උලාජ් නම් හින්දි භාෂිත චිත්‍රපටය පසුගිය අගෝස්තු 02 සිට ඉන්දීය සිනමා ශාලාවල්හදී ද ප්‍රමුඛ ඩිජිටල් ප්ලැට්ෆෝම් තුළින් ද ප්‍රදර්ශනය අරඹා තිබෙනවා. සුධාන්ෂු සරියාගේ සමතිර රචනයක් හා අධ්‍යක්ෂණයක් වූ උලාජ් සංවාදයට ලක්විය යුතු චිත්‍රපටයක් ලෙස අපට සැලකිය හැකියි. 2015 දී තිරගත කළ ‘ලව්’ (Loev) ඔහුගේ ප්‍රථම චිත්‍රපටයයි. මිතුරන් දෙදෙනකුගේ සංවේදී ලිංගික සම්බන්ධතාවක් පිළිබඳ කතා කරන එම චිත්‍රපටය විචාරක අවධානයට ලක් වූවකි. ඔහු එම චිත්‍රපටය නාමකරණය කරන්නේ Love ලෙස නොව, Loev ලෙසයි. ඉන්පසුව ‘සනා’ නමින් 2023 දී තම දෙවන චිත්‍රපටය තිරගත කරන සුධාන්ෂු 2024 දී සිය තුන්වන චිත්‍රපටය ලෙස උලාජ් (පැටලීම) නිර්මාණය කොට තිබෙනවා.

උලාජ් චිත්‍රපටයෙහි සුධාන්ෂු කතා කරන්නේ ඉන්දීය විදේශ තානාපති සේවයේ නියෝජ්‍ය කොමසාරිස්වරියක් පැටලෙන දරුණු අවුලක් පිළිබඳවයි. මේ චිත්‍රපටය අපට ද වැදගත් වන්නේ අපේ රටේ ද විදෙස් තානාපති සේවය සඳහා පත්කොට යවා ඇති ඥාති හිතමිත්‍රාදීන් වූ සුදුසුකම් නොමැති ඇතැම් නිලධාරීන් පිළිබඳව හෙළිදරව්වක් මෑතකදී සිදු වූ සහ එම නිලධාරීන් නැවත කැඳවීමට නව රජය තීරණය කොට ඇති තත්ත්වයක් යටතේය. එසේම චිත්‍රපටය ආරම්භයේදීම අපේ රට ගැනත් සඳහන් වෙනවා. නමුත් ඒ සුබවාදී ලෙස නොවෙයි. නේපාල විදේශ ඇමැතිවරයා හා ඉන්දීය තානාපතිවරයා අතර වූ හමුවකදී තානාපතිවරයා “හම්බන්තොට වරාය ගනුදෙනුවේදීත්, චීනය කළේ මේ දේමයි”යනුවෙන් පවසනවා. මේ කතාබහ ඇතිවන්නේ නේපාලය හා චීනය අතර ඇති වන්නට යන කිසියම් ගිවිසුමක් පිළිබඳව බව අපට හැඟෙනවා. තානාපතිවරයා, චීනය ශ්‍රී ලංකාවට ණය රහිත ආධාර දීමට පටන්ගත් බවත් පවසා,“ඔබ දන්නවනෙ ශ්‍රී ලංකාවට මොකක්ද වුණ තත්ත්වය කියලා”යනුවෙන් පවසනවා. අප මෝඩ ලෙස චීන උගුලේ සිර වී ඇති බව ඔහු පවසන්නේ එලෙසයි. නේපාල අමාත්‍යවරයා එවිට පවසන්නේ නේපාලය යනු ශ්‍රී ලංකාව නොවන බවයි. ඔහු වෙන වචනවලින් කියන්නේ නේපාලය, ශ්‍රී ලංකාව මෙන් මෝඩ නොවන බවයි අපට හැඟෙන්නේ.

උලාජ් චිත්‍රපටයට පාදක වන්නේ ඉන්දියානු කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික පවුලකට අයත් සුහානා භාතියා (ජාන්වී කපූර්) මහා බ්‍රිතාන්‍යයේ ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස්වරිය ලෙස පත්ව යෑමෙන් පසු එහිදී අනුවණ ලෙස ආදර උගුලක පැටලීම හේතුවෙන් මුළු ඉන්දියාවම අනතුරේ වැටෙන්නට ආසන්නව තිබියදී ඉන් ගැලවී වීරවරියක් බවට පත් වූ කතාවයි.

සුහානා යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිතයා ලෙස පත්වන්නට නියමිත කීර්තිමත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ ධනරාජ් භාතියාගේ දියණියයි. ඇය එක්සත් රාජධානියේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ලෙස පත්වීමක් ලබනවා. තම ධුරය භාර ගැනීමට එක්සත් රාජධානියට යන සුහානා රැගෙන යෑමට ගුවන් තොටුපළට පැමිණෙන්නේ ඇයගේ නිල රියැදුරු වූ ෂලීම් වැඩිහිටි පුද්ගලයකු වන ඔහු මෙම තරුණ නියෝජ්‍ය කොමසාරිස්වරියට දියණියකට මෙන් ආදරය දක්වන බව අපට පෙනෙනවා. මේ අතර පකිස්තානයේ අභිනවයෙන් පත්වන නව අගමැතිවරයා ඉන්දියාව හා මිත්‍ර ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන බව ප්‍රකාශ කරන අතර ඔහු එය තහවුරු කරන්නේ ඉන්දියාවට අවශ්‍ය කර තිබෙන දරුණු ත්‍රස්තවාදියකු වූ තම රටෙහි රැකවරණයේ සිටින යසීන් මිර්සා ඉන්දියාවට භාර දීමට එකඟ වීමෙන්. එම සුහදතාවයේ දිගුවක් ලෙස ඉන්දියාවේ නිදහස් දිනයට සහභාගි වන ලෙස පකිස්තානයේ නව අගමැතිවරයාට ආරාධනා කරන්නේ ඉන්දියාවේ විදේශ ඇමතිවරයා වන මනෝහර් රාවල්.

මේ අතර ලන්ඩනයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන ඉන්දීය රෝ ඔත්තු සේවයේ නිලධාරීන් අතර සෙබින් (රොෂාන් මැතිව්) නම් නිලධාරියාට සොහානා ගැන තිබෙන්නේ හොඳ හැඟීමක් නොවෙයි. මෙතරම් ළා බාල වයසින් නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙස පත්වීමක් ලබන්නේ දේශපාලන හෝ වෙනත් සබඳතා නිසා බව ඔහුගේ අදහස වන අතර හැකි සෑම අවස්ථාවකදීම තමන් ඇය ගණන් නොගන්නා බව අඟවනවා. මේ අතර ලන්ඩනයේ එක්තරා සාදයකදී සුහානාට නකුල් නම් සූපවේදියකු හඳුනාගැනීමට ලැබෙනවා. මේ සබඳතාව ඉක්මණින් වර්ධනය වන අතර සුහානා ඔහු තමා ජීවත් වන මහල් නිවාසයට ද කැඳවා ගොස් කායික සම්බන්ධයන් පැවැත්වීම තරම් දුර දිග යනවා. සුහානා තම වගකීම් සහිත වැදගත් ධුරයට තරම් නොවන සේ බොළඳ ලෙස ආදර උගුලක පැටලෙන්නේ එසේය. ඉන් පසු එක් කායික සම්බන්ධතා අවස්ථාවක වීඩියෝවක් සුහානාට පෙන්වන නකුල්, ඉන්දියාව හා එක්සත් රාජධානිය අත්සන් කළ නව බලශක්ති ගනුදෙනුවක තොරතුරු තමාට ලබාදෙන ලෙසත් නැතහොත් වීඩියෝව ප්‍රසිද්ධ කරන බවටත් තර්ජනය කරනවා. එම වීඩියෝව ප්‍රසිද්ධ වුවහොත් තමන්ට මෙන්ම ඉන්දියාවට ද මුහුණ පාන්නට සිදුවන මහත් අපකීර්තිය ගැන සිහි වන සුහානාට සිදු වන්නේ එම තර්ජනයට යටත් වීමට. එය ඉන් අවසන් වේ යැයි සිතුව ද නකුල් ඇයව දිගටම බ්ලැක්මේල් කරන්නට පටන් ගන්නවා. ඔහු පවසන්නේ තමන් ISI නියෝජිතයකු බව සහ මෙය තම රැකියාව බවයි. ඔහුගෙන් ගැලවිය නොහැකි තැන සුහානා දිවි නසා ගැනීමට තීරණය කරනවා. එහෙත් තම පියාගෙන් එන දුරකතන ඇමතුමක් හේතුවෙන් ඇය එම අදහස වෙනස් කොට මේ පුද්ගලයා හඹා යෑමට තීරණය කරනවා. එහිදී ඇයට දැනගන්නට ලැබෙන්නේ තම රියැදුරු ලෙස සේවය කරන තමන් පියකු සේ සැලකූ පුද්ගලයා වූ ෂලීම් ද ISI නියෝජිතයකු බවත් නකුල් මේ සියල්ල කරන්නේ ඔහු සමග එකතුව බවත්ය. ඔහු සොයායන සුහානා සමග ඇති වන ගැටුමකදී ෂලීම් මරණයට පත්වෙනවා. මෙහදී එතැනට පැමිණෙන සෙබින් සමග සිදුව ඇති සියල්ල පවසන සුහානා එතැන් පටන් ඔහු සමග එකතු වන්නේ මෙම කුමන්ත්‍රණය පසුපස හඹා යෑමට.

චිත්‍රපටයේ මෙතැන් සිට දිග හැරෙනුයේ ඉන්දියාවේ නිදහස් උත්සවයට පැමිණෙන පකිස්තාන අගමැතිවරයා ඝාතනය කිරීමට ඉන්දීය විදේශ ඇමතිවරයා හා රෝ ඔත්තු සේවයේ ඉහළ නිලධාරියකු හා එක්ව සැලසුම් කළ කුමන්ත්‍රණය හෙළි කර ගැනීම සහ සුහානා හා සෙබින් එක්ව එය වළක්වා ස්නයිෆර් ප්‍රහාරයකින් එම ඝාතනය කිරීමට යොදා සිටි නකුල් සුහානා අතින් මියයෑමේ කතාවයි. චිත්‍රපටය අවසාන වන්නේ ඉන්දියාවට මහත් අපකීර්තියක් අත්කර දීමට නියමිතව හුන් සුහානා යුද්ධයක් ඇති වීමට තරම් හේතුවක් වූ පකිස්තාන අගමැති ඝාතනය වළක්වා ඉන්දියාව මහත් ව්‍යසනයකින් ගලවා ගත් වීරවරියක් ලෙස ගෞරවයට පාත්‍ර වීමෙන්. මේ කතාව කීම සඳහා අධ්‍යක්ෂවරයා ප්‍රශස්ත තිර රචනයක් උපයෝගී කරගත්ත ද කතාව ගැට ගසාගනු පිණිස අභව්‍ය හා අවිශ්වාසනීය සිද්ධි කිහිපයක් ද අමුණා ඇති බව පෙනී යන්නක්.

උදාහරණ ස්වල්පයක් පෙන්වතොත් සුහානා ගැන සැක කරන ජේකබ් නම් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ රෝ නිලධාරියා සුහානාගේ නිවස්නය තුළට පැමිණ ඇය අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී නකුල් හා ෂලීම් එක්ව ස්නයිෆර් ප්‍රහාරයක් මගින් ඔහු මරා දමනවා. ඊට පසුවදාම ජේකබ්ගේ මරණය පිළිබඳ පරීක්ෂණය සුහානා වෙත භාර දෙන්නට පැමිණෙන රෝ නිලධාරීන් ස්නයිෆර් ප්‍රහාරයෙන් සොහානාගේ නිවස්නයේ වීදුරු ආවරණය හිල් වී ඇති අන්දම දකින්නේ නැහැ. එසේ පැමිණෙන නිලධාරීන් දෙදෙනා අතර සිටින කමත්නම් නිලධාරියා (චිත්‍රපටයේ අගභාගයේ හෙළි වන පරිදි) මේ කුමන්ත්‍රණය ගැන දැන සිටියා යැයි තර්ක කළ හැකි වුවද එම අවස්ථාවේදී ඒ පිළිබඳව ඉඟියක්වත් ප්‍රේක්ෂකයාට අඟවන්නට අධ්‍යක්ෂවරයා සිතන්නේ නැහැ. එසේම ඉන්දියාවට වීසා ලබාගත් නකුල් පසුපස පාරවල් දිගේ ගොඩනැඟිලි අතරින් බොහෝ දුරක් ලුහුබඳින සුහානාව මෙතරම් සැලසුම්සහගත ලෙස හා සූක්ෂම ලෙස වැඩ කරන ISI ඔත්තුකරුවකු වූ නකුල් නොදැකීමයි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සිට සුහානාගේ රියැදුරු හමුවීමට රහසේ යන නකුල් කිසිදුවිටෙක තමන් ගැන පරීක්ෂාවෙන් සිටින සුහානා හෝ වෙනත් කවුරුන් හෝ තමන් ලුහුබඳින්නේ දැයි ආපසු හැරී බලන්නට නොසිතන්නේ ඇයි දැයි අපට ප්‍රශ්නයක්. එහදී කොෆී ෂොප් එකක ෂලීම් හමුවන නකුල් එතැනට සමීප වීදුරුවට එහා පැත්තේ ඇවිදිමින් ජංගම දුරකතනයෙන් පින්තූර ගන්නා හෝ අනතුරුව එළියට එන ෂලීම් ද නකුල් ද එතැන නැවතී කතාබහ කරන අතර පෙනෙන තෙක් මානයේ සිටින හෝ සුහානාව දකින්නේ නැහැ. එසේම පකිස්තාන අගමැතිවරයා ඉන්දීය නිදහස් උත්සවයට පැමිණි අවස්ථාවේ එම ආරක්ෂිත කලාපය තුළ පකිස්තාන අගමැතිවරයා සමීපයට ම යන සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු සෙබින් වළක්වන්නට හෝ ප්‍රශ්න කරන්නට කිසිදු ආරක්ෂක නිලධාරියෙක් සිතන්නේ නැහැ.

හින්දි සිනමාවේ අප බොහෝවිට දකින මෙම අතේ පත්තු වන ඇමිණීම්වලින් මිදෙන්නට, බරපතළ දේශපාලන ගැටලුවක් ගැන කියන සුධන්ෂු සරියාට ද නොහැකිවන්නේ ඇයිදැයි පුදුමයක්. රෝ සංවිධානයේ උසස් නිලධාරියකු ද ඉන්දීය විදේශ ඇමතිවරයා ද පකිස්තාන රජයේ ඉහළ නිලධාරියකු ද ISI සංවිධානය ද සම්බන්ධ වන හා ඉතා සූක්ෂමව සැලසුම් කළ මේ කුමන්ත්‍රණය ඉතා සංකීර්ණ එකක් බව අපට හැඟෙනවා. ඉන්දීය විදේශ ඇමතිවරයාගේ බරපතළ රහස් ප්‍රමාණයක් හෙළි වන්නට හේතු වන ත්‍රස්තවාදී යසීන් ඉන්දියාවට ගෙන්වීම වැළැක්වීම පිණිස පකිස්තාන අගමැතිවරයා ඉන්දීය නිදහස් උත්සවයට කැඳවා ඝාතනය කොට ඉන් ඉන්දියාව හා පකිස්තානය අතර මිත්‍රත්වය බිඳ දමා යුද්ධයකට ඇද දමන කුමන්ත්‍රණයේම කොටසක් ලෙස සුහානා නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස එංගලන්තයට පත් කොට හැරීම හා මේ ආදර උගුල මගින් ඉන්දියාව ලෝකය තුළ මහත් අපකීර්තියකට පත් කිරීම දක්වා වූ ඉතා සංකීර්ණ කතා පුවතක් ඇතුළත් තිර රචනයකින් සමන්විත චිත්‍රපටය කතාවෙහි වැදගත් සංධිස්ථානයන් අමුණා ගන්නට අතිශය අභව්‍ය හා අවිශ්වාසනීය අවස්ථාවන් නිර්මාණය කරන අයුරු දක්නට ලැබීම පුදුමයක්. ගද්දාරි (ද්‍රෝහිකම) සහ වෆාදාරි (දේශප්‍රේමය) යන සංකල්ප ධනපතියන් විසින් අටවන ලද උගුල් බවත්, ජාතික දේශ සීමා යනු වැලි මත ඇඳි ඉරි පමණක් බවත් නකුල් වරෙක ප්‍රකාශ කරනවා. චිත්‍රපටය එම ප්‍රකාශය මත කේන්ද්‍රගත වන බව අධ්‍යක්ෂවරයා අපට නොකියන නමුත් මෙවැනි දෙබස් ඛණ්ඩ සාමාන්‍යයෙන් බොලිවුඩ් චිත්‍රපට තුළින් නොපැමිණෙන අදහස්.

චිත්‍රපටයේ දෙවන අඩ ලෙස සැලකිය හැකි සුහානා, නකුල් පසුපස හඹා යෑමෙන් ඇරඹෙන වීර කතාව අප මොහොතකට අමතක කළහොත් එතැන් දක්වා සුහානා මෙම කුමන්ත්‍රණයේ ගොදුරක් බවට පත්වීම හා ඇගේ පීඩනය ගොඩනඟා ඇති අයුරු විශිෂ්ට ය. උල්ජා චිත්‍රපටය අපට ද වැදගත් වන්නේ නොයෙකුත් දේශපාලන සබඳතා හේතුවෙන් පත්වන නොසුදුසු විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නිසා රටක් පත්වන්නට හැකි අනතුර කෙතෙක්ද යන්න මෙහි මනා ලෙස නිරූපණය වන නිසාවෙනි. චිත්‍රපටයේ දෙවන අඩ මගින් සුහානා වීරවරියක් කළද ඇය පහසුවෙන් අසුවෙන උගුල මගින් චිත්‍රපටය අපට පවසන්නේ රටකට අවශ්‍ය වන්නේ පරිණත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මිස බොළඳ දේශපාලන ඥාතීන් නොවන බවය. “මට සමාවෙන්න මේ දේ සිද්ධ වුණේ මගේ බොළඳකම නිසා” යනුවෙන් සුහානා අන්තිමේදී තම පියාට පවසන දෙබසින් අධ්‍යක්ෂවරයා අපට කියන්නේ එම කාරණාවයි.

චිත්‍රපටයෙහි ජවය පවත්වා ගන්නට සුහානාගේ චරිතය නිරූපණය කරන අභාවප්‍රාප්ත ප්‍රවීණ නිළි ශ්‍රී දේවිගේ දියණිය වූ ජාන්වී කපූර්ගේ රංගනය මෙන්ම සබින් ලෙස මලයාලම් නළු රොෂාන් මැතිව් ද නකුල් ලෙස රඟන ගුල්ෂාන් දේවයියා ද ඉටු කරන මෙහෙය ඉමහත්ය.

● නිමල් ෆ්‍රැන්සිස්


advertistmentadvertistment