‘ඉයන්’ සුළි කුණාටුව උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්ත දෙසට

227

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදුණු ඉතාමත් දරුණු ඝනයේ සුළි කුණාටුවක් වන ‘ඉයන්’ සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් පසුගිය (30දා) වන විට පුද්ගලයන් 17 දෙනකු පමණ මියගොස් ඇති බව නිල වශයෙන් වාර්තා වී තිබූ අතර මියගිය සංඛ්‍යාව ඉදිරි දිනවලදී තවත් ඉහළ යනු ඇති බවට ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ.

සුළි කුණාටුවත් සමගම පැයකට සැතපුම් 150කට අධික වේගයකින් ෆ්ලොරිඩා ප්‍රාන්තය පුරා හමා ගිය දැඩි සුළං හේතුවෙන් දරුණු ජල ගැලීම් ඇතිව තිබූ අතර ඊයේ වන විට ප්‍රාන්තයේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන මිලියන 2.2 ක විදුලිය ඇනහිට තිබෙන බව වාර්තා විය. සුළි කුණාටුවේ බලපෑමෙන් හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් බොහෝ නිවාස වැසී යන තරමට ජල මට්ටම ඉහළ යෑම නිසා නිවැසියන් බොහොමයක් නිවෙස් තුළම කොටු වී සිටින බව පොලිස් නිලධාරීහු මාධ්‍යට පවසා තිබේ. ඊයේ වන විට සුළි කුණාටුවේ සුළඟේ වේගය මදක් අඩු වී තිබීම නිසා ඕලන්ඩෝ ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් විසින් ගෙයින් ගෙට ගොස් ජලයෙන් යට වී ඇති නිවෙස්වල කොටු වී සිටින නිවැසියන් බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබිණි. ‘ඉයන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් හටගත් ජල ගැලීම් හා දැඩි සුළං හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල නිවාස හා වාහන ජලයට ගසා ගෙන ගොස් මුහුදට වැටී ඇති බව වාර්තා වී තිබේ. ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල පැය 12ක පමණ කාලයක් අඛණ්ඩව තදබල ලෙස සුළං හමා ගොස් ඇති බව බලධාරීහු පවසති. ‘ඉයන්’ සුළි කුණාටුව ඊයේ ඇමෙරිකානු වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විට උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්ත දෙසට ගමන් කරමින් තිබුණු බව ඇමෙරිකානු කාලගුණ විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment