වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමග තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට එක්වීමේ වරම් හිමි වුණා. එසේම මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමත්, ප්‍රබල කණ්ඩායම් දෙකක් සමග තරගයකින් පසුව තරගාවලිය අවසානයට පෙරම ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමත් විශේෂත්වයක්. මෙම තරගාවලියේ සියලුම තරග පවත්වන්නට සැළසුම් කර ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
අවසන් මහා තරගයද ඇතුළත්ව තරග 7 කින් සමන්විත වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග හතරෙන් 3ක්ම දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා. ඒ අනුව ඔවුන් ප්‍රබල ඉන්දියානු ක්‍රීඩිකාවන් සමග මුහුණ දුන් තරග දෙකෙන් එක් තරගයක් ජයගත් අතර අනෙක් තරගය පරාජයට පත්වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට එරෙහිව මුහුණ දුන් දෙවැනි තරගය පරාජයට පත්විය.
අවසාන වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා සහභාගි වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග මෙකී තරගයටයි. එහිදී කාසියේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකා කණ්ඩායමට පැවරුවා. එහිදී දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 315 ක්. පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 42යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 239ක් පමණි.
තරගාවලියේ මෙතෙක් පැවති තරග අතුරින් වඩාත් අවධානය දිනාගත් තරගය වූයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවැනි තරගයයි. ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීමට මග විවර වූ එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙතෙක් තරගයකදී හඹා ගොස් ලබාගත් දෙවැනි හොඳම ජයග්‍රහණය වාර්තා කිරීම තරගාවලිය තුළ වඩාත් අවධානය දිනාගත් කරුණක් වුණා. තරගාවලියේ ඉන්දියාව සමග ශ්‍රී ලංකාව තරග කළ පළමු තරගයේදී ඉතා පහසු ජයක් හිමි වුණේ ඉන්දියාවටයි. එහිදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 147 ඉන්දියානු ක්‍රීඩිකාවන් එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී රැස් කරගත්තේ පන්දු වාර 30 කටත් පෙරයි. නමුත් දෙවැනි තරගයේදී ඉතාමත් හොඳින් ඉන්දියාවට එරෙහිව තරග කළ අපගේ ක්‍රීඩිකාවන් තරගය අවසන් පන්දු වාරයේදී ජය ගත්තේ බොහෝ ප්‍රේක්ෂක විචාරක පැසසුම් මාධ්‍යයේ තියුණු සටනකින් පසුව වීම විශේෂත්වයක්. එම තරගයේදී ප්‍රබල ඉන්දියානු ක්‍රීඩිකාවන් කඩුලු 9 ක් දැවී සිය පන්දු වාර 50 අවසානයේ රැස් කරගත් ලකුණු ප්‍රමාණය 275 ක්. අනතුරුව පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් පන්දු වාර 49 යි එක් පන්දුවක් තුළ කඩුලු 7 කට ලකුණු 278 ක් ලබාගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කළා. මෙහිදී සෑම කඩුල්ලක් අතරම කිසියම් වූ හොඳ සබඳතාවයක් පවත්වා ගැනීමට මෙරට ක්‍රීඩිකාවන්ට හැකි වීම ජයග්‍රහණයේ රහස බව
පිළිගැනීමයි. ඒ සමගම ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 2 ක් වාර්තා වීමත් කැපී පෙණුන කරුණක්. එම අර්ධ ශතක දෙකේ හිමිකාරිණියන් වූයේ හර්ශිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වායි. මෙහිදී මැද පෙළ සවිමත් කළ නිලක්ෂිකා සිල්වා අවශ්‍යම මොහොතක පන්දු 33 කින් ලකුණු 56 ක් ලබා ගැනීම කාගේත් අවධානය දිනාගත් කරුණක්. මෙම ලකුණු 56 ට හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වූ අතර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට නිලක්ෂිකාට හැකි වුණා.
තුන්කොන් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දුන් 3 වැනි තරගය එලෙස ජයගැනීමට අවශ්‍ය මානසිකත්වය ගොඩනැඟුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබාගත් ජයග්‍රහණයයි. එහිදී දකුණු අප්‍රිකානුවන් ලබා දුන් ලකුණු 235 ක අභියෝගය කඩුලු 5 ක් පමණක් දැවී තිබියදී සාර්ථක කරගැනීමට අපගේ ක්‍රීඩිකාවන්ට හැකි වුණා. එහිදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක 2 ක් වාර්තා වූ අතර සුපුරුදු පරිදි හර්ශිතා සමරවික්‍රම ලකුණු 77 ක් ලබා ගනිමින් කැපී පෙණෙන දක්ෂතා අතරට පැමිණියා. මේ නිසාම එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ හර්ශිතායි. ඊට අමතරව කවීෂා දිල්හාරි ලකුණු 61 ක් ලබා ගත්තා. ඒ අනුව පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයට පෙරම ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ මෙලෙස එක දිගට තරග දෙකක් ජය ගැනීමත්, ප්‍රබල දකුණු අප්‍රිකාවට එතෙක් එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වීමත් නිසයි.
තරගාවලියේ අවසන් මහා තරගය අද ඉරිදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ප්‍රබල ඉන්දියාවට එරෙහිව අවසන් මහා සටනට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවුණා. කණ්ඩායම් දෙක සැසඳීමේදී තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාවන් ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ එක් ඉන්දියානු ක්‍රීඩිකාවක් පළමු ක්‍රීඩිකාවන් 3 දෙනා අතර සිටිනවා. ඒ අතරින් ඉන්දියාව වෙනුවෙන් ජෙමිමා රොඩ්රිගස් ලකුණු 201 ක් ලබාගෙන දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වී සිටින්නේ හර්ෂිතා සමරවික්‍රමය. පන්දු යැවීමේදී මෙතෙක් හොඳම දක්ෂතාවය දක්වා ඇත්තේ ඉන්දියානු ක්‍රීඩිකා ස්නේහ් රානා ක්‍රීඩිකාවයි. ඇය ඉනිම 4 තුළ කඩුලු 11ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහිදී ඇය ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකේදී කඩුලු 3 බැගින් කඩුලු 6 ක් බිඳ හෙළා තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කරගෙන ඇත්තේ දෙව්මි විහංගා ක්‍රීඩිකාවයි. ඇය ඉනිම හතර තුළ බිඳ හෙලූ කඩුලු ගණන 9 ක්. මෙහිදී විහංගා ඉන්දියාවට එරෙහිව ලබාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණක් වීම සැළකිය යුතු කරුණක්. කෙසේ වෙතත් තරගාවලිය තුළ හොඳින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් මහා තරගයේදී ප්‍රබල සටනක් ලබාදෙමින් දිවයිනට ගෞරවයක් ලබාදීමට හැකිවෙතැයි යන්න අපගේ අපේක්ෂාවයි.
ඉන්දු- ශ්‍රී ලංකා කාන්තා අවසන් සටන නොමිලේ නැරඹීමට අවස්ථාව
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මේ මස 11 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් අතර අවසන් මහ තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
පෙ.ව. 10.00 ට ආරම්භ වන දෙරට අතර අවසන් මහ තරගය නැරඹීමට කැමැති ක්‍රීඩා ලෝලීන්ට පෙ.ව. 9.00 සිට ඇතුල්වීමට අවස්ථාව ලැබේ. අප්‍රේල් මස 27 වැනිදා ආරම්භ වුණු මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලද නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබීය.
සුනිල් සෝමසිරි