නූතන විද්‍යාඥයෝ වාල්මිකීගේ කතාව ඇත්තක් කරයි

එය මිනිසුන් විසින් හැදූ බව විද්‍යාඥයෝ කියයි

මහපාර හදන්නට එකඟ වූ බවට ඉන්දීය මාධ්‍යවලින් ප්‍රකාශයක්

රටවල් දෙකම බලා ගන්නා සමුද්‍රික ජාතික උද්‍යානයක්

එය 1976 වසරේ ඔක්තෝබර් 01 වෙනිදාය.

වේලාව හරියටම පෙ:ව: 09 විය. අප රටෙහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ ඩී.එෆ්. කාරියකරවන මහතා ලන්ඩන් නගරයෙන් සිය මෝටර් රථයට නැඟුණේ ගොඩ බිමින් ශ්‍රී ලංකාවට පැමිණෙනු පිණිස ය. ඔහුගේ හිත මිතුරකු වූ අයිවන් රත්නායක ගමන ආරම්භයේදී සුක්කානම අතට ගත් අතර, මෙම චාරිකාවේ ස්වභාවය ගැන හොඳ සැලැස්මක් ඔළුවේ ඇඳුන පුද්ගලයෙකු විය. මීට පෙර ලංකාවේ සිට ලන්ඩනය දක්වා බයිසිකලයකින් ගමන් කිරීමෙන් ද පන්නරයක් ලබා සිටි අයිවන් සිය ගමන අවිවේකී වේගවත් එකක් බව හොඳාකාර දැන සිටියේ ය. මක්නිසාද යත් ඔවුන් දෙදෙනා ඔක්තෝබර් 28 වෙනිදාට ප්‍රථම ධනුස්කොඩියට ළඟා විය යුතුව තිබූ බැවිනි. ඒ ධනුස්කොඩියෙන් පිටත් වන මගී ප්‍රවාහන බෝට්ටුව මන්නාරමට යන අන්තිම දිනය වන්නේ 28 වෙනිදා බැවිනි. මෝසම් වැසි සුළඟ හේතුවෙන් ඊළඟ වසරේ ජනවාරි මස අවසානය දක්වා මෙම බෝට්ටු සේවය නවතා දමනු ලැබේ.

මේ නිසා ඔවුන් දෙදෙනා මහ වරුසාවේම ලන්ඩනයෙන් පිටත්වූ අතර ප්‍රංශයේදී ටික වේලාවක් නැවතී සිටින්නට කාරියකරවන මහතා කළ ඉල්ලීම ද අයිවන් මහතා ප්‍රතික්ෂේප කළේ එහෙයිනි. අයිවන් රත්නායක මහතාගේ අදහස වූයේ ඔක්තෝබර් 28 ට ප්‍රථම ධනුස්කොඩියට ළඟා වන්නට නම් දිවා කාලයට අමතරව, රාත්‍රියේ සහ පාන්දර යාමයේත් පැය කීපයක් හෝ ධාවනයේ යෙදිය යුතුව ඇති බවය. මේ දෙමිතුරෝ එවැනි අධිෂ්ඨානයකින් රිය පදවාගෙන පැමිණිය ද එදවස, ඔක්තෝබර් 28 ට පෙර එහි ළඟාවිය නොහැකි වූ බැවින්, ඔවුනට සිදු වූයේ තම මෝටර් රථය ඉන්දියාවේ ඔටෝ මොබයිල් සංගමයට භාරදී ගුවනින් ගමරට බලා පැමිණීමට ය. ඒ නිසා කාරියකරවන මහතාට තමා ලන්ඩනයෙන් මිලදී ගත් ෆෝඩ් එස්කොට් 1100 යළි තමා අතට ගන්නට ඉන්දියන් සාගරය සන්සුන් වනතුරු තුන්මසක් බලා සිටින්නට සිදුවිය.

ආදම්ගේ පාලමේ සිට මෝදිගේ මහපාර දක්වා සේතු සමුද්‍රම් මහපාර

ලංකාවට ගොඩබිමින් පාරක් නැතිකමේ පාඩුව කාරියකරවනලා අයිවන් රත්නායකලා එදා විඳ ගත්තේ ඒ ආකාරයෙනි. එසේ නම් මුළු මිනිස් ප්‍රජාවම ගෝලීයකරණයට ලක්වී සිටින මේ යුගයේ අප සැමද එවැනි පාඩුවක් විඳ ගනිමින් සිටිනවා නොවේදැයි යන්න එක්වරම සිතට නැගෙන ප්‍රශ්නයකි. පාරක් තිබීම හොඳ දෙයක් වුවත්, ඒ නිසා බරපතළ අතුරු ප්‍රශ්න ද ඇතිවිය හැකි නම් පාරක් ගැනත් දෙපාරක් සිතිය යුතු තත්ත්වයක් ඕනෑ කෙනෙකු තුළ ඇති කරවයි.

පසුගිය දිනයක ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර ගොඩබිමේ පාලමක් ඉදි කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත්තේ එහෙයින් යයි අපට සිතිය හැක. අනෙක් පැත්තෙන් මීට පෙර අවස්ථාවක මෙම යෝජනාවම ඉදිරිපත් වූ අවස්ථාවක තමිල්නාඩු ප්‍රාන්ත රජය එයට අකැමැති වූ බවද මේ මොහොතේ අපගේ සිහියට එයි.

මෙම 2025 වසරේ යළිත් එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවද ඇත්ත වශයෙන්ම මෙය අලුත් යෝජනාවක් නොවේ. 2002 වසරේදී ද එවකට පැවැති ශ්‍රී ලංකාවේ රජය විසින් ද ඉන්දියාව සමග මේ පිළිබඳ සාකච්ඡා පවත්වා තිබිණි. පසුව දෙපාර්ශ්වය අතර සිදු කෙරෙන ඒකාබද්ධ ප්‍රකාශයකට පවා පසුගිය රජය විසින් මෙය ඇතුළත් කර තිබිණි. ඒ අනුව පැවැති රජය විසින් ඒ පිළිබඳව ගිවිසුමකට ද අත්සන් තබන ලදී. තමිල්නාඩු ප්‍රාන්ත රජය එයට සිය විරෝධය පළ කරනු ලැබුවේ මෙම අවස්ථාවේදීය.

ආදම්ගේ පාලමේ සිට මෝදිගේ මහපාර දක්වා සේතු සමුද්‍රම් මහපාර

එහෙත් 2015 දී යළි ඇරඹුන සාකච්ඡාවලදී රාමේශ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර මෙම පාලම ඉදිකිරීම අරබයා පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් ද කරන ලෙසද ඉන්දියාව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේ ය. ඇමෙරිකන් ඩොලර් බිලියන 5ක් පමණ වැයවන මෙම ව්‍යාපෘතියට දුම්රිය, මාර්ග සහ දිය යටින් තැනෙන උමං මාර්ගද ඇතුළත් වන පරිදි මූලිකව සැලසුම් කර තිබිණි.

අග්‍රාමාත්‍ය මෝදි මහතා සමග කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකා රජයේ පාර්ශ්ව මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළද, මේ පිළිබඳ සාකච්ඡා අවසන් අදියරට එළඹ ඇති බවත්, එම ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට රජය සූදානම් බවත්, ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක් පාරිසරික අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති උපුටා දක්වමින් කියා ඇත.

ජනාධිපතිවරයා වශයෙන් තමා යෙදෙන සිය පළමු විදෙස් සංචාරය වශයෙන් ඉන්දියාව තෝරාගත් ජනාධිපති අනුර දිසානායක මහතා මේ ගමනේදී අග්‍රාමාත්‍ය මෝදි මහතා මෙන්ම ජනාධිපති දෞපදි මහත්මිය හමුවුවත්, මේ ගැන කතාබහ කළ බවක් වාර්තා වී නැත. නමුත් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය විසින් මේ වන විට පෙන්වා දෙමින් සිටින්නේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ජාතීන් දෙක අතර සෘජු ප්‍රවාහන ගමන් පථයක් පලදායී ආකාරයට නිර්මාණය වන බවය.

ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය මේ පිළිබඳ කතාබහක නොයෙදුණද, අප රට විසින් ඉන්දියාවට අපනයනය කරනු ලබන, වත්මනේදී මිලියන 8ක් වන ඇඟලුම් කෝටාව මිලියන 50 දක්වා වැඩි කරන්නැයි ඉල්ලා ඇති බව වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකාව වෙතට තව ටිකක් සමීප වන බව පෙන්වා දෙමින්දෝ රාමේෂ්වරම් දූපතේ සිට මණ්ඩපම් දක්වා වූ පාලමද, නව පම්බන් පාලම ලෙස සැලකෙන ඉන්දියාවේ මුහුදට ඉහළින් වූ සිරස් එසවුම් පාලම ද අග්‍රාමාත්‍ය මෝදි විසින් පසුගියදා විවෘත කරන ලදී.

මෙම විවෘත කිරීම් ඉන්දියාවේ යටිතල පහසුකම් සංවර්ධනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව විචාරකයින්ගේ මතය වී තිබේ. සමුද්‍ර විඛාදනයට ඔරොත්තු දෙන පොලිසිලොක්සේන් ආලේපනය සහිතව ප්‍රතිස්ථාපනය කරන ලද කි:මි: 2.07ක් දිගැති රාමේස්වරම් මණ්ඩපම් පාලම මෙන්ම මීටර් 17ක සිරස් එසවුම් පාලම නවීන ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයක් ලෙස විද්වත්හු පෙන්වා දෙති. අනුරාධපරයේ සිට ආපසු ඉන්දියාවට යන අතරේදී අග්‍රාමාත්‍ය මෝදි මහතා රාම් සේතු නොහොත් ආදම්ගේ පාලම ගුවනේ සිට නැරඹූ බවද ලොව පුරා වාර්තා වූ කාරණයකි.

ආදම්ගේ පාලමේ සිට මෝදිගේ මහපාර දක්වා සේතු සමුද්‍රම් මහපාර

මෙසේ ගුවනේ සිට නැරඹීමේ පහසුකම් නොතිබූ අවුරුදු දහස් ගණනක් ඉහත අතීතයේ සිටම මෙතැන පාලමක් තිබූ බවට පැතිර යන කතාව මේ වන විට අපගේ ජන විඥානයට ඇතුළු වී ඇත. ආරම්භයේදී රාමායනය රචනා කළ වාල්මිකී පඬිවරයා විසින් සාහිත්‍යමය සංකල්පනාවක් ලෙසින් මනසේ ඇති කරන ලද සේතු සමුද්‍රම් කතාන්තරයට අනුව මෙය තනා ඇත්තේ හනුමන්තා විසිනි. රාමායනයෙන් කියවෙන්නේ එවකට ලංකාපුරය පාලනය කළ රාවණ නමැති බලගතු රජකු විසින් ඉන්දියාවේ රජකු වූ රාමාගේ බිසව වූ සීතා පැහැරගෙන ඒම නිසා ඇතිවූ යුද්ධයේදී, රාමාගේ හමුදාවට ලංකාවට ගොඩ බසිනු පිණිස මෙම පාලම ඉදිකරන ලද බවය.

රාම්සේතු නොහොත් ආදම්ගේ පාලම වශයෙන් සලකන මෙම මුහුදු තීරය වන්නේ දකුණු ඉන්දියාවේ ගිණිකොන දිග වෙරළට ඔබ්බෙන් පිහිටි පම්බන් දූපතේ සිට ලංකාවේ මන්නාරම දක්වා විහිදී තිබෙන නොගැඹුරු වැලිපර දූපත් 16 කින් සෑදුණු පටියක් වැනි කොටසය.

එම වැලිපර දූපත් සහිතව හුණුගල් මිශ්‍රිත පාෂාණ දාමයකින් යුතු මෙම මුහුදු තීරය කිලෝ මීටර් 48 ක දිගකින් යුක්තය. මෙම වැලිපර නොහොත් වැලි දූපත් අතරින් 8 ක් ඉන්දියාවට අයත් වන අතර, අනෙක් 8 ශ්‍රී ලංකාවට අයත්ය. ලංකාව සහ ඉන්දියානු මුහුදු සීමාව වෙන් කෙරෙන රේඛාව වැටී ඇත්තේ මින් 8 වන දූපත මධ්‍යයෙන් වන අතර, එය ශ්‍රී ලංකාවට අයත් වූවකි.

මේ මොහොත වන විට පාරිසර විද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින් මෙහි සංයුතිය පිළිබඳ පරීක්ෂණ ගණනාවක් පවත්වා ඇත. මේ මොහොතේදීද ඔව්හු නොනවත්වා එම පරීක්ෂණවල යෙදී සිටිති. ඒ අතරින් එක් පිරිසකගේ අදහස වී ඇත්තේ අයිස් යුගයේදී ලංකාව හා ඉන්දියාව එකට සම්බන්ධව පවතින්නට ඇති බවය. මීට වසර 1,25,000කට ප්‍රථම මෙම රටවල් දෙක වෙන් වන්නට ඇති බවත්, එම වෙන්වීමෙන් අනතුරුව ශේෂ වූ කොටස් මේ අයුරින් පාලමක් ආකාරයෙන් දිස්වන්නට පටන්ගෙන ඇති බවත්, ඔවුන්ගේ මතය වී ඇත.

ඉන්දියානු ජාතිකයින්ගේ තවත් කොටසකගේ අදහස වී ඇත්තේ එක්තරා බලසම්පන්න සුපිරි වීරයකු විසින් මෙම පාලම නිර්මාණය කරන ලදුව, පසුව ඔහු විසින්ම එය විනාශ කරන්නට ඇති බවය.

ආදම්ගේ පාලමේ සිට මෝදිගේ මහපාර දක්වා සේතු සමුද්‍රම් මහපාර

ඓතිහාසික ලේඛනවලට අනුව මෙම පාලම පිහිටි ප්‍රදේශය අද සේතු සමුද්‍රම් යනුවෙන් සඳහන් කරන අතර, එහි අරුත වන්නේ පාලමක් සහිත මුහුදු තීරය යන්නය.

මීට අමතරව රමන්කොයිල් නමින්ද, සේතු සමුද්‍රම් හැඳින්වූ බවට සාක්ෂියක් ඉන්දියාවේ තන්ජපූර්හි සරස්වති පුස්තකාලයෙන් හෙළි වී ඇත. එසේ සඳහන්ව ඇත්තේ 1747 දී නිර්මාණය කරන ලද ඕලන්ද සිතියමකය. ඒ හැරුණු කල මාර්කෝපෝලෝ නමැති සුප්‍රකට දේශ ගවේශකයාගේ සිතියම්වල ද මෙකී මුහුදු තීරය ගැන සටහනක් තබා ඇත. එහිදී ඔහු මෙම පෙදෙස් හඳුන්වනු ලබන්නේ සේතු බන්ධ සහ සේතු බන්ධ රාමේෂ්වරම් යනුවෙනි. මේ හැරුණු කල ඉබන් කෝදාබේ නමැති ලේඛකයකු විසින් 9 වන සියවසේදී රචනා කරන ලද කෘතියක් වන ‘බුක් ඔෆ් රෝසන් කින්ඩම්’ නමැති කෘතියෙහි ද මේ ගැන සඳහනක් ඇත. ඔහු එයට දී තිබෙන්නේ ද මුහුදේ ඇති පාලම යන අර්ථය දෙන නමකි.

ආදම් පෘථිවියට ප්‍රාදූර්භූතවීමෙන් අනතුරුව ලංකාවේ සිට ඉන්දියාවට ගමන් කර ඇත්තේ මේ පාලම හරහා යයි මතයක් තිබේ. රාම් සේතු පාලම ‘ආදම්ගේ පාලම’ ලෙස හඳුන්වනු ලබන්නේ ඒ විශ්වාසය අනුවය. 1904 දී බි්‍රතාන්‍ය භූ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද සිතියමක මේ ප්‍රදේශය හැඳින්වීමට ඔවුන් යොදා ගෙන තිබෙන්නේද ‘ආදම්ගේ පාලම’ යන්නය.

මෑත භාගයේදී රාම් සේතු පාලම පිළිබඳව විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණ අතර ප්‍රධාන තැනක් ගෙන තිබෙන්නේ 2006 සහ 2018 වසරවලදී ඇමෙරිකානු භූ විද්‍යාඥයින් දෙදෙනකු විසින් චන්ද්‍රිකා දෙකක් උපයෝගී කර ගනිමින් මේ පෙදෙස් ගවේෂණය කරනු ලැබීමය. ඉන් අනතුරුව 2021 වසරේදී තවත් ඇමෙරිකානු භූ විද්‍යාඥයින් පිරිසක් ද චන්ද්‍රිකා ඡායාරූප ලබා ගනිමින් සේතු සමුද්‍රම් මුහුදු තීරය පිළිබඳව ගවේෂණයක යෙදී තිබේ.

මේ අතර තවත් වැදගත් පරීක්ෂණ මාලාවක නිරත වන චෙල්සියා රෝස් නමැති ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක විසින් මෙම වැලිපර මතුපිට ඇති පාෂාණ තට්ටුව පිළිබඳව කාලනීර්ණ පරීක්ෂණයක් සිදුකොට ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සමත් වී තිබේ.

මෙම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් හැම දෙනාගේම වාගේ පොදු නිගමනය වී තිබෙන්නේ මෙම පාලම ස්වාභාවිකව සෑදුණක් නොව, මිනිසා විසින්ම සාදන ලද්දක් බවය. 2017 දී ඇමෙරිකාවේ ‘සයන්ස් චැනල්’ නැමැති නාලිකාවේ විකාශනය වූ What On Earth වැඩ සටහන තුළද එම අදහස ප්‍රකාශ කර තිබේ. එම නිගමනයට හේතු සාධක වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ දම්වැලක් ආකාරයට මෙහි තැන්පත්ව ඇති පාෂාණ වසර 7000ක් පමණ පැරණි බවය. නමුත් මෙහි ඇති වැලිපරවල ආයු කාලය වසර 4000ක් පමණ බව ඔව්හු පෙන්වා දෙති.

ඒ හැරුණු කල මේ අයුරින් පාලමක් ලෙස දිස්වන ආකාරයට මෙම පාෂාණ ස්වාභාවිකව තැන්පත් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවද, ඔවුන්ගේ අදහස වී ඇත. එහෙත් මීට වසර දහස් ගණනකට පෙරදී එතරම් විශාල පාෂාණ මෙම මුහුදු තීරයට රැගෙන ආවේ කෙසේද? කවුද? යන්න පිළිබඳව ගැටලුව ඔවුනට තවමත් විසඳා ගැනීමට හැකි වී නැත. කවුරුන් හෝ පාෂාණ තැන්පත් කිරීමෙන් අනතුරුව එම වැලිපර ස්වාභාවිකව නිර්මාණය වන්නට ඇති බව ඔවුන්ගේ අදහසයි.

ඉන්දියානු සාගර විද්‍යාඥයින් ද රජයේ අනුග්‍රහය ඇතිව මෙම මුහුදු තීරයේ පර්යේෂණ කටයුතුවල යෙදී සිටිති. ඒ රාමායනයේ සඳහන් සිද්ධීන් ඔප්පු කිරීමේ බලාපොරොත්තුව සහිතවය. රාම්සේතු පාලම පිළිබඳ ඝෝෂාව අතරේ කිව හැකි සතුටුදායකම ආරංචිය වන්නේ එය පිහිටි ස්ථානය අද වන විට සමුද්‍රීය ජාතික උද්‍යානයක් බවට පත්වී තිබීමය. මෙම ප්‍රදේශය ඒ ආකාරයට සමුද්‍රීය ජාතික උද්‍යානයක් ලෙස නම් කරනු ලැබ ආරක්ෂා කරන්නට පටන් ගෙන ඇත්තේ 2015 ජූනි 02 සිටය.

මෙම දූපත් අතරින් වැඩි ප්‍රමාණයක් මුහුදු ළිහිණියන්ගේ අභිජනන බිම් බවට පත්ව තිබෙන අතර, සංක්‍රමණ පක්ෂීන් ද විශාල වශයෙන් මේවා කරා ඇදී එති. වර්ෂයේ මැද භාගය වන විට ඔව්හු තම කැදළි තැනීම ආරම්භ කරති. මෙම ළිහිණියන් අතර, ලොව සුවිශේෂම ළිහිණි වර්ග හතරක්ද සිටින බව මේ වන විට සත්ව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. ඒ හැරුණු කල කැස්බෑවන්ගේ ස්වාභාවික අභිජනන භූමියක් ලෙස ද ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය ඉතා වැදගත් තැනක් හිමිකර ගනී. මෙහි නොගැඹුරු මුහුදේ ඩොල්පින් මසුන්, තල්මසුන් සහ මුහුදු ඌරන් වැනි ක්ෂීරපායි මත්ස්‍ය විශේෂද බහුල වශයෙන් ජීවත්වන බවද සොයාගෙන තිබේ.

අද ආදම්ගේ රාම්සේතු පාලම නමින් හඳුන්වන මෙකී මුහුදු තීරය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එක සමාන අයිතියක් යටතේ පවතී. ඉන්දියානු – ශ්‍රී ලංකා මුහුදු සීමා රේඛාව වැටී ඇත්තේ මෙම ‘ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය’ අතරිනි. ඒ අනුව මෙහි ඇති වැලිපර 16 න් 8ක අයිතිය ඇත්තේ ඉන්දියාවටය. අනෙක් දූපත් 8 හි අයිතිය ශ්‍රී ලංකාවටය. දෙරටේ මුහුදු සීමාව වෙන් කරන රේඛාව වැටී ඇත්තේ අප රටට අයත් 8 වන වැලි දූපත මධ්‍යයෙනි. ලංකාවට අයත් කොටස ‘ආදම්ගේ පාලම ජාතික සමුද්‍රීය උද්‍යානය ලෙස හඳුන්වන අතර, ඉන්දියාවට අයත් කොටස හඳුන්වනු ලබන්නේ ගල්ෆ් ඔෆ් මැනා (Gulf Of Mannar Marine National Park) යනුවෙනි. මේ නම් දෙක හැරුණු කල මෙය දේශාන්තර ජාත්‍යන්තර උද්‍යානයක් ලෙස නම් කිරීමට රටවල් දෙකම එකඟ වී තිබේ. ආදම්ගේ පාලම සමුද්‍රීයක ජාතික උද්‍යානයේ සංරක්ෂණ කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුව යටතේය. ගල්ෆ් නැෂනල් මැනාවල සංරක්ෂණ කටයුතු ඉන්දියාවේ වන සංරක්ෂණ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරේ. ගමන් බිමන් යෑම කෙසේ වෙතත් මේ මොහොත වන විට ආදම්ගේ පාලම මේ දෙරටට මෙන්ම ලෝකයටම ඉතා වැදගත් ප්‍රදේශයක් බවට පත්වී ඇත්තේ ඒ අයුරිනි.

පාරක් ගැන දෙපාරක් සිතන්නට සිදුවී ඇති මොහොතක ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය පාරිසරික උරුමයක් ලෙස රැක ගැනීමට එක පයින් එකඟවීමට හැකිවීම පමණක් වුවද සතුටට කරුණක් නොවේද?

තිස්ස ප්‍රේමසිරි


advertistmentadvertistment