The God of Small Things කොතරම් සමීපද යත් එය මගේ හදවතේ තබාගෙන සිටිමි

බූකර් සම්මානලාභී ප්‍රකට ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයිගේ නවතම කෘතිය Mother Mary Comes to Me එළැඹෙන සැප්තැම්බර් මාසයේදී නිකුත් වන බව එහි ප්‍රකාශන සමාගම වන Penguin Random House India නිවේදනය කොට තිබේ. මෙම කෘතිය ලොව පුරා සිටින ඇගේ පාඨකයනට විශේෂ වන්නේ එය ඇයගේ පළමු මතක සටහන් කෘතිය වන නිසාවෙන්ය. තමන් ලේඛන කලාවට පිවිසි ආකාරය පිළිබඳව ඇය මෙහි විස්තර කොට දක්වන අතර වඩාත් වැදගත් වන්නේ ඇය සිය මව සමග පැවති සංකීර්ණ සම්බන්ධතාවය පිළිබඳ ආශ්වාදජනක තොරතුරු මෙහි ඇතුළත් වන නිසා බව දැනගන්නට ඇත. අරුන්දතීගේ මව වූ මේරි රෝයි 2022 සැප්තැම්බරයේදී මියගිය අතර අරුන්දතී ඒ ගැන පවසන්නේ ‘මගේ නිවහන හා මගේ කුණාටුව මට අහිමිව ගියා’ යනුවෙනි. වයස 18 දී අරුන්දතී මවගෙන් පලාගිය අතර ඒ පිළිබඳව ඇය ඒ ගැන පවසන්නේ ‘මම පලා ගියේ ඇයට ආදරය නොකළ නිසා නොව ඇයට දිගටම ආදරය කිරීමට හැකි වීම සඳහා’ යනුවෙනි. කේරළයේ සිට නවදිල්ලිය තෙක් ළමා වියේ සිට මේ දක්වා කතුවරියගේ මතක සටහන් මේ කෘතියට ඇතුළත් වෙයි. “මම වගේ ලේඛිකාවක් දුවක් විදිහට අම්මා කෙනකුට ලැබීමට සුදුසුයි. එසේම මා වැනි ලේඛිකාවකට ඇය වැනි මවක් ලැබිය යුතුයි. මේ කෘතිය තම මව අහිමි වීමේ දියණියකට ඇති වන ශෝකයට එහා දෙයක්. මම මේ කෘතිය මගේ ජීවිත කාලය පුරාම ලියපු එකක්.” ඇය පවසන්නීය.
අරුන්දතීගේ මව වූ මේරි අධ්‍යාපනඥවරියක් සේ ම ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් වෙයි. ඇය වඩාත් ප්‍රකට වූයේ කේරළයේ එවකට පැවති නීතියකට අභියෝග කරමින් පවුලක දේපළ දරුවන් අතර බෙදී යෑමේදී ගැහැණු දරුවන්ට ද සම අයිතියක් ලැබිය යුතු බවට කේරළ රජයට එරෙහිව නඩු පැවරීමෙනි. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇදී ගිය මෙම නඩුව 1986 දී අවසන් වූයේ මේරිට ජය හිමි කර දීමෙනි. එතැන් සිට තම නීතිය සංශෝධනය කොට ගැහැණු පිරිමි භේදයක් නොමැතිව සම දේපළ අයිතිය හිමි වියයුතු බවට නව නීතියක් පැනවීමට කේරළ රජයට සිදු විය.
The God of Small Things කෘතියට 1977 දී අරුන්දතී රෝයි අන්තර්ජාතික බූකර් ත්‍යාගය දිනා ගත්තාය. එහි අරුන්දතී රෝයිගේ පවුලේ සිදුවීම්වල ඡායාවක් ඇතැයි පැවසෙන අතර Mother Mary Comes to Me ප්‍රකාශයට පත්වන අවස්ථාව වනවිට ඊට ප්‍රතිචාර දැක්වීමට අරුන්දතීගේ මව වන මේරි ජීවතුන් අතර නොමැති නිසාවෙන් ඔවුන්ගේ ජීවිත පුවතේ ඡායාවක් වන The God of Small Things පිළිබඳව මේරි රෝයිගේ අදහස් දැනගැනීම අරුන්දතී රෝයිගේ පාඨකයන් ප්‍රිය කරනු ඇත. The God of Small Things නවකතාව ගැන Rediff on the net වෙබ් අඩවියේ පල වූ ජෝර්ජ් යිප් නම් ලේඛකයා විසින් මේරි රෝයි සමග පැවැත් වූ මේ සම්මුඛ සාකච්ඡාව, මේරි සිය හිතුවක්කාර දියණිය පිළිබඳ කුමන අදහසක සිටියේ දැයි හෙළි කරන්නේ ප්‍රථම සහ එකම වතාවටය.
මව සහ දියණිය යන දෙදෙනාම කැරලිකරුවන් වන්නෝය. මව, ක්‍රිස්තියානි උරුම නීතියට එරෙහිව සටන් කොට කේරළයේ කාන්තාවන්ට තම දෙමාපියන්ගේ දේපළ සඳහා සම අයිතිය ලබා දුන් සුවිශේෂී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දිනා ගත්තාය. දියණිය, වයස අවු. 18 දී නිවසින් පිටව ගොස් ඉන් පසු වසර හයක් මව නොදැක සාම්ප්‍රදායික නොවන ජීවන රටාවක් ගත කොට දැන් සුපිරි සාහිත්‍ය තරුවක් බවට පත්ව සිටින්නීය. සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 30 ක් කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කොට බොහෝ ජයග්‍රහණ ලබා මේරි රෝයි දැන් කෝට්ටයම්හි නිහඬ දිවියක් ගෙවයි. අතීතයේ යුද්ධ අවසන්ව මව සහ දියණිය දැන් බොහෝ සමීපව සිටින අතර ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙසද පුහුණුව ලැබූ අරුන්දතී විසින් නිර්මාණය කළ ඇගේ විචිත්‍ර එහෙත් කලාත්මක නිවසේදී ඇය පැවසුවේ “The God of Small Things නවකතාව මට කොතරම් සමීපද යත් මම එය මගේ හදවතේ තබාගෙන සිටිමි”යි යනුවෙනි. මීට පෙර සියලු සම්මුඛ සාකච්ඡා ප්‍රතික්ෂේප කොට සිටි ඇය ජෝර්ජ්ට පැවසුවේ The God of Small Things ගැන කතා කිරීමට ඔබ මා පොළඹවා ගත් බවයි.

ඔබ The God of Small Things කියවා තිබේද?

ඔව්, මම එය කියවා ඇත්තෙමි.

එහි සාහිත්‍යමය ගුණය ඔබට විනිශ්චය කළ හැකිද?

බැහැ, මට ඒක කරන්න බැහැ. මම අරුන්දතීගේ අම්මා නිසා මට නවකතාව පුද්ගලික අත්දැකීමක්.

එතකොට අම්මා කෙනෙක් විදියට දුවගේ නවකතාව ගැන මොකද හිතෙන්නේ?

මගේ අදහස් අනවශ්‍ය ආන්දෝලනයකට තුඩු දිය හැකි බැවින් ඒ ගැන වැඩිය කතා කිරීමට මා කැමති නැහැ.

එය විශිෂ්ට නවකතාවක් යැයි ඔබ සිතනවාද?

හැම අම්මා කෙනෙක්ම වගේ මටත් මගේ දුව ගැන ආඩම්බරයි. ඇයගේ සාහිත්‍ය ජයග්‍රහණය ගැන මම ආඩම්බර වෙනවා. ඇය ඉතා විශිෂ්ට ලේඛිකාවක්. ඇය නිතරම ලිවීමට ආදරය කළා. ඒ වගේම ඇය හොඳට ලියනවා.

The God of Small Things ජාත්‍යන්තර ප්‍රසාදය දිනා තිබෙනවා. එය ලොකු වැඩක් කියලා හිතෙන්නේ නැද්ද?

යමෙක් ඇත්තටම පොතක් මනින්නේ එයට ලැබෙන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව නොවේ. අවම වශයෙන්, මම නම් එය කරන්නේ නැහැ. මට නම් අරුන්දතීගේ නවකතාව පුද්ගලික විනිශ්චයක්. පොතක් යනු පුද්ගලික ශ්‍රේණිගත කිරීම් සහ ඇගයීමට ලක්වන විෂයයක්. නවකතාව ගැන අදහස් දැක්වීමට ඔබ මගෙන් ඉල්ලා සිටීම දුෂ්කරම දෙයක් වන්නේ නවකතාවේ සිදුවන සෑම දෙයක්ම මට සමීප දේවල් බැවින්.

එතකොට නවකතාව ඔබේ පවුලේ කතාවද?

ඒක අපේ පවුලේ කතාව කියලා මම කියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, නවකතාවේ අපගේ ජීවිතවලට සමීපව සමාන බොහෝ සිදුවීම් සහ අවස්ථා තිබෙනවා. සමහර සිදුවීම් ඇත්ත. නමුත් නවකතාවේ සිදුවන සෑම දෙයක්ම සැබෑ ජීවිතයේ සිදු වූයේ නැහැ.

ඔබේ ජීවිතයට සමාන වූ දේවල් මොනවාද?

Ayemenem යනු මනඃකල්පිත ස්ථානයක් නොවෙයි. එය 1960 ගණන්වල අප සියලු දෙනා ජීවත් වූ සැබෑ ගම්මානයක්. අපි හිටපු ගෙදර තාමත් තියෙනවා. මගේ මව් පවුල තවමත් එහි ජීවත් වෙනවා. අපි “මම, අරුන්දතී සහ මගේ පුතා” හැමෝම එහි ජීවත් වුණා.

නවකතාව ඔබේ ජීවිත පිළිබඳ ස්වයං චරිතාපදානයක් ද?

මට එය ස්වයං චරිතාපදානයක් ලෙස හැඳින්විය නොහැකියි. මූලික වශයෙන්, The God of Small Things 1969 දී කේරළයේ හැදී වැඩෙන දරුවන් දෙදෙනකු ගැන කතා කරනවා. නවකතාවේ චරිත අපගේ පවුලේ සාමාජිකයන්ට සමාන බැවින්, එය ස්වයං චරිතාපදානයක් ලෙස දැකීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.

රහෙල් සහ එස්තාගේ චරිත නිරූපණය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

එය දරුවන් දෙදෙනකුගේ ඉතා අලංකාර නිරූපණයක්. අයෙමෙනම් නිවසේ කලබැගෑනියේ ගොළු සාක්ෂිකරුවන් වන්නේ මේ දරුවන් දෙදෙනායි. අරුන්දතී ඒක සුපිරියටම කරලා තිබුණා.

නවකතාවේ එන අම්මුගේ චරිතය සමහර පාඨකයන්ට මේරි රෝයිව සිහිපත් කරනවා.?

මම ඔබ සමග එකඟ වන්නේ නැහැ. අම්මු, නවකතාවේ කේන්ද්‍රීය චරිතයක්. අම්මුට මට යම් සමානකම් තියෙන්න පුළුවන්, නමුත් ඇය මේරි රෝයි නෙවෙයි. අම්මු සහ මේරි රෝයි බොහෝ ආකාරවලින් වෙනස්.

කතාවේ කේන්ද්‍රීය වන්නේ ‘ක්‍රිස්තියානි නොවන’ ක්‍රියාවක් “අම්මු සහ වේලුතා අතර ඇති සම්බන්ධය. මෙම සබඳතාවයේ නිරූපණය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ඒක ලස්සන ප්‍රබන්ධයක්. නවකතාවේ ඔබ ඔය කියන ප්‍රේම සම්බන්ධයක් සහ ආශාවක් මගේ ජීවිතයේ තිබුණේ නැහැ. අම්මු සහ වේලුතා කියන චරිත එළිදක්වන විට අරුන්දතී මා ගැන හිතුවා කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසාම මම, නවකතාවේ අම්මු කියලා මම හිතන්නේ නැහැ. අරුන්දතී හරිම සංවේදී දරුවෙක්. අම්මු සහ වේලූතා අතර සම්බන්ධය වෙනත් කෙනකුගේ සැබෑ ජීවිත කතාව විය යුතුයි. නවකතාව, අරුන්දතීගේ ළමා කාලයේ අයමනේම් ගමේ ප්‍රතිනිර්මාණයක්. ස්වාභාවිකවම, මා නොදැන සිටි බොහෝ දේ ඇය දැන සිටින්නට ඇති.

සොෆී මෝල්, මිනාචල් ගඟේ ගිලී මියයෑම සැබෑ සිදුවීමක් ද?

(ප්‍රතිචාරයක් නැත) මම දැන් ඒ ගැන කතා කරන්න සූදානම් නැහැ. ඔබම සොයා බලන්න.

නවකතාවේ අයෙමෙනම් හවුස් පැරඩයිස් අච්චාරු සමාගම ගැන ඔබට කුමක් කිව හැකිද?

ඔව්, අච්චාරු කම්හල තවමත් අප සතුයි. එය පලාට් අච්චාරු ලෙස හැඳින්වෙනවා. ඒක මෙහෙයවන්නේ මගේ සහෝදරයා. ඒත් මම එයා එක්ක වැඩිය කතා කරන්නේ නැහැ.

The God of Small Things බලාපොරොත්තුව, ආදරය සහ ආශාව පිළිබඳ කතාවක් යැයි ඔබ සිතනවාද?

දුවගේ නවකතාවට විශේෂණ පද දෙන්න මට හිතෙන්නේ නැති නිසා මම දන්නේ නැහැ. මගේ හැඟීම් වෙනස්. අම්මා කෙනෙක් විදියට මම නවකතාවට කැමති වුණා. ඒත් සමහර වෙලාවට මට එයාගේ අම්මා වගේ දැනෙනවා. මම නවකතාව ගැන ගොඩක් වර්ණනා කරනවා.

ඇය නවකතාවක් ලියන බව මට කිසිදා කීවේ නැහැ

අරුන්දතී මේ නවකතාවේ වැඩ කරමින් සිටි බව ඔබ දැන සිටියාද?

ඇය නවකතාවක් ලියන බව මට කිසිදා කීවේ නැහැ. මම ඒ ගැන දැනගත්තේ ඇය එය පළ කළාට පසුවයි.

ඇයගේ කතාවේ වැඩ කිරීමට ඇය ඔබ සහ අයෙමෙනම් නිවසට ගියාද?

කතාවක වැඩ කිරීමට ඇත්තේ කුමක්ද? The God of Small Things යනු පර්යේෂණ නිෂ්පාදනයක් නොවෙයි. ඒක ආවෙ අරුන්දතීගේ හදවතින්. ඒ වගේම ඇය ලිව්වා. අවුරුදු 30කට පෙර අපේ පවුල තුළ ඇය දුටු සහ අත්විඳි ජීවිත ගැන.

අරුන්දතී දැන් ඔබත් එක්ක ඉන්න එනවද?

ඇය නිතරම මා සමග නවතින්න එනවා.

ඔබ අරුන්දතී සමග අතිශයින් පළුදු වූ සම්බන්ධයක් ඇති වූ කාලයක් තිබුණේ නැද්ද?

එය ඔබේ දරුවන් සමගත් සිදු වෙන්න පුළුවන්. ඔබ දරුවන් පාලනය කරන විට, ඔබ ඔවුන් අකමැති දේ කරන විට ඔවුන් ඔබ අකමැති දේ කරනවා. ඔබ ඔවුන්ට නිදහසේ යෑමට ඉඩ දුන් විට, ඔබ අනුමත නොකරන දේවල් ඔවුන් කරයි. නමුත් මම හිතන්නේ අපේ සම්බන්ධය හැම විටම අවබෝධයෙන් යුතුව තිබුණා. බොහෝ දෙනා කතා කළේ අරුන්දතීගේ විවාහය හෝ කා සමග හෝ ජීවත්වීම ගැනයි. ඒත් ඒක මම කවදාවත් විරුද්ධ වෙන්නේ නැති දෙයක්. යමෙකු සමග විවාහ වීම හෝ ජීවත් වීම, යමෙකුගේ නිදහස සහ තේරීමක්.

ඔබ අදහස් කරන්නේ ඔබේ දරුවන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ජීවත් වීම ගැන ඔබ සැලකිල්ලක් නොදක්වන බවද?

ඔබ වැරදි වචනයක් භාවිතා කරනවා. මගේ දුව කසාද බැඳලා කාත් එක්ක හරි ජීවත් වෙන එක ගැන මට ප්‍රශ්නයක් නැහැ. ඇයට කිරීමට අවශ්‍ය දේ කිරීමට ඇයට ඇති අයිතියට මම ගරු කරනවා. මම කවදාවත් ඇයට විරුද්ධ වෙන්නේ නැහැ, ඇගේ අභිමතය භාවිතා කරන්න එපා කියලා. ඒ නිසා තමයි අරුන්දතී නවකතාවේ ආරම්භයේදීම කියලා තියෙන්නේ “පේළියක් හදන්නේ නැතුව මට යන්න දුන්නට ස්තුතියි” කියලා. මෙය බොහෝ පවුල් නොකරන දෙයක්. නමුත් ඇයට අවශ්‍ය ආකාරයට ජීවත්වීම ඇගේ මූලික අයිතිවාසිකමක් යැයි මා සිතූ නිසා මම ඇයට යන්න දුන්නා.

ඔබ අදහස් කරන්නේ අරුන්දතීට නිදහසේ ලෝකයට යෑමට ඉඩ දීම, සාහිත්‍ය විශිෂ්ට කෘතිය නිර්මාණය කිරීමට උපකාරී වූ බවද?

නිසැකවම. ළමා වියේ පටන් ඇය ගත් නිදහස ඇයට අද සාහිත්‍ය තරුවක් වීමට ඉවහල් වුණා කියලා මම හිතනවා. කේරළයේ වසර 20 කට පෙර, ඔබේ පුතාට හෝ දුවට නිදහසේ යෑමට ඉඩ දීම කියන්නේ බැරෑරුම් පාපයක්. ඒත් මම එහෙම කළේ එයාලගේ අයිතිවාසිකම් ගැන හිතුව නිසා.

මම පාලනය කරන කෝපස් ක්‍රිස්ටි පාසලේ සිසුන්ට අද ඇති නිදහස ඉන්දියාවේ වෙනත් කිසිම ශිෂ්‍යයකුට ඇතියි කියල මම හිතන්නෙ නැහැ. නිවාඩු දිනවල, නේවාසික සිසුන්ට ඔවුන්ගේ නම් ලියාපදිංචි පොතේ ලිවීමෙන් පසු ඔවුන්ට අවශ්‍ය ඕනෑම තැනකට පිටතට යා හැකියි.

ඔබේ දූ පුතුන් වර්ධනය වන්නේ නිදහස තුළින් පමණක් බව මම තදින්ම විශ්වාස කරනවා. මගේ අරුන්දතී ඒකට උදාහරණයක්.

● නිමල් ෆ්‍රැන්සිස්


advertistmentadvertistment