මිනිසුන් ලෙස ලොව ජීවත් වන අපට මේ මහපොළවේ ජීවත්වන ඕනෑම මිනිසකුට අල්පමාත්‍රයක හෝ බලාපොරොත්තු රහිත හැඟීමකින් උදව් උපකාර කළ හැකිද? යමක් දිය හැකිද? එසේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවලින් තොරව උදව් උපකාර කළ හැක්කේ නම් එය උතුම් දානයක් මෙන්ම පාරමිතාවක් ද වන්නේය. නිරාමිස සතුටකින් ඔබේ හදවත පුරවලන්නේය. ඔබ විසින් වැපුරූ සියල්ලෙහිම අස්වනු සියල්ල ඔබ නෙළාගත යුතු ව ඇත. එය ලෝක ධර්මතාවයයි.

එමෙන්ම මිනිසාට තනිව ජීවත් විය නොහැක්කේය. මානව සබඳතා සඳහා ජාතියක් කුලයක් ආගමක් හෝ දේශයක් අදාළ නොවන්නේය. පරෝපාකාරය පිළිබඳ සාකච්ඡා කිරීමේදී පරෝපාකාරය පිළිබඳව ලොව ආදර්ශවත් හා සුවිශේෂීම චරිතය වන්නේ බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ එක් භවයක සුමේධ තවුසාව ඉපිද සිටියදී දීපංකර බුද්ධ පාද මූලයේ දී නිවන් දකින්නට අවස්ථාව තිබියදීත් ලෝකයාගේ යහපත පිණිස බුද්ධත්වය කරා යන ගමන් මග තෝරා ගත්තේය.

එමෙන්ම දේශයක් ජාතියක් ආගමක් නොසලකා ලොව ජීවත්වන්නා වූ මිනිසුන්ට බලාපොරොත්තු රහිතව උපකාර කරන්නන් විරලය.

ඒරොප්පෙන් ඇවිත් අපේ ගම- රට හදන සුදු මහත්තයා

අද අප කියන්නට යන්නේ කිසිදු බලාපොරොත්තුවකින් තොරව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හා ගමක් නඟා සිටුවන්නට තම පෞද්ගලික ධනය හා කාලය කැප කරන එවන් විරල වූ මිනිසුන් අතරින් එක් සුදු මහත්මයෙකි.

ඔහු පසුගිය දින කිහිපයේ ලංකාවේ රැඳී සිටියත් අවාසනාවකට මෙන් නැවත තම මව්බිම කරා ගොස් සිටියේය. එහෙත් ඔහු ගැන හොඳින් දන්නා ඔහුගේ කල්‍යාණ මිත්‍රයෙකු වන සුජීත් වල්පිට මහතා අපට හමුවිය. ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරයකු ලෙස රැකියාවේ නිරත වන සුජීත් වල්පිට මහතා කාර්යබහුල වේලාවකදී වුවද සැබෑ ගුණ සුවඳින් පිරුණු අපූරු චරිතය පිළිබඳව අපත් සමග දොඩමළු විය.

“එයා නෙදර්ලන්ත ජාතිකයෙක්. නම ටෙඩ් වෑන් ෂෙපින්ගන්. මට එයාව හම්බවෙන්නේ 1999 වසරේදි අහම්බෙකින්. ඒ කාලේ මම මාලදිවයිනේ තියෙන තරු පන්තියේ හෝටලයක නිලධාරියකු ලෙස කටයුතු කළා. ඒකෙ තිබුණු ගණන් වැඩිම රෙස්ටෝරන්ට් එකේ මැනේජර් හිටියේ මම. ඔය කාලේ ටෙඩ් මහත්තයා එයාගේ පවුලත් එක්ක ඒ හෝටලයේ සති දෙකක් හිටියා. ඒකෙ සාමාන්‍යයෙන් ලෝකේ තියෙන මිල අධිකම ආහාර වර්ග තියෙන හෝටලයක්. ඒ සති දෙකේම කෑවේ මගේ රෙස්ටෝරන්ට් එකෙන්. ඔය අතරේ අපි කතා කරා එතකොට එයා ලංකාවට ඇවිල්ලා තිබුණේ නෑ. මාත් එක්ක ගොඩක් හිතවත් වුණා. මම ලංකාවට එන්න කියලා ආරාධනා කරනවා. ඒගොල්ලෝ සංචාරය ඉවරවෙලා ගියා. ඊට පස්සේ අපි කාලයක්ම ලිපිවලින් ගනුදෙනු කරා. ඒ කාලේ දැන් වගේ අපිට නවීන පහසුකම් තිබුණේ නෑ. මාස කිහිපයක් මෙහෙම ගත වුණා දෙදහ වසරේ වගේ ලංකාවට ආවා මාත් එක්ක ලංකාව වටේ සංචාරය කළා. එයා ලංකාවේ මිනිස්සුන්ට කැමති වුණා. ඒ වෙනකොට එයා මාත් එක්ක ගොඩක් හිතවත්. එයා මගේ මිත්‍රත්වය ගොඩක් අගය කරා. මම එයාගෙන් කවදාකවත් මුකුත් බලාපොරොත්තු උනේ නෑ. ඒක එයා තේරුම් ගත්තා. පස්සේ නැවත එයා මගේ මංගල උත්සවයට ආවා. ඒ වෙලාවේ මම මංගල උත්සවය හත්සියකට විතර කියලා තිබුණා. ඒකට ටෙඩ් මහත්තයත් ආවා නානාප්‍රකාර මිනිස්සු ගොඩක් හිටියා. ඒ අය ටෙඩ් මහත්තයත් එක්ක සිංහලෙන් කතා කරනවාළ ඉංග්‍රීසියෙන් කතා කරනවා. ළමයි එනවා කතා කරනවා. එයා හරියට සතුටු වුණා. ඒකෙදි අපේ මිනිස්සුන් එයා ගොඩක් තේරුම් ගත්තා. ඒ වගේම අපේ මංගල උත්සවය නිසා අපේ සංස්කෘතිය පිළිබඳ එයාට ගොඩක් ඉගෙනගන්න හම්බ වුණා. අපේ සංස්කෘතියට කොච්චර එයා ආස කරාද කියනව නම් එයා ලංකාවට ඇවිල්ලා සිංහල විදියට එයාගේ මංගල උත්සවය ආයෙ ගත්තා. ඒක අපේ ගෙදර තමයි තිබුණේ. පෝරුවේ චාරිත්‍ර හැම දෙයක්ම ඒ විදිහට කළා. එයාගේ පවුලේ ඉන්නේ දුවයි පුතයි එයාලත් ගුණ යහපත් ළමයි.

ඒරොප්පෙන් ඇවිත් අපේ ගම- රට හදන සුදු මහත්තයා

ටෙඩ් මහත්තයා කළේ ආබාධිතයින් සඳහා ලෝකයේ ඉහළම තාක්ෂණයෙන් යුත් උපකරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්. එයා ඒවා ලෝකයේ නොයෙක් දියුණු රටවලට අපනයනය කළා දැන් නම් ඒ ව්‍යාපාර දරුවන්ට පවරලා තියෙන්නේ.

ඔහොම වසර තුන හතරක් ගත වුණා. 2004 අන්තිම වගේ ටෙඩ් මහත්තයා ලංකාවේ සංචාරය කරපු එක වෙලාවක මට කියනවා ලංකාවේ මිනිසුන්ට මං මොනවා හරි කරන්න ඕනේ කියලා. මට තාම මතකයි මං මගේ අයියට කතා කරා එයා පදිංචි වෙලා ඉන්නේ හොරණ තලගල දකුණේ අයියා එවෙලෙම කිව්වා ගෙයක් හදා ගන්න බැරුව දුක් විඳින මිනිස්සු පිරිසක් ගැන. අපි ඒ වෙලාවේ දකුණ ප්‍රදේශයේ සංචාරක නිරත වෙලා ඉඳල එනින් ගමන් කොහෙවත් යන්නේ නැතුව කෙළින්ම ගියා අදාළ නිවසට යනකොට ලස්සනට මිදුල අතුගාපු කඩා වැටෙන්න ඔන්න මෙන්න තිබුණු මැටි ගෙයක් අපි දැක්කේ. ගොඩක් දුප්පත් මිනිස්සු. ඒක බලපු ගමන් ටෙඩ් මහත්තයා ඒක හදමු කියලා කිව්වා. එහෙමයි එයාගේ මේ සමාජ සේවාවල මූලාරම්භය පටන් ගත්තේ.

එයා මගේ කල්‍යාණ මිත්‍රත්වය බොහොම අගය කරනවා. මට හැමදාම කියන්නේ ඔයා මට හම්බවුණ නිසා මට මගේ ජීවිතේ හොඳ කර්ම කරන්න අවස්ථාව උදාවුණා කියලා. මටත් මහ විශාල සතුටක් දැනෙනවා ඔහුගෙන් අපේ මිනිස්සුන්ට සිද්ධ වුණ සේවාව පිළිබඳව.

ටෙඩ් මහත්තයා මෙහෙම උදව් කරනකොට මෙහේ ඉන්න ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් එයාට කතා කරලා මුදල් ඉල්ලලා තියෙනවා. කවදාකවත් එයා එහෙම කරන කෙනෙක් නෙමෙයි. එයා කාගෙන්වත් ඉල්ලලා දෙන උපකාර නෙමෙයි මේවා එයාගේ පෞද්ගලික ධනයෙන්ම තමයි ඔක්කොම වියදම් කරන්නේ.

ටෙඩ්ගේ දැවැන්ත සමාජ සත්කාරයන් ගැන සුසන්ත වල්පිට කතාව ඇසිය යුතුය. සුසන්ත යනු ‘ටෙඩ්’ මේ ක්‍රියාන්විතයට යොමු කළ පුද්ගලයාය.

මගේ මල්ලී වන සුජීත් ප්‍රියන්ත වල්පිට මාර්ගයෙන්. ඔය කාලෙ වෙනකොට මම සමාජ සේවා වැඩවලට ගොඩක් ක්‍රියාකාරී වෙලා හිටියේ. යොවුන් සමාජ ක්‍රියාකාරකම් මම කුඩා අවදියේ ඉඳන් කරලා තියෙනවා. මම මගේ අත්දැකීම් භාවිතා කරලා ටෙඩ් මහත්තයාගේ බලාපොරොත්තුව විශාල පිරිසක් සෙත සැලසෙන ආකාරයට යෙදෙව්වා කිව්වොත් නිවැරදියි. එයා මුලින්ම ගෙයක් හැදුවා. මුලින් මුලින් පොඩි පොඩි වැඩසටහන් කළා. ආහාර ලබාදීම, පාසල් දරුවන්ට උදව් උපකාර වගේ වැඩසටහන්. ඒවායින් එයා මහ විශාල සතුටක් ලැබුවා. එයා තව තවත් වැඩසටහන් කරන්න පෙලඹුණා. එහෙමයි එයාගේ ආරම්භය සිද්ධ වුණේ. පස්සේ අපි හිතුවා තනි තනි උදව් කරනවට වැඩිය සමස්ත ප්‍රජාවටම සේවාවක් සහ යහපතක් සිදුවන ආකාරයේ සේවාවක් මේ ප්‍රදේශයට සිද්ධ කරන්න.

ඒරොප්පෙන් ඇවිත් අපේ ගම- රට හදන සුදු මහත්තයා

මගේ යෝජනාවකට අනුව මේ ප්‍රදේශයේ සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කළා. උත්සවශාලා පහසුකම් සහිත පුස්තකාල ගොඩනැඟිල්ලක් පෙරපාසලක් සහිතව අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් අපට ඉදිකරන්න පුළුවන් වුණා. ඒ 2010 දි වගේ ඒ සඳහා රුපියල් ලක්ෂ පනස් හතක විතර මුදලක් ගියා. ඒකට අපේ ඉඩමෙන් කොටසක් දෙන්න වුණා. තව පොඩි ප්‍රමාණයක් සල්ලි දීලත් ගන්න වුණා. ඒක මේ ගමට ලැබුණු සම්පතක්. අපිට ඡන්ද මධ්‍යස්ථානයක්වත් තිබුණේ නෑ. ඡන්දෙ දාන්නත් දුර බැහැර යන්න වුණා. අද මේකෙන් ගම්මාන කීපයකටම සෙත සැලසෙනවා. අද වෙනකොට ප්‍රදේශයේ ඉන්න පොඩි දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සෙත සැලසෙන වැඩසටහන් විශාල ප්‍රමාණයක් ටෙඩ් මහත්තය හරහා අපි කරලා තියෙනවා. ජන ජීවිත නඟාසිටුවන වැඩසටහන්, මී මැසි පාලනය, කෘෂිකර්මාන්තයට බිත්තර වී ඇතුළු බීජ ලබාදීම, කෘෂි උපකරණ ලබාදීම, පෙර පාසල් දරුවන්ට අඩු ගෙවීමක් යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙරපාසලක් ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් රාශියක් වගේම හොරණ අධ්‍යාපන කලාපයේ පාසල්වල යටිතල පහසුකම් නැංවීම, රෝහල්වල ඉදිකිරීම් වැනි විශාල වැඩසටහන් සඳහා ඔහුගේ මිල මුදල් යොදා තිබෙනවා. මේවා සියල්ල ඔහුගේ පෞද්ගලික ධනය.

එයා මේවයින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. නිරාමිස සතුටක් පමණයි එයාගේ හිතේ තියෙන්නේ. ජන ජීවිත නඟා සිටුවන්න එයාට සැබෑ උවමනාවක් තියෙනවා.

ටෙඩ් මහත්තයා කියන්නේ හැමදේම රූලට මිම්මට කරන කෙනෙක්. හැමදේකම විනිවිදභාවයක් තියෙන්න ඕනේ. මොන වැඩේ කළත් හරියාකාර අයවැය ලේඛනයක් තියෙන්න ඕන. ඒවගේම එයාට තියෙනවා මනුස්සයෙක්ගේ දේහ ලක්ෂණ දිහා බලලා ඒ පුද්ගලයා ගැන කියන්න පුළුවන් හැකියාවක්. මනුස්සයෙක් කියන්නේ කරන්නේ බොරුවක්ද කියලා එයා බලපු ගමන් කියනවා. බෞද්ධ දර්ශනය පිළිබඳව දැඩිව විශ්වාස කරනවා. එනිසාම පන්සල්වලටත් එයා ගොඩක් උදව් කරා.

ටෙඩ් මහත්තයා ගැන හොඳින් දන්නා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තලගල මංගලාරාමාධිපති පානදුර තොටමුණ සහිත රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, ශාස්ත්‍රවේදී තලගල සුමනරතන නාහිමියන් තම අත්දැකීම් මෙලෙස විස්තර කළේය.

ටෙඩ් මහත්තයා කියන්නේ කල්‍යාණ මිත්‍රයෙක්. එයා බෞද්ධයෙක් නොවුණත් අපි බුද්ධාගමේ උගන්වන දේවල් එයාගේ ජීවිතේ තියෙනවා. හරිම නිහතමානි නියම මහත්මයෙක්. කොච්චර ලොකු ව්‍යාපාරිකයෙක් වුණත් ගමේ ඉන්න වැඩිහිටි බාල මහලු සියලු දෙනා සමග ඉතාමත්ම නිහතමානීව කටයුතු කරනවා. මොනතරම් ලොකු දෙයක් කළත් එයා ප්‍රසිද්ධියට කැමති වුණේ නෑ, කිසි දෙයක් ප්‍රචාරය කරන්නේ නෑ. කිසිම දේක බලාපොරොත්තුවක් නැතුව පිරිසිදු හදවතින් තමයි උදව් කරන්නේ? බුද්ධාගමට පුදුම විදිහට ගරු කරනවා. අපි ආශිර්වාද කරනකොට පුදුම භක්තියකින් තමයි හැසිරෙන්නේ. අපේ පන්සලට ආවහම අපි ආශිර්වාද කරලා පිරිත් නූලක් ගැට ගැහුවහම එයා ආයි ලංකාවට එන්නේ වසරකින්ද දෙකකින්ද එතකං ඒ පිරිත් නූල එයාගේ අතේ තියෙනවා. ඒ තරම් භක්තියක් බුදු දහම කෙරෙහි තියෙනවා.

ටෙඩ් මහත්තයා මේ ගමට විශාල ලෙස උදව් කරලා තියෙනවා. මේ ගම්වල මිනිස්සුන්ගේ ජන ජීවිත නඟා සිටුවන්න විශාල දායකත්වයක් දෙනවා. මේ සඳහා සුජිත් වල්පිට මහත්තයත්, සුසන්ත වල්පිට මහත්තයත් ඒ පවුලේ උදවියත් දක්වන සහයෝගය අගය කරන්න ඕනේ. ටෙඩ් මහත්තයා අපේ ගමට විතරක් නෙවේ මුළුමහත් රටටම නොයෙක් සේවාවන් කරපු පුද්ගලයෙක්. අපි එතුමට ආශිර්වාද කරන්න ඕනේ දීර්ඝායුෂ ලැබෙන්න කියලා මේ ලෝකයේ මෙච්චර සුවඳවත් කරනවට…

සුනාමිය වැනි ව්‍යසනයන්වලට මෙරට මුහුණ දුන් අවස්ථාවල ටෙඩ් මහතා ඒ වෙනුවෙන් සිදු කළ උපකාරයන් ද සුජිත් වල්පිට මහතා අප හමුවේ තැබූ අතර හිසට සෙවනක් නොමැතිව ආර්ථික දුෂ්කරතා මැදින් ජීවත්වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පෙරට ආ ගුණ සුවඳින් පිරුණු සුදු මහත්තයා පිළිබඳව වචන කිහිපයක් පෙළගස්සන්නට හැකිවීම ‘දිවයින’ අපට මහත් ආඩම්බරයකි.

නයනදුල සෙන්දනායක


advertistmentadvertistment