අමාරු කාලය

මේ අපි හැමෝටම අමාරු කාලයක්. හුඟක්ම අමාරු අපි බලාපොරොත්තු වන දේවල් නොලැබෙන හින්දා නෙවෙයි. අද කවුද බලාපොරොත්තු තියාගන්නෙ? බලාපොරොත්තු කියන ඒවා නැති වෙලා හුඟක් කල්. අද වෙලා තියෙන්නෙ අපට බලාපොරොත්තු පටවලා ඒ බලාපොරොත්තු ඉටු නොකරන එක. ඒවා ඉටු වෙන්න නොදී ඉන්න එක. උදාහරණයකට දැන් අපට හොඳ කැරට් අලයක් ලැබිලා තියෙනවා. ඔව්, අපේ පඩි වැඩි වෙනවා. රුපියල් දහදාහක්! ඒත් කවදාද ඒක වැඩි වෙන්නෙ? අද නෙවෙයි, හෙට. ඒත් හෙට වෙද්දි තව මොනවා වෙලා තියෙන්න බැරිද? නෑ, ඒ ගැන අහන්න එපා. බාලගිරි දෝෂය එහෙම තමයි. අන්න ඒ නිසයි මේක අමාරු කාලයක් වෙන්නෙ.

දැන් මේ දවස්වල මං ඉන්නෙ ඉටි රෙද්දක් යට. මොකද ගෙයි වහල කඩන් වැටිලා මාසයක් වෙනවා. ඒත් වහල හදාගන්න හිතන්නෙ නෑ මං. හිතුවත් හිතන්නෙ අද නෙවෙයි, හෙට! වහලට වඩා පණ ගැටගහගෙන ඉන්න එක වැදගත් හින්දා. දැන් සමහර මිනිස්සු ඉන්නවා අතමාරුවක් ඉල්ලුවාම “අනේ අද නම් දෙන්න බෑ!” කියන. ඇත්තම කිව්වොත් අද එහෙම කියන මිනිස්සුත් නෑ. අතමාරු තියා අතට අහුවෙන්නවත් සතයක් නෑ මිනිස්සු ළඟ. ඒත් අතමාරුව දෙන්නම් කියන දවසෙ ඔවුන්ගෙන් ඉල්ලුවත් ලැබෙන උත්තරේ එච්චර තමයි:

“අද නොවේ හෙට!” ඉතිං මේක තමයි මේ අමාරු කාලෙ ස්වභාවය.

මං ඉල්ලන්නෙ මෙච්චරයි: මේ කාලෙ රැවුල – කොණ්ඩා කපන්න හිතන්න එපා. ඒ තියා වැසිකිළි ගිහින් හෝද ගන්නවත් හිතන්න එපා. සමහර විට ඒ ටිකට ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා යන්න පුළුවන් – ඒක නම් හැබැයි මේ කාලෙ අහන්න ලැබෙන සංතෝෂ ජනක දෙයක්. ගෑනිගෙන් නිදහස් වෙන තරම් දෙයක් අද කොයින්ද පිරිමියෙකුට! ඒත් හුඟක් වෙලාවට මේ අමාරු කාලෙ සිද්ධ වෙන්නෙ පැනලා ගිය ගෑනි පවා පැනලා ගියා මදිවාට අරවා මේවා ඉල්ලන එක. දැන් පහුගිය දවස්වල අපට ඉතා සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් සිද්ධ වුණා. තමුන්ට ඕන විධියට පිච් වෙනස් කරපු, වැස්ස කියල තමුන්ට විතරක් අමතර දින වෙන් කරපු උද්දච්ච ඉන්දියාවට අපේ මුරලි අයියාට බාල වැඩ කළා වුණත් ඔස්ට්‍රේලියාවේ කොල්ලො ටික, සෙත්තපෝච්චි වෙන්න බැටේ දුන්නා. අර දසුන් මල්ලි අවුරුද්දකට විතර උඩදි ඔස්ට්‍රේලියාවට අන්තිම ඕවර තුනේ බැටේ දුන්නා වගේ තමයි අපට මේ මැච් එක සතුටක් ගෙනාවෙ. ඒත් කරුමෙ කියන්නෙ ඔස්ට්‍රේලියාව ඉන්දියානුවන්ට ගහනකොට අපට අපේ ක්‍රිකට් අහිමි වෙලා. ඊටත් වඩා අපේ ෂම්මි අයියාට කවුදෝ හූනියමක් කරලා. බහිරව පූජාවක්වත් කරපන් අයිය! කියල මං ෂම්මිට නම් කියන්නෙ. ඒත් හූනියම් වුණත් මේ අමාරු කාලෙ බලාපොරොත්තු වෙයන් ෂම්මි! කියල මං මිනිහාට කියන්නෙ. කිරි කළේට ගොම බිංදුවක් නෙවෙයි, කිරි කළේ ගොම කළයක් වුණත් අද කරන්න දෙයක් නෑ. ගොම නරකයැ, කල්ඉකුත් වුණු බෙහෙත් වගේයැ.

ඊයේ මං හන්දියේ සුදාගේ සැලුන් එකෙන් කොණ්ඩෙ කපන්න ගිය වෙලාවේ මට කලින් කොණ්ඩෙ කපන්න හිටපු මැදිවියේ මනුස්සා මට කියනවා “අංකල් ඔයා ඉස්සෙල්ලා කපාගන්න!” කියල. මං බැලුවා මේ නාකියාට අමු කැවිලාද මට අංකල් කියන්නෙ කියල. ඒත් කොණ්ඩ කපන තැන ඉස්සරහා කණ්ණාඩියෙන් මූණ බැලුවාම මං දැක්කෙ මං හිතාගන්නවත් බැරි විධියට වයසට ගිහින් කියල. මගේ කොණ්ඩෙ සුදු වෙලා, තට්ටෙ පෑදිලා විතරක් නෙවෙයි, හමත් රැලි වැටිලා. මෙන්න අමාරු කාලෙ වෙන්න පුළුවන් අබග්ග. අමාරු කාලෙට වයසක් නැතුව වුණත් වයසට යන්න පුළුවන්. මට නම් හැබැයි දැන් වයසයි. වයස පිළිගන්න මොන මිනිහාද කැමති! අර අපේ බස් මාමාට තවම කට්ටිය තරුණ නායකයා කියනවානෙ. ඒවා කියන ඒවා නම් නෙවෙයි, කියවන ඒවා.

ලෝකෙ අභව්‍ය දේවල් කියල කොටසක් තියෙනවා කියල මං පිළිගන්නෙ නෑ. ඒ කිව්වෙ ලෝකෙ වෙන්න බැරි දේවල් නෑ. උදාහරණ මට ඕන තරම් දෙන්න පුළුවන්. මෑත උදාහරණය තමයි ඊයේ මං කොණ්ඩෙ කපාගෙන ගෙදර එද්දි මෙන්න අපේ බල්ලා කථා කරනවා! ඌ උඩුබුරලා මට කියනවා “අද දවල්ටත් මට කන්න නෑ. රෑටවත් මොනවත් කන්න දෙයක් නැද්ද?” කියල. බල්ලො මොන ලෝකෙද කථා කළේ! බල්ලො කරන්නෙ බුරන එක. ඒත් දැන් බල්ලො කථා කරනවා. අපේ බල්ලා කථා කරනවා මං ඇහුවේ ඊයේ වුණත් මං හුඟ කාලෙක ඉඳලා අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ බල්ලො කථා කරනවා. දැන් එක වල් බල්ලෙක් කථා කරන ගමන් පාර්ලිමේන්තුවේ කලබල කරලා. ඌට සති දෙකක් සභා වාර තහනම් කරලා. වැඩේ කියන්නෙ රට බංකොළොත් කරපු බල්ලන්ට සභා වාර මොනවත් තහනම් කරලා නෑ. උන් හරි අගේට තවමත් රටේ ආර්ථිකය නංවන හැටි කථා කරනවා. ඒ වගේම ඖෂධ ජාවාරමට ඉඩහැරපු බල්ලාත් තවම පාර්ලිමේන්තුවේ කථා කරනවා. ඌට දඬුවමක් නම් දීලා. දඬුවම එක තනතුරක ඉඳලා තව තනතුරක්!

අභව්‍ය දේට තවත් උදාහරණයක් මට මතක් වෙනවා. මේ දවස්වල අපේ බළලා උගේ වැසිකිළිය බවට පත් කරගෙන ඉන්නෙ මගේ වහල නැති ගෙදර කාමරය. වහලක් නැතත් මං ජීවත් වෙන්නෙ එතනනෙ. ඉතිං බළලා කරන බලු වැඩේ බලන් ඉඳලා බැරිම තැන මං ඌව අහසින් යැව්වා ඉස්සරහා සිංගප්පූරුවට. ඒත් ඒ යවලා ආපහු හැරිලා බලද්දි මෙන්න බළලා රවුමෙන් ඇවිත් ආපහු කාමරේ වැසිකිළි යනවා. ඒ පාර මං ආයෙත් පාරක් ඌව අහසින් යවන්න හදද්දි ඌ කරපු දේ දන්නවාද? ඌ මට පුස්… ගාලා පිඹලා ගොරෝසු හඬකින් කථා කළා. ඌත් කථා කරනවා! ඌ මට කිව්වෙ “යවනවා නම් නිකන් අහසින් යවන්න එපා. රොකට් එකක යවන්න!” කියල. රොකට් කතාව කිව්ව ගමන් මං බළලා එක්ක ගනුදෙනු නතර කළා. දැන් මං බළලාගේ වැසිකිළියේ ජීවත් වෙන මිනිහෙක්. මගේ ගෙදර ඒ බළලා විතරක් නෙවෙයි, තවත් බළල්ලු දැන් ඉන්නවා. උන් ඔක්කොම හොර බළල්ලු. කාලයක් මගේ ගෙදර කළු බළල්ලු සිටියා. දැන් ඉන්නෙ හොර බළල්ලු. හොරු පන්නන්න හැදුවාට වැඩක් නෑ. කොහොමහරි උන් ගෙට රිංගනවා. අපේ ගෙදර ඉන්න හොර බළල් තඩියාත් උන්ට එන්න උදව් කරනවා. දැන් මං හොර බළල්ලු එළවන එක නතර කරලා දාලා. ඔක්කොම දේ අමතක කරලා දැන් මං හොර බළල්ලු, කළු බළල්ලු කරන හොරකම්, බලු වැඩ ඔක්කොම බලන් ඉන්නවා නොදුටු නියායෙන්. ඒක තමයි මේ කාලෙ අමාරුයි කිව්වෙ.

ඇත්තටම මෙච්චර අමාරු කාලයක් අපේ ඉතිහාසයේ කවදාවත් තිබුණෙ නෑ. මට එහෙම හිතෙනවා. මං අපේ ඉතිහාසය ගැන එච්චර දන්නෙ නෑ. දන්න එකම පනාපුත්‍රයා ළඟදි මළා. ළඟදිත් නෙවෙයි. කමක් නෑ. කොහොමහරි මළා. දැන් ලොකුම ප්‍රශ්නය ඉතිහාසය ගැන අහගන්න කෙනෙක් නැති එක. ඉස්සර නම් චක්‍රවර්තීලා, සූරියප්පෙරුමලා, ඇඳගමලා හිටියා. දැන් නෑ. දැන් හිටියා නම් මං අහන්නෙ ඉතිහාසයේ මෙහෙම දුර්භික්ෂ යුග තව තිබුණාද කියල. හැබැයි සමහර විට අපේ ලොක්කා ඉතිහාසය ගැන දන්නවා. මිනිහා හුඟක් පොතපත කියවන මිනිහානෙ. එකම ගැටලුව මිනිහාගේ ගෙදර පුස්තකාලෙ කවුද කාලකන්නි ටිකක් පුච්චලා දාපු එක. මොනවා වුණත් දැන් මට ඕන මෙහෙම අමාරු කාලෙක කොහොමද ජීවත් වෙන්නෙ කියල ඉතිහාසයෙන්වත් දැනගන්න එක. මොකද ඉතිහාසය පුනරුච්චාරණය වෙනවා කියල ලෙනින් කිව්වානෙ. අනුරත් කිව්වා මං හිතන්නෙ. ඇයි විමල්? නන්දන? සෝමංවංස? ඉතිහාසය පුනරුච්චාරණය වෙන නිසා තමයි අපි සීනුවක් ළඟ තියෙන තැනක ගිනි නිවන උපකරණයකුත් ළඟ තියන්න ඕන. මොකද සීනුවට පුච්චන ඉතිහාසයෙන් ගැලවෙන්න බෑ. අදත් සූරයා – හෙටත් සූරයා!

දැන් මං දුම් බොන්න බිරිඳගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. ඉල්ලුවත් ලැබෙන්නෙ නැති නිසා නෙවෙයි, මං දැන් දුම් බොන්නෙ නැති හින්දා. දුම් වෙනුවට මොනවාද දන්නවාද මං බොන්නෙ? කැඳ. හුඟක්ම ලුනු කැඳ. බිරිඳමයි මට කැඳ හදලා දෙන්නෙ. මං ආස නම් කුරක්කන් කැඳ වගේ බොන්න. ඒත් දැන් කුරක්කනුත් නැඟලා. ඒ හින්දා මං ලුනු කැඳ බොනවා. ඒත් මතක තියාගන්න. සමහර දවස්වල මට කැඳත් නෑ. කැඳත් නැති දවස් අපි හැමෝටම තියෙනවා. එතකොට මට කිසි දෙයක් කරන්න බෑ. නිකන් උඩ බලාගෙන ඉන්නවා අහසින් පරිප්පුවත් වැටෙයිද කියල. මොකද අපට නිකන් ලැබෙන්නෙ පරිප්පු විතරයි!

● රවීන්ද්‍ර විජේවර්ධන

[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment