බුකර් ත්‍යාගලාභී නවකතාකරු ශෙහාන් කරුණාතිලක

ශෙහාන් කරුණාතිලක මෙරට ලෝකයට ගිය පළමු සාහිත්‍යකරුවා ය. නොහොත් පළමු ශ්‍රී ලාංකික ලෝක සාහිත්‍ය තරුව ය. එම කිරුළ ඔහුට හිමි වූයේ 2022 වසරේ ඔහුගේ The Seven Moons of Maali Almeida නම් නවකතාව බුකර් ත්‍යාගය දිනාගැනීමත් සමග ය. ඊට හතළිස් වසරකට පෙර මෙසේම ලාංකික සාහිත්‍යකරුවකු ලෝකයට ගිය අවස්ථාවක් තිබිණි. ඒ, 1992 වසරේ මයිකල් ඔන්ඩච්චි English Patient (‘ඉංග්‍රීසි රෝගියා’) නවකතාව සඳහා බුකර් ත්‍යාගය දිනාගැනීමත් සමග ය. එහෙත් ඔන්ඩච්චි මෙන් නොව, ශෙහාන් ශ්‍රී ලාංකාවේ වෙසෙමින් ශ්‍රී ලාංකික සමාජ දේශපාලන අත්දැකීම් ප්‍රබන්ධකරණයට වස්තු කර ගන්නෙකි. තවද ඔහු පවත්නා ශ්‍රී ලාංකික සමාජ – සංස්කෘතික කතිකාව හා එකට ඈදී සිටින්නෙකි. ඔහු බුකර් සම්මාන ප්‍රදාන උළෙලේ දී ඉංග්‍රීසියෙන්, සිංහලෙන් මෙන්ම දෙමළෙන් ද කථා කරමින් රටේ එදා පැවැති ආර්ථික කඩා වැටීමත් ජන අරගලය ගැනත් ක්‍රිකට් ගැනත් අදහස් පළ කළේය.

ශෙහාන් උපත ලබනුයේ 1975 වසරේ ගාල්ලේ ය. ඇති දැඩි වනුයේ කොළඹ ය. උසස් අධ්‍යාපනයට නවසීලන්තයට යෑමෙන් අනතුරුව ඔහු එංගලන්තය (ලන්ඩන්හි), නෙදර්ලන්තය (ඇම්ස්ටර්ඩෑම්හි), සිංගප්පූරුව ආදී රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද සිය වෘත්තීය ජීවිතය අරඹයි. ඒ, වෙළෙඳ දැන්වීම් නිර්මාපකයකු, තිරනාටක පිටපත් රචකයකු හා නිදහස් මාධ්‍යවේදියකු වශයෙනි. ශෙහාන්ගේ පියා වෛද්‍යවරයෙකි. මව සාහිත්‍ය රසිකාවියකි.

ගෙදරදොර පරිසරයේ වැහැරුණු බස ඉංග්‍රීසි වීමත් මව කුඩා කලදීම සාහිත්‍යය කියවීමට නැඹුරු කර වීමත් වෙසෙසින් ඉනිඩ් බ්ලයිටන්ගේ කෘති කියවීමට හුරු කිරීමත් නිසා ඔහු ලිවීම ඇරඹුවේ ඉංග්‍රීසියෙනි. එහිදී ඔහු අගතා ක්‍රිස්ටිගේ, ස්ටීවන් කිංගේ හා එඩ් මැක්බේන්ගේ රහස් පරීක්ෂක නවකතාවලට සිත් ඇදී යන්නේ තමාගේ ප්‍රියතම ප්‍රබන්ධ ශානරය ලෙස අපරාධ කතාව තෝරාගනිමිනි. ඔහුගේ බුකර් ත්‍යාගය දිනූ මාලි අල්මේදා පිළිබඳ නවකතාව ද මිනීමැරුමක් වටා ගෙතුණු කතාවකි. එහි මාලි චරිතය ඔහුගේම වැඩිමහල් සොහොයුරාගේ නමින් – මාලි කරුණාතිලක ගත්තකි.

ශෙහාන්ගේ පළමු නවකතාව 2010 වසරේ පළ වූ The Chinaman: The Legend of Pradeep Mathewh’ එය දකුණු ආසියානු සාහිත්‍යය සඳහා පිරිනැමෙන ඩී.ස්.සී. ත්‍යාගයත් කොමන්වෙල්ත් ත්‍යාගයත් ග්‍රේෂන් ත්‍යාගයත් දිනාගත්තේ සාහිත්‍ය කරළියේ ඔහු වෙත නමක් රඳවා ගනිමිනි. එම නවකතාවට පදනම් වූයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව හා මුරලිදරන්ගේ දිවියේ අවස්ථා ය. ඔහු ක්‍රිකට් පිස්සෙකි. ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලොව ලියවුණු හොඳම දෙවන කෘතිය වශයෙන් ලෝ ප්‍රකට ‘විස්ඩන්’ ක්‍රිකට් සඟරාවේ බුහුමනට ද පසුව එය ලක් වේ.

නවකතාකරුවකු වනවාට අමතරව ශෙහාන් ජනප්‍රිය රොක් ගීත රැසක නිර්මාපකයා ද තිර පිටපත් හා සංචාරක කතා කිහිපයක නිර්මාණ ශිල්පියා ද වේ. තවද ඔහු Independent Square නමින් පිහිටුවා ගත් සංගීත කණ්ඩායමක ගිටාර් වාදන ශිල්පියකු වශයෙන් ද කටයුතු කර ඇති අතර ඔහුගේ මුල් අරමුණ වී ඇත්තේ සංගීතඥයකු හෝ රොක් ගායකයකු වීමටය. ඔහු නිදහස් පුවත්පත් කලාවේදියකු ලෙස ලිපි ලියන බටහිර සඟරා අතරට The Guardian, Wisden හා The Cricketer ආදිය ද ඇතුළත්ය.

ශෙහාන්ගේ The Seven Moons of Maali Almeida නවකතාවට පාදක වනුයේ ‘89 භීෂණ සමයේ සාහාසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රකට මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ ජීවන චරිතයයි. එම සැබෑ චරිතය සේම කතානායක මාලි අල්මේදා චරිතය ද සමලිංගිකයෙකි. එහි මාලි ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අතර පසුව ඝාතනයට ලක් වේ. මරණයෙන් පසු ඔහු ඔහුගේ මිතුරන් සමග සංවාදයේ නිරත වන අයුරු ද කෙළවර මරණය අනාවරණය වන අයුරු ද නවකතාවේ විවරණය වේ. මෙය 2020 වසරේ පෙන්ගුවින් ඉන්ඩියා ප්‍රකාශන සමාගම මගින් Chats with the Dead (මළගිය ඇත්තන් හා සංවාද’) නමින් මුලින් පළ වුවද පසුව සංස්කරණයෙන් හා නැවත ලිවීමෙන් (වඩා පුළුල් ජාත්‍යන්තර පාඨක ප්‍රජාවකට ගෝචර වන පරිදි) 2021 වසරේ The Seven Moons of Maali Almeida ලෙස පළ වේ. එය පළ කරනු ලබන්නේ එංගලන්තයේ ස්වාධීන ප්‍රකාශන සමාගමක් වූ Sort of Books විසිනි. ඔවුන් ද ජාත්‍යන්තර කරළියේ ඇගයීමට ලක් වන පළමු අවස්ථාව මෙම බුකර් ත්‍යාග ඇගයීමය. මායා යථාර්ථවාදී නවකතාවක් ලෙස ද පැසසුමට ලක් වන මේ කෘතිය මේ වනවිට භාෂා 30කට පරිවර්තනය වී ඇත.

අපි විඳවන තුවාල අපි ම ඇති කර ගත්තු ඒවා

පසුගිය වසරේ ඊළඟ බුකර් සම්මානලාභියා තෝරාගනු ලබන තෙක්ම පොතේ ප්‍රචාරණ කටයුතු සඳහා ලෝක සංචාරයේ නියුතු වූ ශෙහාන් කරුණාතිලක නැවත ලිවීමට අවතීර්ණ වී දැන් ඔහුගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය එළිදක්වා ඇත. ඒ, The Birth Lottery and Other Surprisesh’ මේ, පසුගිය වසරේ පාකිස්තානයේ ලාහෝර් ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලට සහභාගි වී සිටිය දී ඉර්ෆාන් අස්ලම් ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනයයි.

  • බුකර් ජයග්‍රහණයෙන් පසු ඔබට ලැබෙන ප්‍රේක්ෂක අවධානය ගැන කෙසේ ද ඔබට හැඟෙන්නේ?

එයට මං කැමතියි. ඒත් දැන් එහි මං අවසානයට ළං වෙලා ඉන්නේ. ඔබ දන්නවා ඇති, අපි කථා කරන මිනිස්සු නෙවෙයි, ලියන ලේඛකයෝ. අපට ඕන කරන්නෙ කොහෙට හරි ගිහින් නිස්කලංකයේ ලියන්න. දැන් මගේ උනන්දුව අවදි කළ පොතකට අදහස් මට ඇවිත් තියෙනවා. ඉතින් මට ඒක තව තව ලියන්න ඕන කරන්නේ.

  • ඔබේ පොතේ එන බලහත්කාර අතුරුදන් කිරීම්, අධිකරණ ක්‍රියාමාර්ගවලින් බැහැර ඝාතන, රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශ්වයන්ගේ ප්‍රචණ්ඩත්වය වැනි හුඟක් කාරණා පකිස්තාන පාඨකයන්ටත් හුරුපුරුදුයි. ඔබ ලියද්දී ඒ දේවල් ඔබේ රටින් බැහැර පාඨකයන්ටත් දැනේවි කියල හිතුවා ද?

නෑ. මං එච්චර හිතුවේ නෑ. මගේ පළමු වන නවකතාවට (Chinaman: The Legend of Pradeep Mathew) පස්සෙ මේ නවකතාව ලියන්න මං දිගු කාලයක් ගත කළා. (එය 2020 දී මුලින්ම පළ වුණේ පෙන්ගුවින් ඉන්ඩියා ප්‍රකාශනයක් විධියට. Chats with the Dead, කියල ඔබ ලියද්දී ලෝකය කොහොම හිතාවිද කියල හිතන්නෙ නෑ. මට ඕන වුණේ ඕන කෙනකුට කියවලා රස විඳින්න පුළුවන් මාරක අබිරහස් කතාවක් ලියන්න. මං එහිදී මගේ පසුතලය විධියට පාවිච්චි කළේ 1989 ලංකාවේ තත්ත්වය.

ඒත් මගේ අත්දැකීම අපේ උපමහාද්වීපයට පොදු එකක්. දැන් ඔබ කිව්වා වගේ නේපාලය, බංගලිදේශය, පකිස්තානය හා ඉන්දියාව එක්ක අපේ අත්දැකීම්වල හුඟක් සමානතා තියෙනවා. ඒ කිව්වේ අධිකරණ ක්‍රියාමාර්ග නැති ඝාතන, මළමිනී හම්බෙන අවස්ථා මේ හැම රටකම තියෙනවා. අඩු තරමින් දකුණු ආසියාවේ කතාන්දරය මේකයි කියල මං දැනගෙන සිටියා. එතකොට හරියට මගෙන් කතාව ලියවුණා නම් මගේ කතාවේ ඔවුන්ගේ සමාජ ප්‍රතිබිම්බනය වෙනවා දකින්න පුළුවන්. මං ලිව්වෙ මූලිකවම දකුණු ආසියාවේ අවුල ගැන. දකුණු ආසියාවේ අපට සෑහෙන අවුල් තියෙනවා.

අපි විඳවන තුවාල අපි ම ඇති කර ගත්තු ඒවා

මම මාව දකින්නේ ශානර නවකතාකරුවෙක් (genre novelist) විධියට – රහස් පරීක්ෂක කතා, මාරක අබිරහස් කතා රචකයෙක් විධියට. මට ඉස්සෙල්ලාම කතාව හොඳ වෙන්න ඕන. එහෙම නොවුණොත් මං දේශපාලනය ගැන දෙසලා අන්තිමේ ප්‍රබන්ධ නොවන යමක් මගෙන් ලියවෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය බැලුවාම තවමත් අග මුල සොයා නොගත් ඝාතන සහ නොපැවසුණු කතා හුඟක් තියෙනවා. ඒ සියල්ල ඉන්දියානු උපමහාද්වීපයේ සිද්ධ වෙන ඒවා. පකිස්තානයේ විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ හුඟක් අපට හමුවෙනවා. ඒවගේම ශ්‍රී ලංකාවට සමාන හුඟක් නොකියවුණු කතා එහි තියෙනවා කියල මං දන්නවා.

  • ඔබ ඔබේ නවකතාව ලියාගෙන යද්දී මුල්කතා සැලැස්ම (Plot) වෙනස් වුණා ද? ඇතැම්විට චරිත ගොඩනැඟෙද්දී නවකතාව කතුවරයා අදහස් කළ මාර්ගයෙන් පිට යනවා. අවසන එළියට ආ මාලි අල්මේදා නවකතාව ඔබ මුලින් ඇරඹූ කතාව එක්ක හරියටම ගැළපුණා ද?

මගේ මුල් කතා සැලැස්ම වෙනස් එකක්. එය දිගහැරුණේ 2004 සුනාමිය අවස්ථාවේ. ඒ කතාවේ 10 දෙනෙක් බස් එකක යනවා. පස්සෙ දහ දෙනාම සුනාමි අනතුරුවලට ගොදුරු වෙනවා. ඒක හොල්මන් අවතාර කතාවක්. ඒත් ඒ ලියපු පිටපත හරිගියේ නෑ. මං ඒක විසිකරලා දැම්මා. ඒත් ඒ බස් එකේ අවතාරයක් තිබුණා. ඒ, මාලි අල්මේදා. ඉතින් මං කල්පනා කළා අර ඔක්කොම විකාර අමතක කරලා දාලා මේ අවතාරය ගැන කථා කරමු කියලා.

(මෙසේ ඇරඹුණු) කතාව මං සෑහෙන වතාවක් හැදුවා. පිටු 200ක් 300ක් විතර මං ලියන්න ඇති. ඒත් පස්සෙ ඒ සේරම මකලා දාලා ආයෙත් මුල ඉඳලාම හතර පාරක් විතර අත්පිටපත ලිව්වා. මේ විධියට කතාව වෙනස් වුණා. පොතේ එන අවතාර (ghosts) සහ මරණින් මතු ගන්ධබ්බ අවධියේ නීති රීති යන කිසිවක් එකවර ප්‍රාදූර්භූත වූ ඒවා නෙවෙයි. ඒ හැමෙකක්ම ආවේ බොහොම සෙමෙන්. අවතාර කොහොමද එකිනෙකා එක්ක ගනුදෙනු කරන්නේ? ඔවුන් කොහොමද මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ? හඳවල් හතක් කියන එකේ තේරුම මොකක් ද? මට පර්යේෂණ කරන්නත් නැවත නැවත ලියන්නත් හුඟක් දේ තිබුණා. නවකතාව ගලා ගියේ ඊටම ඕන මාර්ගයක.

ලිවීමේ හොඳ අන්න ඒකයි – ඔබ හැමදාම ලියන අතර චරිත තමන් යන මාර්ගය හදා ගන්නවා. ඉතින් ආශ්චර්යයක් සිද්ධ වුණා. ඒත් ඒක සිද්ධ වුණේ අවුරුදු හතකට වැඩි කාලයක් ලිව්වාට පස්සෙ. මට අත්පිටපත වැරදුණු හැම වෙලාවකම මං මට වැරදුණු තැන සොයාගත්තා. හොඳ පොතක් ලියන්න ඔබ නැවත අරඹන්න සූදානම් වෙලා ඉන්න ඕන.

  • මොහමඩ් හනීෆ්ගේ A Case of Exploding Mangoes නවකතාව උර්දු බසට පෙරළුණාම එය බලාධිකාරීන් විසින් තහනම් කරනු ලැබුවා. ඔබේ පොත සැබෑ මිනිසුන් ගැන සඳහන් කරනවා. 1980 ගණන්වල ප්‍රචණ්ඩත්වය දියත් කරපු කිසිවෙක් ඔබ ඉතිරි කරලා නෑ. ඊට ශ්‍රී ලංකාවේ බලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ කොහොම ද?

නවකතාවට බුකර් ත්‍යාගය හිමි වෙද්දී මිනිස්සු හුඟක් ප්‍රමෝදයට පත් වුණා. ප්‍රීති සාද පැවැත්වූවා. දැන් ඔවුන්ට වෙලාව තියෙනවා පොත කියවලා බලලා ප්‍රතිචාර දක්වන්න. මිනිස්සු පොත ගැන දක්වන අදහස් බලන්න මම ඔන්ලයින් වෙබ් අඩවි බලනවා – ඔන්ලයින් විචාර නෙවෙයි, ඔන්ලයින් කොමෙන්ට්ස්. ඒත් පොතේ එන සිද්ධි බැලුවාම ඒවා සිද්ධ වුණේ මීට හුඟ කාලෙකට ඉස්සර. මං 2009 හරි 2019 හරි 2022 හරි සිද්ධි ගැන ලිව්වා නම් ඔන්න තරමක මතභේදාත්මක තත්ත්වයක් ඇති වෙන්න තිබුණා.

දෙවැනි කාරණය මගේ පොතේ එන දේශපාලන විවරණය එච්චර ගැඹුරු නැහැ. මං එදා අපරාධවල පාර්ශ්වකරුවන් සහ එහි නියැළුණු අය හඳුනාගත්තා. නවකතාවේ ප්‍රධාන චරිතය මාලි කියන්නේ ඒ හැම දෙනාම කළු චරිත කියල. ඒවගේම ඒ කිසිවක් මං මනඃකල්පිතව ගොඩනඟපු දේවල් නෙවෙයි. ඒක අපේ පිළිගත් ඉතිහාසය. ‘83 මොකක්ද සිද්ධ වුණේ, ‘89 මොකක්ද සිද්ධ වුණේ කියල මිනිස්සු දන්නවා. ඒත් ඇදකුද හොයන කුඩා අමාරුකාරයෝ පිරිසක් ඉන්නවා. ඔවුන් “ඇයි ඔයා ලංකාව ම්ලේච්ඡයන්ගේ යුදපිටියක් කියල පෙන්වන්නේ? ලේඛකයෝ එහෙම ලියන්නේ බටහිරට පෙන්වන්න. එහෙම තමයි ඔහේලා සම්මාන දිනන්නෙ!” කියල ප්‍රශ්න කරනවා. ඒ වගේ කතා නිතරම වගේ සිදු වෙනවා. ඒත් ඒ තර්කවලට උත්තර දෙන්න අද කවුරුවත් නෑ. සේරම දෙනා (1989 ඉඳලා) මැරිලා.

  • පොත ගැන එක විචාරයක ඔබේ නවකතාව මායා යථාර්ථවාදී (Magical Realism) කතාවක් ලෙස හැඳින්වෙනවා. ඔබ ඊට එකඟ ද?

කාටවත් කියන්න බෑ මොකක්ද මායා යථාර්ථවාදය, මොකක්ද ෆැන්ටසිය කියල කියන්න. මායා යථාර්ථවාදය කියන්නේ හුඟක් දුරට මෙන්න මේ වගේ. ඔබට මකරෙක් දකින්න ලැබෙනවා. ඒ මකරා සාමාන්‍ය ගිනි පිඹින මකරෙක් නම් ඒක ෆැන්ටසිය වෙනවා. ඒ මකරා මාක්ස්වාදියෙක් නම් එය මායා යථාර්ථවාදය වෙනවා. එය අරිට තරමක් වෙනස්.

මම මායා යථාර්ථවාදයට කැමැතියි. මොකද එතකොට ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් වගේ නමුත් එක්ක මගේ නමත් ඇතුළත් වෙනවා. ඇත්තටම සාහිත්‍යයික මායා යථාර්ථවාදයේ මහා සම්ප්‍රදායක් තියෙනවා. ඒත් මාලි අල්මේදා නවකතාව මායා යථාර්ථවාදීය කියල මං හිතුවේ නැහැ. ආයෙත් මගේ ශානරය වෙත ආවොත් ඒක මාරක අබිරහස් (murder mystery) සහ හොල්මන් කතාවක් (ghost storys) මායා යථාර්ථවාදී කෘති එන්න හුඟක් ඉස්සර ඉඳලා අපට ජනශ්‍රැතිය ඔස්සේ හොල්මන් කතා එනවා. ඉතින් මං පොත ගැන හිතුවේ ඒ විධියට. ඒත් ඇත්ත, මෙහිදී ගන්ධබ්බ අවධිය කොයි වගේද කියලත් මැරුණු මිනිස්සු කරන්නේ මොනවාද කියලත් මට මනසින් ගොඩනඟන්න සිදු වුණා. මායා යථාර්ථවාදී වුණත් ෆැන්ටසි වුණත් අද්භූත මාරක කතා වුණත් (supernatural horror story) මං හිතන්නේ ඒ සියල්ල ඇතුළත් වෙන්නේ අද්භූත (supernatural) කතා ගොන්නට. ඉතින් මම මාර්කේස්ගේ සම්ප්‍රදාය අනුව ලිව්වා කියල මං ඇත්තටම හිතුවේ නැහැ.

දැන් මෙහි එන මියගිය පූජකයා ලිංගික දර්ශන මනෝ රූපවලින් ලංකාව විදේශ බලවේගවල – පෘතුගීසි, ඉංග්‍රීසි සහ ඉන්දියානු බලවේගවල – සූරාකෑමට ලක් වූ සැටි විස්තර කරනවා. ඒක හරිම පශ්චාත් යටත් විජිතවාදීයි.

මියගිය පූජක තැන, එසේ නැත්නම් මහාකාලි තමන්ටම කියනවා අපි අපි විසින්ම හැම දේම අවුල් කරගත්තා කියල. ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක වුණා කියන එක ඇත්ත. ඒත් ඔහු කියනවා “බණින්න ඕන අපටමයි” කියල. ඒ කතාව නොපිළිගන්න මට බැහැ.

1950 ගණන්වල, ‘60 ගණන්වල ශ්‍රී ලංකාව – එකල එය හැඳින්වුණේ ලංකාව (Ceylon) කියලා – දියුණු කරන්න ලොකුම ශක්‍යතාවක් තිබුණු රටක්. ඒත් දැන් බලන්න. ඇත්තටම 2009 සිවිල් යුද්දෙ අවසාන වෙද්දීත් රටේ ආයෝජන පැවතුණා සහ සෑහෙන සුබවාදයක් තිබුණා. විශේෂයෙන් අලුත් පරම්පරාව අතර ඒ සුබවාදය තිබුණා. ඒත් අවුරුදු දහයකින් අපි බංකොලොත් වුණා. අපිව ආක්‍රමණයට හරි අපේ රට බෙදීමට හරි බි්‍රතාන්‍යයයන්ට චෝදනා නඟන්න උත්සාහ කරන අදහස මං හිතන්නෙ වැරදියි. අපිමයි බෙදී වෙන් වුණේ. අපිමයි ආක්‍රමණය කර ගත්තේ. අපි පසුගිය පෙබරවාරි 4 වැනිදා 75 වන නිදහස් දිනය සැමරුවා. ඒත් ඒක හරිම උත්ප්‍රාසජනකයි. අපි හැමෝටම ණය වෙලා ඉද්දි අපි කොහොමද නිදහස් වෙන්නෙ! අපට ණය ගෙවන්න ඕන රටවල් තියෙනවා. ඒවගේම අපේ විශාල භූමි කලාපයක් වෙනත් රටවල් තමන් සතු කරගෙන තියෙනවා. ඉතින් අපි ඇත්තටම නිදහස් ද? ශ්‍රී ලංකාව විඳවන තුවාල හුඟක් වෙලාවට ඔවුන්ම කරගත්තු තුවාල. පිටස්තර බලවේග ඒවායෙන් වාසි ගත්තා වෙන්න පුළුවන්.

අපි විඳවන තුවාල අපි ම ඇති කර ගත්තු ඒවා
  • ලිවීමේදී ඔබ ප්‍රබන්ධය හා යථාර්ථය මිශ්‍ර කරගන්නේ කෙසේ ද? ඔබේ කෘතියට ඔබ කොපමණ පර්යේෂණ කරනවා ද?

මං මගේ පොත්වලට සෑහෙන පර්යේෂණ කරනවා. මට පොතක් අවසන් කරන්න ගත වන කාලයෙන් තුනෙන් එකක්, ඒ කිව්වේ වසරක් වෙන්න පුළුවන්. මම පර්යේෂණයට වැය කරනවා. මගේ පළමු වන නවකතාවේ දී මම සියලු ක්‍රිකට් තරග ගැන පර්යේෂණ කළා. පසුව කතාව ගොඩනඟන්න ඒක පරිකල්පනයෙන්ම ගොඩනැඟූවක් නෙවෙයි. එය මං කැන්වසය විධියට පාවිච්චි කළා. කතාව කියවද්දි එහෙම දෙයක් ඇත්තටම සිදු වුණා වගේ පේනවා.

The Seven Moons of Maali Almeida නවකතාවට මම 1989 වසර ගැනත් එදා දේශපාලන පක්ෂ ගැනත් නොවිසඳුණු ඝාතන ගැනත් කියෙව්වා. ‘89 ගැන මට තියෙන්නේ යන්තම් මතකයක්. කතාවේ එන සියලු හොල්මන් අවතාර සැබෑවට සිද්ධ වූ නොවිසඳුණු මිනීමැරුම් උඩයි පදනම් වෙලා තියෙන්නේ. මං එහිදී භීතිය උපදවන මාරක චිත්‍රපට බැලුවා. හොල්මන් කතා, ආගමික පොතපත, දර්ශනය ගැන, මරණාසන්න අත්දැකීම් ගැන කියෙව්වා. ලංකාවේ ජනශ්‍රැතියේ කියවෙනවා කෙනෙක් මැරුණාම ඊළඟ ප්‍රතිසන්ධිය සිදු වෙන්න කලින් ආත්මය දවස් 7 ඉඳලා දවස් 90 වෙනකන් අවකාශයේ පාවි පාවි ඉන්නවා කියල. ඒක මගේ කතාවට ගැළපුණා. ඉතින් මං ඒක යොදාගත්තා.

ප්‍රබන්ධය එක්ක සැබෑ සිදුවීම් මිශ්‍ර කරන්න මං කැමතියි. “එහෙම මිශ්‍රණයක් ඇත්තටම සිද්ධ වෙලා ද?” එසේ නැත්නම් “ඒ සමූල ඝාතනය ඇත්තටම සිද්ධ වුණු එකක්ද?” කියල පාඨකයා පුදුම කරවන්න මං කැමැතියි. මං දන්නෙ නෑ මගේ ඊළඟ පොත කොහොම වෙයිද කියල. ඒත් ඊට මං හුඟක් පර්යේෂණ කරනවා. කතාවක අදාළ අවස්ථාවත් ( situation) කතාත් ( stories) එන්නෙ මං ලියන කටු සටහන්වලින්. ඒ ආවාට පස්සෙ මං එය මුළුමනින් කල්පනා ලෝකගත කරනවා.

පරිවර්තනය – රවීන්ද්‍ර විජේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment