නිමවන මැටි විසිතුරු මැටි බඳුනට “ලාක්ෂා” කර්මාන්තයේ මෙන් සියුම් කැටයම් එක් කරන මධුමාල් අතිශය කලාත්මක මැටි නිර්මාණ සිදුකරන්නේ මේවා මැටි භාණ්ඩ නොවන තරමට පාරිභෝහිකයාට කුතුහලය මතුකරමිනි. ඔහුගේ බිරිඳ සන්ධ්‍යා කුමාරි, මව චිත්‍රා කල්‍යාණි ඇතුළු පිරිස සමග මෙම නිර්මාණ කාර්යයේ යෙදෙන මධුමාල් විජේසිංහ 2023 වසරේදී ජාතික ශිල්ප සභාව මගින් පවත්වන ලද ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම මැටි නිර්මාණකරුවාට හිමි ප්‍රථම ස්ථානය නොහොත්, “රන් පදක්කම” දිනාගන්නා ලදී. ඒ ‘ඇත් රුවක් සහිත මැටි වතුර ටැංකියක්’ නිර්මාණය කිරීම නිසාය. එසේම 2024 වසරේදී ඔහු ජාතික ශිල්ප සභාවේ ජනාධිපති සම්මාන දෙවැනි ස්ථානය දිනාගන්නා ලදී. ඔහුගේ විශ්මිත නිර්මාණ අතර මකරුන්ගේ රූප, මැටියෙන් කළ වෙසක් කූඩු, මැටි වතුර බෝතල්, බුෆේ බඳුන්, මැටි පියන් යනාදී බොහෝ දෑ වේ. සැබැවින්ම දේශීය මැටි කර්මාන්තය සහ මැටි කලාව භාවිතයට ගෙන ලොවක් දිනන්නට රටක් ලෙස අපට ඇති හැකියාව මේ තරුණ කලාශිල්පීන්ගෙන් විද්‍යාමාන වේ.

මෙවන් විශ්මිත සහ නව නිර්මාණ සහිත මැටි කර්මාන්ත ගම්මානයක ගෙවුණු හෝරා කිහිපය අත්දැකීමකින් අප පුරවාලූ අතර, කුඹුක්ගැටේ-තිත්තගල්ල ගම්මානය දේශ දෙශාන්තරයේ ප්‍රකට කරමින් රටට විදෙස් මුදල් ගෙන ඒමේ උල්පතක් බවට පත්කරගත නොහැකි මන්දැයි කථිකා කරමින් එදින අපි අපගේ සංචාරය නිමා කළෙමු.

ජගත් කණහැරආරච්චි
මාධ්‍ය අනුග්‍රහය -Cameralk
ඡායාරූප – සිරිමෙවන් චන්ද්‍රසිරි, සහ කැලණි ඡායාරූප කලා සංගමය

ජනපති සම්මාන ගත් මැටි කර්මාන්තයේ අලුත් පරපුර

advertistmentadvertistment