ශ්‍රී ලාංකේය සිනමාවේ චිත්‍රපටයක් පළමු වතාවට ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලක් නියෝජනය කරනු ලැබුවේ 1957 වර්ෂයේදීය. ඒ මෙරට සිනමාවට සිංහල ආරක් එක්කාසු කළ අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ ‘රේඛාව’ චිත්‍රපටයයි. එතෙක් ඉන්දියානු ආරකට එරට දර්ශන තල උපයෝගී කරගනිමින් මෙරට චිත්‍රපට නිර්මාණය වෙද්දි ප්‍රථම වතාවට ස්වභාවික දර්ශන තල උපයෝගී කරගනිමින් සිංහල චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අභියෝගය භාරගත්තේ ලෙස්ටර්ය. ඒ භාරගත් අභියෝගයෙන් සිංහල සිනමාවට ඔහු පාදා දුන් ඉල්ලම සුළුපටු නැත. රේඛාව නිසා අපේ සිනමාවට පෑ රිදී රේඛාව ආචාර්ය සුමිත්‍රා පීරිස්ය. ලෙස්ටර්ගේ රේඛාව ප්‍රංශයේදී තිරගත නොකෙරුවානම් එදවස ප්‍රංශයේ සිටි සුමිත්‍රා නමැති දැඩි සිනමාලෝලිනියව තරුණ ලෙස්ටර්ට මුණගැසෙන්නේද නැත. සුමිත්‍රාගේ සහෝදරයකු වූ ගාමිණී ගුණවර්ධන නිසාවෙන් ඔවුන්ගේ හමුව සිද්ධ වූවද ඔවුන්ව ආදරවන්තයන් කරවන්නට මූලික අඩිතාලම දමන්නේ රේඛාවයි. සුමිත්‍රාව සිනමාකාරියක කරවන්නේ ද රේඛාවයි. ලෙස්ටර් ‘රේඛාව’ත් සමග මාසයක පමණ කාලයක් ප්‍රංශයේ රැඳී සිටි කාලයේ සුමිත්‍රා එහි සිනමාව හදාරමින් සිටියාය. ලෝක සිනමාවට ආදරය කෙරූ සුමිත්‍රා හට සිංහල සිනමාව කෙරෙහි ආශාවක්, ඇල්මක් ඇති කරවන්නේ ලෙස්ටර්ගේ ‘රේඛාව’ය. එමෙන්ම රේඛාව අවසානයේ ඇයට ඇය ආසක්ත වූ වෘත්තියත් ආදරයත් දෙකම ළඟා කර දුන්නාය. මියයන තෙක්ම ‘රේඛාව’ ඔවුන් දෙදෙනාව එක්කොට තැබුවේය.

සහය අධ්‍යක්ෂකවරුන් අතර එකම සහය අධ්‍යක්ෂවරිය

රේඛාව සමග ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රංශයේ රැඳී සිටි කාලයේ ඔහුගේ අදහස වූයේ සුමිත්‍රා එංගලන්තයේ අලුතින් ආරම්භ කෙරූ ලන්ඩන් ස්කූල් ඔෆ් ෆිල්ම් ටෙක්නික් ආයතනයට ඇතුළු වී සිනමාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම අගනා බවය. ඒ සඳහා ඇයට අවශ්‍ය ලියැකියවිලි ද සකසා දෙනු ලැබුවේ ලෙස්ටර්මය. ලෙසටර් දිගටම ප්‍රංශයේ රැඳි සිටියදී ඇය එංගලන්තය බලා පිටත් වූවාය. දෑ අවුරුද්දක ඩිප්ලෝමාව හමාර කර ඇය නැවතත් ප්‍රංශයට පැමිණියාය. ඒ වනවිට ලෙස්ටර් ලංකාවේ අලුත්ම වැඩකට අතගසා තිබුණේය. ඒ ඔහුගේ දෙවන චිත්‍රපටය වූ ‘සංදේශයේ’ වැඩකටයුතුය. ඒ වනවිට එංගලන්තයේදී ඩිප්ලෝමාව හමාර කර ප්‍රංශයට පැමිණ සිටි සිය නැගණියව ලංකාවේ චිත්‍රපට කාරියකට සම්බන්ධ කරවීමට ඇගේ සොහොයුරා ලෙස්ටර්ගෙන් උපකාරයක් පැතීය. නමුත් ඒ වනවිට සංදේශය චිත්‍රපටයට අදාළ සියලුම සාමාජිකයන් ලෙස්ටර් විසින් තෝරාගෙන තිබුණි. නමුත් සිය මිතුරාගේ ඉල්ලීම ද අහක දමන්නට බැරි නිසා ඔහු සිය චිත්‍රපටයේ හතර වන සහය අධ්‍යක්ෂවරිය ලෙස සුමිත්‍රාව ගත හැකි බව ඔහුට පැවසීය. හිසෙහි පිබිදුණු දහසක් මල් සමග සුමිත්‍රා ලංකාවට පැමිණියේ ලෙස්ටර් නමැති ඒ මහා සිනමාවේදියාගේ ගුරුහරුකම් යටතේ සිය සිනමා දිවිය ද ආරම්භ කිරීමේ අරමුණිනි. පිරිමි සහය අධ්‍යක්ෂවරුන් අතර ඇය එකම සහය අධ්‍යක්ෂවරිය වූවාය. අවසානයේ සංදේශය චිත්‍රපටය අන්තර්ජාතික චිත්‍රපට උළෙල කිහිපයකම ලංකාව නියෝජනය කළේය.ි‘සංදේශයෙන්’ පසු සුමිත්‍රා, ලෙස්ටර්ගේ ‘ගම්පෙරළිය’,‘දෙලොවක් අතර’ට එක් වූවාය. ඒ සංස්කාරකවරියක් ලෙසය. ලේසටර්ගේ සිනමා කෘතිවලින් හොඳම සංස්කාරකවරිය ලෙස සම්මානයට ද ඇය පාත්‍ර වූවාය.

රේඛාව නිසාවෙන් මොවුන් දෙපළගේ දෛවෝපගත හවුම සිදු වුවද නිල වශයෙන් මොවුන්ව පෙම්වතුන් බවට පත් කළේ ‘සංදේශය’යි. ඔවුන්ටත් නොදැනීම ඔවුන් සමීව විය. එතැන් පටන් ඔවුන් දෙදෙනා අතර වූ සිනමාදරයේ ආනුභාවයෙන් ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ චිත්‍රපටි කර්තව්‍යයට නිෂ්පාදනය පැත්තෙන් ද අත ගැසුවාය. ආචාර්ය සුමිත්‍රා පීරිස් හාහා පුරා කියා සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේ 1978 වසරේදී තිරගත වූ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයෙනි. එතැන් පටන් ඇය ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, ලොකු දුව, සක්මන් මළුව වැනි චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළාය.

ගම්පෙරලිය, දෙලොවක් අතර, බක්මහ දීගේ, මඩොල් දූව, අහසින් පොළවට, ගඟ අද්දර වැනි චිත්‍රපටවල සංස්කරණ කාරියේ ද නිරත වූවාය. මේ චිත්‍රපට සියල්ල වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට ඇය සම්මාන දහයක් මෙන්ම හොඳම සංස්කරණය වෙනුවෙන් සම්මාන හයක් හිමිකර ගත්තාය.

2025දී කෑන්ස් යන සුමිත්‍රාගේ ‘ගැහැනු ළමයි’

කෑන්ස් යන ගැහැනු ළමයි

ඉහත ප්‍රස්ථාවනාව මෙසේ දිගහැරියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ සිනමා දැනුමින් ඇය ප්‍රථම වරට අධ්‍යක්ෂණය කෙරූ ගැහැනු ළමයි නම් වූ පරිච්ඡේදයට පිවිසීමටය. ගැහැනු ළමයි එදා මෙන්ම අදටත් ජාත්‍යන්තර සම්මාන උළෙලවල නම කියවෙන නිර්මාණයක් වන නිසාය. හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරිය වූ ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ විශිෂ්ටතම සිනමා කෘතියක් වන ‘ගැහැනු ළමයි’ මෙවර 78 වන කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඒ Cannes Classics අංශය නියෝජනය කරමිනි. ප්‍රවීණ නිළි වසන්ති චතුරාණිගේ ප්‍රථම සිනමා ආගමනය සිදු වූයේ ද ගැහැනු ළමයි තුළිනි. ඇය එහි පණ පෙවූ ‘කුසුම්’ නම් වූ ප්‍රධාන චරිතය වෙනුවෙන් 1979 සිග්නීස් උත්තමාචාර උළෙලේදී හොඳම නිළියට සම්මානය ද හිමි කරගත්තාය. චිත්‍රපටය නිර්මාණයට පාදක වූයේ ප්‍රවීණ කතුවර කරුණාසේන ජයලත් ශූරීන්ගේ ප්‍රසිද්ධ නවකතාවක් වූ ‘ගැහැනු ළමයි’ නවකතාවයි. 1978 ලන්ඩන් චිත්‍රපට උළෙලේදී වසරේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ සුමිත්‍රාගේ ගැහැනු ළමයි පන්ති අරගලය, සංස්කෘතිය සහ තාරුණ්‍යය අතර ඇතිවන ගැටුම්වලින් තැලී පෙළුණු ගම්මානයක තරුණ සහෝදරියන් දෙදෙනකුගේ දුක්ඛිත කතාවක් විදහා දක්වන්නකි. දශක ගණනාවකට ඉහතදී නිර්මාණය වූ ගැහැනු ළමයි චිත්‍රපටය දැවැන්ත දියුණුවක් කරා ලෝක සිනමාව ළඟා වී ඇති අවධියක නැවත නැවතත් තිරගත කර රසවින්දනයක් ලබාදීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ඉතා අගනා අවස්ථාවකි.

ගැහැනු ළමයි චිත්‍රපටය LzImmagine Ritrovata රසායනාගාරයේදී 4K තාක්ෂණයෙන් 35 mm මට්ටමෙන් චිත්‍රපට උරුමය සුරැකීමේ පදනම (Film Heritage Foundation) විසින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර මෙවර කෑන්ස් ප්‍රර්ශනය සඳහා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ වසන්ති චතුරානි, ප්‍රධාන නළු අජිත් ජිනදාස, ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ සභාපති ගයත්‍රි මුස්තාචි ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය. හෙළ සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ ගැහැනු ළමයි සිනමාපටය සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුගත් මහදිවුල්වැව මහතා පසුගියදාක පැවසුවේය.

එසේම මෙම සිනමාපටයට අමතරව තවත් සිනමාපට 5ක් ප්‍රතිෂ්ඨාපනය සඳහා කටයුතු කරන බවත් චිත්‍රපට සංස්ථාවට අයත් ගොඩනැඟිල්ලක සිනමාපට සංරක්ෂණාගාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 2025 කෑන්ස් සිනමා උළෙල මැයි මස 13-24 වැනිදා දක්වා ප්‍රංශයේ Cannes හීදී පැවැත්වීමට නියමිත අතර ඉන්දියානු කතුවර සත්‍යජිත් රායි විසින් රචිත ප්‍රශංසනීය බෙංගාලි භාෂා චිත්‍රපටයක් වන ‘අරන්යර් දින් රාත්‍රී’ (1970) චිත්‍රපටය සමග ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ලෙස්ටර් සහ සුමිත්‍රා යනු ශ්‍රී ලාංකේය සිනමාවේ වංශකතාව ලියන්නට අපට ලැබුණු මහා වස්තූන් දෙකකි. බොහෝ නිර්මාණකරුවන් චිත්‍රපට නිර්මාණය කර මුදල් හම්බකරද්දී සුමිත්‍රා සහ ලෙස්ටර් කළේ තමන්ගේ මුදල් වියදම් කොට චිත්‍රපට නිර්මාණය කිරීමය. සිංහල සිනමාවේ සුවිශේෂී ස්ත්‍රී සළකුණ වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් දෑ අවුරුද්දකට පෙර දැයෙන් සමුගෙන ගියද ඇය සිනමාවේ තබා ගිය සටහන් අදටත් ලෝකයා විශ්මයට පත්කරවමින් ඇත. ඇගේ රුව ඡායාවක් වුවද සැඟවෙමින් තවමත් පායමින් ඇත.

එරංදි කෞශල්‍යා


advertistmentadvertistment