සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අප්‍රේල් 09 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුව අත්අඩංගුවට ගත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාව පැහැරගැනීමේ සිදුවීමට අදාළවය. එහෙත්, පිල්ලෙයාන් රඳවා තබාගැනීමට ආණ්ඩුව මෙරට පවතින නීති සියල්ල මඟහැර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගත්තේය. ත්‍රස්ත පනත යටතේ පුද්ගලයන් රඳවද්දී නියෝගයට අත්සන් කරන්නේ දේශපාලනඥයෙකි. ආරක්ෂක අමාත්‍යවරයාය. මේ සිදුවීම වන වකවානුවේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම ආරක්ෂක ඇමැතිවරයා වේ. ඒ පනතෙන් කෙනෙක් රඳවන්නට අධිකරණමය කරුණු හෝ සාක්ෂි අවශ්‍ය නැත.

එතැන් සිට මේ දක්වා පිල්ලෙයාන් කතාන්දරය රටේ ආන්දෝලනාත්මකම සිදුවීම බවට පත්ව තිබේ. එක් පැත්තකින් ජාතිකවාදී කඳවුරේ ප්‍රබල නායකයෙක් වූ උදය ගම්මන්පිල මහතා පිල්ලෙයාන් හමුවීමට යෑම විශාල ආන්දෝලනයකට ලක් විය. ඔහු තමන්ගේ ගමන සාධාරණීකරණය කිරීම පිණිස දීර්ඝ අදහස් දැක්වීමක් කළේය. ඒ අතරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් දුරකථනයෙන් පිල්ලෙයාන් ඇමතීමට උත්සාහ ගත් බව වාර්තා විය. එයට අදාළව රනිල් වික්‍රමසිංහ පිළිබඳ විමර්ශනයක් කිරීමට නියමිත විය. මේ සියල්ල රටේ ප්‍රධාන මාතෘකාව බවට පිල්ලෙයාන් පත් කිරීමට හේතු විය. ගම්මන්පිල පමණක් නොවේ, මේ වෙද්දී සැලකිය යුතු පිරිසක් තර්ක කරමින් ඉන්නේ පිල්ලෙයාන් දේශප්‍රේමියෙකු බවත්, යුද්ධය අවසන් කිරීමට පිල්ලෙයාන්ගේ උදව් හේතු වූ බවත්, ආණ්ඩුව ඔහුව සාක්ෂි නැතිකම නිසා ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින බවත්, එසේ කරන්නේ පිල්ලෙයාන් යුද්ධය අවසන් කිරීමට දායක වූ නිසා පළිගැනීමේ අරමුණෙන් බවත්ය.

එම නිසා අප කතාව පටන්ගත යුත්තේ පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගැනීමට පාදක වූ අපරාධ ක්‍රියාවෙන් නොවේ. ගම්මන්පිල පිල්ලෙයාන් හමුවීමට අදාළව සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළ ලෙහාගැනීමෙනි. පිල්ලෙයාන් යනු කවුද? පිල්ලෙයාන් රඳවා තබාගැනීම අසාධාරණ ද යනාදී කරුණු රැසක් එයට සමගාමීව කතා කරන්නට සිදු වේ.

ගම්මන්පිල හමුවීම

නීතිඥයෙකු මෙන්ම පිවිතුරු හෙළ උරුමයේ නායකයා ද වන උදය ප්‍රභාත් ගම්මන්පිල පිල්ලෙයාන් හමුවීම නීතිඥ රාජකාරියට වඩා දේශපාලන අරමුණු ඇතිව සිදු වූවක් බව කීවොත් කවුරුත් එරෙහි නොවනු ඇත. ඇත්තෙන්ම උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ඉදිරියේදී අධිකරණවල පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටීමට සැලසුම් කර නැත. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබුණේ, පිල්ලෙයාන්ගේ නීතිඥයා නිවාඩුව ගත කරමින් සිටින නිසා, එම කාලය ඇතුළත තමන් නීතිඥයා ලෙස කටයුතු කරන බවයි. ඒ අනුව ඔහු නීතිඥයා ලෙස පෙනී සිටින්නේ පිල්ලෙයාන් සමග කතාබහ කිරීමට පමණි. ඇත්තෙන්ම ඔහු පිල්ලෙයාන් හමුවන්නේ නීතිමය කටයුත්තට වඩා දේශපාලන වුවමනා මත බව ඕනෑ කෙනෙකුට වැටහෙනු ඇත. එහෙත්, එයට වරදක් කිව හැකිද? ත්‍රස්ත පනත දේශපාලන පනතකි. ඒ යටතේ පුද්ගලයන් රඳවන්නේ අපරාධ චෝදනාවක් තහවුරු කරන්නට ඇති කරුණු සලකා බලමින් නොවේ. ත්‍රස්ත පනතෙන් පුද්ගලයෙක් රඳවා තබාගතහොත්, ඒ චෝදනා කතාබහ කළ යුත්තේ දේශපාලන වේදිකාවේය. සාධාරණීකරණය කළ යුත්තේ සමාජ මාධ්‍යවල, මාධ්‍යවල, පුවත්පත්වල, මැතිවරණ රැස්වීම්වලය. එරෙහි විය යුත්තේත් විරෝධතාවලින්, මාධ්‍ය සාකච්ඡාවලින්, පුවත්පත් ලිපිවලින්, සමාජ මාධ්‍ය සටහන්වලින් සහ වීඩියෝවලින්ය. ඒ අනුව, පිල්ලෙයාන්ට මේ වෙලාවේ ගැළපෙනම නීතිඥයා ගම්මන්පිලය.

මේ නීතිඥයා ත්‍රස්ත පනතේදී පුද්ගලයන් රඳවාගැනීම අනුමත කරන හෝ විරුද්ධ වෙන ජූරිය වූ මහජනතාව ඉදිරියට ඇවිත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු කීවේ අප්‍රේල් 16 වැනිදාය. පිල්ලෙයාන් රඳවා තබාගැනීම හරිද නැද්ද යන්න තීන්දු වන්නේ හැඟීම් ඇවිස්සෙන තරමටය. ආණ්ඩුවට පිල්ලෙයාන් රඳවාගෙන ඉන්නට බැරි තරම් සමාජ පීඩනයක් ඉල්ල වුණොත් පිල්ලෙයාන් වීරයකු වනු ඇත. ‘පිල්ලෙයාන් නිදහස් කරනු’ සටන් පාඨයක් වනු ඇත. වසන්ත මුදලිගේ ඇතුළු බොහෝදෙනකු ත්‍රස්ත පනතින් අත්අඩංගුවට ගත් පසු එය සාධාරණීකරණය කළේත් මහා සමාජය ඉදිරියේය. එයට එරෙහි වුණේත් මහා සමාජයයි. නිදහස් කරන්න සිදු වුණේත් ඒ අනුවය. දැන් පිල්ලෙයාන්ට අදාළව සිදුවන්නේත් එයමය.

උදය ගම්මන්පිල මහතා මෙසේ කියා තිබුණි.

“මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා. මා කතා කරන අවස්ථාවේ එතැන පොලිස් නිලධාරින් හතරදෙනකු සියල්ල අසාගෙන හිටියා. එක්කෙනෙක් කියන ඒවා ලියා ගත්තා. සාමාන්‍යයෙන් සැකකරුවකු තමන්ගේ නීතිඥයා සමග කරන සාකච්ඡා රහසිගත විය යුතුයි. ඒ බව මම පෙන්වා දුන්නත් පොලිස් නිලධාරින් එතැන රැඳිලා හිටියා. නමුත් එතැන හිටිය එකෙන් මා කියන දෙයට දැන් සාක්ෂිකරුවන් හතර දෙනෙක්ම ඉන්නවා.

පිල්ලෙයාන් හඬා වැටෙමින් ඇස්වලින් කඳුළු කඩා වැටෙද්දී මට කිව්වා කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න මම ජීවිතය පරදුවට තියලා සටන් කළා. එදා කොටියාගේ පැත්ත අරන් සටන් කරපු සමහරු අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. තව සමහරු සරු ව්‍යාපාරිකයෝ. තවත් සමහරු එන්ජීඕ ප්‍රධානින්. ඒ අය කිසිම ප්‍රශ්නයක් නැතිව සමාජයේ ජීවත් වෙනවා. මම බොරු නඩුවකට රැඳවුම් නියෝග යටතේ අවුරුදු පහක් ඇතුලේ හිටියා. අන්තිමට සාක්ෂි නැතිව නඩුව හකුලා ගත්තා. දැන් ආයෙත් ඇතුළට දැම්මා. රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ කියලා.

සමාජ මාධ්‍යවල ලියන පුංචි දුවලා පුතාලා පිල්ලෙයාන් කියන්නේ කවුද කියලා දන්නේ නෑ. හරි නම් මේ රට කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න ඔහු කළ තීරණාත්මක කාර්යභාරයට ඔහුව ජාතික වීරයකු ලෙස සලකන්න ඕනි. කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා හමුදාව සමග එකතු වුණාට පස්සේ තමයි කොටි සංවිධානයේ අවසානය ආරම්භ වුණේ. කවුද මේ පිල්ලෙයාන්?”

මේ පිල්ලෙයාන්ගේ කතාන්දරය සමාජයට ඉදිරිපත් කරන ඔහුගේ නීතිඥයාය. පිල්ලෙයාන්ට නිදහස් වෙන්නට නම් මුලින් ඔය කතාන්දරය සමාජගත කළ යුතුය. එයින් පසු, ඔවුන්ට සිදුවනු ඇත්තේ පිල්ලෙයාන් වෙනුවෙන් ඉහළ අධිකරණවල මූලික අයිතිවාසිකම් පෙත්සම්, රිට් පෙත්සම් ගොනු කිරීමටය.

පිල්ලෙයාන්ගේ ඉතිහාසය

එක රැයින් ජනප්‍රිය වූ දේශපාලන සුපර්ස්ටාර් පිල්ලෙයාන්

පිල්ලෙයාන් ගැන කියද්දී උදය ගම්මන්පිල පෙන්වාදුන් සරල කරුණු දෙස හැරී බලමු. ඔහු වයස අවුරුදු 14 දී දෙමළ විමුක්ති කොටි සංවිධානයට බැඳී ඇත. පසුකාලීනව ඔහු කරුණා අම්මාන්ගේ රියදුරු වී ඇත. කරුණා පාර්ශ්වය 2003 දී දෙමළ විමුක්ති කොටි සංවිධානයෙන් වෙන් වුණේ එම පාර්ශ්වයේ සිටි හයදහසකට ආසන්න සෙබළුන් සමගය. එයින් පසු රජයේ හමුදාව කරුණා පාර්ශ්වයට පැරාමිලිටරි හෙවත් නිල නොවන මිලිටරි කල්ලියක් ලෙස වැඩ කිරීමට අවසර දී තිබුණි. උදය ගම්මන්පිල එය මෙසේ පැහැදිලි කරයි. එහිදී දීර්ඝ කාලයක් පුරාවට එතෙක් දරුණු ත්‍රස්තවාදීන් වූ කරුණා සහ පිල්ලෙයාන් ඇතුළු අය එක්වරම දක්ෂ සටන්කරුවන් වීමත්, එතෙක් කල් ලේ පිපාසිතයන් දේශප්‍රේමීන් වූ බවත් තේරුම්ගත යුතුය.

“පිල්ලෙයාන් කොටි සංවිධානය අත් හැරලා අපේ හමුදාව එක්ක බෙදුම්වාදයට ත්‍රස්තවාදයට එරෙහිව තමන්ගේ ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් සටන් කරපු සැබෑ දේශප්‍රේමියෙක්.” කෙසේ වෙතත් එකවරම දේශප්‍රේමීන් වුණත් පිල්ලෙයාන් මෙන්ම කරුණා කණ්ඩායම ද එතෙක් කාලයක් ගරිල්ලා සංවිධානයක්ව කටයුතු කළ කොටි සංවිධානයේ පිරිසක්ම බව සිහිතබාගත යුතුය. ඔවුන්ව කිසිදු විගණනයක් නොකරම, ඔවුන්ගේ මතවාද, අදහස් හෝ විශ්වාසයන් පිළිබඳ කිසිදු නිල ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක් ලක් නොකරම හමුදාව හා බුද්ධි අංශ හා සම්බන්ධ කරනු ලැබීය.

“2006 දී පිල්ලෙයාන්ලා හමුදාවත් එක්ක එකතු වෙලා කොටින්ට විරුද්ධව සටන් කරන කොට කොටින් වෙනුවෙන් සටන් කරන්න හිටියේ භූමිය නොදන්න උතුරෙන් පැමිණි ත්‍රස්තවාදින්. ඒ නිසා කොටි ත්‍රස්තවාදය ඉතා පහසුවෙන් නැගෙනහිරින් පරාජය කරන්න අපට පුළුවන් වුණා.” යනුවෙන් උදය ගම්මන්පිල කියයි.

ඒ අනුව ඔහුම පෙන්වාදෙන්නේ පිල්ලෙයාන් කණ්ඩායම 2003 දී කොටි සංවිධානයෙන් වෙන් වූ පසුවත් රජයේ ව්‍යවස්ථානුකූල හමුදාවක් නොවී, සන්නද්ධ කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ බවයි.

ඇත්තෙන්ම මේ වෙද්දී විමර්ශන කරමින් පවතින්නේ මේ සන්නද්ධ කණ්ඩායම විසින් සිදුකළායැයි සැක කරන අපරාධ පිළිබඳවයි. මහාචාර්ය රබීන්ද්‍රනාත් පැහැරගැනීම එයින් එක සිදුවීමකි.

චෝදනාව

පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබුවේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රබීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිටය.

මේ සිදුවීමෙන් අවුරුදු 18ක් ගෙවී ගොස්ය. උදය ගම්මන්පිල නම් කියන්නේ, මේ සිදුවීම සිදු වූ කාලයේ පිල්ලෙයාන් සිටියේ නැඟෙනහිර යුද්ධයේ බවය.

මේ සිදුවීම සිදු වුණේ, කොළඹ 07 විද්‍යා මන්දිරයේ විද්‍යාව පිළිබඳ පැවති සම්මේලනයකට සහභාගී වී සිටියදීය. 2006 දෙසැම්බර් 15 වැනිදා ඔහුව පැහැරගනු ලැබීය. එයට පෙර නැඟෙනහිර විශ්වවිද්‍යාලයේම කලා පීඨයේ පීඨාධිපති කේ. බාලසුකුමාර් මහතා පැහැරගැනීමට ලක් විය. ඒ සැප්තැම්බර් 30 වැනිදාය. පැහැරගත් කණ්ඩායම උපකුලපතිවරයාට ධුරයෙන් ඉවත් වෙන ලෙස තර්ජනය කර තිබුණි. එම තර්ජනය කරුණා පාර්ශ්වයෙන් එල්ල වූ බව එවකට වාර්තා විය.

ඒ අනුව තර්ජන මැද්දේ රාජකාරී කළ නොහැකි නිසා උපකුලපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. එහෙත්, කොමිසම ලියුම භාර නොගෙන, කොළඹ සිට රාජකාරී කරන ලෙස දැනුම් දී තිබුණි. ඒ අනුව මහාචාර්යවරයා දෙහිවල පිහිටි දියණියගේ නිවසේ කාලය ගත කර තිබුණි. ඒ වෙද්දී ඔහුට තර්ජන ඇති බව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දී තිබුණි.

ඔහුව අතුරුදන් කිරීම සිදු වුණේ දෙසැම්බර් 15 වැනිදා විද්‍යා මන්දිරයේ සිට දිවා ආහාරයට පැමිණෙන බව දියණියට කීමෙන් පසුය. ඔහු අවසන් වරට දැක තිබුණේ රියදුරු විසින් 12.30ට පමණය. ඔහු සිටියේ කොළඹ හතේ අධිආරක්ෂිත කලාපයේය. ඔහුගේ ගමනාන්තය වූයේ දෙහිවලය. මෙවැනි කලාපයක පුද්ගලයකු අතුරුදන් කළ හැක්කේ කාටද?

පියා ප්‍රමාද වෙද්දී දුරකථන ඇමතුම් ගත් දියණියට දුරකථනය විසන්ධි වී ඇතැයි දැනගන්නට ලැබුණි. මහාචාර්යවරයා පිළිබඳ රාත්‍රිය වන විට කිසි තොරතුරක් නොමැති විය. ඒ අනුව රාත්‍රී 7 පමණ වෙද්දී දෙහිවල පොලීසියට පැමිණිලි කර තිබුණි. සීඅයිබී 2 225/260 අංකය යටතේ පැමිණිල්ලක් කර තිබේ. එයින් පසු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය. දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර මෙන්ඩිස්ය. එවකට සන්ඩේ ටයිම්ස් වාර්තාවල දැක්වුණේ කරුණා පාර්ශ්වය මෙම අතුරුදන් කිරීම කර ඇතැයි තොරතුරු තිබෙන බවය.

රබීන්ද්‍රනාදත් මහතා මිය යද්දී වයස අවුරුදු 55ක් විය. දියණියන් දෙදෙනකුගේ පියෙකු විය. එයටත් වඩා, 1978 දී කරදියනාරුහි පිහිටි කෘෂිකර්ම අධ්‍යාපන ආයතනයෙන් සේවය ඇරඹූ ඔහු 1980 දී නැගෙනහිර විශ්වවිද්‍යාලය අරඹද්දී එහි ආරම්භක සාමාජිකයකු විය. ඔහු, නැගනහිර පළාතේ ඉහළ මට්ටමේ අධ්‍යාපනික පසුබිමක් හැදීමට දායක වූ විද්වතෙකි. ඔහුගේ දායකත්වයෙන් බිහි වූ විද්‍යාර්ථින් සංඛ්‍යාව මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු ප්‍රමාණය ගැන එවකට ගෝලීය ඇකඩමික ප්‍රජාව සාක්ෂි දැරීය. මේ නිසාම ඔහු අතුරුදන් වීමෙන් පසු දින තුනක් යද්දී නෝර්වීජියානු විශ්වවිද්‍යාලයක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් යොමු කරමින්, අතුරුදන්ව සිටින මහාචාර්යවරයාව සොයාදෙන ලෙස ඉල්ලීමක් කළේය. ඒ වෙද්දී එම නෝර්වීජියනු විශ්වවිද්‍යාලය සමග ඒකබද්ධව නැඟෙනහිර විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක් සකස් කිරීමේ කටයුත්තෙහි ඔහු නිරතව සිට ඇත. ඊට අමතරව, ලොවපුරා විද්වතුන් 67 දෙනෙකු එක්ව නිවේදනයක් පළ කර තිබුණි. එම නිවේදනයෙහි පෙන්වා දී ඇත්තේ මහාචාර්ය රබීන්ද්‍රනාත් ලොව පිළිගත් විද්වතකු බවත්, ඔහු 1980 දී විශ්වවිද්‍යාලය බිහි කිරීමට මෙන්ම 2006 සුනාමි ව්‍යසනයෙන් පසු විශ්වවිද්‍යාලය යළි ගොඩගැනීමට විශාල කාර්යභාරයක් සිදු කළ බවය.

මේ පිළිබඳ ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය 2006 දී නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මහාචාර්ය රබීන්ද්‍රනාත් කොටි සංවිධානයට හිතවත් බවට කටකතා පැතිර තිබුණු නමුත්, පවුලේ උදවිය සහ හිතවතුන් එවැනි කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දී තිබෙන බවය. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ දේශපාලන ගැටුම් තිබුණු බවත්, එම නිසාම විශ්වවිද්‍යාලය තුළ පුද්ගලයන් පැහැරගැනීම සහ තර්ජන යනාදී සිදුවීම් ඒ වෙද්දී සිදුවෙමින් තිබුණ බවත්ය.

“මගේ පුතා අවුරුදු 28ක් තිස්සේ මඩකලපුවේ හිටියා. මඩකලපුවේ කෘෂිකර්මය සංවර්ධනයට විශේෂයෙන් ඔහු වෙහෙස වුණා. මඩකලපුවේ ජනතාවගේ බුද්ධිමය හැකියාවන් මෙන්ම ආර්ථික ශක්තිය වැඩි කිරීම වෙනුවෙන් මගේ පුතා වෙහෙසුණා. ඔහුගේ අතුරුදන්වීම නිස අප සියලුදෙනා ඉන්නේ වේදනාවෙන්. අප ඉල්ලා සිටිනවා ඔහුව නිදහස් කරන ලෙස” යනුවෙන් ඇගේ මව ඉල්ලා තිබුණි.

එහෙත් සංවේදීම ඉල්ලීම කර තිබුණේ, ඔහුගේ බෑණා විසිනි. ඉන්දීය මාධ්‍යයක් සමග අදහස් දක්වමින් එවකට පුහුණු අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු වූ ඔහු ඉල්ලා තිබුණේ “දැනටමත් ඔහුගේ ඉල්ලා අස්වීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දීලා තියෙන්නේ. අපි වැඳලා ඉල්ලනවා ඔහුව නිදහස් කරන්න. ඔහු අස් වූ පසු විශ්වවිද්‍යාලයට සම්බන්ධ කිසි දෙයක් කරන්නේ නැහැ” යනුවෙනි.

2004 වෙද්දී කරුණා පාර්ශ්වය හෙවත් මීට පෙර දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නැඟෙනහිර නායකත්වය කොටි සංවිධානයෙන් ඉවත්ව ගම්මන්පිලගේ භාෂාව අනුව ශ්‍රී ලංකාවේ හමුදාව සහ බුද්ධි අංශ සමග එකතු වී කොටි සංවිධානයට එරෙහිව සටන් කරමින් සිටියේය. එවැනි පසුබිමක එවකට මාධ්‍ය සියලුදෙනා අනුමාන කළේ කොළඹදී මහාචාර්යවරයාව පැහැරගැනීම කරුණා පාර්ශ්වය කළ බව සැක කරන්නට හේතු ඇති බවය.

මේ සිදුවීම්වලින් පසු, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ සිසුන් රැසක් එහි කටයුතු අත්හැර දැමූ බව කියති. රබීන්ද්‍රනාත් පත් වෙද්දී ඔහු ඉදිරියේ තිබුණු අභියෝගය වුණේ සුනාමියෙන් දුර්වල වූ විශ්වවිද්‍යාලය සන්නද්ධ අරගලයක් මැද වර්ධනය කිරීමය. ඔහුත් නැති වූ පසු විශ්වවිද්‍යාලය දුර්වල වූ බව තතු දන්නෝ කියති. එනම්, එදා කවුරුන් හෝ අපරාධකරුවන් කර ඇත්තේ නැගෙනහිර පළාතේ බුද්ධිමය සම්ප්‍රදාය විනාශ කර දැමීමය. යුද්ධයක් එද්දී මුලින් නැති වන්නේ විචාරශීලීත්වයයි.

පිල්ලෙයාන්ට අදාළ විමර්ශනය උක්ත සිදුවීමෙන් එහාට තවත් සිදුවීම් ගණනාවකට විහිද යන බව දැනට ඇති ආරංචිමාර්ග කියයි. එහෙත්, අප විමසිල්ලෙන් බලා සිටිය යුත්තේ එම විමර්ශන පිළිබඳ වාර්තා අධිකරණයකට ඉදිරිපත් වනතුරුය.

ත්‍රස්ත පනත

ආණ්ඩුව පිල්ලෙයාන්ව ත්‍රස්ත පනත යටතේ රඳවාගත් නිසා සම්පූර්ණ විමර්ශනය දැන් දේශපාලනීකරණය වී තිබේ. ත්‍රස්ත පනතේ විසකුරු ස්වභාවයත් එයයි. යම් කෙනෙක් අපරාධයක් කළාද යන්න සොයා බලන්නේ නීතියෙන් නොවේ. අධිකරණමය කරුණුවලින් නොවේ. අධිකරණ මනස මෙහෙයවා තීන්දු ගත යුතු බවට සංකල්පයක් නීතියේ තිබේ. ඒත්, ත්‍රස්ත පනතෙන් තීන්දු ගන්නේ අධිකරණ මනස මෙහෙයවා නොවේ. ත්‍රස්ත පනතෙන් රැඳවුම් නියෝගයක් ලබන කෙනෙකු කෙතරම් කාලයක් ඇතුළේ ඉන්නවාදැයි තීන්දු වන්නේ සමාජයෙන් එයට එරෙහිව කෙතරම් විරෝධයක් නැගෙනවාද කියන එක මතයි. දැන් පිල්ලෙයාන්ට අදාළව ගොඩනගන්නට උත්සාහ කරන්නේ එවැනි විරෝධයකි.

පිල්ලෙයාන් කර ඇති අපරාධ ඔප්පු කිරීමට නම් ත්‍රස්ත පනත වැනි දේශපාලනික නීතියක් නොව, පිල්ලෙයාන් කර ඇති අපරාධවලට අදාළ අපරාධ නීති පාවිච්චි කළ යුතුය. ඔහුව රඳවා තබාගැනීමට නම් ගිනි අවි පනත ඇතුළු ඔහු කළ අපරාධවලට අදාළ නීතිරීති පාවිච්චි කරමින් මහෙස්ත්‍රාත්වරයකුගෙන් බන්ධනාගාරගත කිරීමේ නියෝග ලබාගත යුතුය. අධිකරණ ඉදිරියේ කරුණු ඉදිරිපත් කොට, මහාධිකරණයේ නඩු ගොනු කොට පිල්ලෙයාන්ට අදාළව පියවර ගත යුතුය. එසේ නොමැතිව මෙලෙස රඳවාගෙන සිටීමෙන් ඔහුට එරෙහිව ඇති චෝදනා වෙනුවට තව දේශපාලන වාද විවාද සහ සංදර්ශන රැසක් අපට බලන්න හැකිවනු ඇත.

තරිඳු උඩුවරගෙදර


advertistmentadvertistment