ප්‍රවීණ වේදිකා ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ රචිත “අඳුරු කරළියේ සොඳුරු දිවාකර” කෘතිය එළිදැක්වීම හා අගැයුම් උළෙල ජූනි 28 වැනිදා සවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත් වේ. මෙහි ප්‍රධාන දෙසුම මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි. මෙහිදී උපාලි රංගාලෝක නිර්මාණයෙන් දායක වූ වේදිකා නාට්‍ය ගීත හා ගෘහස්ථ ප්‍රසංග ගීත නවරත්න ගමගේ සංගීතවේදියාණන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කෙරේ. සහෘද ආමන්ත්‍රණය සමන් අතාවුදහෙට්ටි ගෙනි. මෙම ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.
රාජකපුරු නාට්‍යයේ රජවූයේ පඹයෙකි. රජුගේ ප්‍රාණය නිරුද්ධ වී ඇති බව දැනගත් පුරෝහිත අවශ්‍ය ප්‍රතිකාර කිරීමට ජීවක වෛද්‍යතුමා කැඳවයි. වෛද්‍ය ශාස්ත්‍රයේ මීට පිළියමක් නොමැති බවත්, ප්‍රශස්ති ගායනයෙන් රජුට ප්‍රාණය දිය හැකි බවත් ජීවකතුමා පවසයි. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රශස්ති ගායනයෙන් පඹයාට පණ ලැබෙයි. රාජකපුරු නාට්‍යයේ පඹයාට පණ ලැබුණේ එසේ වුවත් අවසන් ගෞරව දක්වා භූමදානයට සූදානම් කර තිබූ රාජකපුරු නාට්‍යයට පණ ලැබෙන්නේ ඊට වෙනස් අයුරකිණි.
1987 වසරේ දී පුහුණුවීම් ඇරැඹී රාජකපුරු නාට්‍යයේ පිටපත 1988.01.11 වෙනි දින ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට භාර දී විශාල වියදමක් දරා රංග වස්ත්‍ර නිර්මාණ හා පසුතල සකස් කෙරුවෙමි. මංගල දර්ශනය පැවැත්වීමට රඟහල වෙන්කර ගැනීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ඉදිරිපත් කළ යුතුය. 1988.02.01 දා රැඟුම් පාලක මණ්ඩලයෙන් ලිපියක් ලැබිණි. රාජකපුරු නාට්‍යය මහජන ප්‍රදර්ශනය සඳහා කිසිසේත්ම අවසර දිය නොහැකි බව එහි සඳහන්ව තිබිණි. මාස ගාණක් තිස්සේ නාට්‍යයේ පුහුණුවීම් සඳහාත්, රංග වස්ත්‍ර හා පසුතල නිර්මාණ සඳහාත් අතේ තිබුණු මුදල් සියල්ලම වියදම් වී හමාරය. නාට්‍යකරුවකුට මීට වඩා මානසික අසහනයක්, ආතතියක් තවත් කොයින්ද?
“අබුද්දස්ස කෝලම” මා විසින් නිර්මාණය කරනු ලැබුවේ 1984 වසරේදීය. එදා සිට එහි රංගාලෝකකරණය සිදු කළේ උපාලි වීරසිංහ මහතාට අයත් “ක්‍රියේටිව් ලයිට්ස්” ආයතනයෙනි. නාට්‍ය දර්ශන පැවැත් වූ සෑම දිනකම රංගාලෝක උපකරණ ලබා ගැනීමටත්, ආපසු භාරදීමටත් උපාලි අයියාගේ නිවසට දෙවරක් යා යුතු වීම නිසා ඒ සෑම අවස්ථාවකදීම එතුමා සමග සතුටු සාමීචියේ යෙදීම පුරුද්දක් බවට පත්විය. රැඟුම් පාලක මණ්ඩලයේ අලකලංචිය සිදුවීමෙන් පසු එක් දිනෙක මා දෙස තියුණු ඇසින් බලා සිටි උපාලි අයියා “මල්ලි අද වෙනදා වගේ නෙවෙයි, ලොකු කල්පනාවක ඉන්නේ. මොකක්ද ප්‍රශ්නෙ?” යැයි මගෙන් විමසා සිටියේය.
රාජකපුරු නාට්‍යයට සිදු වූ හදිය පිළිබඳ එතුමාට පැවැසුවෙමි. මඳ නිහැඬියාවකින් පසු හඬ අවදි කළ උපාලි අයියා “මල්ලි, ඔය රැඟුම් පාලක මණ්ඩලේ සභාපති ඩී. එච්. අබේසිංහ මහත්තයා අපේ ගමේ කෙනෙක්. අපේ නෝනත් අබේසිංහනේ. එයාට ඥාතිත්වයකුත් තියෙනවා. මං කතා කරලා බලන්නම්” යැයි පැවැසුවේ මගේ මානසික ආතතිය තුරන් කිරීමට විනා මේ පුංචි මිනිසාට කළ හැකි කාර්යයක් නොවනු ඇතැයි මම සිතුවෙමි.
ස්ථාවර දුරකථන පහසුකම් පවා නොමැති ඒ කාලයේ අපගේ සියලු සන්නිවේදනයන් සිදු වූයේ එකිනෙකා අතින් යවන පණිවුඩ මගිනි. දින කිහිපයකට පසු උපාලි අයියාගේ ගෝලයෙක් මා හමුවට පැමිණ “රැඟුම් පාලක මණ්ඩලයට ගොස් සභාපතිතුමා හමුවන්නැයි උපාලි මහත්තයා කිව්වා” යැයි ප්‍රකාශ කළේ මා මවිතයට පත් කරවමිනි. පසුදින උදෑසනම මම එහි ගියෙමි. මා දුටු සභාපතිතුමා “මේ ඉලන්දාරියා නේද අබුද්දස්ස කෝලම කෙරුවේ. ඒකත් තහනම් වුණා නේද? ඒකට කොහොමද පස්සෙ අවසර ගත්තේ” යැයි ප්‍රශ්න කළේ මා පිළිබඳ උපාලි අයියා දුන් පූර්ව අවබෝධයක් ඇතිව බව මට හැඟුණි.
අභියාචනයක් මගින් අවශ්‍ය සංශෝධන සිදුකර අවසර ගත් බව මම ප්‍රකාශ කෙරුවෙමි. “එහෙනං ඒ විදියටම අභියාචනයක් ලියලා දෙන්න. මේක මගේ තනි තීරණයක් නෙවෙයි. මණ්ඩලයක් ඉන්නවනෙ. මම ඒ අයට දාලා ඒ අය කැමැති වුණොත් සංශෝධන සහිතව අනුමැතිය දෙන්නම්. හැබැයි මේ පිටපතේ ගොඩක් දේවල් කපා හරින්න වෙනවා. ඒකට කැමැතිද? යැයි මගෙන් විමසා සිටියේ උපැස් යුවළ යටින් මා දෙස බලමිනි. “කමක් නෑ සර්… ඕනෑම සංශෝධනයකට මම එකඟ වෙන්නම්. මට කොහොම හරි නාට්‍ය පෙන්න ගන්නයි ඕනේ” යනුවෙන් මා පිළිතුරු දුන්නේ සුබවාදී ලකුණු පහළවෙන බව ඉවෙන් මෙන් දැනුණු නිසාවෙනි.
1988.03.15 වැනි දින මම අභියාචනය ඉදිරිපත් කෙරුවෙමි. 1988.03.23 දින ඊට ලැබුණු පිළිතුරු ලිපියේ සඳහන් වූයේ එම සංශෝධන කිරීමට කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි. දිගට හරහට කපා තිබූ දෙබස් සහ ගීත ඛණ්ඩ සියල්ල ඉවත් කිරීමට කැමැති බවට අත්සන් තබන ලෙස නියෝග ලත් සැණින් ඒ ඒ තැන්වල අත්සන් ගණනාවක් තැබුවේ උපාලි අයියාට පුණ්‍යානුමෝදනා කරමිනි. 1988.04.06 වැනි දින අදාළ සහතිකය නිකුත් කෙරුණි. මේ කරුණු සියල්ල සංක්ෂිප්තව එක් වැකියකින් කිවහොත් “උපාලි අයියා නොසිටින්නට රාජකපුරු නමින් නාට්‍යයක් මේ ශ්‍රී ලංකාවට බිහිවන්නේ නැත.”
නවතා දැමූ පුහුණුවීම් යළි ඇරැඹූවෙමි. 1988.09.16 ලුම්බිණි රඟහලේ දී මංගල දර්ශනය වේදිකාගත කළෙමි. අහෝ ඛේදයකි! 88 – 89 භීෂණය නිසා ඉන් ඔබ්බට එකම ප්‍රදර්ශනයක්වත් පැවැත්වීමට නොහැකි විය. සියලු බලාපොරොත්තු සුන්විය. රාජකපුරු නාට්‍යයේ ජීවකගේ චරිතය රඟපෑ රවීන්ද්‍ර ලොකුගේ බොරලැස්ගමුව වෙල්යායේ දී ඝාතනයට ලක්විය. රාජකපුරු නාට්‍යයේ කවියාගේ චරිතය රඟපෑ රවීන්ද්‍ර යසස් වෙත එල්ල වූ ඉලක්කය වැරදීමකින් ජීවකගේ චරිතය රඟපෑ රවීන්ද්‍ර ලොකුගේ වෙත එල්ල වූවා යැයි රාවයක් ද ගියේය.
ඇතැමුන්ගේ දෘෂ්ටිකෝණයට අනුව රාජකපුරු රාජ්‍ය නායකයාව පඹයකුට ඇන්දූ රාජ්‍ය විරෝධී නාට්‍යයකි. එනිසා එම ඝාතනයත් සමග නළු සැවොම ත්‍රස්ත විය. නාට්‍ය පෙන්වීමට තබා පාරක තොටක ඇවිදින්නවත් නොහැකි ඉතා භයංකර කාලයකි. රංග වස්ත්‍ර සියල්ල බෑගයකට දමා ඇඳ යටින් තැන්පත් කෙරුවෙමි. පසුතල නිර්මාණ පිළිකන්නේ දිරාපත් වේ. පඹයාගේ මුට්ටියත්, ඔටුන්නත්, මංගල හස්තියාගේ හිසත් බිත්තියේ ඇණ ගසා එල්ලුවෙමි. ඒවායේ ගේ කුරුල්ලෝ කූඩු තනා තිබිණි. දෙවන වතාවටත් රාජකපුරු මිය ඇදුණි.
යාන්තමින් භීෂණය තුරන් වෙද්දී රාජකපුරු යළි ජනගත කිරීමේ ක්‍රමවේදයක් සොයා බැලුවෙමි. අතේ තිබූ සියලුම මුදල් මංගල දර්ශනය පැවැත්වීමට වියදම් වී ඇත. පුවත්පත් දැන්වීමක්වත් පළ කිරීමට ආර්ථික ශක්‍යතාවක් නැත. දස අතේ කල්පනා කරමින් සිටිය දී එක් රැයක ජාතික රූපවාහිනියේ “නන්දන වින්දන” වැඩසටහන නෙත ගැටුණි. අපූරු සිතිවිල්ලක් පහළ විය. වැඩසටහන නිෂ්පාදක අබේවර්ධන බාලසූරිය මහතා උපාලි අයියාගේ ළඟම හිතවතකු බව දැන සිටියෙමි. පසුදින උදෙන්ම උපාලි අයියා හමුවීමට ගියෙමි. “උපාලි අයියේ, මේ වෙලාවේ නාට්‍ය ප්‍රචාරය කරගන්න අතේ සල්ලි නැහැ. එකම එක ක්‍රමයයි තියෙන්නේ. නන්දන – වින්දන වැඩසටහනට සුවඳ සබන් ඇඟ ගාලා ගීතය දාගත්තොත් මට මොකක් හරි කරගන්න පුළුවන්.” අබේවර්ධන බාලසූරිය මහතා හමුවට මා ගෙන යෑමට උපාලි අයියා එකඟ විය.
“මල්ලී, නන්දන – වින්දන වැඩසටහනට කවදාවත් වේදිකා නාට්‍ය ගීත ඇතුළත් කරන්නේ නැහැ. ඒකට ගන්නේ ලංකාවේ ප්‍රවීණ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත විතරයි. නමුත් උපාලිගේ වචනය මට අහක දාන්න බැහැ. ලබන මාසේ ප්‍රෝග්‍රෑම් එකට අපි එහෙනම් ගීතයක් දාමු.” නන්දන – වින්දන තුළින් සුවඳ සබන් ගීතය විකාශ විය. එක රැයකින් එම ගීතයත්, රවීන්ද්‍ර යසසුත්, රාජකපුරු නාට්‍යත් ජනප්‍රියත්වයට පත්විය. රටපුරාම නාට්‍ය සංවිධායකයෝ නාට්‍ය වෙන්කර ගැනීමට මා හමුවන්නේ කෙසේදැයි සොයති. නමුත් එකල හොරණට දුරකථන පහසුකම් නැත. අපේ කණ්ඩායමෙන් දුරකථනයක් තිබුණේ උපාලි අයියාට පමණි. ඒ නිසා එම අංකය සටහන් කර පුවත්පත් දැන්වීමක් පළ කළෙමි.
දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමට උදේ පාන්දරම උපාලි අයියාගේ නිවසට යන මා ආපසු එන්නේ මධ්‍යම රාත්‍රියේදීය. එක දිගට ඇමතුම් ගලා එයි. දර්ශන වෙන් කිරීම් සිදුවෙයි. උපාලි අයියාගේ දයාබර බිරිඳ ලීනා අක්කා තේපැන් සහ උදේ, දිවා, රාත්‍රි භෝජන සංග්‍රහ සපයමින් නාට්‍යයේ ඉදිරි ගමනට අපරිමිතව සහාය වූවාය. ඇතැම් විට සංවිධායකවරුන් නාට්‍ය වෙන්කර ගැනීමට පැමිණෙන්නේ උපාලි අයියාගේ නිවසටය. බොහෝ දුර බැහැර පළාත්වල සිට පැමිණෙන ඔවුන් සඳහා ආහාරපාන හා ඉඳුම් හිටුම් පහසුකම් සැපයූවේ ද ලීනා අක්කා විසිනි. පසුගියදා හදිසියේ ඇය අප අතැර සංසාර ගමනට එක්වූයේ පෞද්ගලිකව මා තුළත් රාජකපුරු නාට්‍ය කණ්ඩායමේ සැම තුළත් සිත් හි අපමණ සංවේගයක් ඉතිරි කරමිනි.
“වහාම මා හමුවෙන්න” යැයි අබේවර්ධන බාලසූරිය මහතාගෙන් විදුලි පුවතකි. එසැණින් රූපවාහිනී සංස්ථාවට ගියේ නාට්‍ය ගීතයක් විකාශ කිරීමෙන් එතුමාට චෝදනාවක් එල්ල වී ඇත්දැයි හිතේ සැකයෙනි. නමුත් “මල්ලී, අර ගීතය මාර විදියට ජනප්‍රිය වුණානේ. ගෝනි දෙකක් පිරෙන්න පෝස්ට් කාඩ් ඇවිල්ලා තියෙනවා ඒ සිංදුව ආයෙත් ඉල්ලලා. මං ඔයාට එන්න කිව්වේ ආයෙත් ඒ ගීතය විතරක් විකාශ නොකර ඒකට තව ගීත කොටසකුයි, නාට්‍ය ජවනිකාවකුයි එකතු කරලා අලුත් විදියකට ඒක කරමුයි කියන්න. මං ඔයාට මිනිත්තු හයක්, හතක් දෙන්නම්” යැයි බාලසූරිය මහතා ප්‍රකාශ කළේ වැඩසටහන් අධ්‍යක්ෂවරයකුට හිමි නෛතික සීමාවන් ද අතික්‍රමණය කරමිනි.
මම මවිත වී එතුමා දෙස බැලුවෙමි. “ප්‍රශ්නයක් නෑ. කවුරු හරි ඔබ්ජෙක්ෂන් එකක් දැම්මොත් මට පෝස්ට් කාඩ් ගෝනි දෙක පෙන්වන්න පුළුවන්. ඔයා වැඩේ කරන්න” යැයි ඉතා ළෙන්ගතුව කියා සිටියේ මනුෂ්‍යයකු තුළ පවතින මානව හිතවාදී සහ පරාර්ථකාමී ගතිගුණයන් දේවත්වයට ළඟා කරමිනි. එම විකාශයත් සමග රාජකපුරු වඩාත් වේගයෙන් ජනප්‍රියත්වයට පත්විය. වරෙක අපි නගරයෙන් නගරයට නාට්‍ය රඟදක්වමින් දින 12ක් සංචාරය කෙරුවෙමු. ගමන අවසානයේ විනී වෙත්තසිංහ කී දෙයක් සඳහන් නොකොළොත් අඩුපාඩුවකි. “මචං, උපාලි අයියා බුදුවෙලා, අබේසිංහ මහත්තයයි, අබේවර්ධන මහත්තයයි සැරියුත් මුගලන් වෙන්න ඕනේ.”
1988 වසරේ සිට මේ දක්වා පුරා වසර 36ක් රාජකපුරු නාට්‍ය අඛණ්ඩව වේදිකාගත කරමින් පවත්වාගෙන ආවෙමි. මංගල දර්ශනයේ රඟපෑ රවීන්ද්‍ර යසස්, සරත් කුලාංග, අජිත් ලොකුගේ ආදීහු තවමත් එදා රඟපෑ චරිතයම රඟපාමින් නාට්‍යයේ රැඳී සිටීම වාර්තාවකි. එදා වාදක මණ්ඩලයේ සිටි ජානක ෆොන්සේකා, කපිල කොළඹගේ, සුසිල් සිරිමාන්න ආදීහු තවමත් වාදනයේ යෙදී සිටිති. උපාලි අයියාගේ ළඟින්ම සිටි රංගාලෝක ශිල්පීන් වූ හැරල්ඩ් අබේසිංහ සහ කේ. සරත්චන්ද්‍ර මහත්වරුන් අද ජීවතුන් අතර නැත. එතුමාගේ ආදරණීය දියණිය වූ පවිත්‍රා වීරසිංහ අද “ක්‍රියේටිව් ලයිට්ස්” ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර හොබවයි. උපාලි අයියාගේ ආදරණීය බෑනනුවන් වන මාධ්‍යවේදී හසිත කුරුප්පු මහතා රංගාලෝකයට සහාය වෙමින් රාජකපුරු නාට්‍යය දර්ශනයන්ට එක්වෙයි. ප්‍රභාත් සංජීව නම් වූ නවක ආලෝකකරණ ශිල්පියා වේදිකාවට පා තැබුවේ රාජකපුරු නාට්‍යයෙනි. අද ඔහු රාජකපුරු නාට්‍යයේ ප්‍රධාන රංගාලෝක ශිල්පියා වේ.
2019 වසරේ පාස්කු ප්‍රහාරයත් සමග රංග ශාලා වසා දැමිණි. 2020 කොවිඩ් වසංගතයත් සමග අයහපත් වාතාවරණය තවත් උත්සන්න විය. 2021 වර්ෂයත් එම උවදුරින්ම වැසී ගියේය. 2022 වර්ෂය ද කොවිඩ් උවදුරෙන් මෙන්ම මිල උද්ධමනය, දේශපාලන අස්ථාවර බව හා අරගලය හේතුකොටගෙන වේදිකා නාට්‍ය රඟ නොදැක්වුණු වසරක් විය. මෙම කාල සීමාව නාට්‍යකරුවන්ට අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ කාලයක් විය. උපාලි අයියාගේ ගෝලයෝ ජීවත්වීම හා දරු පවුල් නඩත්තු කිරීම උදෙසා වෙනත් රැකියාවන් සොයා ගියෝය. විදුලි ලාම්පු රාශියක් කාබන් බැඳී අක්‍රියත්වයට පත් විය. අනෙකුත් රංගාලෝක උපකරණ භාවිතයට නොගැනීම නිසා මලකඩ බැඳී විනාශයට පත්විය.
තිර කට්ටල ගොඩගැසූ තැන්වල දිරාපත් විය. නමුත් කිසිම ආදායමක් නැති මේ දුෂ්කර සමයේ උපාලි අයියා තම තැන්පත් ධනය වැය කරමින් ගෝල බාලයින් රැසකගේ ජීවිත ගැටගහගන්නට හා දරු පවුල් ජීවත් කරවීමට උදව් උපකාර කළ ආකාරය අතිශයින්ම ප්‍රශංසනීයය. 2023 වසරේ මැද භාගයේ දී නාට්‍ය කලාව මඳ වශයෙන් සක්‍රිය වූ අතර ගෝලයන් කිහිප දෙනෙක් කැඳවාගත් උපාලි අයියා දියණිය සහ බෑනා සමග එක්ව රංගාලෝක උපකර හා ලාම්පු කිහිපයක් අලුත්වැඩියා කර යළිත් සුපුරුදු ගමන ආරම්භ කළේය. එක් දිනකදී නාට්‍ය කිහිපයකටම රංගාලෝකය සැපයීමේ හැකියාව ඇති “ක්‍රියේටිව් ලයිට්ස්” ආයතනය වත්මන් වේදිකා නාට්‍ය කලාවේ ඉදිරියෙන්ම සිටින රංගාලෝක ආයතනයකි.
උපාලි අයියා දැඩි සේ රෝගාතුරව සිටි කාලයේ එතුමාගේ මානසික සුවය පිණිස හොරණ නාට්‍ය කණ්ඩායම විසින් සංගීත ප්‍රසංගයක් පවත්වන ලදි. උපාලි අයියා කැමැති ගීත සියල්ලම ගායනා කිරීම එහිදී සිදුවිය. ප්‍රසංගය අවසානයේ උපාලි අයියා පැවැසූවේ “මල්ලි මට දැන් හොඳටම සනීපයි” යනුවෙනි. නිදුක් නිරෝගී සුවය සමග ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සම්පත් ලබමින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙමින් හෙළ කලා කෙත තව තවත් ආලෝකමත් කරන්නට ඔබතුමාට ශක්තිය, හා ධෛර්යය ලැබේවා! යැයි පතන්නේ හද පිරි සෙනෙහසිනි.
ජනක් ප්‍රේමලාල්