භාරකාරත්වය මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාට ගිහි භාරකාරත්වය දියවඩන නිලමේවරයාට

දළදා කරඬුවෙන් උත්තම මුණි දළදාව පිටතට වැඩිවීමට තිදෙනාම සිටිය යුතු වෙයි

එදා ලංකාවේ රාජ්‍යත්වයට උරුම කියන විට රජු දළදා වහන්සේගේ ආරක්ෂකයා වීම සුවිශේෂී සුදුසුකම විය

මේ මොහොත වන විට මහනුවර නගරය කිරි කඩක් ඇතිරූ සේ සුදුවතින් සැරසුණු ලෝකවාසී ජනයාගෙන් පිරී ඉතිරෙන තැනක් වී තිබේ. බුදුරජාණන් වහන්සේ දෑසින් දැක සැනසීමට අවස්ථාව උදාවීම ඊට එකම හේතුවයි.

දන්ත ධාතුන් වහන්සේ, බුදු රජාණන් වහන්සේගේ මුඛයෙන් දේශනා කොට වදාළ ඉමහත් ගැඹුරු දර්ශනයකින් යුත් සුවාසූදහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ උතුම් වස්තුවකි.

මෙකී දළදා වහන්සේ ජීවමාන බුදු රජාණන් වහන්සේ හා සමානව සැලකීමට බෞද්ධයෝ පුරුදුව සිටිති.

ක්‍රි.ව. 362 දී මේ දළදා වහන්සේ ලංකාවට වැඩම කළ පසු මෙරට තුළ බුදුදහම තව තවත් ප්‍රභාවිත වන්නට විය. ඒ හේතුවෙන් දළදා වහන්සේ මුල් කරගෙන විශාල සංස්කෘතියක් ගොඩනැගෙන්නට වූයේ ඉතා ඉහළ අන්දමිනි. දළදා වහන්සේ මුල් වූ මෙරට ඉතිහාසයට වඩා ඉපැරණි ඉතිහාසයක් දඹදිව සඳහන්ව ඇත.

එදා බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව මල්ල රජ දරුවන්ගේ උයනේදී ආදාහන උත්සවය සිදු විය. ඊට පසු දින මෙකී රජවරුන් හා ද්‍රෝන නම් බමුණා ආදාහනයෙන් අනතුරුව ශේෂ වූ සම්බුද්ධ ධාතුන් වහන්සේලා එක් එක් අයට බෙදූ බව කියැවේ. එහිදී එක් දළදාවක් ශක්‍රයා විසින්ද තවත් එක් දළදාවක් ගන්ධාර දේශයේ රජු විසින්ද ලබා ගෙන පූජා සත්කාර කර ඇත. වාම දන්ත ධාතුන් වහන්සේ ලබා ගත් ඛේම නම් රහතන් වහන්සේ ක්‍රි.පූ. 483 දී කළිගු රට බ්‍රහ්මදත්ත රජු වෙත එය පිරිනැමුවේය. අනතුරුව එකී ධාතුන් වහන්සේ ගුහසීව රජු සමයේ රාජ්‍ය පුද සත්කාර දන්ත කුමරු නමැත්තා විසින් වෙසෙසින් සිදු කර රැක බලාගෙන ඇත.

රජුට එල්ල වුණු සතුරු උවදුරු නිසා දළදා හිමියෝ ආරක්ෂාව පතා ගුහසීව රජු දන්ත කුමරුට හා සිය දියණිය වූ හේමමාලා කුමරියට දළදාව සිරිලකට ගෙන යන ලෙසට උපදෙස් දී තිබේ. රාජකීය ස්වරූපය වෙනස් කර වෙස් වළා ගත් මේ දෙදෙනා හේමමාලා කුමරියගේ සුනිල කේශ කලාපයෙහි දන්ත ධාතුව සඟවා ගෙන ලංකාව බලා නැව් නැග ඇත.

එදා පතල බුදුහිමියෝ මෙදා දැක සැනහෙන්නේ බැතින් රැක ගත් නිසාය

මහ මුහුද මැදදී ශ්‍රී දළදා වහන්සේ අහසට පැන නැගී ප්‍රාතිහාර්ය පෑ බව දළදා වංශය ගැන කියවෙන උසස් සාහිත්‍ය ග්‍රන්ථයක් වන දාඨා වංශයේ විස්තර වෙයි. මෙබඳු වූ දළදා වහන්සේ රැගත් මේ පිරිස අනුරාධපුරයට පැමිණ මේඝගිරි විහාරයට ගොස් එහි විසූ මහ තෙරුන්ට සියලු පුවත් සැල කළේය. ඉන්පසු එවකට ලංකාද්වීපය රජ කරවූ කිත්සිරි මෙවන් රජුට දළදා හිමි භාර කරන ලදී. ධම්මචක්ක ධාතු මන්දිරයෙහි දළදා හිමි තැන්පත් කර රජතුමා එදා සිට මහත් සත්කාර කළේය.

අනතුරුව මෙරට රජ පැමිණි සියලු රජවරුන් විසින් පිළිවෙත් නොසිඳ ඉමහත් ගෞරවාදරයෙන් දළදා වහන්සේට පුද පූජා පවත්වා ඇත.

මේ අතර ක්‍රි.ව. 640 දී සිදු වූ තවත් සුවිශේෂ සිදුවීමක් සඳහන එය උපතිස්ස රජු දවසය. දළදා වහන්සේ සරසවා කරඬුවක තබා ඇතු පිටින් නගරය පුරා පෙරහැරින් වැඩමවද්දී කාලයක් තිස්සේ පැවති මහ නියඟය හමාර කොට මහ වැසි ඇද හැළුණු බව කියැවේ. චූලවංශය මේ සිදු වීම ඉතා මැනවින් විස්තර කරයි. කිත්සිරි මෙවන් රජු දවස සිට සිව්වන මිහිඳු රජ දක්වා මෙපරිද්දෙන් වසර 701ක් අපමණ ගෞරව පුදහාර ලබමින් දළදා හිමි අනුරාධපුර රාජධානියෙහි වැඩ වාසය කළහ.

රටේ ආරක්ෂා තත්ත්වය අයහපත් වීමත් සමග අගනුවර අනුරාධපුරයෙන් පොලොන්නරුවට සංක්‍රමණය විය. මේ හේතුව නිසා දළදා සමිඳුට පොලොන්නරුව රාජධානිය ආරක්ෂිත ස්ථානය බවට පත් වූයේය. වසර 150ක් පමණ පොලොන්නරුවේ වැඩ වාසය කළ දළදා හිමිට කාලිංග මාඝගේ ආක්‍රමණය එල්ල වත්ම යළි ආරක්ෂාවට තර්ජන එල්ල විය. එවිට වාචිසසර නම් වූ හිමි නමක් රැකවරණය සඳහා දළදා හිමිද රැගෙන කොත්මලේ ප්‍රදේශයට පලා ගොස් අප්‍රකට අයුරින් එහි සඟවා තිබුණි. මේ පරිද්දෙන් දශක දෙකක කාලයක් පුරා කිසිම තොරතුරක් නොමැතිව අප්‍රසිද්ධව විසූ දළදා වහන්සේ ක්‍රි.ව.1220 දී රජ පැමිණි වත්හිමි විජයබා බෙලිගල නම් ස්ථානයෙහි දළදා මැඳුරක් කරවා එයට වැඩමවා එහි වඩා හිඳවා ඇත. මෙපරිද්දෙන් සතුරු උවදුරු නිසා රාජධානි යාපහුව, කුරුණෑගල, කෝට්ටේ යන ස්ථාන කරා ගමන් කරද්දී දළදා වහන්සේ ද ඒ අනුව වැඩ වාසය කොට දෙල්ගමුවට ද පැමිණියේය. අවසානයේ අදත් වැඩ සිටින මහනුවර රාජධානියට වැඩම කොට ඇත.

එදා ලංකාවේ රාජ්‍යත්වයට උරුම කියන විට දළදා වහන්සේගේ ආරක්ෂකයා වීම සුවිශේෂී සුදුසුකම් විය. මේ නිසා ඉතා මැනවින් දළදා හිමි ගනිමින් පුද සත්කාර නොපිරි හෙළා ඉටුකරමින් ආරක්ෂා කළ බව දාඨාවංශය නම් ග්‍රන්ථයෙන් පැහැදිලි වේ.

මහනුවර රාජධානියේ ආරම්භකයා වූ පළමුවන විමලධර්මසූරිය රජු අද පවතින දළදා මැදුර අසල ඉදි කළ මැදුරක දළදාව තැන්පත් කළේය, ඉන් අනතුරුව දෙවැනි විමලධර්මසූරිය, නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ නරපතියන් විවිධ අවස්ථාවල දළදා මැදුරේ නව ප්‍රතිසංස්කරණ රාශියක් අද තිබෙන ගෞරවනීය ශ්‍රද්ධාසම්පන්න ආකාරයෙන් දළදා මැදුර ලෙසට නිම වී තිබේ. දළදා වහන්සේ මෙතරම් චිරාත්කාලයක් කිසිම අනතුරක් නොමැතිව අප රටේ වැඩ වාසය කරන්නේ එදා සිටි සිංහල නරපතියන්ගේ දුරදක්නා නුවණ හා අප්‍රතිහත ධෛර්යය නිසාය. ඉතා බැරෑරුම් අවස්ථා කිහිපයකදී සතුරු ආක්‍රමණ එල්ල වුවද ඒ සියල්ල යටපත් වූයේ සිරි දළදා හිමිගේ හාස්කමකට විය යුතුය. මේ සා උතුම් වූ දළදා හිමියන් වටා ගොඩනැගුණු ඓතිහාසික වටිනාකම, සාහිත්‍ය වංශය, පුද පූජා විධි, භාරකාර නිලධාරී මණ්ඩල ශ්‍රේෂ්ඨත්වයෙන් අනූනව අද දක්වාම පවතී.

එදා පතල බුදුහිමියෝ මෙදා දැක සැනහෙන්නේ බැතින් රැක ගත් නිසාය

දළදා වහන්සේගේ භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙතත් දියවඩන නිලමේවරයාටත් පැවරී ඇත.

දියවඩන නිලමේවරයා සලකන්නේ දළදා වහන්සේ ගේ ගිහි භාරකරු ලෙසය. දළදා වහන්සේ වැඩ සිටින කරඬු හතෙන් තුනක යතුරු මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේවරයාගේ භාරයේ පවතී. මේ නිසා දළදා වහන්සේ එම කරඬුවලින් පිටතට වැඩම කරවීමේ දී මෙන්ම ම දළදා දැක්ම පැවැත්වෙන අවස්ථාවේත් නැවත උන්වහන්සේ කරඬු තුළ තැන්පත් කරන අවස්ථාවේදීත් මහනායක හිමිවරු දෙනම සහ දියවඩන නිලමේවරයා සිටිය යුතුය.

මේ වන තෙක් එම පාර්ශ්වයන් තුනෙහි වගකීම් දැරීම ඉතා උසස් අන්දමින් ම සිදු වූ බැවින් දළදා සමිඳුන් අදටත් මහ ජනතාවට දැකබලා ගත හැකි ලෙස ආරක්ෂා වී ඇත.

අවසන් වරට දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබුණේ 2009 වසරේදී ය. සාමාන්‍යයෙන් දළදා දැක්මක් පවත්වන්නේ වසර පහකට පමණ වතාවකි. මේ අනුව 2009 වසරින් පසු නැවත දළදා දැක්මක් පැවැත්විය යුතු ව තිබූයේ 2014 දී ය. නමුත් එම වසර අවසානයේ ජනාධිපතිවරණයක් පිළිබඳ සාකච්ඡාවක් ඇති වී 2015 ජනවාරි මාසයේ දී එම ජනපතිවරණය පැවැත්වීම මත දළදා දැක්මක් පැවැත්වීම පිළිබඳ සාකච්ඡාව ප්‍රමාද විය. තවද අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් අසනීප තත්ත්වයෙන් පසුව එම වසරේ මාර්තු මාසයේ දී අපවත් වීම ද තවත් කරුණක් විය. දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය දරන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් අපවත් වූ විට චාරිත්‍ර අනුව වසරක පමණ කාලයක් යනතෙක් දළදා දැක්මක් පැවැත්විය නොහැකිය. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ මහනායක පදවියට පත් වූ ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමියන් 2017 වසරේ දී අපවත් විය. ඒ අනුව තවත් වසරක් යනතෙක් දළදා දැක්මක් පවත්වන්නට හැකියාවක් නොතිබුණි. මේ අතරවාරයේ 2018 දී පාස්කු ප්‍රහාරය එල්ල විය. ඒ සමග දළදා මාලිගාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් තර්ජනයක් එල්ල විණි. එම පසුබිම තුළ එම වසරේ දී දළදා වන්දනාව සඳහා ජනතාවට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන 2020 දී ජනතාවට දළදා වහන්සේ සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව ලබා දීමට සැලසුම් කර තිබුණ ද නොසිතූ ලෙස පැමිණි කොවිඩ් වසංගතය හේතුවෙන් එම අවස්ථාවත් මග හැරිණි.

එදා පතල බුදුහිමියෝ මෙදා දැක සැනහෙන්නේ බැතින් රැක ගත් නිසාය

කොවිඩ් හේතුවෙන් 2020 මාර්තු මාසයේදී රට වසා දැමිණි. 2023 දී අරගලය මත ආර්ථික අර්බුද ඇති විණි. ඒ සියල්ල මත කාලය ගතවිණි.

දළදා වන්දනාව සඳහා සුදුසුම කාලය දැන් එළඹ තිබෙ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ඒ සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සමග දියවඩන නිලමේ නිලංග දෑල මහතා තීරණය කළ බැවින් ජනතාවට අද එම අවස්ථාව උදාවී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට සිටියේ,

“ශ්‍රී දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකන අපේ බෞද්ධ ජනතාවට වසර දාසයක් වැනි දීර්ඝ කාලයකට පසුව වුවද වන්දනාවට අවස්ථාවක් ලැබීම පිළිබඳ අප සැම සතුටු විය යුතුය. මෙම මහඟු අවස්ථාව ඉතා දුර්ලභ පූජනීය අවස්ථාවක් ලෙස සලකා සිව්දෙසින් පැමිණෙන ජනතාවට සැදැහැසිතින් වන්දනාමාන කර ගැනීමට ලැබේවා යැයි ආශිංසනය කරම්හ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අති පූජනීය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සුදුසු කල බලා ලෝකවාසීන්ට සියැසින් දැක බලා ගෙන වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සැලසීම පැරණි රජ දවස සිට පැවත එන චාරිත්‍රයකි. හතරවන සියවසේදී අනුරාධපුර රාජධානියට වැඩම කළ දන්ත ධාතුන් වහන්සේ පෙර රජ දරුවන් දවස පටන් රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සලකනු ලැබූහ. එකල සිට රැකගෙන ආ දායාදය අදටත් මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට ලැබීම අප හැමගේම භාග්‍යයක් කොට සලකමි.”

දළදා සමිඳුන්ගේ භාරකාරත්වය හිමි මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ දළදා වන්දනාව සම්බන්ධයෙන් ප්‍රකාශ කොට සිටියේ මෙවැන්නෙකි.

“සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශයෙන් පරම පවිත්‍ර වූ වාම ශ්‍රී දළදා වහන්සේගේ ලක්දිවට වැඩම කරවීම ආගමික වශයෙන් පමණක් නොව සංස්කෘතික දේශපාලනික හා සමාජීය වශයෙන් ද ප්‍රබෝධයක් ඇති කළ ඓතිහාසික සංසිද්ධියකි. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයේ පටන් අද්‍යතන යුගය දක්වාම ලංකාවාසී සකල බෞද්ධ ජනයාගේ අසහාය ආධ්‍යාත්මික සංකේතය බවට ශ්‍රී දළදා වහන්සේ පත්ව ඇත.

විවිධ රාශිය බිඳවැටීම් මධ්‍යයේ ගරුතර මහා සංඝරත්නය මෙන්ම රාජරාජ මහාමාත්‍යාදීන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇත.

ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරීත්වය දරමින් මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය හා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ම වර්තමානය දක්වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා චිරාගත පූජා චාරිත්‍රයන් සිදුකරමින් දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවට ඉඩ ප්‍රස්ථාව සපයා දෙනු ලබයි. විවිධ ස්වාභාවික උපද්‍රව අවස්ථාවන්හි ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කොට රටට සෙත ශාන්තිය ලබාගත් ආකාරයේ මෙන්ම සමස්ත මහජනතාව කෙරෙහි රත්නත්‍රයේ ආශිර්වාදය ලබාදීමට කටයුතු ආකාරය ලාංකේය ඉතිහාසය තුළ මහත් උත්කර්ෂයෙන් වර්ණනා කර ඇත.

පිළිවෙතින් සරුව බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන ශ්‍රී දළදා වහන්සේ දැක වන්දනාමාන කර ගනිමින් උභයාර්ථ සාධනයෙහිලා කටයුතු සම්පාදනය කර ගැනීමට අධිෂ්ඨාන කරගන්නා ලෙස සමස්ත මහජනතාව වෙත සිහිපත් කරමින් මෙම උත්කෘෂ්ඨ සම්බුද්ධ පූජාවෙහිලා කටයුතු සම්පාදනය කරන සැමටත්, ලෝකවාසී බෞද්ධ මහජනතාවටත් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය සැලසේවායි ආශිංසනය කරම්හ යනුවෙන් එම නිවේදනයෙහි තවදුරටත් සඳහන් වෙයි.

ගිහි භාරකාරිත්වය ඇති දියවඩන නිලමේ නිලංග දෑල මහතා මේ කාර්ය වෙනුවෙන් ඉමහත් සේවයක් කරමින් සිටී. ඔහු පොදු මහත් ජනතාව වෙනුවෙන් කොතෙක් කැපවී ද යත් ආබාධිත ප්‍රජාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නට ද කටයුතු කර ඇත.

හෙතෙම මෙම පූජෝත්සවය පිළිබඳ මෙසේ කරුණු දැක්විය.

“මහනුවර ශ්‍රී දළදා මැදුරේ වැඩසිටින බුදුන් වහන්සේගේ සුවාසූදහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබුවා වූ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අප කවුරුත් සලකන්නේ ජීවමාන බුදුන් වහන්සේ ලෙසයි. එදා බුදුරජාණන් වහන්සේ උදෙසා සැරියුත් මුගලන් රහතන් වහන්සේලා කළ සත්කාර ඒ ආකාරයෙන්ම තේවාව භාර ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉටු කරනවා. රජු විසින් දළදා වහන්සේ උදෙසා කළ පුද සත්කාර ඒ ආකාරයෙන්ම අඛණ්ඩව පවත්වාගෙන එනවා. ඒ සඳහා නිශ්චිත වෙලාවල් තිබෙනවා. ඒ වෙලාවල් අපේ හිතුමතේට වෙනස් කරන්න බැහැ. සමහර ඒවා රාජ නියෝග. ඒ නිසා දළදා වහන්සේ වන්දනාව පැවැත්වෙන පැය ගණන දීර්ඝ කිරීමේ කිසිම හැකියාවක් නැහැ. පස්වරු 6.00 ට දළදා වහන්සේ නැවත ගන්ධ කුටියට වැඩම කරලා ගිලන්පස පූජා කටයුතු පැවැත්විය යුතුයි. සමහර චාරිත්‍ර දියවඩන නිලමේ වුණත් ගිහියෙක් ලෙස මට බලන්න බැහැ. එහෙත් පැමිණෙන ජන සංඛ්‍යාව සැලකිල්ලට ගෙන දළදා දැක්ම පැවැත්වෙන දින ගණන යම් ආකාරයකට දීර්ඝ කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ සඳහාත් තවම තීරණයක් ගෙන නැහැ.” මේ වන විට දළදා සමිඳුන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පූජෝපහාරයට ලක්වෙති. රොද බැඳ ගනිමින් වන්දනාමාන කර ගැනීමට කැස කන බැතිමතුන්ගේ සිත් සැබැවින්ම නිවී සැනහෙනු ඇත.

සමන්ති වීරසේකර
ඡායාරූප – බුද්ධික.ඩී.රණසිංහ


advertistmentadvertistment