ඉන්දීය හමුදා කඳවුරු පහළොවකට පාකිස්තානයෙන් මිසයිල ප්‍රහාර

පාකිස්තානට සරදම් කිරීමට ඉන්දීය කාන්තා සෙබළියන් මාධ්‍යයට ගෙන්වීම

දෙරටම මහා යුද්ධයක පැටලෙයි

කාශ්මීරයේ මහාරාජා එනම් පාලකයා වූ හරී සිංට පළමුව කාශ්මීරයට ස්වාධීනත්වය අවශ්‍ය වූ නමුත් 1947 ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයෙන් එල්ල වූ ගෝත්‍රික ආක්‍රමණයකට එරෙහිව ඉන්දියාවෙන් ලැබුණු සහයට ප්‍රතිඋපකාරයක් වශයෙන් ඉන්දියාව සමග එක්වීමට තීරණය කර තිබිණි. මේ එක්වීම හේතුවෙන් අදත් ගැටුමකි. න්‍යෂ්ටික අවි ඇති බලවත් රාජ්‍ය දෙකක් එකිනෙකා ගැටෙද්දී ලංකාවටත් ප්‍රශ්නයකි. ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ඉන්දියාව පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක නවයකට පහරදුන් පසු බ්‍රහස්පතින්දා රාත්‍රියේ පාකිස්තාන හමුදාව ඉන්දු කාශ්මීරයට මෙන්ම දේශසීමා අසල පිහිටි ඉන්දීය

අගමැති මෝදි නම් තැබූ අජිත් දොවාල්ගේ සින්දූර් මෙහෙයුම

නගරවලට පහරදීමට පටන් ගෙන තිබිණි. පාකිස්තානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම මිසයිල ප්‍රහාර ද විනාශ කළ බව ඉන්දියාව පවසන නමුත් දෙපාර්ශ්වයම තමන්ට වූ හානි සඟවන බව පෙනේ. බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉන්දීය පරිපාලන කාශ්මීරයේ ජම්මු සහ උදම්පූර් සහ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කෝට් හි පිහිටි හමුදා කඳවුරු තුනකට ඩ්‍රෝන යානා සහ මිසයිල යොදා ගනිමින් පාකිස්තාන හමුදාව කරන ලද ප්‍රහාරයන් ව්‍යර්ථ කළ බව ඉන්දීය හමුදා තහවුරු කර ඇති අතර ඉස්ලාමාබාද් ආණ්ඩුව මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇත. මේ වන විට රටවල් දෙකෙහිම ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර ගුවන් තොටුපළවල් වසා දමා ඇත. පාකිස්තානයේ කරච්චි, ලාහෝර් සහ සියල්කොට් ගුවන් තොටුපළවලින් පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර ඉන්දියාවේ උතුර හරහා දේශීය ගුවන් තොටුපළවල් 20 කට වැඩි ප්‍රමාණයක් දින දෙකකට වසා තිබේ. ලාහෝර් නගරයට ඉහළින් ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කළ බවද ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඉන්දියාව විසින් පන්ජාබ් සහ සින්ද් පළාත්වලට ප්‍රහාර එල්ල කිරීම පිණිස එවන ලද ඊශ්‍රායල් ඩ්‍රෝන යානා 25ක් පමණ පාකිස්තානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් වෙඩි තබා බිම හෙළීමට සමත්වූ බව පාකිස්තානු හමුදාව පවසයි. බ්‍රහස්පතින්දා පාකිස්තානය විසින් හමුදා කඳවුරු 15 ක් සහ නගර කිහිපයක් වෙත එල්ල කරන ලද ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ඉන්දීය ගුවන් ආරක්ෂක පද්ධතිය වඩා සාර්ථක වූ බව ඉන්දීය මාධ්‍ය කියයි.

අගමැති මෝදි නම් තැබූ අජිත් දොවාල්ගේ සින්දූර් මෙහෙයුම

ලෝකයේ ‘ත්‍රස්තවාදයට කිසිදු ඉවසීමක්’ පෙන්විය යුතු නැතැයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයශංකර් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ බදාදා ඉන්දීය හමුදා පාකිස්තානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ය. ඉන්දු කාශ්මීරයේ පහලගම් ප්‍රහාරය සිදුවී සති දෙකකට පසුව ඉන්දීය හමුදා ක්‍රියාත්මක වී තිබේ. ඉන්දීය විදේශ ඇමැතිවරයා සිය එක්ස් ගිණුමේ ‘ඔපරේෂන් සින්දූර්’ යන වචන සහිත ඡායාරූපයක් එක්කර තිබිණි. ඒ පාකිස්තානයට එරෙහි ප්‍රහාරක මෙහෙයුම සඳහා ඉන්දියාව ‘ඔපරේෂන් සින්දූර්’ යන නම යොදා තිබීම හේතුවෙනි. විවාහක ඉන්දීය කාන්තාවන් නළලෙහි තබන තිලකය සින්දූර් ලෙසින් හැඳින්වෙයි. ඉන්දීය ස්වදේශ ආරක්ෂක අමාත්‍ය අමිත් ෂා, එක්ස් හි සටහනක් තබමින් රටේ සන්නද්ධ හමුදාවන්ට ප්‍රශංසා කර තිබූ අතර, තමා ඔවුන් ගැන ආඩම්බර වන බව පවසා තිබේ. මොහු නරේන්ද්‍ර මෝදි ආණ්ඩුවේ දෙවැනියට බලවත් චරිතය වෙයි. “පෙහෙල්ගාම්හි අපගේ අහිංසක සහෝදරයන් කුරිරු ලෙස ඝාතනය කිරීමට මෙන්න ප්‍රතිචාරය: ඉන්දියාවට සහ එහි ජනතාවට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට සුදුසු ප්‍රතිචාරයක් දැක්වීමට මෝදි රජය අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. භාරතය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට දැඩි ලෙස කැපවී ඉන්නවා,” යනුවෙන් අමිත් ෂා සටහන් කර තිබිණි.

අගමැති මෝදි නම් තැබූ අජිත් දොවාල්ගේ සින්දූර් මෙහෙයුම

‘සින්දූර් මෙහෙයුම’ ගැන කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉන්දීය හමුදා තම රටට එරෙහි ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කර කරනු ලැබූ පාකිස්තානයේ සහ පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ ත්‍රස්තවාදී කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම මෙහෙයුම දියත් කළ බවයි. සමස්තයක් ලෙස ස්ථාන නවයක් ඉලක්ක කරන ලදී. මෙම ප්‍රහාර පාකිස්තානයේ කිසිදු හමුදා කඳවුරක් ඉලක්ක කර නොමැත. ඉන්දියාව සිය ප්‍රහාර එල්ල කිරීමේදී යුතු සංයමයක් පෙන්නුම් කර ඇත. අප මෙම පියවර ගනු ලැබූයේ ඉන්දීය ජාතිකයන් 25 දෙනෙකු සහ එක් නේපාල පුරවැසියකු ඝාතනය කරන ලද පහල්ගම් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පාකිස්තානයේ ස්ථාන නවයකට ඉන්දියාව ප්‍රහාර එල්ල කර පැය දහයකට පසු, ඉන්දීය රජය පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තිබිණි බදාදා අලුයම 1.05 ත් 1.30 ත් අතර සිදු වූ සින්දූර් මෙහෙයුමෙන් ලෂ්කර්-ඊ-තායිබා සහ ජයිෂ්-ඊ-මුහම්මද් මූලස්ථාන ඉලක්ක කරගත් බව ඉන්දීය හමුදා ප්‍රකාශිකා කර්නල් සොෆියා කුරේෂි සඳහන් කර තිබිණි. පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීම සඳහා ඉන්දීය සන්නද්ධ හමුදා විසින් සින්දූර් මෙහෙයුම දියත් කරන ලද බව සොෆියා අවධාරණය කර තිබිණි. ත්‍රස්තවාදී කඳවුරු නවයක් සාර්ථකව විනාශ කරන ලදී. මෙහෙයුම පිළිබඳව පැහැදිලි කරමින් වීන්ග් කමාන්ඩර් වයෝමිකා සිං පැවසුවේ ත්‍රස්ත කඳවුරුවලට එරෙහි ප්‍රහාර “නිශ්චිත තාක්ෂණික ආයුධ” භාවිතා කිරීමෙන් සිදු කළ බවයි. ඉන්දියාව සිය පුවත්පත් සාකච්ඡාව සඳහා කාන්තා නිලධාරින් යොදා ගත්තේ පාකිස්තානයට සරදම් කිරීම සහාය. ඇත්තෙන්ම ඉන්දියන් හමුදා එල්ල කර ඇත්තේ මිසයිල ප්‍රහාරයි. 2019 මෙන් ගුවන් ප්‍රහාර සිදු වූයේ නැත. ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මේ හමුවට එක්වෙමින් ඉදිරියේදී ඉන්දියාවට එරෙහිව ‘තවත් ත්‍රස්ත ප්‍රහාර’ සිදුවන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති නිසා ඉක්මනින් මෙහෙයුම සිදු කළ බව පවසා තිබිණි. ඉන්දීය දේශ සීමාවෙන් කිලෝමීටර් 150ක් ඈතින් පිහිටි ත්‍රස්ත කඳවුරු ප්‍රහාරවල ඉලක්ක වී තිබේ. මෙම මෙහෙයුම සකස් කර ඇත්තේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවොල් විසිනි. ඉන්දීය ප්‍රහාරක යානා පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී නැත. මිසයිල මෙන්ම ඩ්‍රෝන යානා ද යොදාගෙන තිබේ. මේවා අදාළ ඉලක්කය මතට වැටී පුපුරා යෑමට සකස් කළ ඒවායි. විනාඩි 25ක් තුළ මේ ප්‍රහාර සිදුව තිබේ. මේ මෙහෙයුමේ නම තබා ඇත්තේ අගමැති මෝදි විසින්ම වන අතර, ඔහු මේ ප්‍රහාරය ආරක්ෂක අමාත්‍ය මෙහෙයුම් මැදිරියේ සිට නිරීක්ෂණය කර තිබේ.

අගමැති මෝදි නම් තැබූ අජිත් දොවාල්ගේ සින්දූර් මෙහෙයුම

පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ඉන්දියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය ‘බියගුලු ප්‍රහාරයක්” ලෙස හැඳින්වූ අතර එය ප්‍රකෝපකාරී ආක්‍රමණශීලී ක්‍රියාවක් බව සඳහන් කර තිබිණි. බදාදා දිනයේ නිකුත් කළ නිවේදනයක් මගින් ඉන්දියාව විසින් සිදු කළ ප්‍රහාරයට තීරණාත්මකව ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට ඇති අයිතිය අගමැතිවරයා අවධාරණය කර තිබිණි. “ඉන්දියාව පාකිස්තානය තුළ විවිධ ස්ථාන පහකට බියගුලු ප්‍රහාර එල්ල කර ඇත, මෙම යුද ක්‍රියාවට සම්පූර්ණයෙන්ම ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට සෑම අයිතියක්ම ඇත – එම ප්‍රතිචාරය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් මාධ්‍යවේදීන් සමග පවසා තිබුණේ ඉන්දීය ප්‍රහාර සිවිල් ජනයා වෙසෙන ප්‍රදේශවලට එල්ල වූ බවයි. ඉන්දියාව “ත්‍රස්තවාදී කඳවුරු ඉලක්ක කරගත්” බවට කරන ප්‍රකාශය අසත්‍ය බව ආරක්ෂක ඇමැතිවරයා කියයි.

පාකිස්තාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රි ප්‍රකාශ කර තිබුණේ පාකිස්තානයේ සිවිල් ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉන්දියාව එල්ල කළ ප්‍රහාර නිසා සිවිල් වැසියන් 26 දෙනකු මිය ගොස් තවත් 46 දෙනකු තුවාල ලැබූ බවයි. ඉන්දියාව පාකිස්තාන භූමිය තුළ ස්ථාන හයකදී ප්‍රහාර 24 ක් සිදු කර තිබේ. බහවල්පූර් හි නැගෙනහිර අහමඩ්පූර් ප්‍රදේශයේ සිදු වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනකු මිය ගොස් තිබේ. මියගිය අය අතර අවුරුදු තුනක ගැහැනු ළමයින් දෙදෙනකු, කාන්තාවන් හත් දෙනකු සහ පිරිමින් හතර දෙනකු ඇතුළත් විය. ඊට අමතරව, කාන්තාවන් නව දෙනකු සහ පිරිමින් 28 දෙනකු ඇතුළුව පුද්ගලයින් 37 දෙනකු තුවාල ලැබූහ. මුසෆරාබාද් අසල බිලාල් පල්ලියට එල්ල වූ ප්‍රහාරයකින් තිදෙනකු මිය ගිය අතර, ගැහැනු ළමයකු සහ පිරිමි ළමයකු ඇතුළු ළමුන් දෙදෙනකු තුවාල ලැබූ බව හමුදා ප්‍රකාශක කියයි. අබ්බාස් පල්ලිය ඉලක්ක කරගත් කොට්ලි හි තවත් ප්‍රහාරයක් සිදු විය. වයස අවුරුදු 16 ක ගැහැනු ළමයකු සහ වයස අවුරුදු 18 ක පිරිමි ළමයකු ජීවිතක්ෂයට පත්වූ බව ජනරාල්වරයා පැවසීය. “මේ දක්වා, රෆයල් යානා තුනක්, SU-30 එකක් සහ MiG-29 එකක් ඇතුළුව ඉන්දියානු ගුවන් යානා පහක් සහ හෙරොන් ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බව මට ඔබට තහවුරු කළ හැකිය” යනුවෙන් පාකිස්තාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රි තහවුරු කර තිබිණි. ශ්‍රීනගර් හි බීබීසී පුවත් සේවයේ වාර්තාකරු වන රියාස් මස්රූර්ට පුල්වාමා හි පම්පූර් ප්‍රදේශයේ ජනතාව පවසා තිබුණේ අඟහරුවාදා රාත්‍රියේ ගුවන් යානයක් ප්‍රදේශයේ පාසල් ගොඩනැඟිල්ලකට කඩා වැටුණු බවයි. එසේම දේශසීමා ආසන්න ඉන්දීය ප්‍රදේශ වෙත එල්ල වන ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය හමුදා නිලධාරියෙක් සඳහන් කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර වත්මන් ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම නැවැත්වීමට ලොව පුරා විවිධ රටවල් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් උත්සහ දරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉන්දු පාකිස්තාන දෙරටටම පවසා ඇත්තේ “උපරිම සංයමයෙන්” කටයුතු කරන ලෙසයි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මේ සටන් “ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි” තමන් බලාපොරොත්තු වන බවයි. යුද්ධය දිගටම ඇදී යෑම නම් සුදුසු නැත. සාමය රජ වේවා යැයි පතමු.

අගමැති මෝදි නම් තැබූ අජිත් දොවාල්ගේ සින්දූර් මෙහෙයුම

චතුර පමුණුව


advertistmentadvertistment