බෙදුම්වාදී ත්‍රස්තවාදයට කැනඩාවෙන් ජන සංහාර ස්මාරකයක්
ප්‍රභාකරන්ට ලෝකඩ ප්‍රතිමාවක් සහ අනුස්මරණ ශාලාවක් යෝජනා කළ උතුරේ දේශපාලන පක්ෂ
පරාජිත කොටි සංවිධානය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය නිහඬ ප්‍රතිපත්තියක
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය කැනඩාවේ සියලුම දේශපාලන පක්ෂවලට ආශිර්වාදයකි. එක්තරා ආකාරයක ඡන්ද උපද්දවන ‘ඡන්ද මැෂිමකි’. කැනඩාවේ බ්‍රැම්න්ප්ටන් නගරයේ උද්‍යානයකදී ඉදිකරන ලද ද්‍රවිඩ ජනසංහාර ස්මාරකය පසුගිය මැයි 10 වැනි දින රාත්‍රියේ විවෘත කරන ලැබුවේ කැනඩා දේශපාලන අධිකාරියේ පූර්ණ ආශිර්වාදයෙනි. ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති කැනේඩියානු ජාතිකයින් 12,000 පමණ ජීවත්වෙන බ්‍රැම්න්ප්ටන් බෙදුම්වාදී දේශපාලනයට තෝතැන්නකි. ශ්‍රී ලංකාවට ද්‍රවිඩ ජනසංහාර චෝදනා කිරීම සමස්ත කැනේඩියානු ප්‍රතිපත්තිය සමග ද එකඟය. ඉන්දියාවට අභියෝග කරන කැනඩාව තුළ ක්‍රියාත්මක බෙදුම්වාදී ව්‍යාපාරයට ද එම රටේ පූර්ණ සහයෝගය ඇත. ඉන්දියාවේ දැඩි විරෝධතාව නොතකා කැනඩාව එම බෙදුම්වාදී ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන බව රහසක් නොවේ. ඉන්දියාව සම්බන්ධයෙන් කැනඩාව අනුගමනය කරන අතිශය ගැටලුකාරී ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවට කිසිසේත්ම සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක.
ද්‍රවිඩ ජනසංහාරයක් සම්බන්ධයෙන් කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් විශ්වසනීය අධිකාරියක්/ආයතනයක් විසින් තහවුරු කර නොමැත. එලෙසම කැනඩාව එවැනි ජනසංහාරයක් සිදු වූ බවට තොරතුරු අනාවරණය කර නොමැත. එවැනි පසුබිමක බ්‍රැම්න්ප්ටන් නගරයේ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය විදේශ අමාත්‍ය විජිත හේරත් පළ කළේය. ඒ කොළඹ සිටින කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් විදේශ අමාත්‍යාංශයට කැඳවූ අවස්ථාවේදීය.
බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමේ 16 වැනි සංවත්සරය අදයි (මැයි 18). අසූව දශකයේදී ඉන්දියාව පෝෂණය කළ කොටි සංවිධානය මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් හමුදාමය ක්‍රියා මාර්ගයක් තුළින් පරාජය කිරීමට නොහැකි බවට බොහෝ රටවල් අවධාරණය කළේය.
උතුර- නැගෙනහිර සටන් භූමියේදී අමතක නොවන පාඩම් 80 දශකයේ අග භාගයේදී කොටි සංවිධානය ඉන්දියාවට ද කියා දුන්නේය. ඉන්දියාව බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළ ඊනියා ඉන්දු-ලංකා සාම ගිවිසුම අධීක්ෂණයට/ක්‍රියාත්මක කිරීමට මෙහි පැමිණි ඉන්දීය හමුදාවට නිලධාරීන් සහ සෙබළුන් 1,300 පමණ අහිමි විය. එම සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණ තුවාල ලැබීය. ඉන්දියානු හමුදා 1990 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවෙන් ඉවත් වූ අතර එම හමුදාව ශ්‍රී ලංකාවට එවූ එවකට කොංග්‍රස් පක්ෂයේ නායක රජීව් ගාන්ධි 1991 මැයි මාසයේදී දකුණු ඉන්දියාවේදී ඝාතනය කළේ කොටි ත්‍රස්තවාදීන් බවට ත්‍රස්තවාදය වෙනුවෙන් කඳුළු හලන එවුන්ට මතක් කර දිය යුතුය.
ශ්‍රී ලංකාවේ ඡන්දයෙන් පත්වූ සෑම ආණ්ඩුවක්ම කොටි ත්‍රස්තවාදයට බියවිය. ‘ජාතික ගැටලුව’ සාකච්ඡා මාර්යෙන්ම විසඳා ගැනීමට උත්සහ කළේ ඒ බිය නිසාය. අතිශය තීරණාත්මක 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද විදේශයකදී කොටි සංවිධානය සමග කීප වරක් සාකච්ඡා කළේය. මැතිවරණ ව්‍යාපාරය තුළ තමන්ගේ රජයක් ත්‍රස්තවාදීන් සමග විදේශයන්හි සාකච්ඡා නොකරන බවට මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළත් එම පොරොන්දුව ඔහු නොසලකා කටයුතු කළේය.
අනෙකුත් ආණ්ඩු මෙන්ම කොටි ත්‍රස්තවාදය එල්ල කළ දැඩි හමුදාමය අභියෝගය සාකච්ඡා මේසයේදී විසඳා ගැනීමට රාජපක්ෂ රජය කළ උත්සාහය අසාර්ථක විය.
එවකට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඔහුගේ මූලස්ථානය තුළ 2006 අප්‍රේල් 25 ඝාතනය කිරීමට කළ නිහීන උත්සාහයෙන් පසුවත් රාජපක්ෂ රජය කොටි ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පූර්වගාමියා වූ චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ද කොටි ත්‍රස්තවාදීන් විසින් 2005 අගෝස්තු 12 වැනි දින විදේශ අමාත්‍ය ලක්ෂමන් කදිරගාමර් ඝාතනය කිරීම නොසලකා තවදුරටත් නෝර්වේ රාජ්‍යයේ නායකත්වය දුන් ‘සාම’ ක්‍රියා මාර්ගයේ රැඳී සිටියේය. විදේශ අමාත්‍යවරයාගේ ඝාතනයෙන් පසුවත් යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට කළ උත්සහයෙන් පසුවත් එවකට සාම ක්‍රියාදාමය මෙහෙයවූ එක්සත් ජනපදය, යුරෝපීය සංගමය, ජපානය සහ නොර්වේ අවධාරණය කළේ සාම ක්‍රියාවලිය පසුබෑම් මධ්‍යයේ වුවද ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ වනවිට කොටි ත්‍රස්තවාදීන් නොර්වේ මැදිහත්කමින් පැවැත්වූ සාකච්ඡා මේසෙන් ඉවත් වී තිබිණි. නෝර්වේ ගිවිසුම 2002 පෙබරවාරි මාසයේ අත්සන් කළ අතර විදේශ රටවල පැවැත්වූ සාකච්ඡා වට හයකට පසුව 2003 අප්‍රේල් මාසයේ ප්‍රභාකරන් සාකච්ඡා මේසෙන් ඉවත් විය.
ආරක්ෂක ලේකම් ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර 2006 ඔක්තෝම්බර් 01 වන දින පිත්තල හන්දියේදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුවත් ආණ්ඩුව කොටි සමග ජිනීවා සාකච්ඡාවකට සහභාගි විය. සරත් ෆොන්සේකාට සහ ගෝඨාභය රාජපක්ෂට එල්ල කළ ප්‍රහාර සාර්ථකව වූවා නම් භූමියේ තත්ත්වය අනිවාර්යෙන්ම උඩු යටිකුරු වීමට තිබිණි.
කොටි ත්‍රස්තවාදීන් හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කළේ 2006 අගෝස්තු 11 වැනි දිනය. ඒ කොටි ත්‍රස්තවාදීන් විසින් 2006 ජුලි 21 දින වසා දැමූ මාවිල්ආරු සොරොව්ව යුද හමුදාව මහත් පරිශ්‍රමයක් දරා 2006 අගෝස්තු 11 වැනි දින විවෘත කළ දිනයේදීමය. මාවිල්ආරු අභියෝගය ජය ගැනීමට ක්‍රියා කළත් ත්‍රස්තවාදයට මුලිනුපුටා දැමීමට පූර්ණ හමුදාමය ක්‍රියාමාර්ගයකට එළැඹීමට ඒ රජය ද පසුබට විය. එදා මාවිල්ආරු සම්බන්ධයෙන් ආණ්ඩුව හමුදාමය ප්‍රතිචාරයක් දිය යුතු බවට එවකට ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ දැඩි ස්ථාවරයක සිටියේය. එම පක්ෂ දෙකට තිබූ හදිසිය ආණ්ඩුවට තිබුණේ නැත.
පූර්ණ යුද්ධයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් යම් දෙගිඩියාවකින් දේශපාලන සහ හමුදා නායකත්වය සිටින අවස්ථාවක කොටි ත්‍රස්තවාදීන් 2006 අගෝස්තු 11 වැනි දින රාජපක්ෂ ආණ්ඩුව බිත්තියට හේත්තු කළේය. දැඩි තෙරපීමකට ලක් කළේය. ආණ්ඩුව කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට පත් කළේය. කිලාලි-එළුත්තුමඩුවාල්-මුහමලේ-නගර් කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ලේ තෝරාගත් මර්මස්ථාන කිහිපයකට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. මුහමලේ ස්ථානගතවී සිටි සෙබළුන් පසුබැස්සේය. කයිට්ස් සහ මණ්ඩතිවු දූපත්වලට ද ප්‍රහාර එල්ල විය. ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයට සමගාමිව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේය. හතර වැනි ඊළාම් යුද්ධය ආරම්භ වී තිබුණි. කොටි ත්‍රස්තවාදීන් කල්යල්බලා දියත් කළ අතිශය ආක්‍රමණකාරී ක්‍රියා මාර්ගයේ මූලික ඉලක්කය වූයේ ත්‍රිකුණාමලය-කන්කසන්තුරේ/පේදුරු තුඩුව මුහුදු සැපයුම් මාර්ගය අඩපණ කර මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමීමයි.
මුහුදු සැපයුම් මාර්ගය බිඳ වැටුණහොත් 40,000 අධික යුද, ගුවන්, නාවික සහ පොලිස් නිලධාරීන් සහ සෙබළුන් යාපනයේ කොටු වන බව අමුතුවෙන් කිව යුතු නැත. නුවර-යාපනය ඒ 09 ප්‍රධාන ගොඩබිම් සැපයුම් මාර්ගය රජයට අහිමි වූයේ 1990 දීය. නමුත් යාපනය හුදකලා කිරීමේ ත්‍රස්තවාදීන්ගේ මෙහෙයුම බිඳ වැටීමත් සමග උතුරේ සහ නැගෙනහිර එකවිට හමුදා අකර්මණ්‍ය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ත්‍රස්තවාදීන්ට නොහැකි විය. ත්‍රස්තවාදය අතුගා දැමීමට ඒකාබද්ධ හමුදාමය ක්‍රියා මාර්ගයකට ආණ්ඩුව යොමුවූයේ එම තත්ත්වය තුළය. හමුදාමය විසඳුමකට යෑමට නැතහොත් යොමු වීමට ආණ්ඩුවට සිදු විය. දේශපාලන සහ හමුදා නායකත්වයට වෙනත් විකල්පයක් තිබුණේ නැත. එක්ලක්ෂ දහසය දහසක් පමණ වූ යුද හමුදා පිරිස් බලය 205,000 දක්වා වේගයෙන් වැඩිකිරීම 2006-2009 කාලය තුළ සිදු කළේ භූමියේ අවශ්‍යතා සපුරා ගැනීමටය.
එදා රටේ තිබූ තත්ත්වය අද සමස්තයක් ලෙස ජනතාවට මතක නැත. ත්‍රස්තවාදයට එරෙහිව 2006 අගෝස්තු අවසානයේදී මාසයේදී ආරම්භ කළ ඒකාබද්ධ මෙහෙයුම 2006 සැප්තැම්බර් මාසයේ පළමුවන සතියේදී සාම්පූර් ජයග්‍රහණය කිරීමෙන් ලෝකයට පණිවිඩයක් දුන්නේය. සාම්පූර් ප්‍රදේශයට යාබද කට්ටපරිච්චාන් සහ තොප්පුර් ද හමුදා අණසකට යටත් විය. කොටි සංවිධානය චකිතයට පත්විය. ත්‍රස්තවාදී නායකත්වය තිගැස්සුණ බවට පැහැදිලි වූයේ හමුදා මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් තම සංවිධානය නෝර්වේ අධීක්ෂණය කළ 2002 අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වන බවට ආණ්ඩුවට අනතුරු ඇඟවූ නිසාය. ආණ්ඩුවට එම තර්ජනය නොසලකා හැරියේය. නැවත ආපසු හැරීමක් නොවීය. වසර දෙකක් සහ මාස 10 ක් නොනවතින ඒකාබද්ධ මෙහෙයුමක අවසානයේ 2009 මැයි 18 වැනි දින ශ්‍රී ලංකාවේ මුළු භූමිය නැවතත් ආණ්ඩුව යටතට පත් කිරීමට ඒකාබද්ධ හමුදා සමත් විය. ඒ වසර 17 පෙරය. රට සමරන්නේ 16 වැනි විජයග්‍රහණයේ සැමරුමය.
ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුදාව සමග සිදු වූ ගැටුමකදී නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී මරණයට පත්වූයේ ශ්‍රී ලංකාවේ මුළු භුමිය නැවතත් ආණ්ඩුව යටතට පත් කළ දිනට පසුදිනය. පසුගියදා පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ උතුරේ කණ්ඩායම තමන් මැතිවරණය ජය ගැනීමෙන් පසුව ප්‍රභාකරන්ට ලෝකඩ ප්‍රතිමාවක් සහ ඔහු වෙනුවෙන් අනුස්මරණ ශාලාවක් ඉදිකිරීමට පොරොන්දු විය. නමුත් එම පොරොන්දුව නොසලකා ද්‍රවිඩ ඡන්දය ආකර්ෂණය වූයේ කවදත් කොටි ත්‍රස්තවාදය සමග සිටි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයටයි. පළාත් පාලන ආයතන 58 කට තරඟ කළ එම පක්ෂයට ආයතන 40 හිමිවිය. ත්‍රස්තවාදය පරාජය කිරීම සමරන මෙම අවස්ථාවේදී නැවතත් ද්‍රවිඩ ප්‍රජාව බෙදුම්වාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂ දෙසට හැරී ඇත.
ත්‍රස්තවාදය පරාජය කිරීම සැමරීමට විශේෂ හමුදා පෙළපාලියක් පැවැත්වීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියමයෙන් 2009 ආරම්භ විය. යහපාලන නායක දේපළ-ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 දී එය නවත්වා දැමුවේය. ඒ එවැනි පෙළපාලියක් පැවැත්වීම ද්‍රවිඩ ජනතාවට වේදනාවක් ඇති කරන බවත් බටහිර ප්‍රජාව අසතුටට පත්වන බවත් අවධාරණය කරමිනි. නමුත් උතුරේ සහ නැගෙනහිර මෙන්ම කඳුකරයේ ද ද්‍රවිඩ කතාකරන ජනතාව 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තරග කළ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් එවකට ජෙනරාල් සරත් ෆොන්සේකාව ඉහළින්ම දිනවූ බව ඔවුන්ට අමතක විය. නමුත් ෆොන්සේකා ජනාධිපතිවරණය ඡන්ද මිලියන 1.8 කින් පරාජය විය. ත්‍රස්තවාදය පරාජය කිරීමට දැඩි කැපවීමකින් හමුදාවට නායකත්වය දුන් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු 80 දශකයේදී ත්‍රස්තවාදය යෙදුන ද්‍රවිඩ කණ්ඩායම්/පක්ෂවල සහයෝගය ලබා ගැනීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් විය. ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කණ්ඩායම දෙකඩ වීම විනාශකාරී තත්ත්වයක් ඇති කළේය. නමුත් රාජපක්ෂ රජය 2010 පෙබරවාරි මාසයේදී විශ්‍රාමික ජෙනරාල් ෆොන්සේකා අපරාධකාරයකු ලෙස අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදය පරාජය කළ සමස්ත යුද-ගුවන්-නාවික හමුදාවන්ට කළ අපහාසයකි. කිසිසේත්ම නොවිය යුතුව තිබිණි. අත්අඩංගුවට පත්වූ/යටත්වූ ත්‍රස්තවාදීන්ට වෙඩි තැබීමට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස 58 වැනි සේනාංකයට නියෝග දුන් බවට 2010 ජනාධිපතිවරණය ඉලක්ක කර කළ ප්‍රකාශය ද ත්‍රස්තවාදය පරාජය කළ සටනට, රටට දැඩි හානියක් කළේය.
ප්‍රභාකරන් හමුදාවට කොටු වීමට දින හයකට පෙර එනම් 2009 මැයි 14 වැනි දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට වැල්ලවත්තේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක හත්වන මහලෙහි සඟවා තිබූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පාවිච්චි කරන පුපුරන ද්‍රව්‍ය පුරවන ලද ජැකට් හතරක් සොයාගැනීමට රාජ්‍ය බුද්ධි සේවය සමත් විය.
මෙම පුපුරන ද්‍රව්‍ය පුරවන ලද ජැකට් හතරක් සොයාගැනීමට හැකිවූයේ රාජ්‍ය බුද්ධි සේවය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉහළ වටිනාකමක් ඇති ඉලක්ක සපුරා ගැනීමට කිලිනොච්චියේ විශේෂ පුහුණුවක් ලැබූ ත්‍රස්තවාදියකු ලබා දුන් තොරතුරකට අනුවය. රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ත්‍රස්තවාදීන් පළමුවෙන්ම 2008 දෙසැම්බර් මාසයේ 20 වැනි දින දියතලාවේ පැවැත්වූ හමුදා නිලධාරීන්ගේ විසිර යෑමේ පෙළපාලියකදී උත්සාහ කර ඇත. ඒ එතුමා ප්‍රධාන අමුත්තා වශයෙන් ඊට සහභාගී වූ අවස්ථාවේදීය. එම මිනීමරු ව්‍යායාමය ක්‍රියාත්මක කිරීමට යුද හමුදා නිලධාරියකු ද කොටි ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ වූ බවට විමර්ෂකයින් විසින් අදාළ අධිකරණයට වාර්තා කර ඇත.
ත්‍රස්තවාදීන් තම දෙවන උත්සාහය 2009 මාර්තු 09 වැනි දින කළේය. ඒ අකුරැස්සේ ගොඩකපිටිය පැවැත්වූ මුස්ලිම් ආගමික උත්සවයකට එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැති ඇමැතිවරුන් බැලීමට දකුණේ රෝහලකට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබිණි.
රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ත්‍රස්තවාදීන් තුන්වන සහ අවසාන උත්සාහය ගනු ලැබුවේ දැයට කිරුළ ප්‍රදර්ශනයට සහභාගිවීමට ඔහු 2009 අප්‍රේල් 04 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවට පැමිණි අවස්ථාවේදීය. එහි හතරවන ගේට්ටුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරු ඇතුළු කිරීමට හමුදා නිලධාරියකු කළ උත්සාහය එහි සිටි උසස් පොලිස් නිලධාරියකු ව්‍යර්ථ කළේය. දියතලාවේ ප්‍රහාරයට සම්බන්ධ වූයේ ද එම හමුදා නිලධාරියාමය. ඔහු අත්අඩංගුවට පත්විය.
වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නියෝග මත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කළේය. ඒ 1993 මැයි දිනය. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2001 දෙසැම්බර් 18 ඇයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් නමුත් ඇසක් අහිමි විය. එජාපයේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක ඝාතනය කළේ 1994 ඔක්තෝබර් 23 වැනි දිනය. මේ ප්‍රභාකරන්ගේ අවශ්‍යතාවය මත කළ ඝාතන කීපයක් පමණි.
එවැනි ත්‍රස්තවාදියකුගේ ලෝකඩ ප්‍රතිමාවක් සහ ඔහු වෙනුවෙන් අනුස්මරණ ශාලාවක් වැල්වැටිතුරේ ඉදිකිරීමට ජාතික ජන බලවේගයේ උතුරේ ශාඛාව දුන් පොරොන්දුව නොසලකා උතුරේ සහ නැගෙනහිර ජනතාව නැවතත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන මැතිවරණයේදී තෝරාගෙන ඇත. රටට නැවත අනතුරු ඇඟවීමක් කර ඇත. කොටි ත්‍රස්තවාදය එල්ල කළ පන්නයේ හමුදා/ත්‍රස්තවාදී තර්ජනයක් එල්ල කිරීමට ඔවුන්ට නැවතත් නොහැකිය. නමුත් ද්‍රවිඩ ඡන්දයට කෙළ හලන කැනඩාව සහ යුරෝපීය රටවල් විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍ය බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීම, ඒ හරහා ත්‍රස්තවාදයෙන් ලබා ගත නොහැකිවූ ස්වයං අයිතිය ලබා ගැනීමේ ක්‍රියාදාමය ශක්තිමත් කරනු ඇත.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ