කැලණි ඡායාරූප කලා සංගමයේ 2025 ඡායාරූප වැඩමුළුවෙන්…
“කැලණි ඡායාරූප කලා සංගමයේ” ආරාධනයෙන් වාර්ෂිකව සිදුකරන ඔවුන්ගේ ඡායාරූප වැඩමුළුව සඳහා මෙවර තෝරාගෙන තිබුණු ඉබ්බාගමුව “අරංකැලේ” සහ “දොළුකන්ද” රක්ෂිතවල ගත කළ දෙදිනක සංචාරයේ පළමු දිනය වූ අරංකැලේ සංචාරය ගැන අපි පසුගිය සතියේ තොරතුරු කතා කළෙමු. දින දෙකකට යොදාගෙන තිබුණු එම වැඩසටහනේ තවත් දිනක් වෙන්කර තිබුණේ අරංකැලේ ආසන්නයෙන්ම
“දොලුව” ප්‍රදේශයෙන් ළඟාවිය හැකි “දොළුකන්ද” තරණය සඳහාය. කුරුණෑගල නගරයේ සිට දඹුල්ල මාර්ගයේ ගමන් කරන විට හමුවන උතුරු දුම්රිය හරස් මාර්ගය පෙණෙන දුරින් “මුත්තෙටුගලින්” වම් පසට විහිදෙන වැල්ලව – ගනේවත්ත මාර්ගයෙන්ද දොළුකන්ද දක්වා ප්‍රවේශ මාර්ගයක් ඇති නමුත්, අපගේ ගමන් මාර්ගය වූයේ පෙර කී ඉබ්බාගමුවෙන් හැරී යන අරංකැලේ – මඩගල්ල –
කුඹුක්ගැටේ මාර්ගයයි. පෙරදා අප ගමන් ගත් අරංකැලේ මාර්ගයටම පිවිස හමුවන ටී හන්දියෙන් වම් පසට විහිද යන මාර්ගයේ කිලෝමීටර් 2 ක් පමණ ගමන් ගත් විට දොලුව විහාරස්ථානය මුණගැසේ. (අරංකැලේට යන්නේ මෙම ටී හන්දියෙන් දකුණටය). එසේම, විහාරය පසුකර මද දුරක් ගිය කල්හි හිරියාල විවිධසේවා සමූපකාර සමිතියට අයත් දොලුව සමූපකාරය මුණ ගැසෙන අතර, ඒ ඉදිරියෙන්ම වැටී ඇති මාර්ගය දිවෙන්නේ දොළුකන්ද නැග්ම දෙසටය. ගම් මණ්ඩිය පසුකර කිලෝමීටර් භාගයක් පමණ ගිය පසු ගම්මුන්ගේ වැවිලි සහිත ඉඩම් හමුවේ. මෙම ඉඩම් අතරින් ගලින් ගලට, දොළපාරවල් මතින් පැන වනගත අඩි පාරට සේන්දු වූ පසු හැල්මේ නඟින්නට ඇත්තේ දොළුකන්ද පාවුළු කන්දකි. කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් මෙසේ වනාන්තරයේ වන ශාක වියන අතර මිශ්‍රවූ පොල්, කිතුල්, පුවක්, කොස් වැනි වගාවන් සහිත වන වියන යටින් ගමන් කරන විට දිය දහරා සහිත අතරමැදි කලාපීය වනාන්තරයක පහස අපට දැනෙන්නට පටන් ගනී. එය බොහෝ විට තෙත් කලාපීය ලක්ෂණ දරන තරමටම වන ගොමුවකින් සමන්විත වන අතර තරමක ගන වනාන්තර සිරියක් ගනී. මෙසේ මෙම වනාන්තරය සහිත කඳු ගැටය තරණය කළ පසු අපගේ ගමනාන්තය ලෙස තෝරාගත් දොළුකන්ද යෝධයකු සේ ඊට මෑතින් නැගී සිටිනු පෙනේ. කන්දක් කීවාට සානුවක් වැනි මතුපිටක් සහිත ගල් තලාවලින් සමන්විත දොළුකන්ද, උසට වඩා දිගින් වැඩි ගල් කඳුයායක් ලෙස හැඳින්වීම නිවැරදිය.
කැලණි ඡායාරූප කලා සංගමයේ 2025 ඡායාරූප වැඩමුළුව සඳහා අරංකැලේ මෙන්ම දොළුකන්ද තරණය කිරීමට තෝරාගැනීමද පසු ගිය සතියේ සඳහන් කළ පරිදි ඡායාරූප ශිල්පියකු, කවියකු, කතාකාරයකු මෙන්ම නවක ගීපද රචකයකු ද වන සිරිමෙවන් චන්ද්‍රසිරිගේ යෝජනාවක් අනුව සිදුවූවක් බව කිව යුතුය. කවදත් නැවුම් හා කලාත්මක, පරිසර වින්දනාත්මක මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන තෝරාගෙන තම චාරිකා සංවිධානය කරන කැලණි ඡායාරූප කලා සංගමය, මෙවර සිරිමෙවන්ගේ යෝජනාවට තම එකඟතාව පළකර තිබුණේ මෙම ස්ථාන දෙකම එකකට එකක් නොදෙවෙනි ස්ථාන වන නිසා විය යුතුය. ඒ අනුව සාමාජිකයන් 40 ක පමණ සහභාගිත්වයෙන් සිදුකර මෙම වාර්ෂික වැඩසටහන සඳහා එක් එක් සාමාජිකයා ලබාදෙන දායකත්වයට අමතරව අනුග්‍රාහක භවතුන් කිහිප දෙනකුගේම දායකත්වය ලබාදීම ද සාමාන්‍යයෙන් සිදුවේ. ඒ අතරින් යාව-ජීව අනුග්‍රාහක දායකත්වයක් නිරන්තරයෙන් ලබාදෙන්නේ කිරිබත්ගොඩ “ලක්සේයා” අධිපති නිමල් උඳුගොඩ මහතාය. දන්නා කාලයේ පටන් සියලුම ඡායාරූප වැඩමුළු සඳහා තම නොමසුරු ආධාරය ලබාදෙන නිමල් උඳුගොඩ මහතා, මෙවරද ඒ යුතුකම උපරිමව ඉටුකර දී තිබිණි.
එපමණක් නොව, සෑම වැඩමුළුවකටම පාහේ තම සහභාගිත්වය ද ලබාදෙන නිමල් මහතා මෙවරද දින දෙකම කණ්ඩායම සමග රැඳී සිටිමින් එකම බත් පත සප්පායම් වී එකම නවාතැනේ රැඳීසිටිමින් සාමාජිකයන්ට මහත් පිටිවහලක් සැපයීය. ඔහු මෙන්ම “කැමරා එල්.කේ. – Cameralk˜” අධිපති අනුෂ්ක ගුණසිංහ මහතාද විශේෂ අනුග්‍රහ දායකත්වයක් සපයා තිබිණි. විශේෂයෙන්ම කැලණි ඡායාරූප කලා සංගමයේ සභාපති ලක්ෂ්මන් පන්තියදේව, ලේකම් සුජීව ජිනේන්ද්‍ර, භාණ්ඩාගාරික රජීව් ඇලෙක්සැන්ඩර්, ප්‍රධාන සංවිධායක කුමාර දහනායක, කීර්ති අමරසේකර සහ සිරිමෙවන් චන්ද්‍රසිරි සොහොයුරන්ගේ ලබැඳි ඉල්ලීම පරිදි අපටද “සංචාරේ” අපටද මෙම සංචාරය සඳහා සහභාගිවීමට අවස්ථාව උදාවූ අතර, ඒ අනුව අපගේ ඉඩ කඩ සඳහා සහ මාධ්‍ය ආවරණය සඳහා Cameralk˜ ආයතනය මගින්ම සාදර අනුග්‍රහය සපයා තිබුණු අතර එම අනුග්‍රහය නොවන්නට මෙම අරංකැලේ චාරිකාව “දිවයින – සංචාරේ” අපට සිහිනයක් වන්නටද ඉඩ තිබිණි. එම නිසා Cameralk˜ ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතාට තුති පුදන්නට අප මෙය අවස්ථාවක් කරගන්නට කැමතිය. එසේම, කණ්ඩායමේ සියල්ලන් සඳහාම අගනා ටී ෂර්ටයක් බැගින් ලබාදෙන්නට ද Cameralk˜ ආයතනය කටයුතු කර තිබිණි.
මෙසේ මෙම සංචාරයට එක්වූ විවිධ වෘත්තීන්ගෙන් සමන්විත අප කණ්ඩායම පළමු දිනය එහෙම පිටින්ම අරංකැලේ ට වෙන්කරන ලද අතර, දෙවැනි දිනය මෙසේ දොළුකන්ද නැගීම සඳහා වෙන්කර ගන්නා ලදී. ඊට අදාළ වැඩසටහන කැලණි ඡායාරූප කලා සංගමය මගින් අපට පැහැදිලි කරන ලදී. පෙරදා රාත්‍රිය ගතකරන ලද ඉබ්බාගමුව වැව ආශ්‍රිත අධ්‍යාපන අමාත්‍යාංශයේ නවාතැනෙන් නික්මුණු අපි තවත් හෝරාවකින් පමණ අරංකැලේ ට පැමිණ, අනතුරුව දොලුව ඔස්සේ දොළුකන්ද නැගීම ආරම්භ කළෙමු.
දොළුකන්ද තරණය හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම කඳු නැඟීම නිතර නොකරන උදවියට සහ අසනීප ඇත්තවුන්ට මේ ගමන සුදුසු එකක් නොවේ. ඒ තරමට දොළුකන්ද නැඟීම අපහසු කටයුත්තකි. අනෙක් කරුණ නම්, දොළුකන්ද යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන සංරක්ෂිත වනාන්තරයකි. ඊට අදාළ විශේෂ නීති පද්ධතියක් ඇත. කන්ද නැඟීම සඳහා හෝ වනාන්තරයට ඇතුළුවීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතුය. අපගේ ගමනද සංවිධානය කර තිබුණේ එසේ නිසි අවසරයකින් පසුවය. ඇතැමුන් මෙහි රාත්‍රී කඳවුරු බැඳීම සිදුකළ ද අප දන්නා පරිදි ඊට අවසර ලබාදෙන්නේ නැත. මන්ද අති සුවිශේෂී ශාක විවිධත්වයක් නොහොත් ජෛව විවිධත්වයකට හිමිකම් කියන දොළුකන්ද ප්‍රකට වී ඇත්තේ ඖෂධ වනාන්තරයක් ලෙසිනි. අරංකැලේ වනගත භික්ෂු ආරාමයේ නිර්මාතෘවරයා වශයෙන් සලකන දෙට්ටතිස්ස රජුගේ පුත් බුද්ධදාස වෙදැදුරාණන්ගේ (රජුගේ) පහස ලැබූ පිං බිමක්ද වන බව කියන දොළුකන්ද, දුර්ලභ ඖෂධ ශාක රැසක නිජබිමකි. එසේම, මෙය කටාරම් ලෙන් සහිත පුරාවිද්‍යා වටිනාකම් ඇති ප්‍රදේශයකි. ඇති තරම් ජනප්‍රවාද, ජනශ්‍රැති කියැවෙන දොළුකන්දට ඇති ජන කවි – කතාන්දර ද රාශියකි. දොළුකන්දට පාන්දරම නැඟි විට බටහිරින් මුහුද පෙණෙන බවද කියනු ලබන අතර පහත ජන කවිවල ඒ බව දැක්වේ.
අප මේ තරණය කරන්නේ එවැනි සුවිශේෂී හුදකලා කන්දකි. එසේම, කලක් දොළුකන්ද රටක් හඳුනාගෙන සිටි තැනකි. මෙහි මතුවූ පිළිමයක් හෝ බෝධියක් නිසා රටේම උදවිය බස් පෙරහැරවලින් දොළුකන්දේ ගිය හැටි තාමත් බොහෝ දෙනාට මතක ඇතැයි සිතමි.
ඒ කෙසේ හෝ පාවුළු කන්ද නිමවීමෙන් පසු දොළුකන්ද දක්වා වන මඟ වැටී ඇත. එම මාර්ගයෙන් කඳු පාමුලට ගොස්, වන වදුල අතරින් කඳු බෑවුම තරණය කරන්නට සෑහෙන ධෛර්යයක් උපදවා ගත යුතුය. එසේම නොසෑහෙන වෙහෙසක් දැරිය යුතුය. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහිත පුද්ගලයන්ට පමණකි එය කළ හැක්කේ. එවන් ධෛර්යය සම්පන්න පිරිසක් පමණක් දොළුකන් මුදුන දක්වා තරණය කිරීමට එකඟවූ පසු, සිරිමෙවන් ඊට මඟපෙන්වීම සඳහා ඉදිරිපත් විය. ඔහුගේ නායකත්වයෙන් මෙතැන් පටන් දොළුකන්ද තරණය ආරම්භ වූ අතර, ඔහුගේ අනු දැනුමෙන් එහි පැමිණි දොස්තර පවුලක්ද වෙනම කඳු තරණයට එක්වීය. අප කණ්ඩායමට බැහැරව කන්ද තරණය කළ කොළඹ පැත්තේ තරුණයන් පිරිසක්ද අපට මුණගැසුණු අතර, ඔවුන් අපට පෙර කන්ද මුදුණට දිස්වන හාත්පස සුන්දරත්වය සහ දොළුකන්දට ආවේණික අපූරු දර්ශන තල සහ භූ පිහිටීම වින්දනය කර තිබිණි. ඒ ඔවුන් හිරු නැඟ එන්නට මත්තෙන් කන්ද තරණය කර තිබීම නිසාය. එනම්, “හිරු උදාව” හරිම අපූරුවට වින්දනය කර තිබුණු ඔවුහු එම අත්දැකීම අප සමග බෙදා හදා ගත්තේ ඔවුන්ගේ ඡායාරූප හුවමාරු කරගනිමිනි. එමෙන්ම දොළුකන්ද මුදුනේ මෙහි පළවන අනෙකුත් සියලුම ඡායාරූපවල අයිතිය සිරිමෙවන් සතු විය යුතුය. ඔහුගේ මඟපෙන්වීම සහ සහයෝගය, උනන්දුව, උද්‍යෝගය අනුව සිදුකරන ලද කඳු මුදුන් තරණය මගින් දොළුකන්ද කුමක්ද යන්න කියවීමට තරම් අපට ඡායාරූප එකතුවක් ලැබිණි.
මෙසේ අපහසුවෙන්, අත් උදව්වෙන් තරණය කළ දොළුකන්ද මුදුණට නැගගත් විට ඇතුගල්පුරවරය පමණක් නොව, නැගෙනහිර හා උතුරු දිග තැනි තලාවද, මාතලේ කඳුයාය සහ දකුණු දෙසින් ඉබ්බාගමුව වැව හෙවත් බතලගොඩ වැව, නැගෙනහිරින් ළඟින්ම කබරගල, මහසෙන් රජු තැනූ කිඹුල්වානා වැව නොහොත් එනම් ජලාශය, බටහිර – වයඹ දෙසින් හුණුපොල – ගනේවත්ත-හිරිපිටිය දෙසින් දොළුකන්ද වැව සහ කුවෙණිගල යනාදිය මැනවින් දිස්වේ. සැබැවින්ම උතුරු දිග තැනිතලාවේ අසිරිය විඳින්නට දොළුකන්ද කදිම වේදිකාවකි. නමුත් පෙර කීවාසේ දොළුකන්ද තරණය හිතූ ලෙස කරන්නට හැක්කක් නොවේ. ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරය ලබාගත යුතුව ඇත.
සැරිසර – ජගත් කණහැරආරච්චි
මාධ්‍ය අනුග්‍රහය -Cameralk˜
ඡායාරූප – සිරිමෙවන් චන්ද්‍රසිරි, සහ කැලණි ඡායාරූප කලා සංගමය