නාගපූෂණී කෝවිල හාස්කම් පිරුණු සිද්ධස්ථානයක්…

දැනට සෙල් ලිපිය තියෙන්නේ නාගපූෂණී අම්මාන් කෝවිල භාරයේ…

පරාක්‍රමබාහු රජුගේ එකම දෙමළ සෙල් ලිපිය හමුවෙලා තියෙන්නෙත් නාගපූෂණී කෝවිල් භූමියෙන්…

නාගපූෂණී කෝවිල පෘතුගීසින් විනාශ කරලා ඉංග්‍රීසින් හදලා…

තල් අරඹේ සැඟවුණ අපේ උරුමය

තිස් වසරක සාපලත් කොටි ත්‍රස්තවාද අවසානයෙන් පසු බුද්ධ වලව්ව විහාර භූමියේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රතිමා කිහිපයක් තැන්පත් කර, බෝධීන් වහන්සේනමක් රෝපණය කර, ස්තූපයක් ස්ථාපනය කොට සෙසු විහාරාංග ද සංවර්ධනය කර තිබේ. පිරිසිදුව, පිළිවෙළට එම විහාරස්ථානය පවත්වා ගෙන යන බව ද පෙනේ. අන්‍ය ආගමික ජනතාව පමණක් ජීවත් වන දූපතක එම විහාරස්ථානය මේ අයුරින් පවත්වා ගෙන යෑම ගැන බෞද්ධයන් විදිහට අප සතුටු විය යුතුය. එමෙන්ම එම විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ට පින් අනුමෝදන් කළ යුතුය.

යාපනය නගරයේ සිට කිලෝ මීටර් තිස්දෙකක් පමණ දුරින් පිහිටි පුංගුඩුතිව් දූපත වර්ග කිලෝ මීටර් හතරක විශාලත්වයෙන් යුක්තය. මහ මුහුදින් වට වූ එම දූපත ‘නාගදීපය’ මණිපුරම් සහ නයිනතිව් යන නම්වලින් ද හඳුන්වනු ලැබේ. බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික සිද්ධස්ථාන පිහිටා තිබෙන නාගදීප දූපතේ බෞද්ධයන් ලෙස ජීවත් වනුයේ නාගදීප රජ මහා විහාරයේ වැඩ සිටින ස්වාමින් වහන්සේ සහ බුද්ධ වලව්ව විහාරයේ වැඩසිටින භික්‍ෂූන් වහන්සේ පමණි. නාගදීපයේ පදිංචි ජනතාව ධීවර කර්මාන්තය, තල් කර්මාන්තය ජීවනෝපාය කර ගනිමින් සරල දිවිපෙවෙතක් ගත කරන බව පේරාදෙණිය විශ්වවිiාලයේ කථිකාචාර්ය නේශන් අප සමග පැවසුවේය.

“වැලි පොළොවේ ඇවිදින කොට පරිස්සමින් යන්න. වැලි පොළොංගු හරියට ඉන්නවා. පොළඟෙක් කෑවොත් ජීවිතයත් ෂුවර් නෑ. ඒ තරම් විෂයි…” නේශන් එසේ කියනවිට පාර අද්දර සිටි අපේ කිහිපදෙනෙක් තාර පාරට පැන්නහ. සර්පයන් කොහෙත් සිටිය හැකිය. එහෙත් යාපනයේ ඇතැම් ප්‍රදේශවල වැලි පොළොංගු බහුල ය. උග්‍ර විෂ සහිත වැලි පොළඟා සිටිනුයේ වැලි යට ය. පොළඟා මාතෘකාවක් වීමට පෙර, නාගදීපයේ ඉතිහාස කතාව මාතෘකාවට බඳුන් කිරීමට මම ඉක්මන් වෙමි.

නාගපූෂණී කෝවිල් භූමියෙන් හමු වූ සෙල් ලිපිය?

සම්බුදු පියාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනින් පාරිශුද්ධත්වයට පත් වූ නාගදීපය මෙරට උතුරු පළාතේ පිහිටි ඓතිහාසික බෞද්ධ පින්බිමකි. එකල නාගදීප දූපත හඳුන්වා ඇත්තේ ‘මණි නාගදීප’ නමනි. එහි ජීවත් වී ඇත්තේ නාග ගෝත්‍රිකයන් ය. පාලකයා වී සිටියේ මහෝදර නම් නා රජු ය. ඔහුගේ එකම දියණිය වඩුන්නාගල රජ කළ චූලෝදර නම් තම නැඟණියගේ පුතණුවන්ට විවාහ කර දෙන ලදී. පරම්පරා ගණනකින් පැවැත ආ වටිනා වස්තුවක් වූ ‘මිණි පළඟ’ හෙවත් මැණික් පුටුව දෑවැද්ද ලෙස ලබාදීමට ද මහෝදර රජු කටයුතු කළහ. චූලෝදර තම ස්වාමි දියණිය සමග සතුටින් ජීවිතය ගත කරන අතරතුර හදිසියේ ඇති වන රෝගී තත්ත්වයක් හේතුවෙන් තම බිරිඳ අකල් මරණයකට ගොදුරු විය. ඒ අකල් වියෝවෙන් චූලෝදර නා රජු මෙන්ම මහෝදර පිය නා රජු දැඩි සේ කම්පනයට පත් වූහ. එකම දියණිය සිහිපත්වීම වස් දායාද වශයෙන් පරිත්‍යාග කරන ලද මැණික් පුටුව චූලෝදර බෑනණුවන් ගෙන් නැවත ඉල්ලා ගතයුතු යැයි අධිඨන් කළ මහෝදර නා රජු ඒ බව සැලකර බෑනණුවන් වෙත පණිවිඩයක් යවන ලදී. මැණික් පුටුව නැවත පිය රජුට ලබාදීමට චූලෝදර නා රජු එකඟ නොවූහ. ඒ සම්බන්ධයෙන් ඇති වූ හිත් බිඳීම අවසානයේ යුද්ධයක් බවට පරිවර්තනය විය.

මහෝදර නා රජුගේ හිතවතෙක් වූ කැලණියේ මණිඅක්ඛිත නා රජුට එකී ආරවුල සැලවීමෙන් පසු ඔහු ද සේනාව සමග නාගදීපයට ගොස් මහෝදර නා රජු සමග චූලෝදර නා රජුට එරෙහිව යුද වැදීමට සූදානම් වූහ. අප මහා ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ කල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි මණිනාග නම් දිවයිනෙහි සිදුවීමට යන ආරවුල දිවැසින් දැක සිදු වන මහා මිනිස් ඝාතනය නවතනු පිණිස මහා කරුණාවෙන් මණිනාගදීපයට වැඩම කළහ. අහසේ වැඩසිටි උන්වහන්සේ මුළු ලංකාද්වීපයම අන්ධකාරයෙන් වසා නැවත ආලෝකමත් කළහ. ඉනිදු බියට පත් නාග ගෝත්‍රික පිරිස අහස දෙස බැලූවිට ඉතාම සුන්දර පුරුෂයකු අහසේ සිටිනු දැක විශ්මයට පත් වී මේ නම් මායාකරුවකු වියහැකි යැයි සිතා තම පාර්ශ්වයට එකතු කර ගෙන යුද ජයග්‍රහණය තමා සතු කර ගැනීමට නාග ගෝත්‍රිකයෝ කල්පනා කළහ. අනතුරුව ඔවුහු බුදුන් වහන්සේට බිමට වඩින ලෙසට අරාධනා කළහ. පහළට වැඩම කොට මැණික් පුටුවේ වැඩ හිඳි බුදු පියාණන් වහන්සේ චූලෝදර, මහෝදර හා මණිඅක්ඛිත නා රජු ඇතුළු නාග ගෝත්‍රිකයන්ට සමඟි සම්පන්නව ජීවත් වීමේ අගය දේශනා කළ සේක. ධර්ම දේශනාව අවසානයේ සතුටට පත්ව සමඟි සම්පන්න වූ නාග ගෝත්‍රිකයෝ මැණික් පුටුව ද බුදුරජාණන් වහන්සේට පූජා කළහ. එසේ පූජා කරන ලද මැණික් පුටුවේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ වස්තුවක් බවට පත් කොට මැණික් පුටුව ඔවුන් වෙත පවරා දී, උන්වහන්සේ සමග පැමිණි සමිද්ධි සමුන දෙවියන් රැගෙන ආ කිරිපලු නුග රුක ද පූජා වස්තුවක් බවට පත්කොට පෙරළා දෙව්රම් වෙහෙරට වැඩම කළහ. නාගදීප ඉතිහාස මතක ආවර්ජනය කරමින් ඉදිරියට ඇවිද ගිය අපි නාගදීප රජ මහා විහාරයේ බෝධීන් වහන්සේ අසල නතර වීමු.

සිහින් සුළං රැලි බෝ පත් සොලවනවිට නැඟෙන සිලි, සිලිය දෙසවනට මියුරු සංගීතයක් බඳුය. ගත, සිත නිවිණි. දෙපාවල විඩාව සැණෙකින් දුරුවිය. ශාන්තිය ඉතිරෙන බෝ සෙවණ යට සිතට දැනෙන සැනසීම වචන කළ නොහැකි තරම් ය. කිසිවෙක්, කිසිවක් නොකිය යි. අපගේ සාමාජිකයන් වැලි පොළොව මත දැහැනට සම වැදී සිටින අයුරු පෙනේ. බැස යන හිරුගේ කාන්තියෙන් තල් අරඹ දිලිසේ. නාගදීපයේ නැරැඹීමට තවත් ප්‍රධාන ස්ථාන තුනක් තිබේ. එහෙත් බෝ සෙවණෙන් ඈත් වීමට නම් සිත් ඉඩ නොදේ. නාගදීප බෝ සෙවණ යට බොහෝ වේලාවක් රැඳී සිටීමට නොදුරු දිනෙක නැවත පැමිණෙන බවට කථිකා කර ගනිමින් චෛත්‍යය වහන්සේ ද වන්දනා කර ගෙන අපි විහාර භූමියෙන් පිට වීමු. අනතුරුව නාගපූෂාණී අම්මාන් කෝවිල දෙසට පියවර මැන්නෙමු. හින්දු බැතිමතුන්ගේ අතිපූජනීය වන්දනීය දෙවොලක් ලෙස සැලකෙන නයිනතිව් නාගපූෂණී අම්මාන් කෝවිල මනස්කාන්ත පරිසරයක පිහිටි, පැරැණි හින්දු කෝවිලකි. එම කෝවිල ආසන්නයෙන් සිංහල, දෙමළ සෙල් ලිපියක් ද සොයාගෙන තිබේ. අඩි දෙකයි, අඟල් හයක පළලින් හා අඩි පහක උසින් යුක්ත එම පුවරු ලිපිය පොලොන්නරුව පාලනය කළ මහා පරාක්‍රමබාහු රජු විසින් පිහිටුවන ලද්දක් බව එම ශිලා ලේඛනයෙහි ම සඳහන් ය.

සිංහල රජවරුන් විසින් ප්‍රකාශයට පත්කර ඇති ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද ශිලා ලේඛන මෙරටින් සොයාගෙන ඇත්තේ කිහිපයකි. ඒ අතුරින් සැලකිය යුතු සෙල් ලිපි සංඛ්‍යාවක් හමුවී ඇත්තේ උතුරු පළාතෙනි. එම සෙල් ලිපි අතුරින් මහා පරාක්‍රමබාහු රජු විසින් නිකුත් කර ඇති එකම ද්‍රවිඩ ශිලා ලේඛනය නයිනතිව් සෙල් ලිපියයි. නාගපූෂණී කෝවිල් භූමියෙන් සොයාගෙන ඇති එම ශිලා ලේඛනය සහිත ගල් පුවරුව එක් පසකින් කැඩී විනාශ වී තිබේ. පුවරුවේ උඩු බැලි පැතිකඩේ අකුරු කියවා ගැනීමට බැරි තරමට මැකී ගොස්ය. එසේ වී ඇත්තේ එම ගල් පුවරුව ලෝහ උපකරණ මුවහත් කිරීමට භාවිත කර ඇති නිසා ය. අකුරු මැකී ගිය කොටසේ ලිපියේ මුල්කොටස ඇතුළත් වන්නට ඇතැයි අනුමාන කරන බව විද්වත් මතයකි. අකුරු මැකී ගිය උඩුබැලි පැත්තේ, යටිබැලි කොටසේ අන්තිම පේළි කිහිපය හැර ඉතිරි පේළි විසිතුනක් තිබේ. පළමු වන පේළියේ කියවා ගතනොහැකි කීපපෙළක් ද ඇත. මැකී ගිය මුල්කොටසේ දැනට කියවා ගැනීමට පුළුවන් වී ඇත්තේ ‘අධිපති හා පරාක්‍රම’ යන වචන දෙක පමණි. එමෙන්ම සෙල් ලිපිය පිහිටු වීමේ අරමුණ සහ එය පිහිටු වූ රජතුමාගේ නම ඇතුළු වැදගත් විස්තර ලිපියෙහි යට කොටසේ දැකගැනීමට ලැබීම වාසනාවකි. ඒ අනුව ‘දේවපරාක්‍රම භූජොරිපුරාජවංසදවානල සකල සිංහල චක්‍රවර්ති’ යනුවෙන් ලිපියේ අවසාන දෙපේළියේ පැහැදිලිව සඳහන් වී තිබේ.

නාගපූෂණී කෝවිල් භූමියෙන් හමු වූ සෙල් ලිපිය?

එම ලේඛනයේ සඳහන් ආකාරයට ‘විදේශිකයන් ඌර්කාවට්ටුරෛ (කයිට්ස්) නම් ස්ථානයට ගොඩ බැස රජයේ ආරක්‍ෂාව යටතේ නැවැතිය යුතුය. වෙන අලුත් වරායවලින් ගොඩබට විදේශිකයෝ ඌර්කාවට්ටුරෛනම් ස්ථානයේ දී හමුවිය යුතුය. ඇතුන් හා අශ්වයන් ගෙනෙන නැව් කැඩී බිඳී ගියහොත් වටිනාකමෙන් හතරෙන් පංගුවක් භාණ්ඩාගාරයේ ප්‍රයෝජනය සඳහා ගෙන අනෙක් පංගු තුන අයිතිකරුවන්ට ලබාදෙනු ලැබේ…’ යන බවය. එම ලිපිය දෙමළ අක්ෂරයෙන් ලියා තිබුණ ද අතරින් පතර පල්ලව ග්‍රන්ථ අක්‍ෂර යොදා ගෙන තිබේ. එමෙන්ම එහි අක්‍ෂර රූප මාලාව දොළොස් වන ශත වර්ෂයට අයත්, දකුණු ඉන්දීය අක්‍ෂර මාලාව හා සම කළ හැකි ය. භාෂා විලාසය මධ්‍යකාලීන ද්‍රවිඩ ලිපිවල භාෂාව හා සැසඳේ. එම ලිපියෙහි ඇති අන්තිම පේළි සංස්කෘත ශ්ලෝකයකින් බැඳ තිබේ. එම කොටස වසන්තතිලකා නම් වෘත්තයෙන් ගළපා ඇති බව ද පෙනේ. නාගදීප පුවරු ලිපිය පළමු වරට කියැවීමට උත්සාහ කර අත්තේ සී. රසනායගම් මුදලි ය. ඒ 1926 වර්ෂයේදී ය. පසුකාලීනව මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ටී. කේ. ජයසුන්දර යන මහත්වරු විසින් එම සෙල් ලිපිය පිටපත් කර ඇත. 1949 වර්ෂයේ දී ගත් පිටපත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති බව සටහන් වී තිබුණ ද දැන් එහි නැති බව අභය ආර්යසිංහ විසින් රචනා කර ඇති ‘සකල සිංහල චක්‍රවර්ති” ග්‍රන්ථයේ සඳහන් වී තිබේ. එමෙන්ම මහාචාර්ය කතිරගේසු ඉන්ද්‍රපාල මහතා විසින් 1963 වර්ෂයේ දී එම පිටපත අනුසාරයෙන් නාගදීප සෙල් ලිපිය පිළිබඳ අගනා විමර්ශනයක් කර ඇති බව ද එම ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. මේ වනවිට නාගපූෂණී අම්මාන් කෝවිල භාරයේ පවතින බවට තතු සැල වෙන එම සෙල් ලිපිය ආරක්‍ෂා කර ගැනීමට අදාළ ආයතනවල මැදිහත්වීම ගැන සෑහීමකට පත් විය නොහැකි බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

නාගදීප පුවරු ලිපිය හමුවූ නාගපූෂණී අම්මාන් කෝවිල පැරැණි හින්දු කෝවිලකි. හින්දු බැතිමතුන්ගේ භක්ත්‍යාදරයට පත් නාගපූෂණී කෝවිලේ වන්දනාවට පාත්‍ර වනුයේ ‘නාගපූෂණී අම්මාන් හෙවත් බුවනේශ්වරී දේවියයි. එම දේවිය ශිව දෙවියන්ගේ භාර්යාව වූ පාර්වතී මෑණියන්ගේ ස්වරූපයක් බව ද වාර්තා වේ. එමෙන්ම පාර්වතී දේවියගේ පෙර ආත්මයක් වන සතී දේවියගේ පා සළඹ මේ ස්ථානයේ වැටී ඇති බවට ද ජනප්‍රවාදයක් පවතී. නාගපූෂණී අම්මාන් කෝවිල ඉදිකිරීමට ප්‍රධාන වූ ජනප්‍රවාද ද කිහිපයකි. දේවාලය වන්දනා කිරීමට මලක් රැගෙන ගිය නාගයකුගේ මඟ වලකාලූ රාජ අලියකුගේ ඉල්ලීමට සාගරයේ වෙළෙඳ කටයුතුවල නියැළී සිටි ව්‍යාපාරිකයකු විසින් නාගපූෂණී කෝවිල ඉදිකර ඇති බවට ප්‍රකට ජනප්‍රවාදයකි. නාගපූෂණී අම්මාන් ඉදිරියට ගොස් සිතේ දුක පවසා යම් පිහිටක් ප්‍රාර්ථන කළවිට එය අනිවාර්යයෙන්ම ඉෂ්ට වන බව නාගදීපයේ ජීවත්වන හින්දු මිනිස්සුගේ දැඩි විශ්වාසයකි. නාගපූෂණී අම්මාන් කෝවිලේ හාස්කම්, දේව ඇදහිලි ක්‍රම, එම කෝවිලේ පැවැත්වෙන වාර්ෂික පින්කම් ගැන නාගදීපයේ හින්දු බැතිමත්හු අපට පැහැදිලි කළහ. එහෙත් පෘතුගීසින් විසින් 1823 – 25 කාලවල දී නාගපූෂණී අම්මාන් කෝවිල විනාශ කර ඇති බව කනවැකීමනම් සිත් තැවුලට කාරණයක් විය. 1800 – 900 ගණන්වල එම කෝවිල නැවත ගොඩනැඟීමක් සිදු කර ඇත. අද පවතිනුයේ එම කෝවිල ය. වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වෙන ජුනි, ජූලි මාසවල දී නාගපූෂණී අම්මාන් කෝවිල හින්දු බැතිමතුන්ගෙන් පිරී යන බවත් මෙවර පින්කමට අපට ද සහභාගි වන ලෙස නාගදීප හින්දු වැසියන් කිහිපදෙනෙක් මතක් කළහ. එහෙත් කෝවිලේ උත්සවයට අපට සහභාගිවීමට නොහැකි විය.

රළගෙඩි සිප හමා එන සීතල සුළඟ ගත, සිත කිතිකවන්නේය. දවස තිස්සේ කෑම සොයා පියාසර කළ කුරුල්ලෝ වාසස්ථානවලට පැමිණෙන සංඥාව වන වඳුළු අතරින් උස්ව නැඟේ. ඒ කුරුලු කිචි බිචිය දෙසවන පින වන මියුරු සංගීතයක් බඳුය. සුදු වලා මැදින් සඳ එබිකම් කරන අපූර්වත්ව, දවස නිවෙනවිට දූපත් පරිසරයේ මැවෙන චමත්කාරය, වන වදුළු අතරින් නැඟෙන කුරුලු ගී මියැසිය සිත් පුරා විඳ ගැනීමට කාලය හරස් වී තිබේ. නාගදීපයේ සෙසු ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන නැරැඹීමට ද අවස්ථාවක් නැත. අපගේ ලැගුම්හලට දුර කිලෝ මීටර් තිස් හතකට වැඩිය. එගොඩට ට යෑමට තවත් විනාඩි කිහිපයක් ගත වේ. නාගදීප සොඳුරු පරිසරයෙන් නික්ම යෑමට සිත අකමැති වුවද සමුගැනීමේ හෝරාව පැමිණ ඇත.

නාගපූෂණී කෝවිල් භූමියෙන් හමු වූ සෙල් ලිපිය?
නාගදීප රජමහ විහාරය

ඉතිරි කොටස ලබන සතියට

තරංග රත්නවීර


advertistmentadvertistment